මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දවස්වල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. එදා ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ “ප්‍රිය ආයුෂ්මත් මහණෙනි” කියල භික්ෂු සංඝයා ඇමතුවා. “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස” කියල ඒ භික්ෂූන් වහන්සේලා ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට පිළිතුරු දුන්නා. ඒ වෙලාවේ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ මේ දේශනාව වදාළා.
ප්‍රිය ආයුෂ්මතුනි, ඒක මේ වගේ දෙයක්. පොළවේ ඇවිදගෙන යන පා ඇති සතුන් අතර ඇතෙකුගේ පියවර සටහනක් තුළ අනෙක් සියලුම පා සටහන් දමන්න පුළුවනි. ඒ නිසා හැම පියවර සටහනකට ම වඩා විශාලත්වයෙන් අග්‍ර වන්නේ ඇත් පියවර සටහනයි. ප්‍රිය ආයුෂ්මතුනි, ඔන්න ඔය විදිහමයි, යම්තාක් කුසල් දහම් තියෙනවා නම් ඒ සියල්ල ම චතුරාර්ය සත්‍යයට ඇතුළත් වෙනවා. කුමන චතුරාර්ය සත්‍යයකට ද ඇතුළත් වන්නෙ? දුක්ඛ ආර්ය සත්‍යය තුළටයි, දුක්ඛ සමුදය ආර්ය සත්‍යය තුළටයි. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය තුළටයි, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යය තුළටයි ඇතුළත් වෙන්නෙ.
ප්‍රිය ආයුෂ්මතුනි, දුක්ඛ ආර්ය සත්‍යය කියන්නේ මොකක්ද? ඉපදීමත් දුකක්. ජරාවට පත්වීමත් දුකක්. මරණයට පත්වීමත් දුකක්. ශෝක, වැළපීම්, දුක් දොම්නස් සුසුම් හෙලීම් ආදියත් දුකක්. ඔය දුක් නොලබා ඉන්න කැමති නමුත් ඒ කැමති දේ නොලැබී යාමත් දුකක්. හැම දෙයක් ම එකට ගොනු කරල කිව්වොත් උපාදානස්කන්ධ පහ ම දුකක්.
ප්‍රිය ආයුෂ්මතුනි, උපාදානස්කන්ධ පහ කියන්නෙ මොනවාද? ඒ තමයි රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සඤ්ඤා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය.
ප්‍රිය ආයුෂ්මතුනි, රූප උපාදානස්කන්ධය කියන්නෙ මොකක්ද? සතර මහා භූතත්, සතර මහා භූතවලින් හටගත්තු දේවලුත් තමයි රූප කියන්නෙ. ප්‍රිය ආයුෂ්මතුනි, මොනවද ඒ මහා භූත හතර? ඒවා තමයි පොළොවට පස් වෙලා යන දේ (පඨවි ධාතුව), දිය වෙලා යන දේ (ආපෝ ධාතුව), උණුසුම් දේ (තේජෝ ධාතුව), හමාගෙන යන දේ (වායෝ ධාතුව).
ප්‍රිය ආයුෂ්මතුනි, පොළොවේ පස්වෙලා යන (පඨවි ධාතු) මොනවාද? තමා තුළත් පඨවි ධාතු තියෙනවා. බාහිරත් පඨවි ධාතු තියෙනවා. ප්‍රිය ආයුෂ්මතුනි, තමා තුළ තිබෙන පඨවි ධාතු මොනවාද? තමන් තුළ පවතින කර්කශ, ගොරෝසු, එකිනෙකට බැඳී තිබෙන පඨවි ධාතු තියෙනවා. ඒවා තමයි, කෙස්, ලොම්, නියපොතු, දත්, සම්, මස්, නහරවැල්, ඇට, ඇට ලොඳ,
වකුගඩු, හදවත, අක්මාව, දලබුව, බඩදිව, පෙනහළු, මහා බඩවැල්, කුඩා බඩවැල්, බොක්ක, අසූචි යන දේවල්. ඒ වගේ ම තමන් තුළ තවත් කර්කශ දේවල්, ගොරෝසු දේවල්, ශරීරය හා බැඳී තියෙන දේවල් ඇත්නම්, මේවාට කියන්නේ ප්‍රිය ආයුෂ්මතුනි, පඨවි ධාතු කියලයි. ඉතින් මේ තමන් තුළ පොළොවට පස් වී යන යම් දෙයක් ඇද්ද, බාහිරව පොළොවට පස් වී යන යම් දෙයක් ඇද්ද ඕව ඔක්කොම පඨවි ධාතුම යි. මේ පඨවි ධාතු ‘මගේ නොවේ. මම නොවෙමි. මගේ ආත්මය නොවේ’ කියල දියුණු කරපු ප්‍රඥාවෙන් යථාර්ථයම යි දකින්න ඕන. එතකොට දියුණු කරපු ප්‍රඥාවෙන් යථාර්ථය දැක්ක ම පඨවි ධාතුව ගැන අවබෝධයෙන් ම කලකිරෙනවා, පඨවි ධාතුව ගැන සිත ඇලෙන්නෙ නැතුව යනවා.
ප්‍රිය ආයුෂ්මතුනි, බාහිරව වැගිරෙන දේවල් (මහා වැසි, ගංවතුර, මුහුද ගැලීම් වශයෙන්) ආපෝ ධාතුව කිපෙන අවස්ථාවන් එනවා. එතකොට බාහිර පඨවි ධාතුව (කුඹුරු වතුපිටි, මංමාවත් ආදිය) නොපෙනී යනවා. ප්‍රිය ආයුෂ්මතුනි, එහෙම නම් මෙච්චර විශාල වූ බාහිර පඨවි ධාතුවත් අනිත්‍ය වෙලා යනවා නෙව. ක්ෂය වෙලා යනවා නෙව. වැනසී යන ස්වභාවයට පත්වෙනවා නෙව. වෙනස් වන ස්වභාවයට පත්වෙනවා නෙව. ඉතින් එහෙම එකේ මේ කයේ තියෙන ඩිංගිත්තක් පඨවි ධාතුවට බැඳිල හිට ‘මම’ කියල, ‘මගේ’ කියල, ‘මම වෙමි’ කියල ගන්න පුළුවන්ද? ඔය විදිහට දකිනවා නම් ඒ භික්ෂුවට තෘෂ්ණාවෙන් බැඳීමක් සිද්ධ වෙන්නෙ නෑ.
ප්‍රිය ආයුෂ්මතුනි, එතකොට භික්ෂුවට කවුරු හරි බැන්නොත්, අපහාස කළොත්, දොස් කිව්වොත්, රණ්ඩුවට ආවොත් ඔහු තේරුම් ගන්න ඕන මේ විදිහටයි. ඔන්න මං තුළ දැන් කනේ ස්පර්ශය නිසා හටගත් දුක් වේදනාවක් උපන්නා. ඒක ඇතිවුණේ හේතු සහිතවයි. හේතු රහිතව නොවේ. මොකක් හේතු කරගෙනද? ස්පර්ශය හේතු කරගෙන. ඉතින් ඒ භික්ෂුව ස්පර්ශය අනිත්‍යයි කියල දකිනවා. වේදනාවත් අනිත්‍යයි කියල දකිනවා. සඤ්ඤාවත් අනිත්‍යයි කියල දකිනවා. සංස්කාරත් අනිත්‍යයි කියල දකිනවා. විඤ්ඤාණයත් අනිත්‍යයි කියල දකිනවා. එතකොට ඔහුගෙ සිත ධාතු මනසිකාර භාවනාවේ තමයි බැසගන්නෙ. ඒකෙ ම යි පහදින්නෙ. ඒකෙ ම යි පිහිටන්නෙ. ඒ තුළින් ම යි අවබෝධ වෙන්නෙ.
එතකොට ප්‍රිය ආයුෂ්මතුනි, ඒ භික්ෂුවට තමන් කැමති නැති, අමනාප වූ දේවල් කවුරු හරි කරන්න පුළුවනි. අතින් ගහන්න පුළුවනි. ගල්වලින් ගහන්න පුළුවනි. දඬු මුගුරුවලින් ගහන්න පුළුවනි. ආයුධවලින් ගහන්න පුළුවනි. ඒ ගැන ඒ භික්ෂුව මේ විදිහට තේරුම් ගන්නවා. ‘මේ කය ඒ වගේ දේවල් වදින ස්වභාවයෙන් යුක්ත තමයි. ඒ නිසයි මේ කයට අත් පහරත් වදින්නෙ. ගල් පහරත් වදින්නෙ. දඬුමුගුරු පහරත් වදින්නෙ. ආයුධ පහරත් වදින්නෙ. අපගේ භාග්‍යවතුන් වහන්සේ කියත උපමා කොට වදාළ දේශනාවේදී ඔය ගැන වදාළා නෙව. ‘පින්වත් මහණෙනි, ඔබව අල්ලගෙන දරුණු හොරු කට්ටියක් දෙපැත්තෙ මිට තියෙන කියතකින් ඔබේ අත පය කැපුවොත් ඒ වෙලාවෙ හරි ඔබේ හිතේ තරහක් හටගත්තොත් ඔබට මගේ අනුශාසනාව සිහිකරන්න බැරුව යනවා’ කියල. ඒ නිසා මම වීරිය පටන් අරගෙන ඉන්නෙ. උත්සාහය හැකිලුණේ නෑ. සිහිය පිහිටල තියෙන්නෙ. සිහි මුළා වෙලා නෑ. කය සැහැල්ලු වෙලා තියෙන්නෙ. බර ගතියක් නෑ. සිත එකඟ වෙලා තියෙන්නෙ. ඒ නිසා මේ ඇඟට අතුල් පහර වැදුනාවේ. ගල් පහර වැදුනාවේ. දඬු මුගුරු පහර වැදුණාවේ. ආයුධ පහර වැදුනාවේ. බුදු සමිඳුන්ගේ සාසනය මං කරගෙන යනවා’ කියල.
ප්‍රිය ආයුෂ්මතුනි, ඔය විදිහට භික්ෂුව බුදු සමිඳුන් ගැන සිහිකරන කොට, ඔය විදිහට ශ්‍රී සද්ධර්මය සිහිකරන කොට, ඔය විදිහට ශ්‍රාවක සඟරුවන සිහිකරන කොට, කුසල සහගත උපේක්ෂාවේ සිත පිහිටන්නෙ නැතිවුණොත් භික්ෂුව කලබලයට පත්වෙනවා. සංවේගයට පත්වෙනවා. ‘අයියෝ! මට අලාභයක් ම යි. මට ලාභයක් නම් නොවේ. මට නපුරු ලැබීමක් ම යි. හොඳ ලැබීමක් නම් නොවේ. මං මේ විදිහට බුදු සමිඳුන්ව සිහිකරද්දිත්, ශ්‍රී සද්ධර්මය සිහිකරද්දිත්, ශ්‍රාවක සංඝරත්නය සිහිකරද්දිත් කුසල සහගත උපේක්ෂාවේ මගේ සිත පිහිටන්නේ නැහැ නෙව’ කියල.
ප්‍රිය ආයුෂ්මතුනි, ඒක මේ වගේ දෙයක්. ලේලිට මාමණ්ඩි දැක්කහම ලැජ්ජා හිතෙනවා. සංවේග වෙනවා. ඒ වගේ ම භික්ෂුවත් ඔය විදිහට බුදු සමිඳුන්ව සිහිකරද්දී, ශ්‍රී සද්ධර්මය සිහිකරද්දී, ශ්‍රාවක සංඝරත්නය සිහිකරද්දී, කුසල සහගත උපේක්ෂාවේ සිත පිහිටන්නෙ නැත්නම්, ඒ භික්ෂුව කලබල වෙනවා. සංවේගයට පත්වෙනවා. ‘අයියෝ! මට අලාභයක් ම යි. මට ලාභයක් නම් නොවෙයි. මට නපුරු ලැබීමක් ම යි. හොඳ ලැබීමක් නම් නොවෙයි. මං මේ විදිහට බුදු සමිඳුන්ව සිහිකරද්දිත්, සිරි සදහම් සිහිකරද්දිත්, සඟරුවන සිහිකරද්දිත්, කුසල් සහගත උපේක්ෂාවේ මගේ සිත පිහිටන්නෙ නැහැ නෙව’ කියල.
ප්‍රිය ආයුෂ්මතුනි, ඔය විදිහට භික්ෂුව බුදු සමිඳුන්ව සිහි කරද්දී, සිරි සදහම් සිහිකරද්දී, සඟරුවන සිහිකරද්දී කුසල් සහගත උපේක්ෂාවේ සිත පිහිටියොත් ඔහු ඒ ගැන ගොඩාක් සතුටු වෙනවා. ප්‍රිය ආයුෂ්මතුනි, ඔච්චරකිනුත් භික්ෂුව බුද්ධ ශාසනය තුළ ලොකු දෙයක් කළා වෙනවා.
ප්‍රිය ආයුෂ්මතුනි, දිය වී යන දේවල් (ආපෝ ධාතු) මොනවාද? ආපෝ ධාතුව තමා තුළත් තියෙනවා. බාහිරවත් තියෙනවා. ප්‍රිය ආයුෂ්මතුනි, තමා තුළ තියෙන ආපෝ ධාතු මොනවාද? තමන් තුළ යම් වැගිරෙන, දියවෙන දෙයක් වේ නම් අන්න ඒවා තමයි. ඒ කියන්නේ පිත, සෙම, සැරව, ලේ, දහඩිය, තෙල්මන්ද, කඳුළු, වුරුණු තෙල්, කෙළ, සොටු, සඳමිඳුළු, මූත්‍රා යන මේවාටයි. ඒ වගේම තමන් තුළ තව මොකවත් වැගිරෙන දිය වෙන දේවල් ඇත්නම් ඒවා ඔක්කොම ආපෝ ධාතුව ම යි. ඒ වගේම තමන් තුළ තියෙන ආපෝ ධාතුවත්, බාහිර ආපෝ ධාතුවත් දෙකම ආපෝ ධාතු ම යි. ඉතින් ඔය ආපෝ ධාතුව ‘මගේ නොවේ. මම නොවෙමි. මගේ ආත්මය නොවේ’ කියල දියුණු කරපු ප්‍රඥාවෙන් යථාර්ථය දකින්න ඕන. ඔය විදිහට දියුණු කරපු ප්‍රඥාවෙන් යථාර්ථය දකින කොට ආපෝ ධාතුව ගැන කලකිරෙන්නෙ අවබෝධයෙන් ම යි. එතකොට ආපෝ ධාතුව ගැන සිත ඇලෙන්නෙ නැතුව යනවා.
ප්‍රිය ආයුෂ්මතුනි, බාහිර ආපෝ ධාතුව (වැස්ස, ගංවතුර වගේ දේවල්) කිපෙන අවස්ථාවන් එනවා. එතකොට ගම් යටකරගෙන යනවා. නියම් ගම් යටකරගෙන යනවා. නගර යටකරගෙන යනවා. ජනපදත් යටකරගෙන යනවා. ජනපද ප්‍රදේශත් යටකරගෙන යනවා. ඒ වගේම යි ප්‍රිය ආයුෂ්මතුනි, මහ මුහුදේ යොදුන් සිය ගණන් වතුර හිඳිල යන කාලයක් එනවා. යොදුන් දෙසිය ගණන්, යොදුන් තුන්සිය ගණන්, යොදුන් හාරසිය ගණන්, යොදුන් පන්සිය ගණන්, යොදුන් හයසිය ගණන්, යොදුන් හත්සිය ගණන් වතුර හිඳිල යන කාලයක් එනවා. තල් ගස් හතක උසට වතුර හිඳෙන කාලයක් එනවා. තල් ගස් හයක උසට, තල් ගස් පහක උසට, තල් ගස් හතරක උසට, තල් ගස් තුනක උසට, තල් ගස් දෙකක උසට, එක ම තල් ගසක උසට මහ මුහුදේ වතුර හිඳෙන කාලයක් එනවා. ඒ වගේම ප්‍රිය ආයුෂ්මතුනි, පුරුෂයන් හත් දෙනෙකුගේ උසට මහ මුහුදේ වතුර හිඳෙන කාලයක් එනවා. හය දෙනෙකුගේ උසට, පස් දෙනෙකුගේ උසට, හතර දෙනෙකුගේ උසට, තුන් දෙනෙකුගේ උසට, දෙදෙනෙකුගේ උසට, එක පුරුෂයෙකුගේ උසට වතුර හිඳෙන කාලයක් එනවා. ඒ වගේ ම යි ප්‍රිය ආයුෂ්මතුනි, මිනිහෙකුගේ බාගයක් දක්වා මුහුදේ වතුර හිඳෙන කාලයක් එනවා. ඉණ දක්වා වතුර හිඳෙන කාලයක් එනවා. දණිස් දක්වා වතුර හිඳෙන කාලයක් එනවා. වළලුකර දක්වා වතුර හිඳෙන කාලයක් එනවා. ඒ වගේම ඇඟිලි පුරුකක් තෙමාගන්න බැරි තරමට මහ මුහුදේ වතුර හිඳිල යනවා නම් එබඳු කාලයකුත් එනවා. ප්‍රිය ආයුෂ්මතුනි, මේ සා විශාල මහ වතුර කන්දරාවක, ආපෝ ධාතුවක අනිත්‍යයයි දකින්නට තියෙන්නෙ. ….(පෙ)….
ප්‍රිය ආයුෂ්මතුනි, ඔය විදිහට භික්ෂුව බුදු සමිඳුන්ව සිහිකරද්දිත්, සද්ධර්මය සිහිකරද්දිත්, මහ සඟරුවන සිහිකරද්දිත් කුසල් සහගත උපේක්ෂාවේ සිත පිහිටනවා. එතකොට ඒ භික්ෂුව ඒ ගැන ගොඩාක් සතුටු වෙනවා. ප්‍රිය ආයුෂ්මතුනි, ඔච්චරකිනුත් භික්ෂුව බුද්ධ ශාසනය තුළ ලොකු දෙයක් කරගත්තා වෙනවා.
ප්‍රිය ආයුෂ්මතුනි, උණුසුම් දේවල් (තේජෝ ධාතු) කියන්නෙ මොනවාද? තේජෝ ධාතු තමා තුළත් තියෙනවා. බාහිරවත් තියෙනවා. තමා තුළ තියෙන තේජෝ ධාතු මොනවාද? තමා තුළ යම් රස්නෙ ගතියක්, උණුසුම් ගතියක් තියෙනවා නම්, අන්න ඒවා තමයි. ඒ කියන්නෙ, යම් දෙයකින් රත්වෙන ගතියක් ඇතිවෙනවා නම්, යම් දෙයකින් දිරවනවා නම්, යම් දෙයකින් දාහයක් ඇතිවෙනවා නම්, කාපු බීපු දේවල්, හපපු දේවල්, රස විඳපු දේවල් දිරවල යනවා නම්, තවත් මොනවා හරි රස්නෙ ගතියක්, උණුසුම් ගතියක් තියෙනවා නම්, ප්‍රිය ආයුෂ්මතුනි අන්න ඒවාට තමයි තේජෝ ධාතු කියන්නෙ. තමා තුළ යම් තේජෝ ධාතුවක් ඇද්ද, බාහිර යම් තේජෝ ධාතුවක් ඇද්ද, ඒවා ඔක්කොම තේජෝ ධාතු ම යි. ඒ තේජෝ ධාතුව ‘මගේ නොවේ. මම නොවෙමි. මගේ ආත්මය නොවේ’ කියල දියුණු කරපු ප්‍රඥාවෙන් යථාර්ථය දකින්න ඕන. ඔය විදිහට දියුණු කරපු ප්‍රඥාවෙන් යථාර්ථය දකිනකොට තේජෝ ධාතුව ගැන කළකිරෙන්නෙ අවබෝධයෙන් ම යි. එතකොට තේජෝ ධාතුවෙ සිත ඇලෙන්නෙ නැතුව යනවා.
ප්‍රිය ආයුෂ්මතුනි, ඔය බාහිර තේජෝ ධාතුවත් (ලැව්ගිනි ආදිය ඇති වීමෙන්) කිපෙන කාලයක් එනවා. එතකොට ගම් පිටින් ගිනිගන්නවා. නියම් ගම් ගිනිගන්නවා. නගර ගිනිගන්නවා. ජනපද ගිනිගන්නවා. ජනපද ප්‍රදේශ ගිනිගන්නවා. අන්තිමේදී හොඳට තෙත් වුණු නිල් තණ බිමකට හරි, මහා මාර්ගයකට හරි, ගල් කන්දකට හරි, වතුරක් ළඟට හරි, එළිමහන් වැළි තලාවකට හරි ඒ ගින්න ඇවිදින් ඇවිලෙන්නට දෙයක් නැතුව නිවිල යනවා. ඒ වගේම ප්‍රිය ආයුෂ්මතුනි, කුකුල් පිහාටුවලින්, හම් කෑලිවලින් ගින්දර ටිකක් හොයන කාලෙකුත් එනවා. මේ සා විශාල මහා ගින්නක පවා අනිත්‍ය බවක් ම යි දකින්න ලැබෙන්නෙ. ….(පෙ)….
ප්‍රිය ආයුෂ්මතුනි, එතකොට භික්ෂුව ඔය විදිහට බුදු සමිඳුන් සිහි කරද්දි, සිරි සදහම් සිහිකරද්දී, මහ සඟරුවන සිහි කරද්දී කුසල් සහගත උපේක්ෂාවේ හිත පිහිටනවා නම් ඔහු ඒ ගැන ගොඩාක් සතුටු වෙනවා. ප්‍රිය ආයුෂ්මතුනි, ඔච්චරකිනුත් ප්‍රිය ආයුෂ්මතුනි, ඒ භික්ෂුව බුද්ධ ශාසනය තුළ ලොකු දෙයක් කරගත්තා වෙනවා.
ප්‍රිය ආයුෂ්මතුනි, වායෝ ධාතුව කියන්නෙ මොකක්ද? තමා තුළත් වායෝ ධාතුව තියෙනවා. බාහිරවත් වායෝ ධාතුව තියෙනවා. ප්‍රිය ආයුෂ්මතුනි, තමා තුළ තියෙන වායෝ ධාතුව මොකක්ද? තමා තුළ තිබෙන යම් වාතයක්, හුළං ගතියක් තියෙනවා නම් අන්න ඒක තමයි. ඒ කියන්නෙ උගුරට ඇවිදින් පිට වෙන වාතය තියෙනවා. අධෝ මාර්ගයෙන් පිටවෙන වාතය තියෙනවා. කුසේ වාතය තියෙනවා. බඩවැල් ආදියේ වාතය තියෙනවා. ඇඟ පුරා එහෙ මෙහෙ යන වාතය තියෙනවා. ආශ්වාස ප්‍රශ්වාස කරන වාතය තියෙනවා. තවත් මොනව හරි තමන් තුළ වාතයක්, හුළං ගතියක් තියෙනවා නම් ඒවට කියන්නෙ තමා තුළ තියෙන වායෝ ධාතුව කියලයි. තමා තුළත්, බාහිරත් යම් වායෝ ධාතුවක් ඇද්ද, ඒවා ඔක්කෝම වායෝ ධාතු ම යි. ඒ වායෝ ධාතුව ‘මගේ නොවේ. මම නොවෙමි. මගේ ආත්මය නොවේ’ කියල දියුණු කරපු ප්‍රඥාවෙන් යථාර්ථය දකින්න ඕන. ඔය විදිහට දියුණු කරපු ප්‍රඥාවෙන් යථාර්ථය දකින කොට වායෝ ධාතුව ගැන කලකිරෙන්නෙ අවබෝධයෙන් ම යි, එතකොට වායෝ ධාතුව ගැන හිත ඇලෙන්නෙ නෑ.
ප්‍රිය ආයුෂ්මතුනි, බාහිර වායෝ ධාතුව කිපෙන කාලයක් එනවා. එතකොට ඒ හුළඟින් ගම් පිටින් ගහගෙන යනවා. නියම් ගම් පිටින් ගහගෙන යනවා. නගර පිටින් ගහගෙන යනවා. ජනපද පිටින් ගහගෙන යනවා. ජනපද ප්‍රදේශ පිටින් ගහගෙන යනවා. ඒ වගේම ප්‍රිය ආයුෂ්මතුනි, පායන කාලෙ අන්තිම මාසෙ වෙන කොට අවාන් වලිනුත්, වටාපත් වලිනුත් අමුතුවෙන් හුළං හොයන්න වෙනවා. ඒ කාලෙට තණකොළ ගහක කෙළවරවත් හෙලවෙන්නෙ නෑ. ප්‍රිය ආයුෂ්මතුනි, මේ සා මහත් සුළං තියෙන වායෝ ධාතුවේ අනිත්‍ය බවක් දකින්න ලැබෙනවා. වැනසී යන බවක් දකින්න ලැබෙනවා. වෙනස් වන බවක් දකින්න ලැබෙනවා. එහෙම එකේ මේ ශරීරෙක තියෙන හුළං ඩිංගිත්තකට තණ්හාවෙන් බැඳිල හිට ‘මම කියල, මගේ කියල, මම වෙමි’ කියල ගන්න එක හරි ද? ඒ භික්ෂුවට ඒ විදිහට ගැනීමක් නම් අවබෝධයක් තුළින් ඇතිවෙන්නෙ නෑ.
ප්‍රිය ආයුෂ්මතුනි, ඒ භික්ෂුවට කවුරු හරි බැන්නොත්, අපහාස කළොත්, දොස් කිව්වොත්, රණ්ඩුවට ආවොත් මේ විදිහට තේරුම් ගන්නවා. ඔන්න දැන් මං තුළ කනේ ස්පර්ශය නිසා හටගත්තු දුක් වේදනාවක් උපන්නා. ඒ දුක් වේදනාව හේතූන් නිසා හටගත්තු එකක්. හේතූන් නැතුව නොවෙයි. මොන හේතුවෙන් ද ඒ දුක් වේදනාව හටගත්තෙ? ස්පර්ශය හේතුවෙන්. ඒ භික්ෂුව ස්පර්ශය අනිත්‍යයි කියල දකිනවා. වේදනාවත් අනිත්‍යයි කියල දකිනවා. සඤ්ඤාවත් අනිත්‍යයි කියල දකිනවා. සංස්කාරත් අනිත්‍යයි කියල දකිනවා. විඤ්ඤාණයත් අනිත්‍යයි කියල දකිනවා. ඒ භික්ෂුවගේ හිත ධාතු මනසිකාර භාවනාවෙ බැසගන්නවා. ඒකෙම හිත පහදිනවා. ඒකෙම හිත පිහිටනවා. ඒකම අවබෝධ වෙනවා.
ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුවට කවුරු හරි අයහපත් වූ අකැමති වූ අමනාප දෙයක් කළොත්, අතින් ගැහුවොත්, ගල්වලින් ගැහුවොත්, දඬු මුගුරුවලින් ගැහුවොත්, ආයුධවලින් ගැහුවොත් මේ විදිහට තේරුම් ගන්නවා. ‘මේ ශරීරය ඔය වගේ දේවල් වැදෙන විදිහට හැදිච්ච එකක්. ඒ නිසයි අත්වලින් පහර වදින්නෙ. ගල්වලින් පහර වදින්නෙ. දඬු මුගුරුවලින් පහර වදින්නෙ. ආයුධ වලින් පහර වදින්නෙ. අපගේ භාග්‍යවතුන් වහන්සේ කියත උපමා කොට වදාළ අවවාදයේ දී ඔය ගැන වදාළා නෙව. ‘පින්වත් මහණෙනි, දරුණු හොරු කට්ටියක් ඔබව අල්ලගෙන දෙපැත්තෙ මිට තියෙන කියතකින් ඔබේ ඇඟපත කැපුවොත් එතකොට මනසේ ද්වේෂයක් හටගත්තොත්, ඔබට මගේ අනුශාසනාව සිහිකරන්න බැරුව යනවා කියල. ඒ නිසා මං වීරිය පටන් අරගෙන තියෙන්නෙ. මගේ වීරිය සැඟවිලා නෑ. සිහිය පිහිටලා තියෙන්නෙ. සිහි මුලා වෙලා නෑ. කය සැහැල්ලු වෙලා තියෙන්නෙ. කයේ බරක් නෑ. සිත එකඟ වෙලා තියෙන්නෙ. ඒ නිසා මේ ශරීරයට ඕන තරම් අතුල් පහරවල් වැදුනාවේ. ගල් පහරවල් වැදුනාවේ. දඬු මුගුරු පහරවල් වැදුනාවේ. ආයුධ පහරවල් වැදුනාවේ. මං බුද්ධ ශාසනය දිගටම සිහි කරගෙන යනවා.’
ප්‍රිය ආයුෂ්මතුනි, ඉතින් ඒ භික්ෂුව ඔය විදිහට බුදු සමිඳුන් ගැන සිහි කරද්දි, ඔය විදිහට සිරි සදහම් සිහි කරද්දි, මහ සඟරුවන සිහි කරද්දි, කුසල් සහගත උපේක්ෂාවේ සිත පිහිටන්නෙ නැත්නම්, ඒ භික්ෂුව කලබල වෙනවා. සංවේගයට පත්වෙනවා. ‘අයියෝ! මට අලාභයක් ම යි. ලාභයක් නම් නොවේ. මට නපුරු ලැබීමක් ම යි. හොඳ ලැබීමක් නම් නොවේ. මං මේ විදිහට බුදු සමිඳුන්ව සිහි කරද්දි, සිරි සදහම් සිහි කරද්දි, සඟරුවන සිහි කරද්දි මගේ සිත කුසල සහගත උපේක්ෂාවේ පිහිටන්නේ නෑ නෙව’ කියලා.
ප්‍රිය ආයුෂ්මතුනි, ඒක මේ වගේ දෙයක්. මාමණ්ඩිය දැකල ලේලිය ලැජ්ජා වෙනවා වගේ. සංවේග වෙනවා වගේ. ඔය විදිහට ම ප්‍රිය ආයුෂ්මතුනි, ඒ භික්ෂුවට බුදු සමිඳුන්ව සිහි කරද්දි, සිරි සදහම් සිහි කරද්දි, මහ සඟරුවන සිහි කරද්දි, කුසල් සහගත උපේක්ෂාවේ සිත පිහිටන්නෙ නැත්නම් ඒ භික්ෂුව කලබල වෙනවා. සංවේගයට පත්වෙනවා. ‘අයියෝ! මට අලාභයක් ම යි. ලාභයක් නම් නොවෙයි. මට නපුරු ලැබීමක් ම යි. හොඳ ලැබීමක් නම් නොවෙයි. මං මේ විදිහට බුදු සමිඳුන් සිහි කරද්දිත්, සිරි සදහම් සිහි කරද්දිත්, මහ සඟරුවන ද සිහිකරද්දිත්, කුසල් සහගත උපේක්ෂාවේ හිත පිහිටන්නෙ නැහැ නෙව’ කියල.
ඒ වගේම ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුව ඔය විදිහට බුදු සමිඳුන්ව සිහි කරද්දි, සිරි සදහම් සිහිකරද්දී, මහ සඟරුවන සිහි කරද්දී කුසල් සහගත උපේක්ෂාවේ හිත පිහිටියොත් ඔහු ඒ ගැන ගොඩාක් සතුටු වෙනවා. ප්‍රිය ආයුෂ්මතුනි, ඔච්චරකිනුත් ඒ භික්ෂුව බුද්ධ ශාසනය තුළ ලොකු දෙයක් කළා වෙනවා.
ප්‍රිය ආයුෂ්මතුනි, ලී දඬු එකතු කරල, වැල් එකතු කරල, තණකොළත් මැටිත් එකතු කරල අහුරගත්තු අවකාශයටයි ගේ කියල කියන්නෙ. ඒ වගේම ප්‍රිය ආයුෂ්මතුනි, ඇට එකතු වෙලා, නහර වැල් එකතු වෙලා, මස් එකතු වෙලා, හම එකතු වෙලා ඇහිරිච්ච අවකාශයටයි ‘රූපය’ කියල කියන්නෙ.
ප්‍රිය ආයුෂ්මතුනි, තමාගේ ඇස බිඳිලත් නැත්නම්, බාහිර රූප ඇස් ඉදිරියේ පෙනෙන්නත් නැත්නම්, ඊට අදාළ මනසිකාරයකුත් නැත්නම්, ඒ තාක්ම ඊට අදාළ විඤ්ඤාණයේ පහළ වීමකුත් වෙන්නෙ නෑ.
ප්‍රිය ආයුෂ්මතුනි, තමාගේ ඇස බිඳිලත් නැත්නම්, බාහිර රූපත් ඇස් ඉදිරියේ තියෙනවා නම්, නමුත් ඊට අදාළ මනසිකාරය නැත්නම් ඒ තාක්ම ඊට අදාළ විඤ්ඤාණයේ පහළ වීමකුත් වෙන්නෙ නෑ.
ප්‍රිය ආයුෂ්මතුනි, තමන්ගේ ඇස බිඳිලත් නැත්නම්, බාහිර රූපත් ඇස් ඉදිරියේ තියෙනවා නම්, ඊට අදාළ මනසිකාරයකුත් තියෙනවා නම්, අන්න එතකොට ඊට අදාළ විඤ්ඤාණයකුත් පහළ වෙනවා. ඒ විදිහට එකතු වුන කෙනෙකුගේ යම් රූපයක් ඇද්ද, ඒක රූප උපාදානස්කන්ධයට ඇතුළත් වෙනවා. ඒ විදිහට එකතු වුන කෙනෙකුගේ යම් විඳීමක් ඇද්ද, ඒක වේදනා උපාදානස්කන්ධයට ඇතුළත් වෙනවා. ඒ විදිහට එකතු වුන කෙනෙකුගේ යම් සඤ්ඤාවක් ඇද්ද, ඒක සඤ්ඤා උපාදානස්කන්ධයට ඇතුළත් වෙනවා. ඒ විදිහට එකතු වුන කෙනෙකුගේ යම් සංස්කාර ඇද්ද, ඒවා සංස්කාර උපාදානස්කන්ධයට ඇතුළත් වෙනවා. ඒ විදිහට එකතු වුන කෙනෙකුගේ යම් විඤ්ඤාණයක් ඇද්ද, ඒක විඤ්ඤාණ උපාදානස්කන්ධයට ඇතුළත් වෙනවා. එතකොට ඔහු මේ විදිහට තේරුම් ගන්නවා. මේ පංච උපාදානස්කන්ධය එකට එකතු වෙන්නෙ මේ විදිහට නෙව. එකට රැස් වෙන්නෙ මේ විදිහට නෙව. එකට පවතින්නෙ මේ විදිහට නෙව. ඒ නිසා තමයි අපගේ භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට වදාළේ ‘යමෙක් පටිච්චසමුප්පාදය දකී නම් ඔහු ධර්මය දකිනවා. යමෙක් ධර්මය දකී නම් ඔහු පටිච්චසමුප්පාදය දකිනවා’ කියලා. මේ පංච උපාදානස්කන්ධය කියල කියන්නෙ හේතූන් නිසා හටගත්තු දෙයක්. මේ පංච උපාදානස්කන්ධය ගැන යම් කිසි ආශාවක්, යම් ආලයක්, යම් සෙනෙහසක්, ආශාවෙන් බැසගැනීමක් තියෙනවා නම් ඒක තමයි දුකේ හටගැනීම. මේ පංච උපාදානස්කන්ධය ගැන තියෙන ඡන්ද රාගය දුරු කරගත්තොත්, ඡන්ද රාගය ප්‍රහාණය වුණොත් ඒක තමයි දුක් නැතිවීම. ප්‍රිය ආයුෂ්මතුනි, ඔච්චරකිනුත් ඒ භික්ෂුව බුද්ධ සාසනේ තුළ ලොකු දෙයක් කරගත්තා වෙනවා.
ප්‍රිය ආයුෂ්මතුනි, තමන්ගේ කන බිඳිලත් නැත්නම් ….(පෙ)…. නාසය බිඳිලත් නැත්නම් ….(පෙ)…. දිව බිඳිලත් නැත්නම් ….(පෙ)…. කය බිඳිලත් නැත්නම් ….(පෙ)…. තමාගේ මනස බිඳිලත් නැත්නම් බාහිර අරමුණු මනස ඉදිරියට පැමිණිලත් නැත්නම්, ඊට අදාළ මනසිකාරයත් නැත්නම්, ඒ තාක්ම ඊට අදාළ විඤ්ඤාණය පහළ වෙන්නෙ නෑ.
ප්‍රිය ආයුෂ්මතුනි, තමාගේ මනස බිඳිලත් නැත්නම්, බාහිර අරමුණු මනස ඉදිරියට ඇවිල්ල තියෙනවා නම්, නමුත් ඊට අදාළ මනසිකාරය නැත්නම් ඒ තාක්ම ඊට අදාළ විඤ්ඤාණය පහළ වෙන්නෙ නෑ.
ප්‍රිය ආයුෂ්මතුනි, යම් දවසක තමන්ගේ මනස බිඳිලත් නැත්නම්, බාහිර අරමුණුත් මනස ඉදිරියේ තියෙනවා නම්, ඊට අදාළ මනසිකාරයකුත් තියෙනවා නම්, අන්න එතකොටයි ඊට අදාළ විඤ්ඤාණයේ පහළ වීම වෙන්නෙ. ඒ විදිහට එකතුවුන කෙනාගේ යම් රූපයක් ඇත්නම්, ඒක රූප උපාදානස්කන්ධයට ඇතුළත් වෙනවා. ඒ විදිහට එකතු වුන කෙනාගේ යම් විඳීමක් ඇත්නම්, ඒක වේදනා උපාදානස්කන්ධයට ඇතුළත් වෙනවා. ඒ විදිහට එකතු වුන කෙනාගේ යම් හඳුනාගැනීමක් ඇත්නම්, ඒක සඤ්ඤා උපාදානස්කන්ධයට ඇතුළත් වෙනවා. ඒ විදිහට එකතු වුන කෙනාගේ යම් සංස්කාර ඇත්නම්, ඒවා සංස්කාර උපාදානස්කන්ධයට ඇතුළත් වෙනවා. ඒ විදිහට එකතු වෙච්ච කෙනාගේ යම් විඤ්ඤාණයක් ඇත්නම්, ඒක විඤ්ඤාණ උපාදානස්කන්ධයට ඇතුළත් වෙනවා. භාග්‍යවතුන් වහන්සේ ඒ නිසයි ඒ ගැන මෙහෙම වදාළේ, ‘යමෙක් පටිච්චසමුප්පාදය දකී නම්, ඔහු ධර්මය දකිනවා. යමෙක් ධර්මය දකිනවා නම් ඔහු පටිච්චසමුප්පාදය දකිනවා’ කියලා. මේ පංච උපාදානස්කන්ධය කියන්නෙ පටිච්චසමුප්පාදය තුළ හැදෙන එකක්. ඉතින් මේ පංච උපාදානස්කන්ධය ගැන ආශාව තිබුනොත්, ආලය තිබුනොත්, සෙනෙහස තිබුනොත්, ආශාවෙන් බැස ගැනීම තිබුනොත් ඒක තමයි දුකේ හටගැනීම. මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි තියෙන ඡන්ද රාගය දුරු වුනොත්, ඡන්ද රාගය ප්‍රහාණය වුනොත් ඒක තමයි දුක් නැතිවීම. ප්‍රිය ආයුෂ්මතුනි, ඔච්චරකිනුත් ඒ භික්ෂුව බුද්ධ ශාසනය තුළ ලොකු දෙයක් කරගත්තා වෙනවා.
ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ මෙය වදාළා. මේ දේශනාවට සවන් දුන් ඒ භික්ෂූන් වහන්සේලා මේ ගැන ගොඩාක් සතුටු වුනා. ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ වදාළ මේ දේශනය සාදු නාද නංවමින් සතුටින් පිළිගත්තා.
සාදු! සාදු!! සාදු!!!
ඇතෙකු ගේ පියවර සටහන උපමා කොට වදාළ විස්තරාත්මක දෙසුම නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn1_1-3-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M