මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දවස්වල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. එදා ජානුස්සෝණි බ්‍රාහ්මණයා සුදුම සුදු වෙළඹුන් යෙදූ රථයකින් දවල් කාලෙ සැවැත් නුවර බලා ගමන් කළා.
ජානුස්සෝණි බ්‍රාහ්මණයා දුර සිටම එන පිලෝතික තවුසාව දැක්කා. දැකලා පිලෝතික තවුසාට මෙහෙම කිව්වා.
“පින්වත් වච්ඡායන, මේ මහ දවල් කොහෙ ඉඳල එන ගමන්ද?”
“පින්වත, මම මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ළඟ ඉඳල එන ගමන්.”
“පින්වත් වච්ඡායන, මේ ගැන මොකද හිතන්නෙ? ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ප්‍රඥා මහිමය ගැන, බුද්ධිමත් බව ගැන මොකක්ද හිතන්නෙ?”
“පින්වත, ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ප්‍රඥා මහිමය ගැන දැන ගන්න මම කවුද? යමෙක් දැනගන්නවා නම්, එයත් ඉතින් ඒ විදිහේ ම කෙනෙක් වෙන්න ඕන.”
“පින්වත් වච්ඡායන ශ්‍රමණ ගෞතමයන් වහන්සේට මහා උදාර විදිහට ප්‍රශංසා කරනවා නෙව.”
“පින්වත, ශ්‍රමණ ගෞතමයන් වහන්සේට ප්‍රශංසා කරන්න මම කවුද?
ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ප්‍රශංසා ලබන අය අතරෙත් ප්‍රශංසනීයයි. දෙවි මිනිසුන් අතර ශ්‍රේෂ්ඨයි.”
“පින්වත් වච්ඡායන, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ගැන ඔච්චර පැහැදුනේ මොන වගේ දෙයක් දැකලද?”
“පින්වත, ඒක මේ වගේ දෙයක්. ඇතුන් ඉන්න වනාන්තරයේ ඇත්පිය හඳුනාගැනීමෙහි දක්ෂ මිනිසෙක් ඉන්නවා. ඔහු දවසක් ඒ ඇත් වනයට ඇතුල් වෙනවා. ඔහුට ඒ වනයේදී දකින්න ලැබුනා ලොකු ඇත් පියවර සටහනක්. දිගින්, පළලින් හරි ලොකුයි. ඉතින් ඔහු නිශ්චයකට පැමිණුනා, ‘භවත්නි, මේ පිය සටහන අයත් ඇතා ඒකාන්තයෙන්ම මහා හස්තියෙක්’ කියලා. පින්වත, අන්න ඒ විදිහමයි මමත් ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ පියවර සටහන් හතරක් දැක්කා. මමත් ඊට පස්සෙ නිශ්චයකට පැමිණුනා, ‘භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ස්වාක්ඛාතයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඟ පිරිස සුපටිපන්නයි’ කියල.
මොනවද ඒ පියවර සටහන් හතර?
(1)
පින්වත, මං දැකලා තියෙනවා සමහර ක්ෂත්‍රිය පණ්ඩිතයන්. ඔවුන් හරි දක්ෂයි. වාද විවාද කරනවා අස්ලොමින් විදින දුනුවායන් වගේ. ඔවුන්ගේ ප්‍රඥාවෙන් දෘෂ්ටි බිඳිනවා වගෙයි හැසිරෙන්නෙ. ඔවුන්ට ආරංචි වෙනවා ‘අන්න! ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අසවල් ගමට, අසවල් නියම් ගමට වැඩම කරනවලු’ කියලා. එතකොට ඔවුන් ප්‍රශ්න ගොතනවා. ‘අපි මේ ප්‍රශ්න ශ්‍රමණ ගෞතමයන්ගෙන් අහමු. එතකොට අපට මේ විදිහට උත්තර දේවි. එතකොට අපි වාදෙ පටන් ගම්මු. එතකොට මේ විදිහට විසඳන්න බලාවි. එතකොට අපි මේ විදිහට වාදෙ පටන් ගමු’ කියලා.
ඉතින් ඔවුන්ට ආරංචි වෙනවා ‘අන්න ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අසවල් ගමට, අසවල් නියම් ගමට වැඩම කරල ඉන්නවා’ කියලා. ඔවුන් ශ්‍රමණ ගෞතමයන් වහන්සේව හොයාගෙන යනවා. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ඔවුන්ට ධර්මය කියා දෙනවා. ධර්මයේ සමාදන් කරවනවා. ධර්මයේ උනන්දු කරවනවා. ධර්මයෙන් සතුටු කරවනවා. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ විසින් ධර්මය කියා දීපු, ධර්මයේ සමාදන් කරවපු, ධර්මයේ උනන්දු කරවපු, ධර්මයෙන් සතුටු කරවපු ඒ උදවිය ශ්‍රමණ ගෞතමයන් වහන්සේගෙන් ප්‍රශ්න අහන්නෙ නෑ. කොහොම නම් වාද හටගන්නද? අන්තිමේදී ඒ අය ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකයො බවට පත්වෙනවා. ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ඔය පළවෙනි පියවර සටහන මම දැක්කා. අන්න එතකොටයි මං නිශ්චයකට ආවේ ‘භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ස්වාක්ඛාතයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සුපටිපන්නයි’ කියලා.
(2)
පින්වත, ඊළඟ පියවර සටහන ගැන කියනවා නම්, මං දැකලා තියෙනවා සමහර බ්‍රාහ්මණ පණ්ඩිතයන්. ඔවුන් හරි දක්ෂයි. වාද විවාද කරනවා අස්ලොමින් විදින දුනුවායන් වගේ. ඔවුන්ගේ ප්‍රඥාවෙන් දෘෂ්ටි බිඳිනවා වගෙයි හැසිරෙන්නෙ. ඔවුන්ට ආරංචි වෙනවා ‘අන්න! ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අසවල් ගමට, අසවල් නියම් ගමට වැඩම කරනවලු’ කියල. එතකොට ඔවුන් ප්‍රශ්න ගොතනවා. ‘අපි මේ ප්‍රශ්නය ශ්‍රමණ ගෞතමයන්ගෙන් අහමු. එතකොට අපට මේ විදිහට උත්තර දේවි. එතකොට අපි වාදෙ පටන් ගම්මු. එතකොට මේ විදිහට විසඳන්න බලාවි. එතකොට අපි මේ විදිහට වාදෙ පටන් ගමු’ කියලා.
ඉතින් ඔවුන්ට ආරංචි වෙනවා ‘අන්න ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අසවල් ගමට, අසවල් නියම් ගමට වැඩම කරල ඉන්නවා’ කියලා. ඔවුන් ශ්‍රමණ ගෞතමයන් වහන්සේව හොයා ගෙන යනවා. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ඔවුන්ට ධර්මය කියා දෙනවා. ධර්මයේ සමාදන් කරවනවා. ධර්මයේ උනන්දු කරවනවා. ධර්මයෙන් සතුටු කරවනවා. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ විසින් ඔය විදිහට ධර්මය කියා දීපු, ධර්මයේ සමාදන් කරවපු, ධර්මයේ උනන්දු කරවපු, ධර්මයෙන් සතුටු කරවපු ඒ උදවිය ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ගෙන් ප්‍රශ්න අහන්නෙ නෑ. කොහොම නම් වාද හටගන්නද? අන්තිමේදී ඒ අය ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකයො බවට පත්වෙනවා. ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ඔය දෙවෙනි පියවර සටහන මම දැක්කා. අන්න එතකොටයි මං නිශ්චයකට ආවේ ‘භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ස්වාක්ඛාතයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සුපටිපන්නයි’ කියලා.
(3)
පින්වත, ඊළඟ පියවර සටහන ගැන කියනවා නම්, මං දැකලා තියෙනවා සමහර ගිහි පණ්ඩිතයන්. ඔවුන් හරි දක්ෂයි. වාද විවාද කරනවා අස්ලොමින් විදින දුනුවායන් වගේ. ඔවුන්ගේ ප්‍රඥාවෙන් දෘෂ්ටි බිඳිනවා වගෙයි හැසිරෙන්නෙ. ඔවුන්ට ආරංචි වෙනවා ‘අන්න! ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අසවල් ගමට, අසවල් නියම් ගමට වැඩම කරනවලු’ කියල. එතකොට ඔවුන් ප්‍රශ්න ගොතනවා. ‘අපි මේ ප්‍රශ්න ශ්‍රමණ ගෞතමයන්ගෙන් අහමු. එතකොට අපට මේ විදිහට උත්තර දේවි. එතකොට අපි වාදෙ පටන් ගම්මු. එතකොට මේ විදිහට විසඳන්න බලාවි. එතකොට අපි මේ විදිහට වාදෙ පටන් ගමු’ කියලා.
ඉතින් ඔවුන්ට ආරංචි වෙනවා ‘අන්න ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අසවල් ගමට, අසවල් නියම් ගමට වැඩම කරල ඉන්නවා’ කියලා. ඔවුන් ශ්‍රමණ ගෞතමයන් වහන්සේව හොයාගෙන යනවා. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ඔවුන්ට ධර්මය කියා දෙනවා. ධර්මයේ සමාදන් කරවනවා. ධර්මයේ උනන්දු කරවනවා. ධර්මයෙන් සතුටු කරවනවා. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ විසින් ධර්මය කියා දීපු, ධර්මයේ සමාදන් කරවපු, ධර්මයේ උනන්දු කරවපු, ධර්මයෙන් සතුටු කරවපු ඒ උදවිය ශ්‍රමණ ගෞතමයන් වහන්සේගෙන් ප්‍රශ්න අහන්නෙ නෑ. කොහොම නම් වාද හටගන්නද? අන්තිමේදී ඒ අය ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකයො බවට පත්වෙනවා. ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ඔය තුන්වෙනි පියවර සටහන මම දැක්කා. අන්න එතකොටයි මං නිශ්චයකට ආවේ ‘භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ස්වාක්ඛාතයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඟ පිරිස සුපටිපන්නයි’ කියලා.
(4)
පින්වත, තවත් පියවර සටහනක් ගැන කියනවා නම්, මං දැකලා තියෙනවා සමහර ශ්‍රමණ පණ්ඩිතයන්. ඔවුන් හරිම දක්ෂයි. වාද විවාද කරනවා අස්ලොමින් විදින දුනුවායන් වගේ. ඔවුන්ගේ ප්‍රඥාවෙන් දෘෂ්ටි බිඳිනවා වගෙයි හැසිරෙන්නෙ. ඔවුන්ට ආරංචි වෙනවා ‘අන්න! ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අසවල් ගමට, අසවල් නියම් ගමට වැඩම කරනවලු’ කියලා. එතකොට ඔවුන් ප්‍රශ්න ගොතනවා. ‘අපි මේ ප්‍රශ්න ශ්‍රමණ ගෞතමයන්ගෙන් අහමු. එතකොට අපට මේ විදිහට උත්තර දේවි. එතකොට අපි වාදෙ පටන් ගම්මු. එතකොට මේ විදිහට විසඳන්න බලාවි. එතකොට අපි මේ විදිහට වාදෙ පටන් ගමු’ කියලා.
ඉතින් ඔවුන්ට ආරංචි වෙනවා ‘අන්න ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අසවල් ගමට, අසවල් නියම් ගමට වැඩම කරල ඉන්නවා’ කියලා. ඔවුන් ශ්‍රමණ ගෞතමයන් වහන්සේව හොයාගෙන යනවා. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ඔවුන්ට ධර්මය කියා දෙනවා. ධර්මයේ සමාදන් කරවනවා. ධර්මයේ උනන්දු කරවනවා. ධර්මයෙන් සතුටු කරවනවා. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ විසින් ධර්මය කියා දීපු, ධර්මයේ සමාදන් කරවපු, ධර්මයේ උනන්දු කරවපු, ධර්මයෙන් සතුටු කරවපු ඒ උදවිය ශ්‍රමණ ගෞතමයන් වහන්සේගෙන් ප්‍රශ්න අහන්නෙ නෑ. කොහොම නම් වාද හටගන්නද? ශ්‍රමණ ගෞතමයන් වහන්සේගෙන් බුදු සසුනේ පැවිදි බව ඉල්ලනවා. ඉතින් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ඒ පින්වතුන්ව පැවිදි කරවනවා. උපසම්පදා කරවනවා. උතුම් පැවිදි බව ලැබූ ඒ පින්වතුන් වහන්සේලා හුදෙකලා වෙනවා. අප්‍රමාදී වෙනවා. සිහියෙන් යුක්ත වෙනවා. කෙලෙස් තවන වීරියෙන් යුක්ත වෙනවා. නිවන පිණිස සිත යොමු කරනවා. මේ ලෝකයේ පින්වත් කුලපුත්‍රයන් බුදු සසුනක මහණ වෙන්නෙ යම් කරුණක් පිණිස ද, අන්න ඒ අනුත්තර බඹසර සම්පූර්ණ කරගෙන, මේ ජීවිතයේ දී ම තමන්ගේ ම අවබෝධයෙන් උතුම් අරහත්වයට පැමිණිලා වාසය කරනවා. ඊට පස්සේ උන්වහන්සේලා මෙහෙමයි කියන්නෙ. ‘අහෝ පින්වත්නි! අපි පුදුම බේරිල්ලක්නෙ බේරුනේ. අහෝ පින්වත්නි! අපි පුදුම බේරිල්ලක්නෙ බේරුණේ. අපි ඉස්සර ඇත්තෙන් ම ශ්‍රමණයො නොවෙයි. නමුත් අපි ශ්‍රමණයො වගේ පෙනී හිටියා. ඉස්සර අපි ඇත්තෙන්ම බ්‍රාහ්මණයොත් නෙමෙයි. නමුත් බ්‍රාහ්මණයො වගේ පෙනී හිටියා. ඉස්සර අපි රහත් නොවීම රහතන් වහන්සේලා හැටියට පෙනී හිටියා. දැන් තමයි අපි නියම ශ්‍රමණයො. දැන් තමයි අපි නියම බ්‍රාහ්මණයො. දැන් තමයි අපි හැබෑම රහතුන් වහන්සේලා’ කියලා. පින්වත, ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ඔය හතරවෙනි පියවර සටහනත් මම දැක්කා. අන්න එතකොටයි මං නිශ්චයකට ආවේ ‘භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ස්වාක්ඛාතයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සුපටිපන්නයි’ කියලා.
පින්වත, මම යම් දවසක ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ඔය පියවර සටහන් හතර දැක්ක ද, අන්න එතකොටයි මං නිශ්චයකට ආවෙ ‘භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ස්වාක්ඛාතයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සුපටිපන්නයි’ කියලා.”
පිලෝතික තාපසයා ඔය විදිහට කිව්වාම ජානුස්සෝණි බ්‍රාහ්මණයා සුදුම සුදු වෙළඹුන් යෙදූ අශ්ව රථයෙන් බැස්සා. උතුරු සළුව එක් පැත්තකට පොරෝගත්තා. භාග්‍යවතුන් වහන්සේ වැඩසිටින දිශාවට වැඳගත්තා. මහත් සතුටින් තුන් වරක් උදම් ඇනුවා. “ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! අනේ අපටත් කවද හරි දවසක පින්වත් ගෞතමයන් වහන්සේව ඇසුරු කරන්න ලැබෙනවා නම් කොයිතරම් දෙයක්ද? උන්වහන්සේ සමඟ කතා බස් කරන්න ලැබෙනවා නම් කොයිතරම් දෙයක්ද?”
ඊට පස්සෙ ජානුස්සෝණි බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේව හොයාගෙන ගියා. ගිහින් භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු සාමීචි කතා බහේ යෙදුනා. එකත්පස්ව වාඩිවුනා. එකත්පස්ව වාඩිවුන ජානුස්සෝණි බ්‍රාහ්මණයා පිලෝතික තාපසයත් සමඟ ඇතිවෙච්ච කතා බහ ඔක්කොම භාග්‍යවතුන් වහන්සේට සැළකළා.
එතකොට භාග්‍යවතුන් වහන්සේ ජානුස්සෝණි බ්‍රාහ්මණයාට මෙහෙම වදාළා. “නෑ, පින්වත් බ්‍රාහ්මණය, ඔච්චරකින් ඇත් පියවර සටහනේ උපමාව ගැන සම්පූර්ණ විස්තරයක් ලැබෙන්නෙ නෑ. පින්වත් බ්‍රාහ්මණය, ඔය ඇත් පියවර සටහනේ උපමාව ගැන විස්තර වශයෙන් මෙන්න මේ විදිහටයි කියන්න තියෙන්නෙ. හොඳට අහගෙන ඉන්න. නුවණින් තේරුම් ගන්න. මං කියල දෙන්නම්” කියල. “එහෙමයි, පින්වතුන් වහන්ස” කියල ජාණුස්සෝණි බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට වදාළා.
“පින්වත් බ්‍රාහ්මණය, ඔන්න ඇත් වනයක වාසය කරන මිනිහෙක් ඉන්නවා. එයා ඇත් වනයෙදී ලොකු ඇත් පියවර සටහනක් දකිනවා. ඒක හොඳ දිග පළල තියෙන පියවර සටහනක්. නමුත් ඇතුන් ගැන දැනගන්න දක්ෂ කෙනා ඒ පියවර සටහන දැක්ක පමණින් “පින්වත්නි, මේ නම් මහා ඇතෙක්” කියල නිශ්චයකට පැමිණෙන්නෙ නෑ. ඒකට හේතුව මොකක්ද? පින්වත් බ්‍රාහ්මණය, ඇත් වනයේ ඉන්නවා ‘වාමනිකා’ කියල මහා පියවර සටහන් තියෙන ඇතින්නියො ජාතියක්. මේ නම් ඔවුන්ගෙ පියවර සටහනක් වෙන්න ඕන කියලා. ඒ පුද්ගලයා තවදුරටත් හොයනවා. තවදුරටත් හොයාගෙන යද්දී ඔහුට ඒ ඇත් වනයේ දිග පළල තියෙන ලොකු ඇත් පියවරක් දකින්න ලැබෙනවා. ගස්වල උසට පිට අතුල්ලපු තැන් දකින්න ලැබෙනවා. නමුත් ඇතුන් ගැන හොයන්න දක්ෂ කෙනා එහෙම දැක්ක පමණින් ‘පින්වතුනි, මේ නම් මහා ඇතෙක්නෙ’ කියල නිශ්චයකට පැමිණෙන්නෙ නෑ. ඒකට හේතුව මොකක්ද? පින්වත් බ්‍රාහ්මණය, ඇත් වනයෙ ඉන්නවා ‘උච්චා කාළාරිකා’ කියන ලොකු පියවර සටහන් තියෙන ඇතින්නියො ජාතියක්. මේ නම් ඔවුන්ගෙ පියවර සටහනක් වෙන්න ඕන කියලා. ඒ පුද්ගලය තවදුරටත් හොයනවා. තවදුරටත් හොයාගෙන යද්දී ඔහුට ඒ ඇත් වනයෙ දිග පළල තියෙන තවත් ලොකු ඇත් පියවරක් දකින්න ලැබෙනවා. ගස්වල උසට පිට අතුල්ලපු තැන් දකින්න ලැබෙනවා. දළ දෙකෙන් ඇනපු තැන් දකින්ට ලැබෙනවා. නමුත් ඇතුන් ගැන දැනගන්න දක්ෂ කෙනා ඒ ලකුණු දැක්ක පමණින් ‘පින්වත්නි, මේ නම් මහා ඇතෙක්’ ය කියල නිශ්චයකට එන්නෙ නෑ. ඒකට හේතුව මොකක්ද? පින්වත් බ්‍රාහ්මණය, ඇත් වනයෙ ඉන්නවා ‘උච්චා කණේරුකා’ කියල ලොකු පියවර සටහන් තියෙන ඇතින්නියො ජාතියක්. මේ නම් ඔවුන්ගේ පියවර සටහනක් වෙන්න ඕන කියලා. ඒ පුද්ගලයා තවදුරටත් හොයනවා. තවදුරටත් හොයාගෙන යද්දි ඒ ඇත් වනයේ හොඳට දිග පළල තියෙන ලොකු ඇත් පියවරක් දකින්න ලැබෙනවා. ගස්වල උසට පිට අතුල්ලපු තැනුත් දකින්න ලැබෙනවා. දළවලින් ඇනපු තැන් දකින්න ලැබෙනවා. උස ගස්වල අතු රිකිලි කඩපු තැන් දකින්න ලැබෙනවා. ඒ වගේම ඔහුට ඒ ඇතා ගහක් යට හරි, එළිමහනෙ හරි ඉන්නවා දකින්න ලැබෙනවා. ඒ ඇතා ඇවිදිනවා හරි, හිටගෙන ඉන්නවා හරි, ලගිනවා හරි, හාන්සි වෙනවා හරි දකින්න ලැබෙනවා. ඔහු එතකොටයි නිශ්චයකට එන්නෙ ‘මේ තමයි මහා ඇත් රජා’ කියලා.
පින්වත් බ්‍රාහ්මණය, ඔය විදිහම යි. මේ ලෝකයේ තථාගතයන් වහන්සේ නමක් පහල වෙනවා. උන්වහන්සේ අරහත්. සම්මා සම්බුද්ධයි. විජ්ජා චරණ සම්පන්නයි. සුගතයි. ලෝකවිදූයි. අනුත්තර පුරිසදම්ම සාරථී, සත්ථා දේව මනුස්සානං, බුද්ධ, භගවා යන ගුණයන්ගෙන් යුතුයි. උන්වහන්සේ මේ දෙවියන් සහිත ලෝකයේ, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත, දෙව් මිනිස් ප්‍රජාව තුළ තමන්ගේ ම ප්‍රඥාවෙන් අවබෝධ කරගෙන කියල දෙනවා. උන්වහන්සේ ධර්මය දේශනා කරනවා. ඒ ධර්මයේ පටන් ගැනීමත් සුන්දරයි. මැදත් සුන්දරයි. අවසානයත් සුන්දරයි. අර්ථ සහිතයි. පැහැදිලි වචනවලින් යුක්තයි. මුළුමනින්ම පරිපූර්ණ වූ පාරිශුද්ධ වූ නිවන් මග කියා දෙනවා.
ගිහි ජීවිතේ ගෙවන පින්වත් කෙනෙකුට ඒ නිවන් මග කියල දෙන ධර්මය අහන්න ලැබෙනවා. ඒ ධර්මය අහල තථාගතයන් වහන්සේ ගැන ශ්‍රද්ධාව ඇතිවෙනවා. ඒ ශ්‍රද්ධාවෙන් යුක්ත ඔහු මේ විදිහට නුවණින් විමසන්න පටන් ගන්නවා. ‘ගිහි ජීවිතේ ගෙවන එක හරිම කරදරයි. කෙලෙස් සහිත මාර්ගයක් නෙව. නමුත් පැවිද්ද නම් ආකාසෙ වගෙයි. මේ ගිහි ජීවිතේ ගත කරගෙන නම් ඒකාන්ත පිරිපුන් වූ, ඒකාන්ත පිරිසිදු වූ සුදෝ සුදු වූ මේ උතුම් බඹසර හැසිරෙන එක ලේසි වැඩක් නොවෙයි. ඒ නිසා මට කරන්න තියෙන්නෙ කෙස් රැවුල් බාල, කසාවත් පොරෝගෙන, ගිහි ජීවිතේ අත්හැරලා මහණ වෙන එක තමයි’ කියල. ඔහු පස්සෙ දවසක ටිකක් හෝ ගොඩක් හෝ තියෙන වස්තුව අත්හරිනවා. ටිකක් හෝ ගොඩක් හෝ ඉන්න ඤාති පිරිස අත්හරිනවා. කෙස් රැවුල් බානවා. කසාවත් පොරවනවා. ගිහි ජීවිතේ අත්හැරලා මහණ වෙනවා.
ඔය විදිහට උතුම් පැවිදි ජීවිතේ ලැබුවට පස්සේ භික්ෂූන් වහන්සේලා ආරක්ෂා කරන ශික්ෂා පද තමනුත් රකිනවා. ප්‍රාණඝාතය දුරු කරනවා. ප්‍රාණඝාතයෙන් වළකිනවා. දඬු මුගුරු අත්හරිනවා. අවි ආයුධ අත්හරිනවා. ප්‍රාණඝාතය ගැන ලැජ්ජා වෙනවා. සතුන් කෙරෙහි දයාවන්ත වෙනවා. සියලු සතුන් කෙරෙහි හිතානුකම්පී වෙනවා. හොරකම අත්හරිනවා. හොරකමින් වළකිනවා. දුන් දේ විතරක් ගන්නවා. දුන් දේ ගැනීම විතරක් කැමති වෙනවා. සොරකමින් තොර වෙලා පිරිසිදු සිතින් වාසය කරනවා.
අබ්‍රහ්මචාරී බව අත්හරිනවා. බ්‍රහ්මචාරී වෙනවා. අයහපත් හැසිරීමෙන් දුරුවෙනවා. ලාමක දෙයක් වන මෛථූනයෙන් වළකිනවා.
බොරු කීම අත්හරිනවා. බොරු කීමෙන් වළකිනවා. සත්‍යවාදී වෙනවා. ඇත්තෙන් ඇත්ත ගලපලා කතා කරනවා. ස්ථිර වචන කියනවා. ඇදහිය යුතු දේ කියනවා. ලෝකයා අවුල් වෙන දේ කියන්නෙ නෑ.
කේළම අත්හරිනවා. කේළමින් වළකිනවා. මෙතනින් අහල මේ අය බිඳවන්න එතන එකක් කියන්නෙ නෑ. එතනින් අහල ඒ අය බිඳවන්න මෙතන කියන්නෙ නෑ. බිඳිච්ච අය සමඟි කරනවා. සමඟි බව ඇති කරවනවා. සමඟියට කැමති වෙනවා. සමඟියේ ඇලෙනවා. සමඟි බවේ සතුටු වෙනවා. සමඟිය ඇතිවෙන දේ ම කියනවා.
පරුෂ වචනය අත්හරිනවා. පරුෂ වචනයෙන් වළකිනවා. දොස් රහිත දේ කියනවා. කනට මිහිරි දේ කියනවා. සෙනෙහෙබර වචන කියනවා. හෘදයාංගම වචන කියනවා. දැන උගත් වචන කියනවා. බොහෝ ජනයා කැමති වන ප්‍රියමනාප වන වචන කියනවා. හිස් දෙඩවිලි අත්හරිනවා. හිස් දෙඩවිල්ලෙන් වළකිනවා. සුදුසු කාලයට කතා කරනවා. ඇත්ත දෙය කතා කරනවා. අර්ථවත් දේ කතා කරනවා. ධර්මය කතා කරනවා. විනය කතා කරනවා. මතක තබා ගන්න වටින දේ කතා කරනවා.
ඒ භික්ෂුව ගස් කොළන් වැනසීමෙන් වළකිනවා. උදේ කාලෙ විතරක් වළඳනවා. රාත්‍රී ආහාරය වූ විකාල භෝජනයෙන් වළකිනවා. නැටුම්, ගැයුම්, වැයුම්, විකාර දර්ශනවලින් වළකිනවා. මල්, සුවඳ විලවුන්වලින් සැරසීමෙන්, හැඩ වැඩවීමෙන් වළකිනවා. සුඛෝපභෝගී වටිනා ආසන පරිහරණයෙන් වළකිනවා. රන්, රිදී, කහවනු ආදිය පිළිගැනීමෙන් වළකිනවා. අමු ධාන්‍ය පිළිගැනීමෙන් වළකිනවා. අමු මස් පිළිගැනීමෙන් වළකිනවා. ස්ත්‍රීන්, කුමරියන් පිළිගැනීමෙන් වළකිනවා. දැසි දස්සන් පිළිගැනීමෙන් වළකිනවා. එළු බැටළුවන් පිළිගැනීමෙන් වළකිනවා. ඌරො කුකුල්ලු පිළිගැනීමෙන් වළකිනවා. ඇතුන්, ගවයන්, අසුන්, වෙළඹුන් පිළිගැනීමෙන් වළකිනවා. කුඹුරු, වතුපිටි පිළිගැනීමෙන් වළකිනවා. ගිහියන්ගේ පණිවිඩ ගෙන යාමෙන් වළකිනවා. වෙළඳ ගණුදෙනු වලින් වළකිනවා. හොරට තරාදියෙන් කිරන එක, හොරට මනින එක, ආදියෙන් වළකිනවා. අල්ලස් ගැනීම, වංචා කිරීම, එක වගේ දේ පෙන්නල රැවටීමෙන් වළකිනවා. කට්ටකම්වලින් වළකිනවා. අත් පා කැපීම්, මැරීම්, විලංගු දැමීම්, මං පැහැරීම්, ගම් පැහැරීම්, සාහසිකකම් යන මේවායින් වළකිනවා.
ඒ භික්ෂුව ලද දෙයින් සතුටු වෙනවා. කය පොරවන සිවුරෙනුත්, කුස පිරෙන ප්‍රමාණයේ පිණ්ඩපාතයෙනුත් සතුටු වෙනවා. ඔහු යන තැන පාත්තරෙයි, සිවුරුයි විතරක් ගෙනියනවා. ළිහිණි කුරුල්ලෙක් යන යන තැන පියාපත් බර විතරක් අරගෙන යනවා වගේ. ඔන්න ඔය විදිහටයි භික්ෂුව ලද දෙයින් සතුටු වෙන්නෙ. කය පොරවන සිවුරෙනුත් කුස පිරෙන පිණ්ඩපාතෙනුත් සතුටු වෙනවා. ඔහු යම් තැනක යනවා නම්, පාත්‍ර සිවුරු විතරක් අරගෙන යනවා. ඔහු මේ විදිහට ශ්‍රේෂ්ඨ වූ සීලයකින් සමන්විත වෙලා නිවැරදි ජීවිතය ගැන තමන් තුළ මහත් සතුටක් ලබනවා.
ඒ භික්ෂුව ඇහෙන් රූප දැකලා, නිමිති ගන්නෙ නෑ. කුඩා සටහනක් වත් ගන්නෙ නෑ. ඇහැ අසංවරව ඉන්න කොට, ආශාව, තරහ වගේ පාපී අකුසල් දේවල් ඇතිවෙලා ප්‍රශ්න හටගන්න දේකට පත්වෙන්නෙ නෑ. තමන් ගේ ඇස සංවර කරගන්නවා. ඇස රකිනවා. ඇසේ සංවරකමට පැමිණෙනවා. කනෙන් ශබ්දයක් අහල ….(පෙ)…. නාසයෙන් ගඳ සුවඳ දැනගෙන ….(පෙ)…. දිවෙන් රස දැනගෙන ….(පෙ)…. කයෙන් පහස දැනගෙන ….(පෙ)…. මනසින් අරමුණු දැනගෙන ඒ මනස අසංවරව හිටියොත්, ආශාව, තරහ වගේ පාපී අකුසල් හට අරගෙන ප්‍රශ්න ඇතිවෙනවා නම් එබඳු නිමිති ගන්නෙ නෑ. එබඳු නිමිතිවල කුඩා සටහනක් වත් ගන්නෙ නෑ. මනසේ සංවරයට පැමිණෙනවා. මනස රකිනවා. මනස සංවර කරගන්නවා. ඔහු මේ විදිහට ශ්‍රේෂ්ඨ වූ ඉන්ද්‍රිය සංවරයකින් යුතුව තමන් තුළ පීඩා රහිත වූ මහත් සැපයක් විඳිනවා.
ඔහු ඉදිරියට යන කොට, ආපසු එන කොට හරි කල්පනාවෙන් ම ඉන්නවා. ඉදිරිය බලන කොට, වටපිට බලන කොට ඒ ගැන හරි කල්පනාවකින් ඉන්නවා. අත පය හකුළන කොට, දිගහරින කොට ඒ ගැන කල්පනාවකින් ඉන්නවා. දෙපොට සිවුරු තනිපොට සිවුරු, පාත්තර පරිහරණය කරන කොට ඒ ගැන කල්පනාවෙන් ම ඉන්නවා. යමක් වළඳන කොට, පානය කරන කොට, සපා කන කොට, රස විඳින කොට, ඒ ගැන කල්පනාවෙන් ඉන්නවා. වැසිකිළි කැසිකිළි යන කොටත් ඒ ගැන කල්පනාවෙන් ම ඉන්නවා. යන කොට, ඉන්න කොට, වාඩිවෙන කොට, නිදන කොට, නිදිවරන කොට, කතා කරන කොට, නිශ්ශබ්දව ඉන්න කොට ඒ ගැන කල්පනාවෙන් ම ඉන්නවා.
ඉතින් ඔහු ඔය විදිහට ශ්‍රේෂ්ඨ වූ සීලයකිනුත් යුක්ත වෙලා ශ්‍රේෂ්ඨ වූ ඉන්ද්‍රිය සංවරයකිනුත් යුක්ත වෙලා ශ්‍රේෂ්ඨ වූ සිහිකල්පනාවකිනුත් යුක්ත වෙලා දුර ඈත වන සෙනසුන්වල ඉන්නවා. ආරණ්‍යවල ඉන්නවා. රුක් සෙවණෙ, පර්වතයෙ, දිය ඇලි අසල, ගිරි ගුහා, සොහොන්, වනගොමු, නිදහස් තැන්, පිදුරු ගෙවල් සෙනසුන් හැටියට පාවිච්චි කරනවා.
ඉතින් ඔහු පිණ්ඩපාතය වැළඳුවට පස්සේ පළඟක් බැඳගෙන වාඩිවෙනවා. කය ඍජු කරගන්නවා. භාවනා අරමුණේ සිහිය පිහිටුවා ගන්නවා. ඔහු ජීවිතය නම් වූ ලෝකය ගැන තියෙන ඇල්ම දුරු කරනවා. ආශාවෙන් තොර වූ සිතින් වාසය කරනවා. ආශාව බැහැර කරමින් සිත පිරිසිදු කරනවා. තරහ අත්හරිනවා. තරහ රහිත සිතින් වාසය කරනවා. සියලු සතුන් කෙරෙහි හිතානුකම්පී වෙනවා. තරහ බැහැර කරමින් සිත පිරිසිදු කරනවා. ථීනමිද්ධය අත්හරිනවා. ථීනමිද්ධයෙන් තොරව ඉන්නවා. හොඳ සිහි කල්පනාවෙන් යුතු ආලෝක සඤ්ඤාව ඇති කරගන්නවා. ථීනමිද්ධය බැහැර කරමින් සිත පිරිසිදු කරනවා. උද්ධච්ච කුක්කුච්ච අත්හරිනවා. හිතේ ඇවිස්සීමකින් තොරව වාසය කරනවා. තමා තුළ ශාන්ත සිතක් ඇති කරගන්නවා. උද්ධච්ච කුක්කුච්ච බැහැර කරමින් සිත පිරිසිදු කරනවා. විචිකිච්ඡාව අත්හරිනවා. විචිකිච්ඡාවෙන් තොරව ඉන්නවා. කුසල් දහම් ගැන ‘කෙසේද කෙසේද’ කියන සැකය අත්හරිනවා. සැකය බැහැර කරමින් සිත පිරිසිදු කරනවා.
ඔහු මේ නීවරණ පහ අත්හරිනවා. ප්‍රඥාව දුර්වල කරන, සිතේ උපක්ලේශ අත්හරිනවා. කාමයෙන් තොරව, අකුසල් වලින් තොරව, විතර්ක විචාර සහිත, විවේකයෙන් හටගත් ප්‍රීතිය සැපය ඇති පළවෙනි ධ්‍යානය ලබාගෙන වාසය කරනවා. පින්වත් බ්‍රාහ්මණය, ඔන්න ඕකටයි කියන්නෙ තථාගතයන් වහන්සේගේ පියවර සටහන කියලා. තථාගතයන් වහන්සේ පිට අතුල්ලපු තැන කියල. තථාගතයන් වහන්සේ සිහි නුවණ නැමැති දළින් අතු බිඳපු තැන කියලා. නමුත් ආර්ය ශ්‍රාවකයා එහෙම තිබිලත් නිශ්චයකට පැමිණෙන්නෙ නෑ ‘භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ස්වාක්ඛාතයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඟ පිරිස සුපටිපන්නයි’ කියලා.
පින්වත් බ්‍රාහ්මණය, මේ ගැන තවදුරටත් කියනවා නම් භික්ෂුව විතර්ක විචාර සංසිඳුවාගෙන, තම සිත තුළ ප්‍රසන්න බව ඇති කරගෙන, සිතේ එකඟ බවින් යුතුව විතර්ක විචාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීතිය සැපය තියෙන දෙවෙනි ධ්‍යානයත් ලබාගෙන වාසය කරනවා. පින්වත් බ්‍රාහ්මණය, ඔන්න ඕකට කියන්නෙත් තථාගතයන් වහන්සේගේ පියවර සටහන කියල. තථාගතයන් වහන්සේ පිට අතුල්ලපු තැන කියල. තථාගතයන් වහන්සේ නුවණ නැමැති දළින් අතු බිඳපු තැන කියල. එහෙම වුනත් ආර්ය ශ්‍රාවකයා නිශ්චයකට පැමිණෙන්නෙ නෑ ‘භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ස්වාක්ඛාතයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඟ පිරිස සුපටිපන්නයි’ කියල.
පින්වත් බ්‍රාහ්මණය, මේ ගැන තවදුරටත් කිව්වොත්, භික්ෂුව ප්‍රීතියට ඇලෙන්නෙත් නැතිව උපේක්ෂාවෙන් යුතුව ඉන්නවා. සිහි නුවණින් යුතුව කයෙන් සැපයකුත් විඳිනවා. ආර්යයන් වහන්සේලා ඒ සමාධියට මෙහෙම කියනවා. ‘උපේක්ෂාවෙන් යුක්තව සිහියෙන් යුක්තව සැප සේ වාසය කරනවා’ කියලා. ඒ තුන්වෙනි ධ්‍යානයත් ලබාගෙන වාසය කරනවා. පින්වත් බ්‍රාහ්මණය, ඔන්න ඕකට තමයි කියන්නෙ තථාගතයන් වහන්සේගේ පියවර සටහන කියල. තථාගතයන් වහන්සේ පිට අතුල්ලපු තැන කියලා. තථාගතයන් වහන්සේ නුවණ නැමැති දළින් අතු බිඳපු තැන කියලා. එහෙම දෙයක් තිබූ පමණින් ආර්ය ශ්‍රාවකයා නිශ්චයකට පැමිණෙන්නෙ නෑ ‘භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ස්වාක්ඛාතයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඟ පිරිස සුපටිපන්නයි’ කියලා.
පින්වත් බ්‍රාහ්මණය, මේ ගැන තවදුරටත් කියනවා නම්, භික්ෂුව සැප දුක නැති කරලා, කලින්ම මානසික සැප දුක් දෙකින් ම වෙන් වෙලා, දුක් සැප රහිත පිරිසිදු උපේක්ෂාවත් සිහියත් තියෙන හතරවෙනි ධ්‍යානය ලබාගෙන වාසය කරනවා. පින්වත් බ්‍රාහ්මණය, ඔන්න ඕකටත් කියන්නෙ තථාගතයන් වහන්සේගේ පියවර සටහන කියල. තථාගතයන් වහන්සේ පිට අතුල්ලපු තැන කියල. තථාගතයන් වහන්සේගේ නුවණ නැමැති දළින් අතු බිඳපු තැන කියලයි. එහෙම ලබාගෙනත් ආර්ය ශ්‍රාවකයා නිශ්චයකට පැමිණෙන්නෙ නෑ ‘භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ස්වාක්ඛාතයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඟ පිරිස සුපටිපන්නයි’ කියලා.
ඒ භික්ෂුව ඔය විදිහට සමාධිගත සිතක් ඇතිවුනා ම, සිත පිරිසිදු වුනා ම, සිත බබලන කොට, උපක්ලේශ නැති වුනාම, හිත මෘදු වුනාම, අවබෝධයට සුදුසු වුනාම, නොසෙල්වී තිබුනාම අකම්පිත වුනාම, තමන් කලින් ගත කළ ජීවිත ගැන දැකීමේ නුවණ ලබාගන්න සිත මෙහෙයවනවා. එතකොට ඔහු නොයෙක් ආකාරයේ පෙර ජීවිත ගත කළ හැටි සිහි කරනවා. ඒ කියන්නෙ එක ජීවිතයක්, ජීවිත දෙකක්, ජීවිත තුනක්, ජීවිත හතරක්, ජීවිත පහක්, ජීවිත දහයක්, ජීවිත විස්සක්, ජීවිත තිහක්, ජීවිත හතළිහක්, ජීවිත පනහක්, ජීවිත සීයක්, ජීවිත දාහක්, ජීවිත ලක්ෂයක්, නොයෙක් සංවට්ට කල්ප, නොයෙක් විවට්ට කල්ප, නොයෙක් සංවට්ට විවට්ට කල්ප ගණන් සිහි කරනවා. ‘ඒ කාලෙ මගේ නම මේකයි, ගෝත්‍රය මේකයි, හැඩරුව මෙහෙමයි, මේවා තමයි කෑවෙ බිව්වෙ, සැප දුක් වින්දෙ මෙහෙමයි. මෙහෙමයි මැරුනෙ. එතනින් චුත වෙලා අසවල් තැන උපන්නා. ඒ කාලෙ මේ නම තමයි ලැබුනෙ. මේකයි ගෝත්‍රය. හැඩරුව මෙහෙමයි. කෑවෙ බිව්වෙ මේවා. සැප දුක් වින්දෙ මෙහෙමයි. මැරිල ගියෙ මෙහෙමයි. ඒ මං එතනින් චුත වෙලා මෙතන උපන්නා.’ ඔය විදිහට කරුණු සහිතව, පැහැදිලි විස්තර ඇතිව, නොයෙක් ආකාරයෙන් තමන් ගත කළ අතීත ජීවිත ගැන සිහි කරනවා. පින්වත් බ්‍රාහ්මණය, ඔන්න ඕකටත් කියන්නෙ තථාගතයන් වහන්සේගේ පියවර සටහන කියල. තථාගතයන් වහන්සේ පිට අතුල්ලපු තැන කියලා. තථාගතයන් වහන්සේ නුවණ නැමැති දළින් අතු බිඳපු තැන කියලා. නමුත් ආර්ය ශ්‍රාවකයා එහෙම තිබිලත් නිශ්චයකට පැමිණෙන්නෙ නෑ ‘භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ස්වාක්ඛාතයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඟ පිරිස සුපටිපන්නයි’ කියලා.
ඉතින් ඒ භික්ෂුව ඔය විදිහට සමාධිගත සිතක් ඇතිවුනා ම, සිත පිරිසිදු වුනාම, සිත බබලන කොට, උපක්ලේශ නැතිවුනා ම, හිත මෘදු වුනා ම, අවබෝධයට සුදුසු වුනාම, නොසෙල්වී තිබුනාම, අකම්පිත වුනාම, සත්වයන් චුත වෙන, උපදින හැටි දැකීමේ නුවණ ලබාගන්න සිත මෙහෙයවනවා. එතකොට ඔහු සාමාන්‍ය මිනිසුන්ගේ දර්ශන පථය ඉක්මවා ගිය පිරිසිදු දිවැස් නුවණින් චුත වෙන උපදින සත්වයන් දකිනවා. උසස් පහත්, ලස්සන කැත, සුගති දුගතිවල කර්මානුරූපව සත්වයන් උපදින හැටි දකිනවා. ‘අනේ මේ භවත් සත්වයන් කයින් දුසිරිත් කරලා, වචනින් දුසිරිත් කරලා, මනසින් දුසිරිත් කරලා, ආර්යයන් වහන්සේලාට අපහාස කරලා, මිථ්‍යා දෘෂ්ටික වෙලා, මිථ්‍යා දෘෂ්ටික දේවල්වල යෙදිලා කය බිඳිල මැරුණට පස්සේ අපායෙ ඉපදිලා දුගතියෙ ඉපදිලා විනිපාත කියන නිරයෙ ඉපදිලා. ඒ වගේම මේ භවත් සත්වයන් කයින් සුචරිතයේ යෙදිලා, වචනයෙන් සුචරිතයේ යෙදිලා, මනසින් සුචරිතයේ යෙදිලා, ආර්යයන් වහන්සේලාට අපහාස නොකොට, සම්මා දිට්ඨිය ඇතුව ඉඳලා, සම්මා දිට්ඨියෙන් යුක්ත ක්‍රියාවල යෙදිලා, කය බිඳිල මැරුණට පස්සේ සුගතිය කියන යහපත් ලෝකෙ ඉපදිලා ඉන්නවා’ මේ විදිහට සාමාන්‍ය මිනිසුන් ගේ දර්ශන පථය ඉක්මවා ගිය පිරිසිදු දිවැස් නුවණින්, සත්වයන් චුත වෙන උපදින හැටි දකිනවා. උසස් පහත්, ලස්සන කැත, සුගති දුගතිවල කර්මානුරූපව සත්වයන් උපදින හැටි දකිනවා. පින්වත් බ්‍රාහ්මණය, ඕකට කියන්නෙත් තථාගතයන් වහන්සේගේ පියවර සටහන කියලා. තථාගතයන් වහන්සේ පිට අතුල්ලපු තැන කියලා. තථාගතයන් වහන්සේ නුවණ කියන දළින් අතු බිඳපු තැන කියලයි. එහෙම නුවණක් ලබාගෙනත් ආර්ය ශ්‍රාවකයා නිශ්චයකට පැමිණෙන්නෙ නෑ ‘භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ස්වාක්ඛාතයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඟ පිරිස සුපටිපන්නයි’ කියලා.
ඉතින් ඒ භික්ෂුව ඔය විදිහට සමාධිගත සිතක් ඇතිවුනාම, සිත පිරිසිදු වුනාම, සිත බබලන කොට, උපක්ලේශ නැතිවුනාම, හිත මෘදු වුනාම, අවබෝධයට සුදුසු වුනාම, නොසෙල් වී තිබුනාම අකම්පිත වුනාම ආශ්‍රව ක්ෂය කළ බවට අවබෝධය ලැබීමේ නුවණ ලබාගන්න සිත මෙහෙයවනවා. ඉතින් ඒ භික්ෂුව ‘මේක තමයි දුක’ කියල යථාර්ථය අවබෝධ කරනවා. ‘මේක තමයි දුකේ හටගැනීම’ කියල යථාර්ථය අවබෝධ කරනවා. ‘මේ තමයි දුකේ නැතිවීම’ කියල යථාර්ථය අවබෝධ කරනවා. ‘මේ තමයි දුක් නැති වීමේ මාර්ගය’ කියල යථාර්ථය අවබෝධ කරනවා. ‘මේවා තමයි ආශ්‍රව’ කියල යථාර්ථය අවබෝධ කරනවා. ‘මේක තමයි ආශ්‍රවයන්ගේ හටගැනීම’ කියල යථාර්ථය අවබෝධ කරනවා. ‘මේක තමයි ආශ්‍රව නැතිවීම’ කියල යථාර්ථය අවබෝධ කරනවා. ‘මේක තමයි ආශ්‍රව නිරුද්ධ වීමේ මාර්ගය’ කියල යථාර්ථය අවබෝධ කරනවා. පින්වත් බ්‍රාහ්මණය, ඔන්න ඕකට කියන්නෙත් තථාගතයන් වහන්සේගේ පියවර සටහන කියලා. තථාගතයන් වහන්සේ පිට අතුල්ලපු තැන කියලා. තථාගතයන් වහන්සේගේ නුවණ නැමැති දළින් අතු බිඳපු තැන කියලයි. එහෙම නුවණක් ලබාගෙනත් ආර්ය ශ්‍රාවකයා නිශ්චයකට පැමිණෙන්නෙ නෑ. නමුත් එක්තරා නිෂ්ඨාවකට පැමිණෙනවා. ‘භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ස්වාක්ඛාතයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඟ පිරිස සුපටිපන්නයි’ කියලා.
ඔය විදිහට ඒ භික්ෂුව යථාර්ථය දැනගන්න කොට, යථාර්ථය දැකගන්න කොට, කාම ආශ්‍රවයෙනුත් සිත නිදහස් වෙනවා. භව ආශ්‍රවයෙනුත් සිත නිදහස් වෙනවා. අවිජ්ජා ආශ්‍රවයෙනුත් සිත නිදහස් වෙනවා. ආශ්‍රවයන් ගෙන් සිත නිදහස් වුනාම සියලු දුකින් තමන් නිදහස් වූ බවට අවබෝධය ඇතිවෙනවා. ‘ඉපදීම නැතිවුණා. බඹසර වාසය සම්පූර්ණ කළා. කළ යුතු දේ කළා. නිවන පිණිස කළ යුතු වෙන දෙයක් නෑ’ කියල දැනගන්නවා. පින්වත් බ්‍රාහ්මණය ඔන්න ඕකට කියන්නෙ තථාගතයන් වහන්සේගේ පියවර සටහන කියලා. තථාගතයන් වහන්සේ පිට අතුල්ලපු තැන කියලා. තථාගතයන් වහන්සේගේ නුවණ නැමැති දළින් අතු බිඳපු තැන කියලා. පින්වත් බ්‍රාහ්මණය, අන්න එතකොටයි ආර්ය ශ්‍රාවකයා නිශ්චයකට පැමිණෙන්නෙ ‘භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ස්වාක්ඛාතයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඟ පිරිස සුපටිපන්නයි’ කියලා. පින්වත් බ්‍රාහ්මණය, ඔන්න ඔය විදිහටයි ඇත් පියවර සටහනේ උපමාව විස්තර වශයෙන් අංග සම්පූර්ණ වෙන්නෙ.
එතකොට ජානුස්සෝණි බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා. “පින්වත් ගෞතමයන් වහන්ස, හරි ම සුන්දරයි! පින්වත් ගෞතමයන් වහන්ස, හරිම සුන්දරයි! යටිකුරු වෙච්ච දෙයක් උඩුකුරු කළා වගේ. වහල තිබිච්ච දෙයක් ඇරල පෙන්නුවා වගේ. මං මුළා වෙච්ච කෙනෙකුට මාර්ගය පෙන්නුවා වගේ. අන්ධකාරයේ දැල් වූ තෙල් පහන් ඔසවගෙන ඇස් ඇති අයට රූප පෙන්නනවා වගේ. ඔය විදිහට පින්වත් ගෞතමයන් වහන්සේ නොයෙක් ආකාරයෙන් ධර්මය ප්‍රකාශ කළා. ඒ මම පින්වත් ගෞතමයන් වහන්සේ සරණ යනවා. ශ්‍රී සද්ධර්මයත් සරණ යනවා. භික්ෂුසංඝයාත් සරණ යනවා. පින්වත් ගෞතමයන් වහන්සේ අද පටන් මාව දිවි තිබෙන තුරා තිසරණ ගත වූ උපාසකයෙක් හැටියට පිළිගන්නා සේක්වා!”
සාදු! සාදු!! සාදු!!!
ඇතෙකු ගේ පියවර සටහන උපමා කරගෙන වදාළ කුඩා දෙසුම නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn1_1-3-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M