මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දවස්වල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනයේ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. එදා උදේ වරුවේ භාග්‍යවතුන් වහන්සේ සිවුරු පොරවාගෙන පාත්‍රයත් දෙපට සිවුරත් අරගෙන සැවැත් නුවරට පිණ්ඩපාතෙ වැඩියා. ඒ වෙලාවේ බොහෝ භික්ෂූන් වහන්සේලා ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ළඟට පැමිණුනා. පැමිණිලා ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට මෙහෙම කිව්වා.
“ආයුෂ්මත් ආනන්දයෙනි, භාග්‍යවතුන් වහන්සේගෙන් අපි ධර්ම කතා අහල සෑහෙන කාලයක් වුනා. ඉතින් ආයුෂ්මත් ආනන්දයෙනි, අපිට ආයෙමත් භාග්‍යවතුන් වහන්සේගෙන් ධර්ම කතාවක් අහන්න ලැබෙනවා නම් කොච්චර දෙයක් ද” කියල. “එහෙනම් ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, රම්මක බ්‍රාහ්මණයාගේ ආශ්‍රමයට යන්න. එතනදී ඔබට භාග්‍යවතුන් වහන්සේගෙන් ධර්ම කතාවක් අහන්න ලැබේවි.” “හොඳයි ප්‍රිය ආයුෂ්මතුනි” කියල ඒ භික්ෂූන් වහන්සේලාත් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට පිළිතුරු දුන්නා.
ඉතින් එදා භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර පිණ්ඩපාතේ වැඩලා, දන් වළඳලා ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ඇමතුවා. “පින්වත් ආනන්ද, අපි දවල් කාලෙ ගතකරන්න පූර්වාරාමය නම් වූ මිගාරමාතු ප්‍රාසාදයට යමු” කියල. “එහෙමයි ස්වාමීනී” කියල ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. ඊට පස්සෙ භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ සමඟ දවල් කාලය ගතකරන්න පූර්වාරාමය නම් වූ මිගාරමාතු ප්‍රාසාදයට පැමිණුනා. භාග්‍යවතුන් වහන්සේ හවස් වරුවෙ භාවනාවෙන් නැගිටලා ආයුෂ්මත් ආනන්දයන් ඇමතුවා. “පින්වත් ආනන්ද, ඇඟපත ටිකක් සෝදගන්න අපි නැගෙනහිර නාන කොටුවට යමු” කියල. “එහෙමයි ස්වාමීනී” කියල ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්න.
ඊට පස්සෙ භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ සමඟ ඇඟ පත සෝදගන්න නැගෙනහිර නාන කොටුව බලා වැඩියා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ නැගෙනහිර නාන කොටුවෙන් ඇඟපත සෝදාගෙන ගොඩට ඇවිත් අඳන සිවුර පිටින් ඇඟපත වියළවමින් වැඩසිටියා.
එතකොට ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා. “ස්වාමීනී, මේ රම්මක බ්‍රාහ්මණයාගේ ආශ්‍රමය එච්චර දුර නෑ. ස්වාමීනී, රම්මක බ්‍රාහ්මණයාගේ ආශ්‍රමය රමණීයයි. ස්වාමීනී, රම්මක බ්‍රාහ්මණයගේ ආශ්‍රමය බලන්න ආසයි. ඉතින් ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, අප කෙරෙහි අනුකම්පාවෙන් රම්මක බ්‍රාහ්මණයාගේ ආශ්‍රමයට වඩිනවා නම් කොයිතරම් හොඳද?” කියල. භාග්‍යවතුන් වහන්සේ නිහඬව ඉවසා වදාළා.
ඉතින් භාග්‍යවතුන් වහන්සේ රම්මක බ්‍රාහ්මණයාගේ ආශ්‍රමයට වැඩියා. ඒ වෙලාවෙ බොහෝ භික්ෂූන් වහන්සේලා රම්මක බ්‍රාහ්මණයාගේ ආශ්‍රමයෙ ධර්මය කතා කර කර රැස්වෙලා හිටියා. භාග්‍යවතුන් වහන්සේ ඒ ධර්ම කතාව අවසන් වෙනකල් දොරකඩ ළඟ හිටගෙන වැඩසිටියා. ඒ ධර්ම කතාව අවසන් වුනාට පස්සෙ භාග්‍යවතුන් වහන්සේ උගුර පාදල දොරට තට්ටු කොට වදාළා. එතකොට ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් දොර ඇරියා.
ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ රම්මක බ්‍රාහ්මණයාගේ ආශ්‍රමයේ පිළියෙල කර තිබූ ආසනයේ වැඩසිටියා. එහෙම වැඩසිටිය භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලාව ඇමතුවා. “පින්වත් මහණෙනි, ඔබලා දැන් මේ වෙලාවෙ මොකක්ද කතා කර කර හිටියේ? ඒ අඩාල වුනේ මොන වගේ කතාවක් ද?”
“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ ගැනම යි අපි ධර්ම කතා කර කර හිටියේ. ඒ කතාව තමයි නැවතුනේ. එතකොට ම භාග්‍යවතුන් වහන්සේ වැඩම කළා.”
“බොහෝ ම හොඳයි. පින්වත් මහණෙනි, ගිහි ගේ අත්හැරල ශ්‍රද්ධාවෙන්ම පැවිදි වෙච්ච ඔබ වැනි කුලපුත්‍රයන්ට ගැලපෙන්නේ ඒ වගේ කතා තමයි. ඔබ ධර්මය ගැන කතා කර කර සිටීම තමයි හොඳ. පින්වත් මහණෙනි, ඔබලා එකට රැස්වෙච්ච වෙලාවට කරුණු දෙකක් කරන්න ඕන. එක්කො ධර්ම කතාවක යෙදෙන්න ඕන. එහෙම නැත්නම් නිහඬව උතුම් භාවනාවක යෙදෙන්න ඕන.
පින්වත් මහණෙනි, පර්යේෂණ කරන දේවල් දෙකොටසක් තියෙනවා. ඒවා තමයි; ශ්‍රේෂ්ඨත්වය සොයා පර්යේෂණ කරනවා. ශ්‍රේෂ්ඨ නොවන දෙයටත් පර්යේෂණ කරනවා.
පින්වත් මහණෙනි, ශ්‍රේෂ්ඨ නොවන දේ සොයා පර්යේෂණ කිරීම කියන්නෙ මොකක්ද? පින්වත් මහණෙනි, මෙහිලා ඇතැමෙක් තමාත් ඉපදෙන ස්වභාවයෙන් ඉඳගෙන, ඉපදීමට අයත් දෙයක් වෙනුවෙන් පර්යේෂණ කරනවා. තමාත් ජරාවට පත්වෙවී ඉඳගෙන, ජරාවට අයත් දෙයක් වෙනුවෙන් පර්යේෂණ කරනවා. තමාත් රෝග පීඩාවලට පත්වෙන ස්වභාවයෙන් ඉඳගෙන, රෝග පීඩාවලට අයත් දෙයක් වෙනුවෙන් පර්යේෂණ කරනවා. තමාත් මරණයට පත් වෙන ස්වභාවයෙන් ඉඳගෙන, මරණයට අයත් දෙයක් වෙනුවෙන් පර්යේෂණ කරනවා. තමාත් ශෝක වන ස්වභාවයෙන් ඉඳගෙන, ශෝකයට අයත් දෙයක් වෙනුවෙන් පර්යේෂණ කරනවා. තමාත් කෙලෙසී යන ස්වභාවයෙන් ඉඳගෙන, කෙලෙස්වලට අයත් දෙයක් වෙනුවෙන් පර්යේෂණ කරනවා.
පින්වත් මහණෙනි, ඉපදෙන ස්වභාවයට අයිති දේ කියන්නෙ මොනවාද? පින්වත් මහණෙනි, අඹු දරුවන් ඉපදෙන ස්වභාවයට අයිතියි. දැසි දැස්සන් ඉපදෙන ස්වභාවයට අයිතියි. එළු බැටළුවන් ඉපදෙන ස්වභාවයට අයිතියි. ඌරන් කුකුළන් ඉපදෙන ස්වභාවයට අයිතියි. ඇතුන්, ගවයන්, අසුන්, වෙළඹුන් ඉපදෙන ස්වභාවයට අයිතියි. රන් රිදී මිල මුදල් ඉපදෙන ස්වභාවයට අයිතියි. මේ පංච කාම ගුණයන් ඉපදෙන ස්වභාවයට අයිතියි. ඔය දේවල්වලට ගිජු වෙලා සිහිවිකල් කරගෙන ඒකෙ බැසගෙන ඉන්න උදවිය, තමාත් ඉපදෙන ස්වභාවයෙන් ඉඳගෙන ඉපදීමට අයිති දෙයක් ම සොයනවා.
පින්වත් මහණෙනි, දිරන ස්වභාවයට අයිති දේ කියන්නෙ මොනවාද? පින්වත් මහණෙනි, අඹු දරුවන් දිරන ස්වභාවයට අයිතියි. දැසි දැස්සන් දිරන ස්වභාවයට අයිතියි. එළු බැටළුවන් දිරන ස්වභාවයට අයිතියි. ඌරන් කුකුළන් දිරන ස්වභාවයට අයිතියි. ඇතුන්, ගවයන්, අසුන්, වෙළඹුන් දිරන ස්වභාවයට අයිතියි. රන්, රිදී, මිල මුදල් දිරන ස්වභාවයට අයිතියි. මේ පංච කාම ගුණයන් ම දිරන ස්වභාවයට අයිතියි. ඔය දේවල්වලට ගිජු වුණු, සිහිවිකල් වුණු, එහි ම බැසගත්තු උදවිය තමාත් ජරාවට පත්වෙන ස්වභාවයෙන් ඉඳගෙන ජරාවට අයිති දෙයක් ම සොයනවා.
පින්වත් මහණෙනි, රෝගී වන ස්වභාවයට අයිති දේ කියන්නෙ මොනවාද? පින්වත් මහණෙනි, අඹු දරුවන් රෝගී වන ස්වභාවයට අයිතියි. දැසි දැස්සන් රෝගී වන ස්වභාවයට අයිතියි. එළු බැටළුවන් රෝගී වන ස්වභාවයට අයිතියි. ඌරන් කුකුළන් රෝගී වන ස්වභාවයට අයිතියි. ඇතුන්, ගවයන්, අසුන්, වෙළඹුන් රෝගී වන ස්වභාවයට අයිතියි. මේ පංච කාම ගුණයන් ම රෝගී වන ස්වභාවයට අයිතියි. ඔය දේවල්වලට ගිජු වුණු, සිහිවිකල් වුණු, එහි ම බැසගත්තු උදවිය තමාත් රෝගයන්ට පත්වෙන ස්වභාවයෙන් ම ඉඳගෙන රෝග පීඩාවන්ට අයිති දෙයක් ම සොයනවා.
පින්වත් මහණෙනි, මැරී යන ස්වභාවයට අයිති දේවල් මොනවාද? පින්වත් මහණෙනි, අඹු දරුවන් මැරී යන ස්වභාවයට අයිතියි. දැසි දැස්සන් මැරී යන ස්වභාවයට අයිතියි. එළු බැටළුවන් මැරී යන ස්වභාවයට අයිතියි. ඌරන් කුකුළන් මැරී යන ස්වභාවයට අයිතියි. ඇතුන්, ගවයන්, අසුන්, වෙළඹුන් මැරී යන ස්වභාවයට අයිතියි. පින්වත් මහණෙනි, මේ පංච කාමයන් ම මැරී යන ස්වභාවයට අයිතියි. ඔය දේවල්වලට ගිජු වෙලා, මුළා වෙලා, එහි ම බැසගෙන ඉන්න උදවිය තමාත් මැරී යන ස්වභාවයෙන් ඉඳගෙන මැරී යන ස්වභාවයෙන් යුතු දෙයක් ම සොයනවා.
පින්වත් මහණෙනි, ශෝකය ඇතිකරන දේ කියන්නෙ මොනවාද? පින්වත් මහණෙනි, අඹු දරුවන් ශෝකය හදන දෙයක්. දැසි දැස්සන් ශෝකය හදන දෙයක්. එළු බැටළුවන් ශෝකය හදන දෙයක්. ඌරන් කුකුළන් ශෝකය හදන දෙයක්. ඇතුන්, ගවයන්, අසුන්, වෙළඹුන් ශෝකය හදන දේවල්. පින්වත් මහණෙනි, මේ පංච කාම ගුණයන් ශෝකය හදන ස්වභාවයෙන් යුක්තයි. ඔය දේවල්වලට ගිජු වෙලා, සිහිවිකල් වෙලා, ඒකෙම බැසගෙන ඉන්න උදවිය තමාත් ශෝකය හැදෙන ස්වභාවයෙන් ම ඉඳගෙන ශෝකය හැදෙන දෙයක් ම සොයනවා.
පින්වත් මහණෙනි, කෙලෙසී යන ස්වභාවයට අයිති දේ කියන්නෙ මොනවා ද? පින්වත් මහණෙනි, අඹු දරුවන් කෙලෙසී යන ස්වභාවයට අයිතියි. දැසි දැස්සන් කෙලෙසී යන ස්වභාවයට අයිතියි. එළු බැටළුවන් කෙලෙසී යන ස්වභාවයට අයිතියි. ඌරන් කුකුළන් කෙලෙසී යන ස්වභාවයට අයිතියි. ඇතුන්, ගවයන්, අසුන්, වෙළඹුන් කෙලෙසී යන ස්වභාවයට අයිතියි. රන්, රිදී, මිල මුදල් කෙලෙසී යන ස්වභාවයට අයිතියි. මේ පංච කාම ගුණයන් ම කෙලෙසී යන ස්වභාවයට අයිතියි. පින්වත් මහණෙනි, ඔය දේවල්වලට ගිජු වෙලා, සිහිවිකල් වෙලා, ඒකෙම බැසගෙන ඉන්න උදවිය තමාත් කෙලෙසී යන ස්වභාවයෙන් ඉඳගෙන කෙලෙසී යන දෙයක් ම සොයනවා. පින්වත් මහණෙනි, ඕක තමයි ශ්‍රේෂ්ඨ නොවන දේ සෙවීම.
පින්වත් මහණෙනි, ශ්‍රේෂ්ඨත්වය සොයා පර්යේෂණ කිරීම කියල කියන්නෙ මොකක්ද? පින්වත් මහණෙනි, සමහර කෙනෙක් තමා ඉපදෙන ස්වභාවයෙන් ඉඳගෙන, ඉපදෙන ස්වභාවයේ ආදීනව තේරුම් ගන්නවා. ඉපදීමක් නැති, අනුත්තර වූ, හැමදෙයින් ම නිදහස් වූ නිවන සොයාගෙන යනවා. තමාත් ජරාවට පත්වන ස්වභාවයෙන් ඉඳගෙන ජරාවට පත්වෙන දේ ගැන ආදීනව අවබෝධ කරල, ජරාවක් නැති, අනුත්තර වූ, හැම දුකින් ම නිදහස් වූ නිවන සොයාගෙන යනවා. තමාත් රෝගී වන ස්වභාවයෙන් ඉඳගෙන රෝගීවන ස්වභාවයට අයිති දේ ගැන ආදීනව තේරුම් අරගෙන රෝග රහිත වූ, අනුත්තර වූ, හැම දුකින් ම නිදහස් වූ, නිවන සොයාගෙන යනවා. තමාත් මැරෙන ස්වභාවයෙන් ඉඳගෙන මැරෙන ස්වභාවයට අයිති දේ ගැන ආදීනව තේරුම් අරගෙන මරණ රහිත වූ, අනුත්තර වූ, දුකෙන් නිදහස් වීම වූ නිවන සොයාගෙන යනවා. තමාත් ශෝක වන ස්වභාවයෙන් යුතුව ඉඳගෙන ශෝකය හැදෙන දේ ගැන ආදීනව තේරුම් අරගෙන ශෝක රහිත වූ, අනුත්තර වූ, හැම දුකින් ම නිදහස් වූ නිවන සොයාගෙන යනවා. තමාත් කෙලෙසී යන ස්වභාවයෙන් ඉඳගෙන කෙලෙසී යන දේ ගැන ආදීනව තේරුම් අරගෙන කෙලෙස් රහිත වූ, අනුත්තර වූ, හැම දුකෙන් නිදහස් වූ නිවන සොයාගෙන යනවා. පින්වත් මහණෙනි, මේක තමයි ශ්‍රේෂ්ඨත්වය සොයා පර්යේෂණ කිරීම.
පින්වත් මහණෙනි, මම පවා සම්බුද්ධත්වයට පත්වෙන්න කලින් බෝධිසත්ව ජීවිතයක් ගෙවද්දී තමාත් ඉපදෙන ස්වභාවයෙන් ඉඳගෙන ඉපදෙන ස්වභාවයට අයිති දෙයක්මයි සෙව්වෙ. තමාත් ජරාවට පත්වන ස්වභාවයෙන් ඉඳගෙන ජරාවට පත්වෙන දෙයක්ම යි සෙව්වෙ. තමාත් ලෙඩ වෙන ස්වභාවයෙන් ඉඳගෙන ලෙඩ වන ස්වභාවයට අයිති දෙයක්ම යි සෙව්වෙ. තමාත් මැරෙන ස්වභාවයෙන් ඉඳගෙන මරණයට අයිති දෙයක්ම යි සෙව්වෙ. තමාත් ශෝක වන ස්වභාවයෙන් ඉඳගෙන ශෝකයට අයිති දෙයක්ම යි සෙව්වෙ. තමාත් කෙලෙසී යන ස්වභාවයෙන් ඉඳගෙන කෙලෙසී යන දෙයක්ම යි සෙව්වෙ.
පින්වත් මහණෙනි, එතකොට මං මෙහෙම හිතන්න පටන් ගත්තා. ඇත්තෙන් ම මමත් ඉපදෙන ස්වභාවයෙන් ඉඳගෙන, ඉපදෙන ස්වභාවයට අයිති දෙයක් සොයන්නෙ මොකටද? මමත් ජරාවට පත්වෙන ස්වභාවයෙන් ඉඳගෙන ජරාවට පත්වෙන දෙයක් සොයන්නෙ මොකටද? මමත් ලෙඩවෙන ස්වභාවයෙන් ඉඳගෙන ලෙඩවෙන ස්වභාවයට අයිති දෙයක් ම සොයන්නෙ මොකටද? මමත් මැරී යන ස්වභාවයෙන් ඉඳගෙන මැරී යන දෙයක් ම සොයන්නෙ මොකටද? මමත් ශෝක වෙන ස්වභාවයෙන් ම ඉඳගෙන ශෝක වෙන දෙයක් ම සොයන්නෙ මොකටද? මමත් කිලුටු වෙන ස්වභාවයෙන් ම ඉඳගෙන කෙලෙසෙන දෙයක් ම සොයන්නෙ මොකටද? ඒ නිසා ඉපදෙන ස්වභාවයෙන් ඉන්න මම, ඉපදෙන ස්වභාවය ගැන ආදීනව අවබෝධ කරගෙන ඉපදීමක් නැති, අනුත්තර වූ, දුකින් නිදහස් වීම වූ නිවන සොයාගෙන යනවා. ජරාවට පත්වෙමින් ඉන්න මම, ජරාවට පත්වෙන දේවල් ගැන ආදීනව අවබෝධ කරගෙන ජරා රහිත වූ, අනුත්තර වූ, දුකින් නිදහස් වීම නම් වූ නිවන සොයා ගෙන යනවා. ලෙඩවෙන ස්වභාවයෙන් ඉන්න මම, ලෙඩවෙන ස්වභාවයට අයිති දේ ගැන ආදීනව අවබෝධ කරගෙන ලෙඩ රහිත වූ අනුත්තර වූ දුකින් නිදහස් වීම නම් වූ නිවන සොයා ගෙන යනවා. මැරෙන ස්වභාවයෙන් ඉන්න මම, මරණයට අයිති දේවල් ගැන ආදීනව තේරුම් අරගෙන මරණ රහිත වූ, අනුත්තර වූ, දුකින් නිදහස් වීම වූ නිවන සොයාගෙන යනවා. ශෝක වෙන ස්වභාවයෙන් ඉන්න මම, ශෝකයට අයිති දේ ගැන ආදීනව අවබෝධ කරගෙන ශෝක රහිත වූ, අනුත්තර වූ, දුකින් නිදහස් වීම නම් වූ නිවන සොයාගෙන යනවා. කෙලෙසෙන ස්වභාවයෙන් ඉන්න මම, කෙලෙසීමට අයිති දේ ගැන ආදීනව තේරුම් අරගෙන නිකෙලෙස් වූ, අනුත්තර වූ, දුකින් නිදහස් වීම වූ නිවන සොයාගෙන යනවා.
ඉතින් පින්වත් මහණෙනි, පස්සෙ කාලෙදී හොඳ තරුණ වයසෙදී කළු කෙහෙ තියෙන කාලෙ සොඳුරු යොවුන් වයසෙදී ජීවිතේ පළමු වයසෙදී මව්පියන් අකමැතිව සිටිද්දි, ඔවුන් කඳුළු පිරි මුහුණින් හඬා වැටෙද්දී මං කෙස් රැවුල් බාගෙන කහට වස්ත්‍ර පොරෝගෙන ගිහි ගෙයින් නික්මිලා පැවිදි වුනා. පැවිදි වුනාට පස්සෙ මං කුසල් මොනවාද? කියල හොයන කෙනෙක් වුනා. අනුත්තර වූ අමා නිවන සොයන කෙනෙක් වුනා. මං ආළාර කාලාම ළඟටත් ගියා. ගිහින් ආළාර කාලාමට මෙහෙම කිව්වා. “ආයුෂ්මත් කාලාම, මං කැමතියි මේ ධර්ම විනයෙ බඹසර හැසිරෙන්න” කියලා.
එතකොට පින්වත් මහණෙනි, ආළාර කාලාම මට මෙහෙම කිව්වා. “ප්‍රිය ආයුෂ්මතුනි, එහෙම නම් මේ ධර්මයේ බඹසර හැසිරෙන්න. බුද්ධිමත් කෙනෙකුට සුළු කලකදී මේ ධර්මය තමා තුළින් ම තේරුම් අරගෙන සාක්ෂාත් කරල ඉන්න පුළුවනි” කියල. පින්වත් මහණෙනි, මං ඉතා සුළු කලකින් වහාම ඒ ධර්මය ඉගෙන ගත්තා. පින්වත් මහණෙනි, මං ඔවුන් තොල් සොලවා යමක් කියන පමණින් ම ඒක තේරුම් ගත්තා. ඔවුන්ගේ ධර්ම ක්‍රමය තේරුම් ගත්තා. ඒ දේ දන්න කෙනෙක්, දකින කෙනෙක් බවට පත්වුනා. අනිත් උදවියත් මං ගැන එහෙම කිව්වා.
එතකොට පින්වත් මහණෙනි, මට මෙහෙම හිතුනා. ‘ඔය ආළාර කාලාම මේ ධර්මය කියන්නෙ හුදෙක් ශ්‍රද්ධාවකින් පමණක් ම නොවෙයි. තමන් ම අවබෝධ කරල, සාක්ෂාත් කරල ඉඳගෙනයි ඔය කියන්නෙ. ඇත්තෙන් ම ආළාර කාලාම මේ ධර්මය දැනගෙන, දැකගෙන ඉන්න කෙනෙක්.’ ඉතින් පින්වත් මහණෙනි, මං ආළාර කාලාම ළඟට ගියා. ගිහින් ආළාර කාලාම ගෙන් මෙහෙම ඇහුවා. “ආයුෂ්මත් කාලාම, ඔබේ අවබෝධය තුළින් ම සාක්ෂාත් කරගෙන තියෙන මේ ධර්මය කොච්චර දුරට කියන්න පුළුවන්ද?” කියල. පින්වත් මහණෙනි, ආළාර කාලාම මට ‘ආකිඤ්චඤ්ඤායතන සමාධිය’ ගැන කිව්වා.
එතකොට මට මෙහෙම හිතුනා. ‘ඉතින් ආළාර කාලාමට විතරක් නෙවෙයි ශ්‍රද්ධාව තියෙන්නෙ. මටත් ශ්‍රද්ධාව තියෙනවා නෙව. ආළාර කාලාමට විතරක් නෙවෙයි වීරිය තියෙන්නෙ. මටත් වීරිය තියෙනවා නෙව. ආළාර කාලාමට විතරක් නෙවෙයි සිහිය තියෙන්නෙ. මටත් සිහිය තියෙනවා නෙව. ආළාර කාලාමට විතරක් නෙවෙයි සමාධිය තියෙන්නෙ. මටත් සමාධිය තියෙනවා නෙව. ආළාර කාලාමට විතරක් නෙවෙයි ප්‍රඥාව තියෙන්නෙ. මටත් ප්‍රඥාව තියෙනවා නෙව. ඉතින් එහෙනම් මමත් ආළාර කාලාම තමන්ගේ නුවණින් සාක්ෂාත් කරල ඉඳගෙන කියන දේ සාක්ෂාත් කරන්න වීරිය ගන්න ඕන’ කියල. පින්වත් මහණෙනි, ටික දවසකින් ම ඉතා ඉක්මනින් ම මමත් ඒ ධර්මය අවබෝධ කරගෙන ඒ ධර්මයට පැමිණ වාසය කළා.
එතකොට පින්වත් මහණෙනි, මං ආළාර කාලාම ළඟට ගියා. ගිහින් මං මෙහෙම කිව්වා.
“ආයුෂ්මත් කාලාම, අවබෝධයෙන් ම සාක්ෂාත් කරගෙන ඔබ ඔය කියන ධර්මය ඔච්චරයිද?”
“ප්‍රිය ආයුෂ්මතුනි, මං අවබෝධයෙන් ම සාක්ෂාත් කරගෙන කියන ධර්මය ඔච්චර තමයි.”
“ඉතින් ආයුෂ්මතුනි, දැන් ඔය ධර්මය මමත් අවබෝධයෙන් සාක්ෂාත් කරගෙන ඉන්නවා නෙව.”
“අනේ ඇත්තට ම ආයුෂ්මතුනි, ඕක අපිට ලාභයක්. ආයුෂ්මතුනි, ඕක අපිට හරි ලාභයක්. ආයුෂ්මතුන් වගේ සබ්‍රහ්මචාරීන් කෙනෙක් අපටත් දැකගන්න ලැබුනා. යම් දෙයක් මං අවබෝධ කරගෙන සාක්ෂාත් කරගෙන ඉන්නවා නම්, ඒ දේ ඔබත් අවබෝධ කරගෙන සාක්ෂාත් කරගෙනයි ඉන්නෙ. යම් ධර්මයක් ඔබ අවබෝධ කරගෙන, සාක්ෂාත් කරගෙන ඉන්නවා නම්, ඒ ධර්මය මමත් අවබෝධ කරගෙන සාක්ෂාත් කරගෙනයි ඉන්නෙ. එහෙම නම් ඉතින් යම් ධර්මයක් මම දන්නවා නම් ඒ ධර්මය ඔබත් දන්නවා. යම් ධර්මයක් ඔබ දන්නවා නම්, ඒ ධර්මය මමත් දන්නවා. මම යම් විදිහක නම් ඔබත් ඒ විදිහයි. ඔබ යම් විදිහක නම් මමත් ඒ විදිහයි. ඉතින් ප්‍රිය ආයුෂ්මතුනි, දැන් එන්න. අපි දෙන්න එකතු වෙලා මේ පිරිස බලා හදාගෙන ඉම්මු.”
ඉතින් පින්වත් මහණෙනි, මගේ ගුරුවරයාව සිටි ආළාර කාලාම, ගෝලයා වෙලා හිටි මාව තමන් හා සමාන තැනක තිබ්බා. උතුම් පුද පූජාවල් කළා. ඒත් පින්වත් මහණෙනි, මං හිතන්න පටන් ගත්තා. ‘මේ ධර්මය නම් අවබෝධයෙන් ම කලකිරීමට හේතුවෙන්නෙ නෑ. නො ඇල්ම පිණිස හේතු වෙන්නෙ නෑ. දුක් නැති වෙන්න හේතුවෙන්නෙ නෑ. කෙලෙස් සංසිඳීම පිණිස හේතුවෙන්නෙ නෑ. විශේෂ ඥානයට හේතුවෙන්නෙ නෑ. ආර්ය සත්‍යය අවබෝධයට හේතුවෙන්නෙ නෑ. නිවනට හේතුවෙන්නෙ නෑ. මේ ධර්මය හේතු වෙන්නෙ ආකිඤ්චඤ්ඤායතන ලෝකෙ උපදින්න විතරයි’ කියලා. පින්වත් මහණෙනි, ඉතින් ඒ ධර්මයේ මා සොයන දේ නැති බව දැන ඒ ධර්මය ගැන කලකිරුනා. එතන දාල ගියා.
පින්වත් මහණෙනි, මං ආයෙමත් කුසල් කියන්නෙ මොකක්ද? කියල හොයන්න පටන් ගත්තා. අනුත්තර වූ අමා නිවන හොයන්න පටන් ගත්තා. රාමපුත්‍ර උද්දක ළඟට ගියා. ගිහින් රාමපුත්‍ර උද්දකට මෙහෙම කිව්වා. “ප්‍රිය ආයුෂ්මතුනි, මං කැමතියි මේ ධර්ම විනයේ බඹසර හැසිරෙන්න” කියලා. එතකොට පින්වත් මහණෙනි, රාමපුත්‍ර උද්දක මට මෙහෙම කිව්වා. “හොඳයි ආයුෂ්මතුනි, බඹසර හැසිරෙන්න. බුද්ධිමත් කෙනෙකුට ඉතා කෙටි කලකින් මේ ධර්මය ඉගෙන ගෙන, සාක්ෂාත් කරල වාසය කරන්න පුළුවනි” කියලා. පින්වත් මහණෙනි, මං ඉතා සුළු කලකින්, ඉතා ඉක්මනින් ඒ ධර්මය ඉගෙන ගත්තා. පින්වත් මහණෙනි, ඒ ධර්මය තොල් සොලවා කියූ පමණින් ම මං අවබෝධ කරගත්තා. එහි වැඩිහිටියෙක් බවට පත්වුනා. ඒ ධර්මය දන්න කෙනෙක් දකින කෙනෙක් වුනා. අනිත් උදවියත් මං ගැන එහෙම කිව්වා.
එතකොට පින්වත් මහණෙනි, මට මෙහෙම හිතුනා. ‘පින්වත් රාමයන් මේ ධර්මය හුදෙක් ශ්‍රද්ධා මාත්‍රයෙන් නොවෙයි කියල තියෙන්නේ. තමන්ගේ ම ඤාණයෙන් සාක්ෂාත් කරල ඉඳගෙනයි කියල තියෙන්නේ. ඇත්තෙන් ම පින්වත් රාමයන් මේ ධර්මය දැනගෙන, දැකගෙන හිටපු කෙනෙක්.’ ඉතින් පින්වත් මහණෙනි, මං රාමපුත්‍ර උද්දක ළඟට ගියා. ගිහින් මෙහෙම ඇහුවා. “ප්‍රිය ආයුෂ්මතුනි, පින්වත් රාමයන් මේ ධර්මය තමන්ගේ නුවණින් සාක්ෂාත් කරල කියල දුන්නේ කොච්චර දුරකටද?” එතකොට පින්වත් මහණෙනි, රාමපුත්‍ර උද්දක මට ‘නේවසඤ්ඤානාසඤ්ඤායතන’ සමාධිය ගැන පැවසුවා.
පින්වත් මහණෙනි, මං ඒ ගැන මෙහෙමයි හිතුවෙ. ‘ශ්‍රද්ධාව තිබුනෙ රාමට විතරක් නොවෙයි. මටත් ශ්‍රද්ධාව තියෙනවා. වීරිය තිබුනෙ රාමට විතරක් නොවෙයි. මටත් වීරිය තියෙනවා. සිහිය තිබුනෙ රාමට විතරක් නොවෙයි. මටත් සිහිය තියෙනවා. සමාධිය තිබුනෙ රාමට විතරක් නොවෙයි. මටත් සමාධිය තියෙනවා. ප්‍රඥාව තිබුණෙ රාමට විතරක් නොවෙයි. මටත් ප්‍රඥාව තියෙනවා. එහෙනම් මමත්, පින්වත් රාමයන් යම් දෙයක් අවබෝධ කරගෙන, සාක්ෂාත් කරගෙන වාසය කළා නම් ඒ දේ අවබෝධ කරගන්න වීරිය කරනවා. ඒ දේ සාක්ෂාත් කරන්න වීරිය ගන්නවා’ කියල. ඉතින් පින්වත් මහණෙනි, ඉතා සුළු කලකින්, ඉතා ඉක්මනින් මමත් ඒ ධර්මය අවබෝධ කරගෙන, සාක්ෂාත් කරගෙන ඒ ධර්මයට පැමිණ වාසය කළා.
පින්වත් මහණෙනි, මං දවසක් රාමපුත්‍ර උද්දක ළඟට ගියා. ගිහින් රාමපුත්‍ර උද්දකට මෙහෙම කිව්වා. “ප්‍රිය ආයුෂ්මතුනි, ඔබේ පියා වන පින්වත් රාමයන් තමන්ගේ ම නුවණින් මේ ධර්මය සාක්ෂාත් කරගෙන වාසය කළේ ඔච්චරකින්ද?”
“ප්‍රිය ආයුෂ්මතුනි, ඔව්! අපේ පියා වන පින්වත් රාමයන් තමන්ගේ නුවණින් සාක්ෂාත් කරගෙන වාසය කරපු ධර්මය ඔච්චර තමයි.”
“ප්‍රිය ආයුෂ්මතුනි, ඒ (ඔබේ පියා වන පින්වත් රාමයන් සාක්ෂාත් කළ) ඔය ධර්මය මමත් ඔච්චරකින් අවබෝධයෙන් ම සාක්ෂාත් කරගෙනයි ඉන්නෙ.”
“ප්‍රිය ආයුෂ්මතුනි, අපිට මහ ලාභයක් නෙව. අපට උතුම් ලාභයක් නෙව. අපිටත් ආයුෂ්මතුන් වගේ සබ්‍රහ්මචාරීන් කෙනෙක් දැකගන්න ලැබුන නෙව. ඉතින් යම් ධර්මයක් අපේ පියා වන පින්වත් රාමයන් අවබෝධයෙන් සාක්ෂාත් කරගෙන වාසය කළා නම් ඒ ධර්මය ඔබත් අවබෝධයෙන් සාක්ෂාත් කරගෙන වාසය කරනවා නෙව. ඔබ යම් ධර්මයක් සාක්ෂාත් කරගෙන වාසය කරනවා නම් ඒ ධර්මය පින්වත් රාමයන් සාක්ෂාත් කරගෙන වාසය කළා. යම් ධර්මයක් රාම දැනගෙන හිටියා නම්, ඒ ධර්මය ඔබත් දන්නවා. යම් ධර්මයක් ඔබ දැනගෙන ඉන්නවා නම්, ඒ ධර්මය රාමයන් දැනගත්තා. ඒ නිසා රාම යම් බඳු නම් ඔබත් එබඳුමයි. ඔබ යම් බඳු නම් රාමත් එබඳුමයි. ඒ නිසා පින්වත් ආයුෂ්මතුනි, දැන් එන්න. ඔබ මේ පිරිස බලා හදාගන්න.” මේ විදිහට පින්වත් මහණෙනි, රාමපුත්‍ර උද්දක මා හා සමානව සබ්‍රහ්මචාරීව සිටියදී මාව ආචාර්ය තනතුරේ තැබුවා. මට උතුම් පුද පූජාවල් කළා. නමුත් පින්වත් මහණෙනි, මං හිතන්න පටන් ගත්තා. ‘මේ ධර්මය නම් අවබෝධයෙන් කලකිරීමට හේතුවෙන්නෙ නෑ. නොඇල්ම පිණිස හේතුවෙන්නෙ නෑ. දුක් නැතිවෙන්න හේතුවෙන්නෙ නෑ. කෙලෙස් සංසිඳීම පිණිස හේතුවෙන්නෙ නෑ. විශේෂ ඥානයට හේතුවෙන්නෙ නෑ. ආර්ය සත්‍යය අවබෝධය පිණිස හේතුවෙන්නෙ නෑ. නිවනට හේතුවෙන්නෙ නෑ. මේ ධර්මය හේතුවෙන්නෙ නේවසඤ්ඤානාසඤ්ඤායතන ලෝකයේ උපදින්න විතරයි’ කියල පින්වත් මහණෙනි, ඔය විදිහට ඒ ධර්මයේ මා සොයන දෙය නැතිබව තේරුම් අරගෙන, ඒ ධර්මය ගැන කලකිරිලා එතනින් නික්මිල ගියා.
ඉතින් පින්වත් මහණෙනි, මං ආයෙමත් කුසල් කියන්නෙ මොනවද? කියල හොයන කෙනෙක් වුනා. ඒ අමා නිවන සොයා ගෙන යන කෙනෙක් වුනා. මං මගධ ජනපදයෙ ඇවිදගෙන ඇවිදගෙන ගියා. එහෙම යද්දි තමයි උරුවේලාවේ සේනානිගම නම් නියම්ගම හම්බ වුනේ. මං එහෙ නැවතුනා. ඒ භූමිය මං දැකපු රමණීය තැනක්. ඒ වන ගැබ ඇත්තෙන් ම ලස්සනයි. සුදු වැලි තලාව තියෙන රමණීය ගං ඉවුරු මැදින් නදිය ගලා බසිනවා. පිණ්ඩපාතෙ කරගන්න ගමත් ළඟින් ම තිබුනා. පින්වත් මහණෙනි, මට එතකොට මේ විදිහටයි හිතුනෙ ‘ඇත්තෙන් ම මේ පළාත රමණීයයි. මේ වන ගැබත් ලස්සනයි. සුදු වැලිතලා තියෙන ගං ඉවුරෙන් යුතු නදියත් ලස්සනට ගලනවා. පිණ්ඩපාතෙ කරගන්න ගමත් මේ ළඟමයි. ඇත්තෙන් ම වීරියෙන් භාවනා කරන පින්වතෙකුට මෙතන සුදුසු ම තැනක්’ කියලා. ඉතින් පින්වත් මහණෙනි, මං එහෙ නැවතුනා. භාවනා කරන්න මෙතන තමයි සුදුසු කියල හිතුනා. එතනම වාඩිවුනා.
පින්වත් මහණෙනි, මමත් ඉපදෙන ස්වභාවයෙන් ඉඳගෙන, ඉපදෙන ස්වභාවයට අයිති දේ ගැන ආදීනව තේරුම් අරගෙන, ඉපදීම නැති අනුත්තර වූ දුකෙන් නිදහස් වීම වූ නිවන සොයාගෙන ගියා. දැන් මම ඉපදීම රහිත වූ, අනුත්තර වූ, දුකින් නිදහස් වීම නම් වූ ඒ අමා නිවන අවබෝධ කරගත්තා. ඒ මම තමාත් ජරාවට පත්වන ස්වභාවයෙන් ඉඳගෙන ජරාවට පත්වන දේවල් ගැන ආදීනව අවබෝධ කරල, ජරා රහිත වූ, අනුත්තර වූ, දුකෙන් නිදහස් වීම නම් වූ ඒ අමා නිවන සොයාගෙන ගියා. ඉතින් මම ජරා රහිත වූ, අනුත්තර වූ, දුකින් නිදහස් වීම නම් වූ ඒ අමා නිවන අවබෝධ කළා. ඒ මම රෝගී වන ස්වභාවයෙන් ඉඳගෙන රෝගී වන දේවල්වල ආදීනව අවබෝධ කරල, රෝග රහිත වූ, අනුත්තර වූ, දුකින් නිදහස් වීම නම් වූ ඒ අමා නිවන සොයාගෙන ගියා. ඉතින් මම රෝග රහිත වූ, අනුත්තර වූ, දුකින් නිදහස් වීම නම් වූ ඒ අමා නිවන අවබෝධ කළා. ඒ මම මැරෙන ස්වභාවයෙන් ඉඳගෙන මරණයට අයිති දේ ගැන ආදීනව අවබෝධ කරල, මරණ රහිත වූ, අනුත්තර වූ, දුකින් නිදහස් වීම නම් වූ ඒ අමා නිවන සොයාගෙන ගියා. ඉතින් මම මරණ රහිත වූ, අනුත්තර වූ, දුකින් නිදහස් වීම නම් වූ ඒ අමා නිවන අවබෝධ කළා. ඒ මම ශෝක වන ස්වභාවයෙන් ඉඳගෙන ශෝක වන දේවල් ගැන ආදීනව අවබෝධ කරල, ශෝක රහිත වූ, අනුත්තර වූ, දුකින් නිදහස් වීම නම් වූ ඒ අමා නිවන සොයාගෙන ගියා. ඉතින් මම ශෝක රහිත වූ, අනුත්තර වූ, දුකින් නිදහස් වීම නම් වූ ඒ අමා නිවන අවබෝධ කළා. ඒ මම කෙලෙසෙන ස්වභාවයෙන් ඉඳගෙන කෙලෙසී යන දේවල් ගැන ආදීනව අවබෝධ කරල, නිකෙලෙස් වූ, අනුත්තර වූ, දුකෙන් නිදහස් වීම නම් වූ ඒ අමා නිවන සොයාගෙන ගියා. ඉතින් මම නිකෙලෙස් වූ අනුත්තර වූ දුකෙන් නිදහස් වීම නම් වූ ඒ අමා නිවන අවබෝධ කළා. පින්වත් මහණෙනි, ‘මගේ චිත්ත විමුක්තිය වෙනස් වෙන්නෙ නෑ. මේ මගේ අන්තිම උපත. දැන් ආයෙමත් පුනර්භවයක් නැහැ’ කියල මා තුළ ඤාණ දර්ශනය ඇතිවුනා.
පින්වත් මහණෙනි, ඒ ගැන මට මෙන්න මේ විදිහට හිතුනා. ‘මං අවබෝධ කරපු මේ ධර්මය හරි ම ගැඹුරුයි. දකින එක ලේසි නෑ. අවබෝධ කරන එක ලේසි නෑ. හරි ශාන්තයි. හරි ප්‍රණීතයි. තර්ක කරල තේරුම් ගන්න අමාරුයි. හරිම සියුම්. බුද්ධිමතුන්ට අවබෝධ කරගන්න පුළුවනි. නමුත් මේ ලෝක සත්වයා ආශාව තුළ ඉන්නෙ. ආශාවට ඇලිල ඉන්නෙ. ආශාවෙන් සතුටු වෙවී ඉන්නෙ. ඉතින් ආශාව තුළ ඉන්න, ආශාවට ඇලිල ඉන්න, ආශාවෙන් සතුටු වෙවී ඉන්න මේ ලෝක සත්වයාට නම් හේතුඵල ධර්මය වන පටිච්චසමුප්පාද ධර්මය අවබෝධ කිරීම ලේසි දෙයක් නොවෙයි. ඒ වගේම මේ සියලු සංස්කාරයන් සංසිඳවන, සියලු කෙලෙස් දුරු කරන, තණ්හාව ක්ෂය කරන, තණ්හාවේ නොඇලෙන, තණ්හාව නැති කරන ඒ අමා නිවන අවබෝධ කිරීම නම් ලේසි දෙයක් නොවෙයි. ඉතින් මම මේ ධර්මය දේශනා කරන්න පටන් ගත්තොත් අනිත් අය අවබෝධ කරන්නෙත් නැත්නම් මට ඒක මහන්සියක් විතරයි. මට ඒක වෙහෙසක් විතරයි කියලා. එතකොට ම පින්වත් මහණෙනි, මං කවදාවත් ම අහල නැති මේ අසිරිමත් ගාථාවන් මට වැටහුනා.
“ගොඩාක් මහන්සි වෙලයි මං මේ ධර්මය අවබෝධ කළේ. මේ ධර්මය අනුන්ට කීමෙන් ප්‍රයෝජන වෙන එකක් නෑ. රාග, ද්වේෂවලින් පෙළෙන ඒ ජනතාව මේ ධර්මය අවබෝධ කරනවා කියන එක ලේසි දෙයක් නොවෙයි.
මේ ධර්මය උඩුගම් බලා යන එකක්. සියුම් එකක්. ගැඹුරු එකක්. දැකීමට දුෂ්කර එකක්. ඉතා සියුම් එකක්. අවිද්‍යා අන්ධකාරයෙන් වැසුණු, රාගයෙන් ඇලුණු මේ සත්වයෝ මේ ධර්මය අවබෝධ කරන්නෙ නෑ.”
පින්වත් මහණෙනි, ඔය විදිහට මං නුවණ මෙහෙයවන කොට උත්සාහ අඩු පැත්තට ම යි හිත නැමෙන්නෙ. ධර්ම දේශනාවට හිත නැමෙන්නෙ නෑ. එතකොට පින්වත් මහණෙනි, සහම්පතී මහාබ්‍රහ්මයාට ඔහුගේ සිතින් මං හිතපු දේ දැකගන්න ලැබුනා. එතකොට ඔහුට මෙහෙම හිතුනා. “අයියෝ පින්වත්නි, ලෝක සත්වයා නැසිල යාවි! අයියෝ පින්වත්නි, ලෝක සත්වයා වැනසිලා යාවි! මේ ලෝකයේ පහළ වුණු තථාගත වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සිත අල්ප උත්සාහයට නැමිල ගියා. ධර්ම දේශනාවට නැමෙන්නෙ නෑ” කියලා. ඉතින් පින්වත් මහණෙනි, ඒ සහම්පතී බ්‍රහ්මයා ශක්තිමත් මනුස්සයෙක් හකුලපු අතක් දිගහරිනවා වගේ, දිග ඇරපු අතක් හකුලනවා වගේ බඹලොවින් අතුරුදහන් වෙලා මං ඉදිරියේ පහළ වුනා.
පින්වත් මහණෙනි, ඒ සහම්පතී මහාබ්‍රහ්මයා උතුරු සළුව ඒකාංශ කොට පොරවාගෙන වන්දනා කරගෙන මට මෙහෙම කිව්වා. “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, දහම් දෙසන සේක්වා! ස්වාමීනී, සුගතයන් වහන්ස, දහම් දෙසන සේක්වා! මේ ලෝකයේ කෙලෙස් අඩු සත්වයන් ඉන්නවා. ධර්මය අසන්න නොලැබුනොත් ඒ අය පිරිහිලා යාවි. ධර්මය අසන්න ලැබුනොත් අවබෝධ කරාවි” කියලා.
පින්වත් මහණෙනි, සහම්පතී බ්‍රහ්මයා ඔය විදිහට කියලා, ආයෙමත් මේ ගාථාවනුත් කිව්වා.
“ඉස්සර මගධ ජනපදයේ කෙලෙස් සහිත උදවිය විසින් හිතපු අපිරිසිදු ධර්මයක් පහළ වෙලා තිබුනෙ. දැන් මේ අමා නිවන් දොරටුව විවෘත කරන සේක්වා! නිර්මල ප්‍රඥා ඇති බුදුරජාණන් වහන්සේගේ ධර්මය නුවණැත්තෝ අසත්වා!
ගල් පර්වතයක් මුදුනට නැගගත්තු කෙනෙක් හාත්පස සිටින ජනතාව දිහා බලනවා වගේ මහා ප්‍රාඥ වූ හාත්පස දකින නුවණැස ඇත්තා වූ බුදුරජාණන් වහන්ස! සද්ධර්මයෙන් කරන ලද ප්‍රාසාදයට නැගලා,
ශෝක රහිත සිතින්, ඉපදීම්වලින් ජරාවලින් පෙළෙන ශෝකයෙහි ගිලුණු ජනතාව දෙස බලන සේක්වා!
මාර යුද්ධය ජයගත් මහා වීරයන් වහන්ස, නැගී සිටින සේක්වා! උතුම් ගැල්කරුවාණන් වහන්ස, ණය නැති උතුමාණන් වහන්ස, ලොව පුරා සැරිසරන සේක්වා! භාග්‍යවතුන් වහන්ස, සදහම් දෙසන සේක්වා! අවබෝධය කරන අය ඇතිවෙනවා ම යි.”
පින්වත් මහණෙනි, ඒ මහා බ්‍රහ්මයාගේ අදහස මට අවබෝධ වුනා. සත්වයන් කෙරෙහි කරුණාවක් ම ඇතිවුනා. බුදු ඇසින් මං ලෝකය දිහා බැලුවා. පින්වත් මහණෙනි, මං බුදු ඇසින් ලෝකය දිහා බලන කොට මං ලෝක සත්වයන්ව දැක්කා. සමහරුන්ට කෙලෙස් අඩුයි. සමහරුන්ට කෙලෙස් ගොඩක් තියෙනවා. සමහරුන්ගෙ ශ්‍රද්ධාදී ඉන්ද්‍රියයන් හරි තියුණුයි. සමහරුන්ගේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රියයන් දියුණු මදි. සමහරුන්ගේ ස්වභාවය යහපත්. සමහරුන්ගේ ස්වභාවය අයහපත්. සමහරුන්ට ඉතා පහසුවෙන් අවබෝධ කරවන්න පුළුවනි. සමහරුන්ට අවබෝධ කරවන එක ලේසි නෑ. සමහරුන් තුළ පරලොවටත්, වැරදිවලටත් භය තියෙනවා. සමහරුන් පරලොවටත්, වැරදිවලටත් භය නෑ.
පින්වත් මහණෙනි, මේ ලෝක සත්වයා ගේ ස්වභාවය මහනෙල් විලක් වගෙයි. නෙළුම් විලක් වගෙයි. සුදු නෙළුම් විලක් වගෙයි. ඒ විල්වල වතුරෙ හැදෙන සමහර මහනෙල්, නෙළුම්, සුදු නෙළුම් තියෙනවා. ඒවා තවම මෝරගෙන එනවා. තවම වතුර ඇතුළෙ වැඩෙනවා. ඒ වගේම සමහර මහනෙල්, නෙළුම්, සුදු නෙළුම් තියෙනවා. වතුරෙ හැදිලා, වතුරෙ වැඩිලා, වතුරෙ ම ගෑවි ගෑවි තියෙනවා. ඒ වගේම සමහර මහනෙල්, නෙළුම්, සුදු නෙළුම් තියෙනවා. ඒවා වතුරෙ ම හැදිලා, වතුරෙ ම වැඩිලා, වතුරෙන් උඩට ඇවිල්ලා වතුරෙ නොගෑවී තියෙනවා. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහටයි මං මේ ලෝක සත්වයා දිහා බුදු ඇසින් බැලුවෙ. බලන කොට මං ලෝක සත්වයන්ගේ ස්වභාවය අඳුනගත්තා. සමහරු ඉන්නවා කෙලෙස් අඩුයි. සමහරුන්ට කෙලෙස් ගොඩක් තියෙනවා. සමහරුන්ගේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රියයන් තියුණුයි. සමහරුන්ගේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රියයන් දියුණු මදි. සමහරුන් යහපත්. සමහරු අයහපත්. සමහරුන්ට පහසුවෙන් අවබෝධ කරවන්න පුළුවනි. සමහරුන්ට අවබෝධ කරවන එක ලේසි නෑ. සමහරු පරලොවටත්, වැරදිවලටත් භයයි. සමහරුන් පරලොවටත්, වැරදිවලටත් භය නෑ. ඉතින් පින්වත් මහණෙනි, එතකොට මම සහම්පතී බ්‍රහ්මයාට ගාථාවකින් පිළිතුරු දුන්නා.
“ලොවේ බුද්ධිමතුන් හට අමා නිවනේ ද්වාරය ඔන්න මං විවෘත කළා. සදහම් අසනු කැමැත්තෝ ශ්‍රද්ධාවට පැමිණෙත්වා! පින්වත් බ්‍රහ්මය, මං මේ ප්‍රණීත වූ ධර්මය, මට මැනවින් ප්‍රගුණ වූ ධර්මය මිනිසුන්ට මෙතෙක් ප්‍රකාශ නො කළේ එය වෙහෙසක් ය යන අදහස නිසයි.”
පින්වත් මහණෙනි, එතකොට සහම්පතී බ්‍රහ්මයා “භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කරන්න ඉඩ ප්‍රස්ථා ඇති කළ සේක” කියල මට වන්දනා කරල පැදකුණු කරල එතනම නොපෙනී ගියා.
පින්වත් මහණෙනි, එතකොට මං මෙහෙම හිතුවා. ‘කාටද මං ඉස්සෙල්ල ම ධර්මය දේශනා කරන්නෙ, කවුද මේ ධර්මය ඉක්මනින් ම අවබෝධ කරන්නෙ?’ කියලා. පින්වත් මහණෙනි, ඒ වෙලාවෙ මට මෙහෙම හිතුනා. ‘මේ ආළාර කාලාම බුද්ධිමත්. ව්‍යක්තයි. ප්‍රඥාවන්තයි. බොහෝ කලක් කෙලෙස් අඩුවෙන් හිටපු කෙනෙක්. මං ආළාර කාලාමට තමයි ඉස්සෙල්ලා ම ධර්මය දේශනා කරන්නෙ. එතකොට ඔහු මේ ධර්මය ඉක්මනින් ම අවබෝධ කරගනීවි කියලා. පින්වත් මහණෙනි, ඒ මොහොතේ දෙවිවරු මා ළඟට ඇවිත් මෙහෙම කිව්වා. “ස්වාමීනී, හත් දවසකට කලින් ආළාර කාලාම මරණයට පත්වුනා” කියලා. හත් දවසකට කලින් ආළාර කාලාම මරණයට පත්වුණු බවට මටත් අවබෝධ ඥානයක් ඇතිවුනා. පින්වත් මහණෙනි, එතකොට මට ඔහු ගැන මෙහෙම හිතුනා. ‘අනේ! ආළාර කාලාම මහා අවාසනාවන්ත කෙනෙක්. ඇත්තෙන් ම ඔහු මේ ධර්මය ඇහුවා නම් වහා ම අවබෝධ කරගන්නවා.’
පින්වත් මහණෙනි, එතකොට මට මෙහෙම හිතුනා. ‘දැන් කාටද මම ඉස්සෙල්ලාම ධර්මය දේශනා කරන්නෙ, කවුද මේ ධර්මය ඉක්මනින් ම අවබෝධ කරන්නේ?’ පින්වත් මහණෙනි, එතකොට මට මෙහෙම හිතුනා. ‘මේ රාමපුත්‍ර උද්දක බුද්ධිමත්. ව්‍යක්තයි. ප්‍රඥාවන්තයි. බොහෝ කාලයක් කෙලෙස් අඩුවෙන් හිටපු කෙනෙක්. මං රාමපුත්‍ර උද්දකට තමයි ඉස්සෙල්ලා ම ධර්මය දේශනා කරන්නෙ. එතකොට ඔහු වහාම මේ ධර්මය අවබෝධ කරගනීවි.’ පින්වත් මහණෙනි, ඒ මොහොතේ දෙවිවරු මා ළඟට ඇවිත් මෙහෙම කිව්වා. “ස්වාමීනී, ඊයේ රෑ රාමපුත්‍ර උද්දක මරණයට පත්වුනා” කියල. පින්වත් මහණෙනි, ඊයේ රෑ රාමපුත්‍ර උද්දක මියගිය බව මටත් අවබෝධ වුනා. මට ඔහු ගැන මෙහෙමයි හිතුනේ. ‘අනේ! රාමපුත්‍ර උද්දක මහා අවාසනාවන්තයෙක්. ඇත්තෙන් ම ඔහු මේ ධර්මය ඇහුවා නම් වහාම අවබෝධ කරගන්නවා කියල.
පින්වත් මහණෙනි, ඊට පස්සෙ මං මෙහෙම හිතුවා. ‘දැන් කාටද මම ඉස්සෙල්ලාම ධර්මය දේශනා කරන්නෙ? කවුද මේ ධර්මය ඉක්මනින් ම අවබෝධ කරන්නෙ?’ පින්වත් මහණෙනි, එතකොට මට මෙහෙම හිතුනා. ‘මේ පස්වග භික්ෂූන් වහන්සේලා මට ගොඩාක් උපකාර කරල තියෙනවා. මං මහත් වෙහෙසක් ගෙන භාවනා කරද්දි මට උපස්ථාන කරල තියෙනවා. එහෙම නම් මං පස්වග භික්ෂූන්ට තමයි ඉස්සෙල්ලාම ධර්මය දේශනා කරන්නෙ.’ එතකොට මං මෙහෙම හිතුවා. ‘මේ දවස්වල ඒ පස්වග භික්ෂූන් වහන්සේලා කොහෙද ඉන්නෙ?’ පින්වත් මහණෙනි, ඉතින් මම මිනිසුන්ගේ දර්ශන පථය ඉක්මවා ගිය පිරිසිදු දිවැසින් දැක්කා ඒ පස්වග භික්ෂූන් වහන්සේලා ඉන්නේ බරණැස මිගදාය නම් වූ ඉසිපතනයේ කියලා.
පින්වත් මහණෙනි, මං උරුවෙල් ජනපදයෙ කැමති තාක් කල් ඉඳල බරණැස බලා පිටත් වුණා. පින්වත් මහණෙනි, උපක කියන තාපසයෙක් මාව දැක්කා. මං ඒ වෙලාවෙ හිටියෙ ගයාවටත් බෝධියටත් අතර. ඉතින් මාව දැකල ඔහු මෙහෙම කිව්වා. “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ඔබේ මූණ කට හරිම ප්‍රසන්නයි. ඔබේ හමේ පාටත් පිරිසිදුයි. බබලනවා. ඇත්තෙන්ම ඔබ කවුරුන් උදෙසා ද මහණ වුණේ? ඔබේ ශාස්තෘන් වහන්සේ කවුද? ඔබ කැමති කාගේ ධර්මයට ද?” කියල. එතකොට පින්වත් මහණෙනි, මං ඒ උපක තවුසාට ගාථාවලින් කියල දුන්නා.
“මම සියලු අකුසල් මැඬලූ කෙනෙක්. මම සියලු දෙයම අවබෝධ කරපු කෙනෙක්. මම හැමදේකට ම නොඇලුන කෙනෙක්. හැම කෙලෙස් ම අත්හැරපු කෙනෙක්. තණ්හාව ක්ෂය කරල විමුක්තියට පත්වෙච්ච කෙනෙක්. මා තුළ ඇතිවුන අවබෝධ ඥානයෙන් මේ සියල්ල දැනගත් මං කවර ගුරුවරයෙක් නම් සොයන්නද?
මට ගුරුවරයෙක් නෑ. මට සමාන කෙනෙකුත් නෑ. මේ දෙවියන් සහිත ලෝකයේ මට සමාන කෙනෙක් සොයාගන්නත් නෑ.
මම අරහත්වයට පත් වූ කෙනෙක්. මම තමයි ලෝකයේ අනුත්තර වූ ශාස්තෘන් වහන්සේ. එකම සම්මා සම්බුදුවරයාණන් මම ම යි. මම සිහිල් වෙලා නිවිල ගිය කෙනෙක්.
මම මේ කසී රටේ බරණැස් නුවරට ධර්ම චක්‍රය පවත්වන්න යන ගමන්. අවිද්‍යාවෙන් අන්ධ වූ ලෝකය තුළ අමා බෙරය ගසන්න යන ගමන්.”
34.
“ප්‍රිය ආයුෂ්මතුනි, එතකොට ඔබ ඔය කියන්නෙ ‘අනත්ත ජින’ කෙනෙක් ගැනද?”
“ඔව්. ආශ්‍රවයන් ක්ෂය කරල අමා නිවනට පත්වෙච්ච මං වගේ අයට තමයි ‘ජින’ කියල කියන්නෙ. මං පාපී දේවල් ජයගත්තා. ඒ නිසා පින්වත් උපක මම තමයි ‘ජින’ කියන්නෙ.”
පින්වත් මහණෙනි, මං මෙහෙම කිව්වා ම උපක තවුසා, “ප්‍රිය ආයුෂ්මතුනි, එහෙම වෙන්නත් පුළුවන් තමයි” කියල ඔළුවත් හොලවල වෙන මගකින් යන්න ගියා.
ඉතින් පින්වත් මහණෙනි, මං අනුපිළිවෙලින් දිගටම බරණැස මිගදායෙ ඉසිපතනයට ආවා. පස්වග භික්ෂූන් වහන්සේලා වෙත මං ගියා. පස්වග භික්ෂූන් වහන්සේලා මාව දුරදිම දැක්කා. දැකල ඔවුනොවුන් මෙහෙම කතා වුනා. “ප්‍රිය ආයුෂ්මතුනි, අන්න ශ්‍රමණ ගෞතමයන් වහන්සේ එනවා. දැන් ඔහු සිව්පසය බහුල කෙනෙක්. භාවනාව කණපිට හරෝගත්තු කෙනෙක්. සිව්පසයේ බහුල බවට පත්වුන කෙනෙක්. අපි එයාට වඳින්න ඕන නෑ. උපස්ථාන කරන්න ඕන නෑ. එයාගේ පාත්‍ර සිවුරු පිළිගන්න ඕන නෑ. අපි ආසනයක් විතරක් පිළියෙල කරමු. කැමති නම් ඉතින් වාඩිවෙන්නෙ නැතැයි” කියලා. නමුත් පින්වත් මහණෙනි, මං ළංවෙද්දී කතා බස් කරගත්තු කතිකාවතට අනුව ඒ පස්වග භික්ෂූන් වහන්සේලාට ඉන්න බැරිව ගියා. එක් කෙනෙක් ඉස්සරහට ඇවිත් පාත්‍ර සිවුරු පිළිගත්තා. තව කෙනෙක් ආසනයක් පිළියෙල කළා. තව කෙනෙක් පා දොවන්න පැන් පිළියෙල කළා. නමුත් ඔවුන් මට කතා කළේ ‘ආයුෂ්මතුනි’ කියලයි.
පින්වත් මහණෙනි, මං එතකොට ඒ පස්වග භික්ෂූන් වහන්සේලාට මෙහෙම කිව්වා. “පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේට නමින්වත් ‘ආයුෂ්මතුනි’ කියලවත් අමතන්ට එපා. තථාගතයන් වහන්සේ අරහත් කෙනෙක්. සම්මා සම්බුදුවරයෙක්. පින්වත් මහණෙනි, හොඳට අහගන්න. මට අමෘතය හම්බ වුණා. මං ඔබට කියා දෙන්නම්. මං ධර්මය දේශනා කරන්නම්. මං කියා දෙන විදිහට ම පිළිපැද්දොත් පින්වත් කුලපුත්‍රයින් ගිහි ජීවිත අත්හැරලා මහණ වෙන්නෙ යම් කරුණකට ද, ඉතා සුළු කලකින් අන්න ඒ අනුත්තර වූ බඹසර ජීවිතය සම්පූර්ණ කරගෙන මේ ජීවිතයේදී තමන්ගේ ම නුවණින් උතුම් අරහත්වයට පත්වෙන්න පුළුවනි” කියලා.
පින්වත් මහණෙනි, මං එහෙම කිව්ව ම පස්වග භික්ෂූන් වහන්සේලා මට මෙහෙම කිව්වා. “ආයුෂ්මත් ගෞතමයන් වහන්ස, ඔබ අච්චර දුෂ්කර ක්‍රියාවල යෙදිලත්, අච්චර දුෂ්කර ඉරියව්වල යෙදිලත් මිනිස් ස්වභාවය ඉක්මවා ගිය ආර්ය ඤාණදර්ශන විශේෂයක් අවබෝධ කරගන්න ඔබට බැරුව ගියා නෙව. ඉතින් එහෙම එකේ දැන් ඔය සිව්පසය බහුල කරගෙන, භාවනාව කණපිට හරවගෙන, සිව්පසයෙ බහුල බවට පෙරලිල ඉඳගෙන, දැන් මිනිස් ස්වභාව ඉක්මවා ගිය ආර්ය ඤාණදර්ශන විශේෂයක් කොහොම නම් අවබෝධ කරන්නද?” එහෙම කිව්වා ම පින්වත් මහණෙනි, මං පස්වග භික්ෂූන් වහන්සේලාට මෙහෙම කිව්වා. “නෑ. පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ සිව්පසය බහුල කරගත්තෙ නෑ. භාවනාව කණපිට හරවගත්තෙ නෑ. සිව්පසයේ බහුල බවට පෙරලුනේ නෑ. පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ අරහත් කෙනෙක්. සම්මා සම්බුදුවරයෙක්. පින්වත් මහණෙනි, හොඳට අහගෙන ඉන්න. මට අමෘතය හම්බ වුනා. මං ඔබට කියා දෙන්නම්. මම ධර්මය දේශනා කරන්නම්. මං කියා දෙන විදිහට ම පිළිපැද්දොත්, පින්වත් කුලපුත්‍රයින් ගිහි ජීවිත අත්හැරලා මහණ වෙන්නෙ යම් කරුණකට ද, ඉතා සුළු කලකින් අන්න ඒ අනුත්තර වූ බඹසර ජීවිතය සම්පූර්ණ කරගෙන මේ ජීවිතයේදී තමන්ගේ ම නුවණින් උතුම් අරහත්වයට පත්වෙන්න පුළුවනි.”
පින්වත් මහණෙනි, එතකොට දෙවෙනි වතාවටත් පස්වග භික්ෂූන් වහන්සේලා මට මෙහෙම කිව්වා. “ආයුෂ්මත් ගෞතමයන් වහන්ස, අච්චර දුෂ්කර ක්‍රියාවල යෙදිලත්, අච්චර දුෂ්කර ඉරියව්වල යෙදිලත්, මිනිස් ස්වභාවය ඉක්මවා ගිය ආර්ය ඤාණදර්ශන විශේෂයක් අවබෝධ කරන්න ඔබට බැරුව ගියා නෙව. ඉතින් එහෙම එකේ දැන් ඔය සිව්පසය බහුල කරගෙන, භාවනාව කණපිට හරවගෙන, සිව්පසයේ බහුල බවට පෙරළිල ඉඳගෙන දැන් මිනිස් ස්වභාවය ඉක්මවා ගිය ආර්ය ඤාණදර්ශන විශේෂයක් කොහොම නම් අවබෝධ කරන්නද?”
පින්වත් මහණෙනි, මම දෙවෙනි වතාවටත් පස්වග භික්ෂූන් වහන්සේලාට මෙහෙම කිව්වා. “නෑ පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ සිව්පසය බහුල කරගත්තෙ නෑ. භාවනාව කණපිට හරවගත්තෙ නෑ. සිව්පසයේ බහුල බවට පෙරලුනේ නෑ. පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ අරහත් කෙනෙක්. සම්මා සම්බුදුවරයෙක්. පින්වත් මහණෙනි, හොඳට අහගෙන ඉන්න. මට අමෘතය හම්බ වුනා. මං කියා දෙන්නම්, මං ධර්මය දේශනා කරන්නම්. මං කියා දෙන විදිහට ම පිළිපැද්දොත්, පින්වත් කුලපුත්‍රයින් ගිහි ජීවිතය අත්හැරලා මහණ වෙන්නෙ යම් කරුණකට ද, ඉතා සුළු කලකින් අන්න ඒ අනුත්තර බඹසර ජීවිතේ සම්පූර්ණ කරගෙන, මේ ජීවිතයේදී තමන්ගේ ම නුවණින් උතුම් අරහත්වයට පත්වෙන්න පුළුවනි.”
තුන්වෙනි වතාවටත් පින්වත් මහණෙනි, පස්වග භික්ෂූන් වහන්සේලා මට මෙහෙම කිව්වා. “ආයුෂ්මත් ගෞතමයන් වහන්ස, අච්චර දුෂ්කර ක්‍රියාවල යෙදිලත් අච්චර දුෂ්කර ඉරියව්වල යෙදිලත් මිනිස් ස්වභාවය ඉක්මවා ගිය ආර්ය ඤාණදර්ශන විශේෂයක් අවබෝධ කරගන්න ඔබට බැරුව ගියා නෙව. ඉතින් එහෙම එකේ දැන් ඔය සිව්පසය බහුල කරගෙන, භාවනාව කණපිට හරවගෙන, සිව්පසයේ බහුල බවට පෙරලිලා ඉඳගෙන, දැන් මිනිස් ස්වභාවය ඉක්මවා ගිය ආර්ය ඤාණ දර්ශන විශේෂයක් කොහොම නම් අවබෝධ කරගන්නද?”
පින්වත් මහණෙනි, එතකොට මං පස්වග භික්ෂූන් වහන්සේලාට මෙහෙම කිව්වා. “පින්වත් මහණෙනි, මං මීට කලින් කවදාවත් ඔබට මේ විදිහේ කතාවක් කළ බවක් දන්නවාද?” “ස්වාමීනී, එහෙම දෙයක් වදාළේ නෑ.” “පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ සිව්පසය බහුල කරගත්තෙ නෑ. භාවනාව කණපිට හරවගත්තෙ නෑ. සිව්පසය බහුල බවට පෙරලුනේ නෑ. පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ අරහත් කෙනෙක්. සම්මා සම්බුදුවරයෙක්. පින්වත් මහණෙනි, හොඳට අහගෙන ඉන්න. මට අමෘතය හම්බ වුනා. මං කියා දෙන්නම්. මං ධර්මය දේශනා කරන්නම්. මං කියා දෙන විදිහට ම පිළිපැද්දොත්, පින්වත් කුලපුත්‍රයින් ගිහි ජීවිතේ අත්හැරලා මහණ වෙන්නෙ යම් කරුණකට ද ඉතා සුළු කලකින් අන්න ඒ අනුත්තර වූ බඹසර ජීවිතේ සම්පූර්ණ කරගෙන මේ ජීවිතේදී තමන්ගේ ම නුවණින් උතුම් අරහත්වයට පත්වෙන්ට පුළුවනි.
පින්වත් මහණෙනි, අන්තිමේ දී පස්වග භික්ෂූන් වහන්සේලාට මේ කාරණය අවබෝධ කරවන්න මට පුළුවන් වුනා. ඊට පස්සෙ මං භික්ෂූන් දෙනමකට උපදෙස් දෙනවා. භික්ෂූන් තුන් නමක් පිණ්ඩපාතෙ වඩිනවා. ඒ තුන් නම පිණ්ඩපාතෙ වැඩල ගේන දානෙන් තමයි අපි හය දෙනෙක් ම යැපුනේ. ඊට පස්සෙ මං ඒ තුන් නමට උපදෙස් දෙනවා. අනිත් දෙනම පිණ්ඩපාතෙ වඩිනවා. ඒ දෙනම පිණ්ඩපාතෙ වැඩල ගේන දානෙන් තමයි අපි හය දෙනෙක් ම යැපුනේ.
පින්වත් මහණෙනි, මං පස්වග භික්ෂූන් වහන්සේලාට ඔය විදිහට උපදෙස් දෙන කොට, ඔය විදිහට අනුශාසනා කරන කොට, තමාත් ඉපදෙන ස්වභාවයෙන් ඉඳගෙන ඉපදෙන ස්වභාවයට අයිති දේවල් ගැන ආදීනව අවබෝධ කරල ඉපදීම රහිත වූ, අනුත්තර වූ, දුකින් නිදහස් වීම නම් වූ ඒ අමා නිවන සොයන්න පටන් ගත්තා. ඒ පිරිසත් ඉපදීම් රහිත වූ, අනුත්තර වූ, දුකින් නිදහස් වූ ඒ අමා නිවන අවබෝධ කළා. තමාත් ජරාවට පත්වන ස්වභාවයෙන් ඉඳගෙන ජරාවට පත්වෙන දේවල් ගැන ආදීනව අවබෝධ කරගෙන ජරා රහිත වූ, අනුත්තර වූ, දුකින් නිදහස් වීම නම් වූ ඒ අමා නිවන සොයන්න පටන් ගත්තා. අන්තිමේ දී ඒ පිරිස ත් ජරා රහිත වූ, අනුත්තර වූ, දුකින් නිදහස් වීම වූ ඒ අමා නිවන අවබෝධ කළා. තමාත් ලෙඩ වන ස්වභාවයෙන් ඉඳගෙන ලෙඩ වෙන ස්වභාවයට අයිති දේ ගැන ආදීනව අවබෝධ කරල ව්‍යාධි රහිත වූ, අනුත්තර වූ, දුකින් නිදහස් වීම වූ අමා නිවන සොයන්න පටන් ගත්තා. අන්තිමේ දි ඒ පිරිසත් ව්‍යාධි රහිත, අනුත්තර වූ, දුකින් නිදහස් වීම වූ ඒ අමා නිවන අවබෝධ කළා. තමාත් මැරී යන ස්වභාවයෙන් ඉඳගෙන මැරී යන ස්වභාවයට අයිති දේ ගැන ආදීනව අවබෝධ කරල මරණ රහිත වූ, අනුත්තර වූ, දුකින් නිදහස් වීම වූ අමා නිවන සොයන්න පටන් ගත්තා. අන්තිමේදී ඒ පිරිසත් මරණ රහිත වූ, අනුත්තර වූ, දුකින් නිදහස් වීම වූ ඒ අමා නිවන අවබෝධ කළා. තමාත් ශෝක වන ස්වභාවයෙන් ඉඳගෙන ශෝක වෙන දේවල් ගැන ආදීනව අවබෝධ කරල, ශෝක රහිත වූ, අනුත්තර වූ, දුකින් නිදහස් වීම වූ ඒ අමා නිවන සොයන්න පටන් ගත්තා. අන්තිමේදී ඒ පිරිසත් ශෝක රහිත වූ, අනුත්තර වූ දුකින් නිදහස් වීම නම් වූ ඒ අමා නිවන අවබෝධ කළා. තමාත් කෙලෙසෙන ස්වභාවයෙන් ඉඳගෙන කෙලෙසී යන දේවල් ගැන ආදීනව අවබෝධ කරගෙන කෙලෙස් රහිත වූ, අනුත්තර වූ, දුකින් නිදහස් වීම වූ ඒ අමා නිවන සොයන්න පටන් ගත්තා. අන්තිමේදී ඒ පිරිසත් කෙලෙස් රහිත වූ, අනුත්තර වූ, දුකින් නිදහස් වූ ඒ අමා නිවන අවබෝධ කළා. ඒ භික්ෂූන්ටත් ‘අපගේ චිත්ත විමුක්තිය වෙනස් වෙන්නෙ නෑ. මේ තමයි අන්තිම ඉපදීම. ආයෙත් නම් පුනර්භවයක් නැතැයි’ කියල ඤාණදර්ශනය ඇතිවුනා.
පින්වත් මහණෙනි, කාමගුණ පහක් තියෙනවා. මොනවද ඒ කාමගුණ පහ? ඇසින් දකින ඉතා යහපත්, සිත්කළු, ප්‍රියමනාප, කැමැත්ත ඇතිවෙන, කෙලෙස් හටගන්න රූප තියෙනවා. කනෙන් අහන ශබ්ද තියෙනවා ….(පෙ)…. නාසයට දැනෙන ගඳ සුවඳ තියෙනවා ….(පෙ)…. දිවට දැනෙන රස තියෙනවා ….(පෙ)…. කයට දැනෙන ඉතා යහපත්, සිත්කළු, ප්‍රියමනාප, කැමැත්ත ඇති වෙන, කෙලෙස් හටගන්න පහස තියෙනවා. පින්වත් මහණෙනි, මේවට තමයි පංචකාම ගුණ කියන්නෙ.
පින්වත් මහණෙනි, ඉතින් යම්කිසි ශ්‍රමණයන් වේවා, බ්‍රාහ්මණයන් වේවා මේ පංච කාමයන්ට ගිජු වුනොත්, මේවා ගැන සිහිවිකල් වුනොත්, මේවායේ ම බැසගත්තොත්, මේවා ගැන ආදීනව දකින්නෙ නැතුව මෙයින් නිදහස් වීමේ ප්‍රඥාවක් නැතුව, ඔය අරමුණු රස විඳින්න ගියොත් ඒ උදවිය ගැන දැනගන්න තියෙන්නෙ මෙන්න මේ විදිහටයි. ‘ඔවුන්ට පාඩු විඳින්න සිද්ධ වුනා. විපතට පත්වුනා. ඔවුන්ට ඕන දෙයක් කරන්න පාපී මාරයාට බලය ලැබුනා’ කියලයි.
පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. වනාන්තරේ ඇවිදගෙන යන මුවෙක් ඉන්නවා. ඌ තොණ්ඩුවකට අහුවෙලා එතන ම නිදාගෙන ඉන්නවා. ඌ ගැන මෙහෙමයි දැනගන්න ඕන. ඒ මුවාට ඒක පාඩුවක් ම යි. විපතක් ම යි. ඌට ඕන දෙයක් කරන්න වැද්දාට පුළුවනි. වැද්දා එනකොට කැමති තැනකට පැනල දුවන්න ඌට පුළුවන්කමක් නෑ. අන්න ඒ වගේ ම යි පින්වත් මහණෙනි, යම්කිසි ශ්‍රමණයන් වේවා, බ්‍රාහ්මණයන් වේවා මේ පංචකාම ගුණයන්ට ගිජු වුනොත්, සිහිවිකල් වුනොත්, එහි බැසගත්තොත්, ආදීනව නොදැක්කොත්, එයින් නිදහස් වෙන ප්‍රඥාව නැතුව ඒ අරමුණු රස විඳින්න ගියොත් ඔවුන් ගැන දැන ගත යුත්තේත් මේ විදිහටයි. ‘ඔවුන්ට පාඩු විඳින්න සිද්ධ වුනා. විපතට පත්වුනා. ඔවුන්ට ඕන දෙයක් කරන්න මාරයාට බලය ලැබුනා’ කියලයි.
ඒ වගේ ම පින්වත් මහණෙනි, යම්කිසි ශ්‍රමණයන් වේවා, බ්‍රාහ්මණයන් වේවා ඔය පංචකාම ගුණයන්ට ගිජුවුනේ නැත්නම්, සිහිවිකල් කරගත්තෙ නැත්නම්, එහි බැසගත්තෙ නැත්නම්, ආදීනව දකිමින් එයින් නිදහස් වෙන ප්‍රඥාවෙන් යුතුව, ඒ අරමුණු රස විඳිනවා නම් ඔවුන් ගැන දැනගන්න ඕන මේ විදිහටයි. ‘ඔවුන්ට පාඩු සිදුවෙන්නෙ නෑ. විපතට පත්වෙන්නෙ නෑ. ඔවුන්ට ඕන දෙයක් කරන්න මාරයාට බලය ලැබෙන්නෙ නෑ’ කියලයි.
පින්වත් මහණෙනි, ඒක මෙන්න මේ වගේ දෙයක්. වනයේ ඇවිදගෙන යන මුවෙක් ඉන්නවා. ඌ තොණ්ඩුවකට බැඳිලා නෑ. නමුත් එතන නිදාගෙන ඉන්නවා. ඒ මුවා ගැන දැනගන්න ඕන මෙහෙමයි. ඌට පාඩුවක් සිද්ධ වෙන්නෙ නෑ. ඌ විපතට පත් වෙන්නෙ නෑ. ඌට ඕන දෙයක් කරන්න වැද්දාට බලය ලැබෙන්නෙ නෑ. වැද්දා එන කොට ම කැමති තැනකට පැනල දුවන්න ඌට පුළුවනි. පින්වත් මහණෙනි, අන්න ඒ විදිහමයි ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයින් මේ පංචකාම ගුණයන්ට ගිජු වෙන්නෙ නෑ. සිහිවිකල් කරගන්නෙ නෑ. එහි බැසගන්නෙ නෑ, ආදීනව දකිමින් එයින් නිදහස් වීමේ ප්‍රඥාවෙන් යුක්තව ම යි ඒ අරමුණු රස විඳින්නෙ. ඔවුන් ගැන මෙහෙමයි දැනගන්න ඕන. ‘ඔවුන් පාඩු සිද්ධ කරගන්නෙ නෑ. විපතට පත්වෙන්නෙ නෑ. ඔවුන්ට ඕන දෙයක් කරන්න පවිටු මාරයාට බලය ලැබෙන්නෙ නෑ’ කියලයි.
පින්වත් මහණෙනි, වනයේ ඇවිදගෙන යන මුවෙක් ඉන්නවා. ඒ මුවා කිසි භයක් නැතුව වනයේ ඇවිදිනවා. කිසි භයක් නැතුව වනයේ ඉන්නවා. කිසි භයක් නැතුව වනයේ ලගිනවා. කිසි භයක් නැතුව වනයේ නිදා ගන්නවා. ඒකට හේතුව මොකක්ද? වැද්දාට මුණගැහුනෙ නැති නිසා. පින්වත් මහණෙනි, අන්න ඒ විදිහටයි භික්ෂුව කාමයන්ගෙන් වෙන් වෙලා, අකුසල්වලින් වෙන් වෙලා විතර්ක විචාර සහිත, මානසික විවේකයෙන් හටගත් ප්‍රීතිය සැපය තියෙන පළවෙනි ධ්‍යානය ලබාගෙන ඉන්නවා. පින්වත් මහණෙනි, මේ භික්ෂුවටයි කියන්නෙ ‘මාරයා අන්ධ කරපු කෙනා කියලා. මාරයාගේ බැල්ම පිහිටන තැන නැති කළ කෙනා කියලා. පවිටු මාරයා නොදකින තැනකට ගිය කෙනා’ කියල.
පින්වත් මහණෙනි, මේ ගැන තවදුරටත් කියනවා නම්, භික්ෂුව විතර්ක විචාර සංසිඳවාගෙන, තම සිත තුළ බලවත් පැහැදීමක් ඇති කරගෙන සිතේ එකඟ බවින් යුතුව විතර්ක විචාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීතිසුඛය තියෙන දෙවෙනි ධ්‍යානය ලබාගෙන ඉන්නවා. පින්වත් මහණෙනි, මේ භික්ෂුවටයි කියන්නෙ ‘මාරයා අන්ධ කරපු කෙනා කියලා. මාරයාගේ බැල්ම පිහිටන තැන නැතිකළ කෙනා කියලා. පවිටු මාරයා නොදකින තැනකට ගිය කෙනා’ කියල.
පින්වත් මහණෙනි, තවදුරටත් මේ ගැන කියනවා නම්, භික්ෂුව ප්‍රීතියටත් ඇලෙන්නෙ නැතුව උපේක්ෂාවෙන් යුක්තව සිහියෙන් යුක්තව නුවණින් යුක්තව ඉන්නවා. කයෙන් සැපයත් විඳිනවා. ආර්යයන් වහන්සේලා මේ ගැන කියන්නෙ උපේක්ෂාවෙන් යුතුව සිහියෙන් යුතුව සැපසේ වාසය කරනවා කියලයි. අන්න ඒ තුන්වන ධ්‍යානයත් ලබාගෙන ඉන්නවා. පින්වත් මහණෙනි, මේ භික්ෂුවටයි කියන්නෙ ‘මාරයා අන්ධ කරපු කෙනා කියලා. මාරයාගේ බැල්ම පිහිටන තැන නැති කළ කෙනා කියලා. පවිටු මාරයා නොදකින තැනකට ගිය කෙනා’ කියල.
පින්වත් මහණෙනි, මේ ගැන තවදුරටත් කියනවා නම්, භික්ෂුව සැපයත් නැතුව දුකත් නැතුව කලින් ම මානසික සැප දුක අත්හැරලා, දුක් සැප රහිත පාරිශුද්ධ සිහියත් උපේක්ෂාවත් තියෙන හතරවෙනි ධ්‍යානය ලබාගෙන ඉන්නවා. පින්වත් මහණෙනි, මේ භික්ෂුවටයි කියන්නෙ ‘මාරයා අන්ධ කරපු කෙනා කියලා. මාරයාගේ බැල්ම පිහිටන තැන නැති කළ කෙනා කියලා. පවිටු මාරයා නොදකින තැනකට ගිය කෙනා’ කියලා.
පින්වත් මහණෙනි, මේ ගැන තවදුරටත් කියනවා නම්, භික්ෂුව රූපය ගැන තියෙන හැම සඤ්ඤාවක් ම ඉක්මවා ගිහින් මානසිකව ඇතිවෙන හැම සඤ්ඤාවක් ම ඉක්මවා ගිහින්, විවිධාකාර සඤ්ඤාවන් සිහි කරන්නෙ නැතුව, ‘අනන්ත වූ ආකාසය’ කියල ආකාසානඤ්චායතන සමාධිය ලබාගෙන වාසය කරනවා. පින්වත් මහණෙනි, මේ භික්ෂුවටයි කියන්නෙ ‘මාරයා අන්ධ කරපු කෙනා කියලා. මාරයාගේ බැල්ම පිහිටන තැන නැති කළ කෙනා කියලා. පවිටු මාරයා නොදකින තැනකට ගිය කෙනා’ කියලා.
පින්වත් මහණෙනි, මේ ගැන තවදුරටත් කියනවා නම්, භික්ෂුව ආකාසානඤ්චායතනය මුළුමනින් ම ඉක්මවා ගිහින් ‘අනන්ත වූ විඤ්ඤාණය’ කියමින් විඤ්ඤාණඤ්චායතන සමාධිය ලබාගෙන ඉන්නවා ….(පෙ)…. විඤ්ඤාණඤ්චායතනයත් හැම විදිහෙන් ම ඉක්මවා ගිහිල්ල ‘කිසිවක් නෑ’ කියල භාවනාවෙන් ආකිඤ්චඤ්ඤායතනය ලබාගෙන ඉන්නවා ….(පෙ)…. ආකිඤ්චඤ්ඤායතන සමාධිය මුළුමනින් ම ඉක්මවාගෙන ගිහිල්ල නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාධිය ලබාගෙන ඉන්නවා. ….(පෙ)…. මුළුමනින් ම නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා ගිහිල්ල සඤ්ඤා, විඳීම් නැති නිරෝධ සමාපත්තිය ලබාගෙන ඉන්නවා. ප්‍රඥාවෙන් අවබෝධ කරගෙන ආශ්‍රවත් ප්‍රහාණය කරල දානවා. පින්වත් මහණෙනි, මේ භික්ෂුවටයි කියන්නෙ ‘මාරයා අන්ධ කරපු කෙනා කියලා. මාරයාගේ බැල්ම පිහිටන තැන නැති කළ කෙනා කියලා. පවිටු මාරයා නොදකින තැනකට ගිය කෙනා’ කියලා. මේ ලෝකයේ ‘විසත්තිකා’ කියන තෘෂ්ණාවෙන් එතෙර වුනා කියලා. අන්න ඒ භික්ෂුව භයක් නැතුව ඇවිදිනවා. භයක් නැතුව ඉන්නවා. භයක් නැතුව ඉඳගන්නවා. භයක් නැතුව නිදාගන්නවා. ඒකට හේතුව මොකක්ද? පින්වත් මහණෙනි, ඒ භික්ෂුව මාරයාට මුණගැහුනෙ නෑ.”
භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව වදාළා. මේ දේශනාවට සවන් දුන් භික්ෂූන් වහන්සේලා ගොඩාක් සතුටු වුනා. භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ දේශනය සාදු නාද නංවමින් ඉතා සතුටින් පිළිගත්තා.
සාදු! සාදු!! සාදු!!!
ශ්‍රේෂ්ඨත්වය සොයා ගිය ගමන ගැන වදාළ දෙසුම නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn1_1-3-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M