මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දවස්වල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. එදා ‘පිංගලකොච්ඡ’ නම් බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්න ආවා. ඇවිදින් භාග්‍යවතුන් වහන්සේත් එක්ක සතුටු සාමීචි කතා කළා. පිළිසඳර කතාවෙන් පස්සෙ, පැත්තකින් වාඩිවුනා. පැත්තකින් වාඩි වුණු පිංගලකොච්ඡ බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.
“පින්වත් ගෞතමයන් වහන්ස, ශ්‍රාවක පිරිස් පිරිවරාගෙන ඉන්න ඒ ශ්‍රාවක පිරිසට ආචාර්ය වූ, ප්‍රසිද්ධ වූ, කීර්තිධර, බොහෝ ජනයා යහපත් ය කියල සම්මත කරගෙන ඉන්න ආගමික නායකයො ඉන්නවා. ඔවුන් තමයි, පූරණකස්සප, මක්ඛලී ගෝසාල, අජිත කේසකම්බල, පකුධ කච්චායන, සංජය බේලට්ඨිපුත්ත, නිගණ්ඨ නාතපුත්ත කියන උදවිය. ඔය උදවිය සියලු දෙනා තමන් කියන හැටියට ම අවබෝධ කරගෙන ද ඉන්නෙ? එහෙම නැත්නම් ඔය කාටවත් ම අවබෝධයක් නැද්ද? එහෙමත් නැත්නම් ඒ උදවියගෙන් සමහර කෙනෙක් අවබෝධයෙන් ද ඉන්නෙ? සමහරුන්ට අවබෝධයක් නැද්ද?”
“පින්වත් බ්‍රාහ්මණය, වැඩක් නෑ. ඔය උදවිය සියලු දෙනා තමන් කියන දේ අවබෝධ කරගත්තාද? ඔය කාටවත් ම අවබෝධයක් නැද්ද? එහෙම නැත්නම් සමහරුන්ට විතරක් අවබෝධ වෙලාද? සමහරුන්ට අවබෝධ වෙලා නැද්ද? කියන ඔය ප්‍රශ්නෙ පැත්තකට දාන්න. පින්වත් බ්‍රාහ්මණය, මං ඔබට ධර්මය කියා දෙන්නම්. හොඳට අහගෙන ඉන්න. තේරුම් ගන්න මහන්සි වෙන්න.”
“එහෙමයි ස්වාමීනී” කියල පිංගලකොච්ඡ බ්‍රාහ්මණය භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ ඒ මොහොතේදී මේ දේශනාව වදාළා.
පින්වත් බ්‍රාහ්මණය, අරටුවකින් ප්‍රයෝජන තියෙන, අරටුවක් සොයමින් ඉන්න, අරටුවක් සොයමින් ඇවිදින කෙනෙකුට හොඳ අරටුව තියෙන විශාල ගහක් හම්බ වෙනවා. ඉතින් ඒ පුද්ගලයා අරටුව කියල හිතාගෙන, අරටුව අත්හැරලා, එලය අත්හැරලා, සිවිය අත්හැරලා, පොත්ත අත්හැරලා, කොළ අතු ටික සිඳල අරගෙන යනවා. එතකොට ඇස් ඇති කෙනෙක් මොහුව දැකල මෙහෙම කියනවා. “අයියෝ! මේ පුද්ගලයා අරටුව දන්නෙත් නෑ. එලේ දන්නෙත් නෑ. සිවිය දන්නෙත් නෑ. පොත්ත දන්නෙත් නෑ. කොළ අතු දන්නෙත් නෑ. ඔය තැනැත්තාට අරටුවක ඕනකම තිබුනා. අරටුවක් හොය හොයා නෙව හිටියෙ. හොඳ සාරවත් අරටුව තියෙන මහ ගහකුත් හම්බ වුනා. බැලින්නම් අරටුව කියල හිතාගෙන අරටුව අත්හැරලා, එලයත් අත්හැරලා, සිවියත් අත්හැරලා, පොතුත් අත්හැරලා, කොළ අතු ටික කඩාගෙන ගියා නෙව. අරටුවකින් කරන්න ඕන වැඩේ කරගන්න ඔය තැනැත්තාට නම් ලැබෙන්නෙ නෑ” කියල.
ඒ වගේම පින්වත් බ්‍රාහ්මණය, තවත් මනුස්සයෙකුට අරටුවක ඕනකමක් ඇති වුනා. අරටුවක් හොය හොයා යන්න පටන් ගත්තා. ඔහුට හොඳ අරටුව තියෙන විශාල ගහක් හම්බ වුනා. නමුත් ඔහු අරටුව කියල හිතාගෙන, අරටුව අත්හැරලා, එලය අත්හැරලා, සිවිය අත්හැරලා, පොතු අරගෙන ගියා. ඇස් ඇති පුද්ගලයෙක් මොහුව දැකල මෙහෙම කියනවා. ‘අයියෝ! ඔය තැනැත්තා අරටුව අඳුනන්නෙත් නෑ. එලය අඳුනන්නෙත් නෑ. සිවිය අඳුනන්නෙත් නෑ. පොතු අඳුනන්නෙත් නෑ. කොළ අතු අඳුනන්නෙත් නෑ. ඇත්තෙන්ම ඔය පුද්ගලයාට අරටුවක ඕනකම තිබුනා. අරටුවක් හොය හොයා තමයි හිටියෙ. අරටුවක් තියෙන හොඳ ගහකුත් හම්බ වුනා. අන්තිමේදී බැලින්නම් අරටුව කියල හිතාගෙන ඒ අරටුවම අත්හැරලා, එලයත් අත්හැරලා, සිවියත් අත්හැරලා, පොතු නෙව අරගෙන ගියේ. අරටුවකින් ගන්න ඕන වැඩේ නම් මොහුට ගන්න ලැබෙන්නෙ නෑ’ කියලා.
ඒ වගේ ම පින්වත් බ්‍රාහ්මණය, ඔන්න තවත් කෙනෙකුට අරටුවකින් වැඩක් ගන්න ඕන වුනා. අරටුවක් හොය හොයා ඇවිදින්න පටන් ගත්තා. ඔහොම යද්දී හොඳ අරටුවක් තියෙන විශාල ගහක් හම්බ වුනා. ඉතින් මෙයා අරටුව කියල හිතාගෙන, අරටුව අත්හැරලා, එලය අත්හැරලා, සිවිය ගලෝගෙන ගියා. ඇස් ඇති කෙනෙකුට මොහුව දකින්න ලැබෙනවා. දැකල මෙහෙම කියනවා. ‘අයියෝ! මේ තැනැත්තා අරටුව දන්නෙත් නෑ. එලය දන්නෙත් නෑ. සිවිය දන්නෙත් නෑ. පොත්ත දන්නෙත් නෑ. කොළ අතු දන්නෙත් නෑ. මේ පුද්ගලයාට ඕන වුනේ අරටුවයි. අරටුව ම යි හොය හොයා ගියෙත්. අරටුව තියෙන විශාල ගහකුත් හම්බ වුනා. අන්තිමේදී බැලින්නම් මෙයා අරටුව අත්හැරලා, එලය අත්හැරලා, අරටුව කියල හිතාගෙන සිවිය ගලෝගෙන ගියා නෙව. මෙයාට නම් අරටුවෙන් වැඩක් ගන්න ලැබෙන්නෙ නෑ’ කියලා.
පින්වත් බ්‍රාහ්මණය, තවත් පුද්ගලයෙක් ඉන්නවා. මේ පුද්ගලයාටත් අරටුවකින් වැඩක් ගන්න ඕන වෙනවා. ඉතින් අරටුවක් සොයන්න පටන් ගන්නවා. ඔහොම යනකොට අරටුව තියෙන හොඳ ගහක් හම්බ වෙනවා. නමුත් මෙයා අරටුව කියල හිතාගෙන අරටුව අත්හැරලා, එලය අරගෙන යනවා. එතකොට ඇස් ඇති කෙනෙක් මොහුව දැකලා මෙහෙම කියනවා. ‘අයියෝ! මේ තැනැත්තා අරටුව දන්නෙත් නෑ. එලය දන්නෙත් නෑ. සිවිය දන්නෙත් නෑ. පොතු දන්නෙත් නෑ. කොළ අතු දන්නෙත් නෑ. ඔය තැනැත්තාට අරටුවක් ඕන වෙලා තිබුනා. අරටුවක් හොය හොයා ගියා. අන්තිමේදී හොඳ අරටුවක් තියෙන විශාල ගහකුත් හම්බ වුනා. පස්සෙ බැලින්නම් මෙයා අරටුව කියල හිතාගෙන ඒ අරටුව අත්හැරලා, එලය නෙව අරගෙන ගියේ. මේ තැනැත්තාට නම් අරටුවකින් ලබාගන්න ප්‍රයෝජනේ ලබාගන්න බැරි වෙලා යනවා’ කියල.
ඒ වගේ ම පින්වත් බ්‍රාහ්මණය, තව පුද්ගලයෙක් ඉන්නවා. එයාටත් අරටුවක අවශ්‍යතාවය තියෙනවා. එයත් අරටුවක් හොය හොයා ඇවිදිනවා. එයාටත් අරටුව තියෙන විශාල ගහක් හම්බ වෙනවා. එයා ඒකෙ අරටුව හඳුනාගෙන, අරටුව ම කපාගෙන යනවා. ඇස් ඇති කෙනෙක් එයාව දැකල මෙහෙම කියනවා. “හරියට හරි! මේ ඇත්තා විතරක් අරටුව හඳුනගත්තා. එලය හඳුනගත්තා. සිවිය හඳුනගත්තා. පොත්ත හඳුනගත්තා. කොළ අතු හඳුනගත්තා. ඔය තැනැත්තටත් අරටුවක අවශ්‍යතාවයක් තිබුනා. අරටුවක් හොය හොයාත් ගියා. අරටුව තියෙන ගහකුත් හම්බ වුනා. අරටුව හඳුනගෙන, අරටුව ම කපා ගෙන ගියා. අන්න එයාට විතරක් අරටුවකින් ගන්න තියෙන ප්‍රයෝජනේ ගන්න පුළුවනි” කියලා.
පින්වත් බ්‍රාහ්මණය, ඔන්න ඔය විදිහමයි. සමහර පින්වත් කුලදරුවන් ඉන්නවා ගිහි ජීවිතේ අතහැරලා මහණ වෙන්නෙ ශ්‍රද්ධාවෙන් ම යි. ‘මම මේ ඉපදෙන, ජරාවෙන, මැරෙන, ශෝක වැළපීම් ලැබෙන, කායික මානසික දුක් ලැබෙන දුකට වැටුනා නෙව. දුකට බැසගත්තා නෙව. දුකින් පෙළෙනවා නෙව. මේ හැම දුකක් ම අවසන් කරල දාන්න ලැබුනොත් කොයිතරම් දෙයක්ද?’ කියලා. ඔය විදිහට මහණ වෙච්ච කෙනා ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා ඇති කරගන්නවා. ඒ ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසාවලින් සතුටු වෙලා සම්පූර්ණයෙන් තෘප්තිමත් වෙනවා. ඊට පස්සෙ ඒ ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා මුල් කරගෙන තමන්ව හුවා දක්වනවා. අනුන්ව හෙළා දකිනවා. “මට විතරයි ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා ලැබෙන්නෙ. මේ අනිත් භික්ෂූන් වහන්සේලා ප්‍රසිද්ධ නෑ, ආනුභාව සම්පන්නත් නෑ” කියල.
ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසාවෙන් බැහැර වූ උත්තරීතර වූ ඉතා වටිනා ගුණධර්ම ඇති කරගන්න කැමති වෙන්නෙ නෑ. වීරිය ගන්නෙ නෑ. උසස් අදහස් නැතුව නිවන් මග හෑල්ලු කරගන්නවා. පින්වත් බ්‍රාහ්මණය, අරටුවෙන් ප්‍රයෝජන ඇති කෙනෙක් අරටුවක් හොය හොයා යනවා. හොඳ අරටුව තියෙන විශාල ගහක් හම්බ වෙනවා. මෙයා ඒ ගහේ අරටුව අත්හැරලා, එලය අත්හැරලා, සිවිය අත්හැරලා, පොත්ත අත්හැරලා කොළ අතු විතරක් අරගෙන යනවා. එයාට අරටුවකින් ගත යුතු ප්‍රයෝජනේ ගන්න ලැබෙන්නෙ නෑ. මේ පුද්ගලයා ගැන පින්වත් බ්‍රාහ්මණය, මට කියන්න තියෙන්නෙ ඔන්න ඔය උපමාව තමයි.
ඒ වගේම පින්වත් බ්‍රාහ්මණය, සමහර පින්වත් උදවිය ඉන්නවා ගිහි ජීවිතේ අත්හැරලා පැවිදි වෙන්නෙ ශ්‍රද්ධාවෙන් ම යි. ‘ඉපදීමෙන්, ජරා මරණයෙන්, ශෝක වැළපීම්, දුක්, දොම්නස්, සුසුම් හෙළීම්වලින් යුතු සංසාරයකටයි මං වැටිල ඉන්නෙ. මං දුකට පත්වෙලයි ඉන්නෙ. මං දුකින් පෙළෙන කෙනෙක්. මේ හැම දුකින් ම නිදහස් වෙන්න තියෙනව නම් කොයිතරම් දෙයක්ද?’ කියල හිතලයි මහණ වෙන්නෙ. මහණ වුනාට පස්සෙ ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා ඇති කරගන්නවා. නමුත් ඒ ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා ගැන සතුටු වෙන්නෙ නෑ. “දැන් ඉතින් ඔක්කොම හරි!” කියල හිතාගෙන ඉන්නෙ නෑ. ඔහු ඒ ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා මුල් කරගෙන තමාව හුවා දක්වන්නෙ නෑ. අනුන්ව හෙළා දකින්නෙ නෑ. ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසාවලට වඩා උත්තරීතර වූ වඩාත් උතුම් වූ ගුණ ධර්ම තියෙනවා. ඒ ගුණ ධර්ම ඇතිකරගන්න කැමැත්ත ඇති කරගන්නවා. මහන්සි වෙනවා. බලවත් ඕනකමක් ඇති කරගන්නවා. සාසනේ හෑල්ලු කරල ගන්නෙ නෑ. ඔහු සිල්වත් වෙනවා. ඒ සීලයෙන් ගොඩක් සතුටු වෙනවා. ‘දැන් ඉතින් ඔක්කොම හරි!’ කියල හිතනවා. ඒ සීල සම්පත්තිය මුල් කරගෙන තමන්ව හුවා දක්වනවා. අනුන්ව හෙළා දකිනවා. ‘යහපත් ගුණධර්ම ඇති සිල්වත් කෙනෙකුට ඉන්නෙ මං විතරයි. කෝ මේ අනිත් භික්ෂූන් වහන්සේලා පාපධර්ම තියෙන දුස්සීල අය නෙව’ කියල. නමුත් සීල සම්පත්තියට වඩා උත්තරීතර වූ වඩා උතුම් වූ ගුණධර්ම තියෙනවා. ඒ ගුණධර්ම ඇතිකර ගන්න කැමති වෙන්නෙ නෑ. වීරිය ගන්නෙ නෑ. පසුබට වෙනවා. සාසනේ ලිහිල් කරල ගන්නවා.
පින්වත් බ්‍රාහ්මණය, ඕකත් හරියට අරටුවෙන් ප්‍රයෝජන තියෙන පුද්ගලයාගේ වැඩේ වගේ. එයා අරටුවක් හොය හොයා ගියා. හොඳ අරටුවක් තියෙන ලොකු ගහක් හම්බ වුනා. මෙයා ඒ ගහේ අරටුව අත්හැරලා, එලේ අත්හැරලා, සිවිය අත්හැරලා, පොත්ත කපාගෙන ගියේ අරටුව කියල හිතාගෙන. ඉතින් එයාට අරටුවකින් ගන්න තියෙන ප්‍රයෝජනේ ගන්න ලැබෙන්නෙ නෑ. පින්වත් බ්‍රාහ්මණය, මේ පුද්ගලයාටයි මං ඔන්න ඔය උපමාව කියන්නෙ.
පින්වත් බ්‍රාහ්මණය, සමහර පින්වත් උදවිය ඉන්නවා ගිහි ජීවිතේ අත්හැරලා මහණ වෙන්නෙ ශ්‍රද්ධාවෙන් ම යි. ‘ඉපදීමෙන්, ජරා මරණයෙන්, ශෝක වැළපීම්, දුක් දොම්නස්, සුසුම් හෙළීම්වලින් යුතු සංසාරයකටයි මං වැටුණේ. මං දුකට පත්වුනා. මං දුකින් පෙළෙන කෙනෙක්. මේ හැම දුකින් ම නිදහස් වෙන්න ඇත්නම් කොයිතරම් හොඳ ද?’ කියලයි මහණ වෙන්නෙ. මහණ වුණාට පස්සෙ ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා ඇති කරගන්නවා. ඔහු ඒ ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසාවෙන් සතුටු වෙන්නෙ නෑ. ‘දැන් ඉතින් ඔක්කොම හරි!’ කියල හිතන්නෙ නෑ. ඔහු ඒ ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා හේතු කරගෙන තමන්ව හුවා දක්වන්නෙ නෑ. අනුන්ව හෙලා දකින්නෙ නෑ. ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසාවලට වඩා උත්තරීතර වූ වඩාත් උතුම් වූ ගුණධර්ම ඇති කරගන්න කැමති වෙනවා. වීරිය කරනවා. ඕනකම ඇති කරගන්නවා. සාසනේ ලිහිල් කරගන්නෙ නෑ. ඔහු සිල්වත් වෙනවා. සීලයෙන් සතුටු වෙනවා. නමුත් ‘දැන් ඉතින් ඔක්කොම හරි!’ කියල හිතන්නෙ නෑ. ඔහු ඒ සීල සම්පත්තියෙන් තමාව හුවා දක්වන්නෙ නෑ. අනුන්ව හෙළා දකින්නෙත් නෑ. ඒ සීල සම්පත්තියටත් වඩා උත්තරීතර වූ වඩාත් උතුම් වූ ගුණධර්ම තියෙනවා. ඒ ගුණ ධර්ම ඇති කරගැනීමට කැමති වෙනවා. වීරිය කරනවා. පසු බසින්නෙ නෑ. සාසනේ ලිහිල් කරගන්නෙ නෑ. ඔහු සමාධිය ඇති කරගන්නවා. ඒ සමාධියෙන් සතුටු වෙනවා. ‘දැන් ඉතින් ඔක්කොම හරි!’ කියල හිතනවා. ඒ සමාධිය මුල් කරගෙන තමන්ව හුවා දක්වනවා. අනුන්ව හෙළා දකිනවා. ‘මම නම් සමාධිමත් සිතක් ඇති කරගත්තා. කෝ මේ අනිත් භික්ෂූන් වහන්සේලාට එකඟ සිතක් නැහැ නෙව. විසිරුණු සිතින් නෙව ඉන්නෙ’ කියල. නමුත් සමාධි සම්පත්තියටත් වඩා උත්තරීතර වූ වඩා උතුම් වූ ගුණධර්ම තියෙනවා. ඒ ගුණධර්ම ඇති කරගැනීමට කැමති වෙන්නෙ නෑ, වීරිය කරන්නෙ නෑ. ඕනකමක් ඇති වෙන්නෙ නෑ. සාසනේ ලිහිල් කරගන්නවා.
පින්වත් බ්‍රාහ්මණය, අරටුවක අවශ්‍යතාවයක් තියෙන කෙනෙක් අරටුවක් හොය හොයා යනවා. එයාට හොඳ අරටුවක් තියෙන විශාල ගහක් හම්බ වෙනවා. ඉතින් එයා අරටුව අත්හැරලා, එලය අත්හැරලා, අරටුව කියල හිතාගෙන සිවිය අරගෙන යනවා. ඒ පුද්ගලයාට අරටුවකින් ගත යුතු වැඩේ ගන්න ලැබෙන්නෙ නෑ. අන්න ඒ පුද්ගලයටයි මං ඔය උපමාව කියන්නෙ.
පින්වත් බ්‍රාහ්මණය, සමහර කුලදරුවන් ගිහි ගේ අත්හැරලා මහණ වෙන්නෙ ශ්‍රද්ධාවෙන් ම යි. ‘ඉපදීමෙන්, ජරා මරණයෙන්, ශෝක වැළපීම්, දුක් දොම්නස්, සුසුම් හෙළීම්වලින් යුතු සංසාරයකටයි මං වැටිල ඉන්නෙ. මං දුකටයි වැටිල ඉන්නෙ. මං දුකින් පෙළෙන කෙනෙක්. මේ හැම දුකින් ම නිදහස් වෙන්න තියෙනවා නම් කොයිතරම් හොඳ ද?’ කියලයි මහණ වෙන්නෙ. මහණ වුනාට පස්සෙ ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා ලබාගන්නවා. නමුත් ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසාවලින් එයා සතුටු වෙන්නෙ නෑ. ‘දැන් ඉතින් ඔක්කොම හරි!’ කියල හිතන්නෙ නෑ. ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා මුල් කරගෙන තමාව හුවා දක්වන්නෙ නෑ. අනුන්ව හෙළා දකින්නෙ නෑ. ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසාවලට වඩා උත්තරීතර වූ වඩාත් උතුම් වූ ගුණධර්ම තියෙනවා. ඒ ගුණධර්ම ඇති කරගැනීමට කැමති වෙනවා. වීරිය කරනවා. ඕනකම ඇති කරගන්නවා. සාසනේ ලිහිල් කරගන්නෙ නෑ. ඔහු සිල්වත් වෙනවා. සීල සම්පත්තියෙන් සතුටු වෙනවා. නමුත් ‘දැන් ඉතින් ඔක්කොම හරි!’ කියල හිතන්නෙ නෑ. ඔහු ඒ සීල සම්පත්තියෙන් තමාව හුවා දක්වන්නෙත් නෑ. අනුන්ව හෙළා දකින්නෙත් නෑ. ඒ සීල සම්පත්තියටත් වඩා උත්තරීතර වූ වඩාත් උතුම් වූ ගුණධර්ම තියෙනවා. ඒවා ඇති කරගැනීමට කැමති වෙනවා. වීරිය කරනවා. හිතේ ඕනකම ඇති වෙනවා. සාසනේ ලිහිල් කරගන්නෙ නෑ. ඔහු සමාධිය ඇති කරගන්නවා. ඒ සමාධියෙන් සතුටු වෙනවා. නමුත් ‘දැන් ඉතින් ඔක්කොම හරි!’ කියල හිතන්නෙ නෑ. ඒ සමාධිය මුල් කරගෙන තමාව හුවාදක්වන්නෙත් නෑ. අනුන්ව හෙළා දකින්නෙත් නෑ. සමාධි සම්පත්තියට වඩා උත්තරීතර වූ වඩාත් උතුම් වූ ගුණධර්ම තියෙනවා. ඒවා ඇති කරගන්න කැමති වෙනවා. වීරිය කරනවා. ඕනකම ඇති කරගන්නවා. සාසනය ලිහිල් කරල ගන්නෙ නෑ. ඔහු ඤාණදර්ශනය ඇති කරගන්නවා. ඔහු ඒ ඤාණදර්ශනයෙන් සතුටු වෙනවා. ‘දැන් ඉතින් ඔක්කොම හරි!’ කියල හිතනවා. ඔහු ඒ ඤාණදර්ශනය මුල් කරගෙන තමාව හුවා දක්වනවා. අනුන්ව හෙළා දකිනවා. ‘මම නම් යථාර්ථය දැනගෙන, දැකගෙන ඉන්නෙ. ඒකට මේ භික්ෂූන් වහන්සේලා! යථාර්ථය දන්නෙත් නෑ. දකින්නෙත් නෑ’ කියල. ඤාණදර්ශනයටත් වඩා උත්තරීතර වූ වඩාත් උතුම් වූ ගුණ ධර්ම තියෙනවා. ඒවා ඇති කරගන්න කැමති වෙන්නෙ නෑ. වීරිය කරන්නෙ නෑ. ඕනකම ඇති කරගන්නෙ නෑ. සාසනේ ලිහිල් කරගන්නවා.
පින්වත් බ්‍රාහ්මණය, අරටුවක් වුවමනා කෙනෙක් ඉන්නවා. ඉතින් එයා අරටුවක් හොය හොයා යනවා. අන්තිමේදී හොඳට අරටුව තියෙන ලොකු ගහක් හම්බ වෙනවා. මෙයා ඒ ගහේ අරටුව අත්හැරලා එලය කපාගෙන යනවා. ඒ පුද්ගලයාට අරටුවකින් ගත යුතු ප්‍රයෝජනය ගන්න ලැබෙන්නෙ නෑ. පින්වත් බ්‍රාහ්මණය, ඔන්න ඔය උපමාවයි මට ඒ පුද්ගලයා ගැන කියන්න තියෙන්නෙ.
පින්වත් බ්‍රාහ්මණය, සමහර කුලපුත්‍රයන් ඉන්නවා ගිහි ජීවිතේ අත්හැරලා මහණ වෙන්නෙ ශ්‍රද්ධාවෙන් ම යි. ‘ඉපදීමෙන්, ජරා මරණයෙන්, ශෝක වැළපීම්, දුක් දොම්නස්, සුසුම් හෙළීම්වලින් යුතු සංසාරයටයි මං වැටුනේ. මං දුකටයි වැටුනේ. මං දුකින් පෙළෙන කෙනෙක්. ඉතින් මේ හැම දුකෙන් ම නිදහස් වෙන්න ඇත්නම් කොයිතරම් දෙයක්ද?’ කියලයි මහණ වෙන්නෙ. මහණ වුනාට පස්සෙ ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා ඇති කරගන්නවා. ඔහු ඒ ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසාවෙන් සතුටු වෙන්නෙ නෑ. ‘දැන් ඉතින් ඔක්කොම හරි!’ කියල හිතන්නෙ නෑ. එයා ඒ ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා මුල් කරගෙන තමන්ව හුවා දක්වන්නෙ නෑ. අනුන්ව හෙළා දකින්නෙ නෑ. ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසාවලට වඩා උත්තරීතර වූ වඩා උතුම් වූ ගුණධර්ම ඇති කරගන්න කැමති වෙනවා. වීරිය කරනවා. ඕනකම ඇති කරගන්නවා. සාසනේ ලිහිල් කරගන්නෙ නෑ. ඔහු සිල්වත් වෙනවා. සීලයෙන් සතුටු වෙනවා. නමුත් ‘දැන් ඉතින් ඔක්කොම හරි!’ කියල හිතන්නෙ නෑ. ඔහු ඒ සීලය නිසා තමන්ව හුවා දක්වන්නෙ නෑ. අනුන්ව හෙළා දකින්නෙත් නෑ. සීලයට වඩා උත්තරීතර වූ වඩාත් උතුම් වූ ගුණධර්ම තියෙනවා. ඒ ගුණධර්ම ඇති කරගැනීමට කැමති වෙනවා. වීරිය කරනවා. ඕනකම ඇති කරගන්නවා. සාසනේ ලිහිල් කරගන්නෙ නෑ. ඔහු සමාධියත් ඇති කරගන්නවා. ඒ සමාධි සම්පත්තිය ගැන සතුටු වෙනවා. නමුත් ‘දැන් ඉතින් ඔක්කොම හරි!’ කියල හිතන්නෙ නෑ. ඔහු ඒ සමාධිය මුල් කරගෙන තමාව හුවා දක්වන්නෙ නෑ. අනුන්ව හෙළා දකින්නෙත් නෑ. සමාධි සම්පත්තියටත් වඩා උත්තරීතර වූ වඩාත් උතුම් වූ ගුණධර්ම තියෙනවා. ඒ ගුණ ධර්ම ඇති කරගැනීමට කැමති වෙනවා. වීරිය කරනවා. ඕනකම ඇති කරගන්නවා. සාසනේ ලිහිල් කරගන්නෙ නෑ. ඔහු ඤාණදර්ශනය ඇති කරගන්නවා. ඔහු ඒ ඤාණදර්ශනයෙන් සතුටු වෙනවා. නමුත් ‘දැන් ඉතින් ඔක්කොම හරි!’ කියල හිතන්නෙ නෑ. ඒ ඤාණදර්ශනය මුල් කරගෙන තමාව හුවා දක්වන්නෙ නෑ. අනුන්ව හෙළා දකින්නෙ නෑ. ඒ ඤාණදර්ශනයට වඩාත් උත්තරීතර වූ වඩා උතුම් වූ ගුණධර්ම තියෙනවා. ඒවා ඇති කරගැනීමට කැමති වෙනවා. වීරිය කරනවා. ඕනකම ඇති කරගන්නවා. සාසනේ ලිහිල් කරල ගන්නෙ නෑ.
පින්වත් බ්‍රාහ්මණය, ඤාණදර්ශනයට වඩා උත්තරීතර වූ වඩාත් උතුම් වූ දේ මොනවාද?
පින්වත් බ්‍රාහ්මණය, භික්ෂුව කාමයෙන් වෙන්ව, අකුසල්වලින් වෙන්ව, විතර්ක විචාර සහිත, මානසික විවේකයෙන් හටගත් ප්‍රීති සැපය තියෙන පළවෙනි ධ්‍යානය ඇති කරගෙන ඉන්නවා. පින්වත් බ්‍රාහ්මණය, (සියලු කෙලෙසුන් ගෙන් නිදහස් වීමට උපකාරී වන නිසා) මෙය ඤාණදර්ශනයට වඩා උත්තරීතර වූ වඩාත් උතුම් වූ දෙයක්.
පින්වත් බ්‍රාහ්මණය, භික්ෂුව විතර්ක විචාර සංසිඳවාගෙන, තමන් තුළ ප්‍රසන්න බව ඇති කරගෙන, සිතේ එකඟ බව ඇති කරගෙන, විතර්ක විචාර රහිත, සමාධියෙන් හටගත් ප්‍රීති සැපය ඇති දෙවෙනි ධ්‍යානය ඇති කරගෙන ඉන්නවා. පින්වත් බ්‍රාහ්මණය, මේකත් ඤාණදර්ශනයට වඩා උත්තරීතර වූ වඩාත් උතුම් වූ දෙයක්.
පින්වත් බ්‍රාහ්මණය, භික්ෂුව ප්‍රීතියට ඇලෙන්නෙ නැතුව, උපේක්ෂාවෙන් යුතුව ඉන්නවා. හොඳ සිහියෙන් නුවණින් යුක්තව කයෙන් සැපයකුත් විඳිනවා. ඒකට ආර්යයන් වහන්සේලා කියන්නෙ උපේක්ෂාවෙන් යුතු සිහිය ඇති සැප සේ වාසය කිරීම කියල යි. අන්න ඒ තුන් වෙනි ධ්‍යානයත් ඇති කරගෙන ඉන්නවා. පින්වත් බ්‍රාහ්මණය, මේකත් ඤාණදර්ශනයට වඩා උත්තරීතර වූ වඩාත් උතුම් වූ දෙයක්.
පින්වත් බ්‍රාහ්මණය, භික්ෂුව සැප දුක දෙකම නැතුව, කලින් ම මානසික සැප දුකත් නැති කරල, දුක් සැප රහිත පාරිශුද්ධ උපේක්ෂාවත් සිහියත් තියෙන හතරවෙනි ධ්‍යානය ඇති කරගෙන ඉන්නවා. පින්වත් බ්‍රාහ්මණය, මේකත් ඤාණදර්ශනයට වඩා උත්තරීතර වූ වඩාත් උතුම් වූ දෙයක්.
පින්වත් බ්‍රාහ්මණය, භික්ෂුව හැම ආකාරයකින් ම රූප සඤ්ඤාවන් ඉක්මවා ගිහිල්ල, මානසිකව ඇති වන හැම සඤ්ඤාවක් ම ඉක්මවා ගිහිල්ලා විවිධාකාර සඤ්ඤාවන් සිහි නොකොට ‘අනන්ත වූ ආකාසය’ කියල ආකාසානඤ්චායතන සමාධිය ඇති කරගෙන ඉන්නවා. මේකත් ඤාණදර්ශනයට වඩා උතුම් වූ උත්තරීතර වූ දෙයක්.
පින්වත් බ්‍රාහ්මණය, භික්ෂුව සියලු ආකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා ගිහින් ‘විඤ්ඤාණය අනන්තයි’ කියල විඤ්ඤාණඤ්චායතන සමාධිය ඇති කරගෙන ඉන්නවා. පින්වත් බ්‍රාහ්මණය, මේකත් ඤාණදර්ශනයට වඩා උතුම් වූ උත්තරීතර වූ දෙයක්.
පින්වත් බ්‍රාහ්මණය, භික්ෂුව සියලු ආකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා ගිහින් ‘මොකවත් නෑ’ කියල ආකිඤ්චඤ්ඤායතන සමාධිය ඇති කරගෙන ඉන්නවා. පින්වත් බ්‍රාහ්මණය, මේකත් ඤාණදර්ශනයට වඩා උතුම් වූ උත්තරීතර වූ දෙයක්.
පින්වත් බ්‍රාහ්මණය, භික්ෂුව සියලු ආකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා ගිහින් නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාධිය ඇතිකරගෙන ඉන්නවා. පින්වත් බ්‍රාහ්මණය, මේකත් ඤාණදර්ශනයට වඩා උත්තරීතර වූ වඩාත් උතුම් වූ දෙයක්.
පින්වත් බ්‍රාහ්මණය, භික්ෂුව සියලු ආකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා ගිහින් සඤ්ඤා විඳීම් නිරුද්ධ වූ නිරෝධ සමාපත්තිය ඇති කරගෙන ඉන්නවා. ප්‍රඥාවෙන් යථාර්ථය අවබෝධ කරල ආශ්‍රවත් නැතිවෙලා ගිහින් තියෙන්නේ. පින්වත් බ්‍රාහ්මණය, මේකත් ඤාණදර්ශනයට වඩා උත්තරීතර වූ වඩාත් උතුම් වූ දෙයක්.
පින්වත් බ්‍රාහ්මණය, මේ ඔක්කොම ගුණධර්ම ඤාණදර්ශනයට වඩා උත්තරීතරයි. වඩාත් උතුම්.
පින්වත් බ්‍රාහ්මණය, අරටුවක් වුවමනා කරන කෙනෙක් ඉන්නවා. ඔහු අරටුවක් හොය හොයා යනවා. ඔහුට හොඳ අරටුව තියෙන විශාල ගහක් හම්බ වෙනවා. ඔහු අරටුව හඳුනාගෙන අරටුව ම කපාගෙන යනවා. ඔහුට නම් අරටුවෙන් ගත යුතු ප්‍රයෝජනේ ගන්න පුළුවන් වෙනවා. පින්වත් බ්‍රාහ්මණය, මං මේ පුද්ගලයාව සමාන කරන්නෙ ඔය උපමාවටයි.
මේ විදිහට පින්වත් බ්‍රාහ්මණය, මේ බුදු සසුනේ පැවිදි ජීවිතය තියෙන්නෙ ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා ආනිශංස කරගෙන නොවෙයි. සීල සම්පත්තිය ආනිසංස කරගෙන නොවෙයි. සමාධි සම්පත්තිය ආනිශංස කරගෙන නොවෙයි. ඤාණදර්ශනය ආනිශංස කරගෙන නොවෙයි. පින්වත් බ්‍රාහ්මණය කිසිසේත් වෙනස් නොවන යම් අරහත්ඵල චිත්ත විමුක්තියක් වේ නම් අන්න ඒක ඉලක්ක කරගෙනයි මේ නිවන් මග තියෙන්නෙ. පින්වත් බ්‍රාහ්මණය, ඒක තමයි මේ නිවන් මගේ අරටුව. ඒ තමයි මේ නිවන් මගේ කෙළවර.”
එතකොට පිංගලකොච්ඡ බ්‍රාහ්මණය භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා. “පින්වත් ගෞතමයන් වහන්ස. හරි ම සුන්දරයි! පින්වත් ගෞතමයන් වහන්ස, හරි ම සුන්දරයි! පින්වත් ගෞතමයන් වහන්ස, යටට හරවා තිබිච්ච දෙයක් උඩු අතට හැරෙව්වා වගේ. වසා තිබුණු දෙයක් විවෘත කළා වගේ. මං මුළා වෙච්ච කෙනෙකුට නියම මාර්ගය පෙන්නුවා වගේ. ඇස් පෙනෙන උදවියට රූප දකින්නට අඳුර බිඳලන තෙල් පහනක් දැල්වූවා වගෙයි. පින්වත් ගෞතමයන් වහන්සේ ඒ වගේම නොයෙක් ආකාරයෙන් ධර්මය කියා දුන්නා. ඒ මම පින්වත් ගෞතමයන් වහන්සේව සරණ යනවා. ශ්‍රී සද්ධර්මයත් සරණ යනවා. භික්ෂු සංඝයාත් සරණ යනවා. පින්වත් ගෞතමයන් වහන්ස, අද පටන් දිවි තිබෙන තුරාවට ම තිසරණ ගත වූ උපාසකයෙක් හැටියට මාව පිළිගන්නා සේක්වා!”
සාදු! සාදු!! සාදු!!!
සාරවත් අරටුව උපමා කොට වදාළ කුඩා දෙසුම නිමා විය.
තුන්වෙනි ඕපම්ම වර්ගය යි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn1_1-3-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M