මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දවස්වල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. ඒ දිනවල ම ගිජුළිහිණියන් නසන කුලයේ ඉපදුණු ගද්ධබාධිපුබ්බ අරිට්ඨ කියන භික්ෂුවට මෙන්න මේ විදිහේ භයානක මිථ්‍යා අදහසක් ඇතිවුනා. එනම් ‘භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ ධර්මය මෙන්න මේ විදිහටයි මම දන්නෙ. ඒ කියන්නේ; භාග්‍යවතුන් වහන්සේ විසින් නිවන් අවබෝධයට බාධා පිණිස පවතින අන්තරායදායක දේවල් කියා දීලා තියෙනවා නෙව. එහෙත් ඒ අන්තරායදායක දේවල් අප අතින් සිදුවුනාට කිසි අන්තරායක් වෙන්න ඉඩක් නෑ’ කියල. එතකොට බොහෝ භික්ෂූන් වහන්සේලාට මේ අරිට්ඨ භික්ෂුවගේ ඒ භයානක මිථ්‍යා අදහස අසන්න ලැබුනා. ‘භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ ධර්මය මෙන්න මේ විදිහටයි මම දන්නෙ. ඒ කියන්නේ; භාග්‍යවතුන් වහන්සේ විසින් නිවන් අවබෝධයට බාධා පිණිස පවතින අන්තරායදායක දේවල් කියා දීලා තියෙනවා නෙව. එහෙත් ඒ අන්තරායදායක දේවල් කෙනෙකු අතින් සිදුවුනාට කිසි අන්තරායක් වෙන්න ඉඩක් නෑ’ කියල.
ඉතින් ඒ භික්ෂූන් වහන්සේලා අරිට්ඨ භික්ෂුව සොයාගෙන ගියා. ගිහින් අරිට්ඨ භික්ෂුවට මේ විදිහට කිව්වා. “ආයුෂ්මත් අරිට්ඨ, මේ කතාව ඇත්තද? ඔබට මෙන්න මේ විදිහේ භයානක මිථ්‍යා අදහසක් ඇතිවෙලා තියෙනවා කියල කියන්නෙ? ඔබ මෙහෙම කියනවලු. ‘භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ ධර්මය මෙන්න මේ විදිහටයි මම දන්නෙ. ඒ කියන්නේ; භාග්‍යවතුන් වහන්සේ විසින් නිවන් අවබෝධයට බාධා පිණිස පවතින අන්තරායදායක දේවල් කියා දීලා තියෙනවා නෙව. එහෙත් ඒ අන්තරායදායක දේවල් කෙනෙකු අතින් සිදුවුනාට කිසි අන්තරායක් වෙන්න ඉඩක් නෑ’ කියල?”
“ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ඒක ඇත්ත. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ ධර්මය මෙන්න මේ විදිහට තමයි මම දන්නෙ. ඒ කියන්නේ; භාග්‍යවතුන් වහන්සේ විසින් නිවන් අවබෝධයට බාධා පිණිස පවතින අන්තරායදායක දේවල් කියා දීලා තියෙනවා නෙව. එහෙත් ඒ අන්තරායදායක දේවල් කෙනෙකු අතින් සිදුවුණාට කිසි අන්තරායක් වෙන්න ඉඩක් නෑ”
එතකොට ඒ භික්ෂූන් වහන්සේලා අරිට්ඨ භික්ෂුව ඒ භයානක මිථ්‍යා දෘෂ්ටියෙන් බේරගන්න හිතලා සදහම් මග පෙන්නා දුන්නා. සදහම් මග මතු කරල දුන්නා. සදහම් මග විස්තර කළා. “ආයුෂ්මත් අරිට්ඨ, ඔය කතාව නම් කියන්න එපා! ඔය කතාව නම් ආයුෂ්මත් අරිට්ඨ ආයෙමත් කියන්න එපා! භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් චෝදනා කරන්න එපා! භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් චෝදනා කිරීම හොඳ දෙයක් නම් නෙමෙයි. භාග්‍යවතුන් වහන්සේ කවදාවත් ඔය විදිහට ධර්මය වදාරන්නේ නෑ. ආයුෂ්මත් අරිට්ඨ, භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් මේ නිවන් මගට අන්තරායකර දේවල් වදාරලා තියෙනවා. ඒවා කෙනෙකු අතින් සිදුවුනොත් එය නිවන් මගට අන්තරායක් ම යි.
භාග්‍යවතුන් වහන්සේ වදාළේ මේ කාමයන් තුළ තියෙන්නෙ ඉතාම අල්ප ආශ්වාදයක් කියලා. මේ කාමයන් තුළ දුක් ගොඩාක් තියෙනවා. කරදර ගොඩාක් තියෙනවා. භයානක විපාක ගොඩාක් තියෙනවා කියලා. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ වදාළේ මේ කාමයන් ඇට සැකිල්ලක් වගේ කියලා. ….(පෙ)…. භාග්‍යවතුන් වහන්සේ මේ කාමයන් ගැන වදාළේ මස් වැදැල්ලක් උපමා කරලයි ….(පෙ)…. භාග්‍යවතුන් වහන්සේ මේ කාමයන් ගැන වදාළේ ඇවිලගත් හුළුඅත්තක් උපමා කරලයි ….(පෙ)…. භාග්‍යවතුන් වහන්සේ මේ කාමයන් ගැන වදාළේ ගිනි අඟුරු වලක් උපමා කරලයි ….(පෙ)…. භාග්‍යවතුන් වහන්සේ මේ කාමයන් ගැන වදාළේ නින්දේ දුටු සිහිනයකට උපමා කරලයි ….(පෙ)…. භාග්‍යවතුන් වහන්සේ මේ කාමයන් ගැන වදාළේ ණයට ඉල්ලා ගත් දේකට උපමා කරලයි ….(පෙ)…. භාග්‍යවතුන් වහන්සේ මේ කාමයන් ගැන වදාළේ ගහක තියෙන ගෙඩිවලට උපමා කරලයි ….(පෙ)…. භාග්‍යවතුන් වහන්සේ මේ කාමයන් ගැන වදාළේ කඩුවකුයි මස් කපන කොටේකුයි උපමා කරලයි ….(පෙ)…. භාග්‍යවතුන් වහන්සේ මේ කාමයන් ගැන වදාළේ තියුණු උල් ආයුධයකට උපමා කරලයි ….(පෙ)…. භාග්‍යවතුන් වහන්සේ මේ කාමයන් ගැන වදාළේ භයානක සර්පයෙකුගේ ඔළුව පැත්ත උපමා කරලයි. මේ කාමයන් තුළ දුක් ගොඩාක් තියෙනවා. කරදර ගොඩාක් තියෙනවා. භයානක විපාක ගොඩාක් තියෙනවා කියලයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ.”
ඉතින් ඔය විදිහට අරිට්ඨ භික්ෂුවට ඒ භික්ෂූන් විසින් සදහම් මග කියද්දිත්, සදහම් මග මතුකොට පෙන්වද්දිත්, සදහම් මග විස්තර කරද්දිත්, ඔහු තමන් ගත්තු භයානක මිථ්‍යා අදහස අත්හරින්නෙ නැතුව දැඩි විදිහට ම අල්ලගෙන ඒක ම කියන්න පටන් ගත්තා.
“ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ඔය කොහොම කිව්වත් භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය දන්නෙ මම නෙව. භාග්‍යවතුන් වහන්සේ විසින් නිවන් අවබෝධයට බාධා පිණිස පවතින අන්තරායදායක දේවල් කියා දීලා තියෙන නමුත් ඒ අන්තරායදායක දේවල් කෙනෙකු අතින් සිදුවුණාට කිසි අන්තරායක් වෙන්න ඉඩක් නෑ”
ඉතින් අරිට්ඨ භික්ෂුව ඒ භයානක මිථ්‍යා මතයෙන් නිදහස් කරවන්නට අර භික්ෂූන් වහන්සේලාට බැරිවුනා. අන්තිමේ දී ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා. ගිහින් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොට එකත්පස්ව වාඩිවුනා. එකත්පස්ව වාඩිවුණු ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළ කළා.
“ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, අර ගිජුලිහිණියන් නසන කුලයේ උපන් අරිට්ඨ කියන භික්ෂුවට භයානක මිථ්‍යා දෘෂ්ටියක් ඇති වෙලා තියෙනවා. අරිට්ඨ භික්ෂුව මෙහෙම කියනවා. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ ධර්මය මෙන්න මේ විදිහට තමයි මම දන්නෙ. ඒ කියන්නේ; භාග්‍යවතුන් වහන්සේ විසින් නිවන් අවබෝධයට බාධා පිණිස පවතින අන්තරායදායක දේවල් කියා දීලා තියෙනවා නෙව. එහෙත් ඒ අන්තරායදායක දේවල් කෙනෙකු අතින් සිදුවුනාට කිසි අන්තරායක් වෙන්න ඉඩක් නෑ’ කියල. ඉතින් ස්වාමීනී, අපටත් ඔය භයානක කතාව ආරංචි වුනා.
ඉතින් අපි අරිට්ඨ භික්ෂුව ළඟට ගියා. ගිහින් අරිට්ඨ භික්ෂුවගෙන් මෙහෙම ඇහුවා ‘ආයුෂ්මත් අරිට්ඨ, මෙන්න මේ වගේ භයානක මිථ්‍යා දෘෂ්ටියක් ඔබ තුළ ඇතිවෙලා තියෙනවා කියල කියන්නෙ හැබෑද? ‘භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ ධර්මය මෙන්න මේ විදිහට තමයි මම දන්නෙ. ඒ කියන්නේ; භාග්‍යවතුන් වහන්සේ විසින් නිවන් අවබෝධයට බාධා පිණිස පවතින අන්තරායදායක දේවල් කියා දීලා තියෙන නමුත් ඒ අන්තරායදායක දේවල් කෙනෙකු අතින් සිදුවුනාට කිසි අන්තරායක් වෙන්න ඉඩක් නෑ’ කියල?
එතකොට ස්වාමීනී, අරිට්ඨ භික්ෂුව අපිට මෙහෙම කිව්ව නෙව. ‘ඔව් ! ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය මම දන්නවා. භාග්‍යවතුන් වහන්සේ විසින් නිවන් අවබෝධයට බාධා පිණිස පවතින අන්තරායදායක දේවල් කියා දීලා තියෙන නමුත් ඒ අන්තරායදායක දේවල් කෙනෙකු අතින් සිදුවුනාට කිසි අන්තරායක් වෙන්න ඉඩක් නෑ’ කියල.
එතකොට ස්වාමීනී, අරිට්ඨ භික්ෂුව ඔය භයානක මිථ්‍යා දෘෂ්ටියෙන් බේරගන්න අපට ඕන වුනා. ඉතින් අපි සදහම් මග කියා දුන්නා. සදහම් මග මතුකරල පෙන්නුවා. සදහම් මග විස්තර කරල දුන්නා. අපි මෙහෙම කිව්වා. ‘ආයුෂ්මත් අරිට්ඨ, ඔය කතාව නම් කියන්න එපා! ඔය කතාව නම් ආයුෂ්මත් අරිට්ඨ ආයෙමත් කියන්න එපා! භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් චෝදනා කරන්න එපා! භාග්‍යවතුන් වහන්සේට ඔය චෝදනා කිරීම හොඳ දෙයක් නම් නෙමෙයි. භාග්‍යවතුන් වහන්සේ කවදාවත් ඔය විදිහට ධර්මය වදාරන්නේ නෑ. ආයුෂ්මත් අරිට්ඨ, භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් මේ නිවන් මගට අන්තරායකර දේවල් වදාරලා තියෙනවා. ඒවා කෙනෙකු අතින් සිදුවුණොත් නිවන් මගට අන්තරායක් ම යි.
භාග්‍යවතුන් වහන්සේ වදාළේ මේ කාමයන් තුළ තියෙන්නෙ ඉතා ම අල්ප ආශ්වාදයක් කියලා. මේ කාමයන් තුළ දුක් ගොඩාක් තියෙනවා. කරදර ගොඩාක් තියෙනවා. භයානක විපාක ගොඩාක් තියෙනවා කියලා. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ වදාළේ මේ කාමයන් ඇට සැකිල්ලක් වගේ කියලා. ….(පෙ)…. භාග්‍යවතුන් වහන්සේ මේ කාමයන් ගැන වදාළේ භයානක සර්පයෙකුගේ ඔළුව පැත්ත උපමා කරලයි. මේ කාමයන් තුළ දුක් ගොඩාක් තියෙනවා. කරදර ගොඩාක් තියෙනවා. භයානක විපාක ගොඩාක් තියෙනවා කියලයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ.
ඉතින් ස්වාමීනී, අපි ඔය විදිහට අරිට්ඨ භික්ෂුවට සදහම් මග කියද්දිත් සදහම් මග මතුකොට පෙන්වද්දිත් සදහම් මග විස්තර කරද්දිත් ඒ අරිට්ඨ භික්ෂුව තමන් ගත්තු භයානක මිථ්‍යා දෘෂ්ටියට ම බැඳිල ඒකම කියවන්න පටන් ගත්තා. ‘භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය මම දන්නවා. භාග්‍යවතුන් වහන්සේ විසින් නිවන් අවබෝධයට බාධා පිණිස පවතින අන්තරායදායක දේවල් කියා දීලා තියෙන නමුත් ඒ අන්තරායදායක දේවල් කෙනෙකු අතින් සිදුවුනාට කිසි අන්තරායක් වෙන්න ඉඩක් නෑ’ කියල. ඉතින් ස්වාමීනී, ඒ අරිට්ඨ භික්ෂුවට තිබුන ඒ භයානක මිථ්‍යා දෘෂ්ටියෙන් අරිට්ඨ භික්ෂුව බේරගන්න අපට පුළුවන් වුනේ නෑ. ඒ නිසා ම තමයි මේ කාරණය ගැන සැලකරන්නයි අපි භාග්‍යවතුන් වහන්සේ ළඟට ආවේ.”
ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ එක්තරා භික්ෂුවකට කතා කළා. කතා කරල මෙහෙම වදාළා. “පින්වත් භික්ෂුව, මෙහෙ එන්න. ඔබ දැන් අරිට්ඨ භික්ෂුව ළඟට යන්න. ගිහිල්ල කියන්න ශාස්තෘන් වහන්සේ ඔබව අමතනවා කියලා.”
ඉතින් ඒ භික්ෂුවත් භාග්‍යවතුන් වහන්සේට “එසේය ස්වාමීනී” කියල පිළිතුරු දීලා අරිට්ඨ භික්ෂුව හමුවෙන්න ගියා. ගිහින් අරිට්ඨ භික්ෂුවට මෙහෙම කිව්වා.
“ආයුෂ්මත් අරිට්ඨ, අන්න ශාස්තෘන් වහන්සේ ඔබට කතා කරනවා” කියල.
“හොඳයි ආයුෂ්මතුනි” කියල අරිට්ඨ භික්ෂුව ඒ භික්ෂුවට පිළිතුරු දීලා භාග්‍යවතුන් වහන්සේ වෙත ගියා. ගිහින් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොට එකත්පස්ව වාඩිවුනා. එකත්පස්ව වාඩිවුණු අරිට්ඨ භික්ෂුවගෙන් භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය විමසුවා.
“හැබෑ ද අරිට්ඨ, ඔබට මේ විදිහේ ලාමක මිථ්‍යා දෘෂ්ටියක් ඇතිවුණා ය කියන්නෙ? ‘භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ ධර්මය මම දන්නවා. භාග්‍යවතුන් වහන්සේ විසින් නිවන් අවබෝධයට බාධා පිණිස පවතින අන්තරායදායක දේවල් කියා දීලා තියෙන නමුත් ඒ අන්තරායදායක දේවල් කෙනෙකු අතින් සිදුවුනාට කිසි අන්තරායක් වෙන්න ඉඩක් නෑ’ කියලා?”
“එසේය, ස්වාමීනී. භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය මම දන්නේ ඔය විදිහටයි. නිවන් මගට අන්තරායදායකයි කියල භාග්‍යවතුන් වහන්සේ විසින් යමක් පෙන්වා දීලා තියෙනවා ද, නමුත් ඒ දේවල් කෙනෙකු අතින් සිදුවුනාට කිසි ම අන්තරායක් වෙන්නෙ නෑ.”
“හිස් මනුස්සයො, මං ඔය විදිහේ ධර්මයක් කාට නම් කියල තියෙන බවක් ද ඔබ දන්නෙ? හිස් මනුස්සයො, නිවන් මගට අන්තරායකර දේවල් අන්තරායදායක ම යි කියල මං නොයෙක් අයුරින් කියා දීල නැද්ද? මං කියල තියෙන්නෙ මේ කාමයන්ගේ තියෙන ආශ්වාදය චුට්ටයි කියල නේද? ගොඩාක් දුක් තියෙනවා කියල නේද? ගොඩාක් කරදර තියෙනවා කියල නේද? මේ කාමයන් තුළ භයානක විපාක මහගොඩක් තියෙනවා කියල නේද? මම කියල තියෙන්නෙ මේ කාමයන් ඇට සැකිල්ලකට උපමා කරලයි ….(පෙ)…. මම කියල තියෙන්නෙ මේ කාමයන් මස් වැදැල්ලකට උපමා කරලයි ….(පෙ)…. මම කියල තියෙන්නෙ මේ කාමයන් ගිනි ඇවිලගිය හුළුඅත්තකට උපමා කරලයි ….(පෙ)…. මම කියල තියෙන්නෙ මේ කාමයන් ගිනි අඟුරු වළකට උපමා කරලයි ….(පෙ)…. මම කියල තියෙන්නෙ මේ කාමයන් නින්දේ දුටු සිහිනයක් වගෙයි කියලයි ….(පෙ)…. මම කියල තියෙන්නෙ මේ කාමයන් ණයට ඉල්ලා ගත්තු දේකට උපමා කරලයි ….(පෙ)…. මම කියල තියෙන්නෙ මේ කාමයන් ගස්වල තියෙන ගෙඩිවලට උපමා කරලයි ….(පෙ)…. මම කියල තියෙන්නෙ මේ කාමයන් කඩුවටයි මස් කපන කොටේටයි උපමා කරලයි ….(පෙ)…. මම කියල තියෙන්නෙ මේ කාමයන් උල් ආයුධයකට උපමා කරලයි ….(පෙ)…. මම කියල තියෙන්නෙ මේ කාමයන් භයානක සර්පයෙකුගේ ඔළුව පැත්තට උපමා කරලයි. මේ කාමයන් මහා දුක් ගොඩක්. මහා කරදර ගොඩක්. මේ කාමයන් තුළ භයානක විපාක මහත් රාශියක් තියෙනවා කියලයි. හිස් මනුස්සයො, මං ඒ විදිහට කියල තියෙද්දිත් ඔබ, ඔබ විසින් ම වැරදි විදිහට ධර්මය අල්ලගෙන අපටත් චෝදනා කරනවා නේද? තමන්ගේ ගුණත් හාරල දානවා නේද? බොහෝ පව් රැස්කර ගන්නවා නේද? හිස් මනුස්සයො, ඔබට ඔය කාරණේ බොහෝ කලක් දුක් පීඩා පිණිස හේතු වේවි.”
ඊට පස්සෙ භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් වහන්සේල ඇමතුවා. “පින්වත් මහණෙනි, ඔබ මොකක්ද මේ ගැන හිතන්නේ? මේ අරිට්ඨ භික්ෂුවට මේ බුද්ධ සාසනේ උණුසුමවත් ලැබිල නෑ නේද?”
“ස්වාමීනී, අරිට්ඨ භික්ෂුවට ඒක කොහොම ලැබෙන්නද? ස්වාමීනී, ඒක නැහැ ම යි.”
එතකොට අරිට්ඨ භික්ෂුව නිහඬ වුනා. හැකිලුනා. ඇඟ පාත් කරගත්තා. මූණ යටට හරවගත්තා. මොකවත් තේරෙන්නෙ නැතිව කරබාගෙන වාඩිවෙලා හිටියා. ඒ වෙලාවෙ භාග්‍යවතුන් වහන්සේ නිහඬ වෙලා හිටපු, හැකිලිල හිටපු, ඇඟ පාත් කරගෙන හිටපු, මොකවත් තේරෙන්නෙ නැතිව කරබාගෙන වාඩි වෙලා හිටපු අරිට්ඨ භික්ෂුවට මෙහෙම වදාළා.
“හිස් මනුස්සයො, ඔබ මේ තමන්ගේ මිථ්‍යා දෘෂ්ටිය ලෝකෙට පෙන්නලා ප්‍රසිද්ධ වෙන්න නේද හිතුවේ? හොඳයි. මං මේ ගැන භික්ෂූන් ගෙන් ම විමසන්නම්.”
ඉතින් භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලා අමතා වදාළා.
“පින්වත් මහණෙනි, දැන් මේ අරිට්ඨ භික්ෂුව තමන් වැරදි විදිහට ගත්තු මිථ්‍යා දෘෂ්ටියකින් අපටත් චෝදනා කරනවා. තමන්ගේ ගුණත් හාරල දානවා. බොහෝ පව්ත් රැස් කරගන්නවා. ඒ වගේ ධර්මයක් මම කාටවත් දේශනා කරලා තියෙනවාද?”
“එහෙම නෑ ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් අපට නොයෙක් විදිහට වදාළේ නිවන් මගට අන්තරායකර දේවල් අන්තරායදායක ම යි කියලා. ඒව පුරුදු කළොත් අනතුරේ වැටෙනවා ම යි කියලා. භාග්‍යවතුන් වහන්සේ වදාළේ කාමයන්ගේ ආශ්වාදය චුට්ටක් ම යි කියලා. කාමයන් කියල කියන්නෙ දුක් ගොඩාක් කියලා. කරදර ගොඩක් කියලා. කාමයන් තුළ භයානක විපාක මහත් රාශියක් තියෙනවා කියලා. භාග්‍යවතුන් වහන්සේ වදාළේ මේ කාමයන් ඇට සැකිල්ලකට උපමා කරලයි ….(පෙ)…. භාග්‍යවතුන් වහන්සේ මේ කාමයන් ගැන වදාළේ භයානක සර්පයෙකුගේ ඔළුව පැත්තට උපමා කරලයි. කාමයන් කියල කියන්නෙ දුක් ගොඩක්. කරදර ගොඩක්. කාමයන් තුළ භයානක විපාක මහත් රාශියක් තියෙනවා කියලා.”
“ඉතා හොඳයි. පින්වත් මහණෙනි, මං කියා දුන් ධර්මය ඔබ දන්නවා. ඒක ඉතා හොඳයි. මං නොයෙක් ආකාරයෙන් කියා දීල තියෙන්නෙ නිවන් මගට අන්තරායකර දේවල් අන්තරායදායක ම යි කියලා. ඒවා පුරුදු කළොත් අනතුරේ වැටෙනවා ම යි කියලා. මං කියල තියෙන්නෙ මේ කාමයන්ගේ ආශ්වාදය තියෙන්නේ චුට්ටක් ම යි කියලා. මේ කාමයන් කියල කියන්නෙ දුක් ගොඩක් කියලා. කරදර ගොඩක් කියලා. මේ කාමයන් තුළ භයානක විපාක රාශියක් තියෙනවා කියලා. මම කියල තියෙන්නෙ මේ කාමයන් ඇට සැකිල්ලකට උපමා කරලයි ….(පෙ)…. ඒ වගේම මේ කාමයන් ගැන මං කියල තියෙන්නෙ භයානක සර්පයෙකුගේ ඔළුව පැත්තට උපමා කරලයි. මේ කාමයන්ගේ දුක් ගොඩක් තියෙනවා. කරදර ගොඩක් තියෙනවා. මේ කාමයන් තුළ භයානක විපාක මහත් රාශියක් තියෙනවා කියලා. මං එහෙම කියල තියෙද්දිත් මේ අරිට්ඨ භික්ෂුව තමන් වරදවා ගත්තු මිථ්‍යා දෘෂ්ටියකින් අපටත් චෝදනා කරනවා. තමන්ගේ ගුණත් හාරලා දානවා. බොහෝ පව්ත් රැස් කරගන්නවා. ඒ හිස් මනුස්සයාට බොහෝ කාලයක් දුක් පීඩා පිණිස ම යි ඒක හේතු වෙන්නෙ.
පින්වත් මහණෙනි, ඒකාන්තයෙන් ඔහු කාමයන්ගෙන් තොරව, කාම සඤ්ඤාවෙන් තොරව, කාම විතර්කවලින් තොරව කාමයන් සේවනය කරනවා ය කියන එක වෙන්න පුළුවන් දෙයක් නොවෙයි.
පින්වත් මහණෙනි, මේ සාසනේට ඇතුළු වෙන ඇතැම් හිස් මිනිස්සු ඉන්නවා. ඔවුන් මේ ධර්මය ඉගෙන ගන්නවා. ඉතින් ඒ හිස් මිනිස්සු සූත්‍ර දේශනා (සුත්තං) ඉගෙන ගන්නවා. ගාථා සහිත දේශනා (ගෙය්‍යං) ඉගෙන ගන්නවා. ගාථා රහිත ධර්ම විස්තර (වෙය්‍යාකරණං) ඉගෙන ගන්නවා. ගාථාවන් (ගාථා) ඉගෙන ගන්නවා. උත්සාහ රහිතව බුදු කෙනෙකුගේ හදවතකින් පැන නැගුණු සදහම් කරුණු (උදාන) ඉගෙන ගන්නවා. මේ මේ අයුරින් පවසන ලදැ’යි බුදු මුවින් පැන නැගුණු සදහම් කරුණු (ඉතිවුත්තක) ඉගෙන ගන්නවා. සසරේ පැමිණි බෝසත්වරයෙකුගේ ගමන ගැන කියවෙන කරුණු (ජාතක) ඉගෙන ගන්නවා. බුදුවරයෙකුගේ ආශ්චර්ය අද්භූත ජීවිතය ගැන (අබ්භූත ධම්ම) ඉගෙන ගන්නවා. ප්‍රශ්නෝත්තර වශයෙන් කෙරෙන ධර්ම සාකච්ඡා (වේදල්ල) ඉගෙන ගන්නවා. නමුත් ඒ හිස් මිනිසුන් ධර්මය ඉගෙන ගත්තාට, ඒ ධර්මයේ අර්ථ ප්‍රඥාවෙන් විමසන්නේ නෑ. ඒ නිසා ම ඔවුන්ට ධර්මය අවබෝධ වෙන්නෙත් නෑ. අන්තිමේ දී ‘අපි මේ විදිහට වාද කරල ජය ගනිමු’ කියලා වාද විවාද කිරීමේ අදහසින් ධර්මය ඉගෙන ගන්නවා. එතකොට ධර්මය හැදෑරීමෙන් ජීවිතයට යම් යහපතක් සිදුවෙනවා ද, අන්න ඒ යහපත සිද්ධ වෙන්නෙ නෑ. ඔවුන් ධර්මය වැරදි විදිහට ම අල්ලගත්තු නිසා එය බොහෝ කාලයක් ඒ උදවියට දුක් පීඩා පිණිස පවතිනවා. ඒ මොකද එහෙම වෙන්නෙ? පින්වත් මහණෙනි, ධර්මය වරදවා ගත්තු නිසා ම යි.
පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. සර්පයෙකුගෙන් ප්‍රයෝජන තියෙන මනුස්සයෙක් සර්පයෙකුව හොයාගෙන යනවා. ඉතින් ඔහුට විශාල සර්පයෙක්ව දකින්න ලැබෙනවා. ඉතින් ඔහු කිසිම වග විභාගයක් නැතිව ඒ සර්පයාගේ කඳෙන් හරි, වලිගෙන් හරි අල්ල ගන්නවා. එතකොට ඒ සර්පයා කරන්නෙ ආපහු කැරකිලා සර්පයාව අල්ලපු පුද්ගලයාගේ අතට හරි, ඇඟේ කොහාට හරි දෂ්ට කරන එකයි. එතකොට ඒ පුද්ගලයා ඒ හේතුවෙන් මරණයට පත්වෙන්න වුනත් පුළුවන්. මාරාන්තික දුක් වේදනා විඳින්න වුනත් පුළුවන්. ඒකට හේතුව මොකක්ද? ඒ සර්පයාව අල්ල ගත්තේ වැරදි විදිහටයි.
පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහම යි. බුදු සසුනට ඇතුළු වෙන සමහර හිස් මිනිස්සු ඉන්නවා. ඔවුන් මේ ධර්මය ඉගෙන ගන්නවා. ඔවුන් සූත්‍ර දේශනාත් ඉගෙන ගන්නවා. ගෙය්‍යත් ඉගෙන ගන්නවා. වෙය්‍යාකරණත් ඉගෙන ගන්නවා. ගාථාවනුත් ඉගෙන ගන්නවා. උදානත් ඉගෙන ගන්නවා. ඉතිවුත්තකත් ඉගෙන ගන්නවා. ජාතකත් ඉගෙන ගන්නවා. අබ්භූතධම්මත් ඉගෙන ගන්නවා. වේදල්ලත් ඉගෙන ගන්නවා. ඔවුන් ඒ ධර්මය ඉගෙන ගත්තට ඒ ධර්මයේ අර්ථ නුවණින් විමසන්නෙ නෑ. ඒ නිසා ඔවුන්ට ඒ ධර්මය අවබෝධ වෙන්නෙත් නෑ. අන්තිමේදී ඔවුන් කරන්නෙ ‘අපි මේ විදිහට වාදවලින් ජය ගනිමු’ කියල වාද විවාද පිණිස ම ඒ ධර්මය පාවිච්චි කරනවා. ධර්මය ඉගෙනීමෙන් යම් යහපතක් ලැබිය යුතු නම්, ඒ යහපත ඔවුන්ට අහිමි වෙනවා. එතකොට ඔවුන් විසින් ඒ ධර්මය වැරදියට ගැනීම හේතුවෙන් බොහෝ කාලයක් ඔවුන්ට එය දුක් පීඩා පිණිස පවතිනවා. ඒකට හේතුව මොකක්ද? පින්වත් මහණෙනි, ධර්මය වරදවා ගත්තු නිසාම යි.
පින්වත් මහණෙනි, මේ සාසනේට ඇතුල් වෙන පින්වත් කුලපුත්‍රයින් ඉන්නවා. ඒ අයත් ධර්මය ඉගෙන ගන්නවා. ඔවුනුත් සූත්‍ර, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල ඉගෙන ගන්නවා. ඉතින් ඔවුන් ඒ ධර්මය ඉගෙනගෙන ඒ ධර්මයේ අර්ථ නුවණින් විමසන්න පටන් ගන්නවා. එතකොට ඔවුන්ට ඒ ධර්මය අවබෝධ වෙනවා. ‘අපි මේ විදිහට වාද කරල ජය ගනිමු’ කියල වාද විවාද පිණිස ධර්මය ඉගෙන ගන්නෙ නෑ. ධර්මය ඉගෙන ගත යුත්තේ යම් යහපතක් පිණිස ද, අන්න ඒ යහපත ඔවුන්ට ලැබෙනවා. එතකොට ඔවුන් විසින් ඉතා ම යහපත්ව අල්ලගත්තු ඒ ධර්මය ම ඔවුන්ට බොහෝ කලක් හිත සුව පිණිස හේතුවෙනවා. ඒකට හේතුව මොකක්ද? පින්වත් මහණෙනි, ධර්මය යහපත් විදිහට ගැනීමයි.
පින්වත් මහණෙනි, සර්පයන්ගෙන් ප්‍රයෝජන තියෙන මනුස්සයෙක් ඉන්නවා. ඉතින් ඔහු සර්පයන් හොය හොයා යනවා. එතකොට ඔහුට විශාල සර්පයෙක්ව මුණගැහෙනවා. ඉතින් ඔහු එළු කුරයක හැඩේ තියෙන දණ්ඩකින් ඒ සර්පයාව තද කරල අල්ලගන්නවා. ඊට පස්සෙ උගේ බෙල්ලෙන් හොඳ හැටියට අල්ල ගන්නවා. එතකොට ඒ සර්පයාත් ඔහුගෙ අතේ හරි, ඇඟේ කොහේ හරි වෙලෙනවා. ඒත් ඒ හේතුවෙන් ඒ පුද්ගලයා මරණයට පත්වෙන්නෙ නෑ. මාරාන්තික දුක් විඳින්න සිද්ධ වෙන්නෙ නෑ. ඒකට හේතුව මොකක්ද? පින්වත් මහණෙනි, සර්පයාව නියම විදිහට අල්ලා ගැනීමයි.
පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහම යි. මේ සාසනේට ඇතුළු වෙන පින්වත් කුලපුත්‍රයින් ධර්මය ඉගෙන ගන්නවා. සූත්‍ර, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල ඉගෙන ගන්නවා. ඉතින් ඔවුන් මේ ධර්මය ඉගෙන ගෙන ඒ ධර්මයේ අර්ථ නුවණින් විමසනවා. එතකොට ඔවුන්ට ඒ ධර්මය අවබෝධ වෙනවා. ‘අපි මේ විදිහට වාදවලින් ජය ගනිමු’ කියල වාද විවාදවලින් දිනන්න හිතාගෙන ධර්මය ඉගෙන ගන්නෙ නෑ. ධර්මය ඉගෙන ගන්නෙ යම් අර්ථයක් ඇති කරන්න ද, අන්න ඒ යහපත ඔවුන්ට ලැබෙනවා. නියම පිළිවෙලට අල්ලාගත් ඒ ධර්මය ඔවුන්ට බොහෝ කාලයක් හිත සුව පිණිස පවතිනවා. ඒකට හේතුව මොකක්ද? පින්වත් මහණෙනි, ධර්මය නියම පිළිවෙලට අල්ලා ගැනීම ම යි.
පින්වත් මහණෙනි, අන්න ඒ නිසා මං කියා දෙන මේ ධර්මයේ අර්ථ ඔබට වැටහෙනවා නම් ඒ විදිහට ම මතක තියාගන්න. මං කියා දෙන ධර්මයේ අර්ථ ඔබට වැටහෙන්නෙ නැත්නම්, ඔබ එක්කෝ මගෙන් අහන්න ඕන. එහෙම නැත්නම් ධර්මය ගැන දන්න ව්‍යක්ත භික්ෂුවකගෙන් අහන්න ඕන.
පින්වත් මහණෙනි, මං මේ ධර්මය ඔබට කියා දෙන්නෙ පහුරක් උපමා කරගෙනයි. පහුර තියෙන්නෙ එතෙර වෙන්න විතරයි. කරේ තියාගෙන යන්න නොවෙයි. අන්න ඒ ධර්මය හොඳට අහගන්න. නුවණින් විමසන්න. මම දැන් කියා දෙන්නම්.” “එසේ ය, ස්වාමීනී” කියල ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. ඒ මොහොතේ දී භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව වදාළා.
“පින්වත් මහණෙනි, ඔන්න එක මිනිහෙක් දුර ගමනක් යන්න පටන් ගත්තා. ඔහොම යනකොට ඔහුට ලොකු ජලාශයක් මුණගැහුනා. තමන් ඉන්න පැත්තත් හරිම භය සහිතයි. සැක සහිතයි. එතෙරට පැනගත්තොත් නම් කිසිම බියක් සැකක් නැතුව ඉන්න පුළුවන්. ඒත් ඔහුට එතෙර වෙන්න නැවක් නෑ. පාලමක් නෑ. ඉතින් ඔහුට මෙහෙම හිතුනා. ‘මේක මහා විශාල ජලාශයක් නෙව. ඒ වගේම මං මේ ඉන්න පැත්ත බිය සහිතයි. සැක සහිතයි. නමුත් එතෙරට පැනගත්තොත් නම් කිසිම බියක් සැකක් නැතුව ඉන්න පුළුවන්. ඒ වුනාට මේකෙන් එතෙර වෙන්න නැවක් වත් නෑ නෙව. පාලමක් වත් නෑ නෙව. දැන් මට කරන්න තියෙන්නෙ මෙච්චරයි. මේ දර, කොළ අතු ආදිය එකතු කරල පහුරක් බැඳල ඒ පහුර වතුරට දමල, අත් පාවලින් වීරිය අරගෙන සුවසේ එතෙරට යන එක තමයි’ කියලා.
ඉතින් පින්වත් මහණෙනි, ඊට පස්සෙ ඒ මනුස්සයා, දර, කොළ අතු ආදිය එකතු කරල පහුරක් හදල, ඒ පහුර වතුරට දාල, අත් පාවලින් වීරිය අරගෙන සුවසේ එතෙර වුනා. සුවසේ එතෙර වෙච්ච ඒ මනුස්සයාට මෙහෙම හිතුනා. ‘මේ පහුර මට සෑහෙන්න උපකාර කළා. මං මේ පහුර නිසා නෙව අත් පාවලින් වීරිය අරගෙන සුවසේ එතෙර වුනේ. දැන් මට කරන්න තියෙන්නෙ මේ පහුර ඔළුවෙ තියාගෙන හරි, කරේ තියාගෙන හරි, මං යන තැනක ගෙනියන එකයි’ කියල. පින්වත් මහණෙනි, ඔබ ඒ ගැන මොකක්ද හිතන්නේ? ඒ පුද්ගලයා පහුරට කරපු වැඩේ හරිද?”
“නෑ, ස්වාමීනී”
“පින්වත් මහණෙනි, ඒ පුද්ගලයා පහුරට කළ යුතු වන්නේ මොන වගේ වැඩක්ද? පින්වත් මහණෙනි, ජලාශයෙන් එතෙර වෙලා එගොඩ වෙච්ච ඒ පුද්ගලයා හිතන්න ඕන මෙහෙමයි. ‘මට මේ පහුර සෑහෙන්න උපකාර වුනා තමයි. ඉතින් මං මේ පහුර නිසා ම අත් පාවලින් වීරිය අරගෙන සුවසේ එතෙර වුනා තමයි. ඒත් දැන් මට කරන්න තියෙන්නෙ මෙච්චරයි. මේ පහුර එක්කො ගොඩ දාල යනවා. එහෙම නැත්නම් වතුරෙ පා කරල දාල මං මගේ ගමන යනවා’ කියල. පින්වත් මහණෙනි, අන්න ඒ පුද්ගලයා තමයි පහුරට කළ යුතු දේ කරන්නෙ.
පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහම යි. මා විසින් ධර්මය දේශනා කරන ලද්දෙත් පහුර උපමා කරගෙනම යි. එතෙර වීම පිණිසයි. ග්‍රහණය කරගැනීමට නොවෙයි. පින්වත් මහණෙනි, මා විසින් පහුරක් උපමා කරගෙන ඔබට දේශනා කරන ලද ධර්මය අවබෝධ කරගන්නා වූ ඔබ විසින් ඒ ධර්මයන් පවා අත්හළ යුතුයි. එහෙම එකේ අධර්මය අතහැරිය යුතුයි කියන එක ගැන අමුතුවෙන් කියන්න දෙයක් තියෙනවාද?
පින්වත් මහණෙනි, දෘෂ්ටි හටගන්න තැන් හයක් තියෙනවා. මොනවාද ඒ හය? පින්වත් මහණෙනි, අශ්‍රැතවත් පෘථග්ජනයෙක් ඉන්නවා. ඔහු ආර්යයන් වහන්සේලා හඳුනන්නේ නෑ. ආර්ය ධර්මයක් තේරුම් ගන්න දක්ෂත් නෑ. ආර්ය ධර්මයක හික්මිලත් නෑ, සත්පුරුෂයින්ව හඳුනන්නෙත් නෑ. සත්පුරුෂ ධර්මයක් තේරුම් ගන්න දක්ෂත් නෑ. සත්පුරුෂ ධර්මයක හික්මිලත් නෑ.
ඉතින් ඒ අශ්‍රැතවත් පෘථග්ජනයා,
(1). සතර මහා ධාතුන්ගෙන් හටගත්තු මේ රූපය ‘මගේ’ කියල, ‘මේ මම’ කියල, ‘මේ මගේ ආත්මය’ කියල රැවටෙනවා.
(2). ස්පර්ශයෙන් හටගත්තු මේ වේදනාව ‘මගේ’ කියල, ‘මේ මම’ කියල, ‘මේ මගේ ආත්මය’ කියල රැවටෙනවා.
(3). ස්පර්ශයෙන් හටගත්තු මේ සඤ්ඤාව ‘මගේ’ කියල, ‘මේ මම’ කියල, ‘මේ මගේ ආත්මය’ කියල රැවටෙනවා.
(4). ස්පර්ශයෙන් හටගත්තු මේ සංස්කාර ‘මගේ’ කියල, ‘මේ මම’ කියල, ‘මේ මගේ ආත්මය’ කියල රැවටෙනවා.
(5). ඇහෙන් දකින රූප, කනෙන් අහන ශබ්ද, නාසයෙන් දැනගන්න ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස, මනසට දැනෙන අරමුණු, හිත එන දේවල්, සොයන දේවල්, හිතේ හැසිරෙන දේවල්, ‘මගේ’ කියල, ‘මේ මම’ කියල, ‘මේ මගේ ආත්මය’ කියල රැවටෙනවා.
(6). ‘ඒක තමයි ලෝකය. ඒක තමයි ආත්මය. මම පරලොවදී අන්න ඒ ආත්මය ලබාගන්නවා. එතකොට මට නිත්‍ය වෙලා, ස්ථීර වෙලා, සදාකාලික වෙලා, වෙනස් නොවන ස්වභාවයෙන් ඒ විදිහට ම ඉන්න පුළුවනි’ කියන දෘෂ්ටිය හටගන්න යම් ආකල්පයක් වේ නම්, ඒක ‘මගේ’ කියල, ‘මේ මම’ කියල, ‘මේ මගේ ආත්මය’ කියල රැවටෙනවා.
පින්වත් මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයෙක් ඉන්නවා. ඔහු ආර්යයන් වහන්සේලාව හඳුනනවා. ආර්ය ධර්මය තේරුම් ගන්නත් දක්ෂයි. ආර්ය ධර්මයේ හික්මුන කෙනෙක්. සත්පුරුෂයන්ව හඳුනනවා. සත්පුරුෂ ධර්මය තේරුම් ගන්නත් දක්ෂයි. සත්පුරුෂ ධර්මයේ හික්මිලයි ඉන්නෙ.
ඒ ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා,
(1). සතර මහා ධාතුන්ගෙන් හටගත්තු රූපය ‘මගේ නොවේ’ කියල, ‘මේ මම නොවේ’ කියල, ‘මේ මගේ ආත්මය නොවේ’ කියල අවබෝධයෙන් ම දකිනවා.
(2). ස්පර්ශයෙන් හටගත්තු වේදනාව ‘මගේ නොවේ’ කියල, ‘මේ මම නොවේ’ කියල, ‘මේ මගේ ආත්මය නොවේ’ කියල අවබෝධයෙන් ම දකිනවා.
(3). ස්පර්ශයෙන් හටගත්තු සඤ්ඤාව ‘මගේ නොවේ’ කියල, ‘මේ මම නොවේ’ කියල, ‘මේ මගේ ආත්මය නොවේ’ කියල අවබෝධයෙන් ම දකිනවා.
(4). ස්පර්ශයෙන් හටගත්තු සංස්කාර ‘මගේ නොවේ’ කියල, ‘මේ මම නොවේ’ කියල, ‘මේ මගේ ආත්මය නොවේ’ කියල අවබෝධයෙන් ම දකිනවා.
(5). ඇහෙන් දකින රූප, කනෙන් අහන ශබ්ද, නාසයෙන් දැනගන්න ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස, මනසට දැනෙන අරමුණු, හිතට එන දේවල්, සොයන දේවල්, හිතේ හැසිරෙන දේවල්, ‘මගේ නොවේ’ කියල, ‘මේ මම නොවේ’ කියල, ‘මේ මගේ ආත්මය නොවේ’ කියල අවබෝධයෙන් ම දකිනවා.
(6). ‘ඒක තමයි ලෝකය. ඒක තමයි ආත්මය. මම පරලොවදී අන්න ඒ ආත්මය ලබාගන්නවා. එතකොට මට නිත්‍ය වෙලා, ස්ථීර වෙලා, සදාකාලික වෙලා, වෙනස් නොවන ස්වභාවයෙන් ඒ විදිහට ම ඉන්න පුළුවනි’ කියන දෘෂ්ටියත් ‘මගේ නොවේ’ කියල, ‘මේ මම නොවේ’ කියල, ‘මේ මගේ ආත්මය නොවේ’ කියල අවබෝධයෙන් ම දකිනවා.
ඒ ආර්ය ශ්‍රාවකයා ඔය විදිහට අවබෝධයෙන් ම දකින කොට ඒ දේවල් නැතිවෙලා යද්දි තැති ගැනීමක් ඇති වෙන්නෙ නෑ.
එතකොට එක භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේගෙන් මෙහෙම විමසුවා.
“ස්වාමීනී, බාහිර දේවල් අහිමි වෙද්දිත් තැති ගැනීමක් ඇතිවෙනවාද?”
“පින්වත් භික්ෂුව, ඔව්! තැතිගැනීමක් ඇතිවෙනවා” කියල භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කළා. “පින්වත් භික්ෂුව, එතකොට සමහර කෙනෙකුට මෙහෙම වෙනවා. බාහිර දෙයක් නැති වුනා ම ‘මට ඒක තිබුනා. අනේ! මට ඒක අහිමි වුනා. මට යමක් තිබුනා නම්, දැන් මට ඒ දේ ලැබෙන්නෙ නෑ’ කියල එයා ශෝක කරනවා. කලන්තෙ හැදෙනවා. වැළපෙනවා. පපුවට ගහගන්නවා. සිහි විකල් කරගන්නවා. පින්වත් භික්ෂුව, ඔන්න ඔය විදිහටයි බාහිර දෙයක් අහිමි වුණාම තැති ගන්නෙ.”
“එතකොට ස්වාමීනී, බාහිර දෙයක් අහිමි වුනා ම තැතිගැනීම ඇති නොවීමකුත් තියෙනවාද?”
“ඔව් පින්වත් භික්ෂුව, තැතිගැනීම ඇති නොවීමකුත් තියෙනවා. පින්වත් භික්ෂුව, මේ අදහස නැති කෙනෙක් ඉන්න පුළුවනි. ‘අනේ! මට ඒක තිබුනා. දැන් මට ඒ දේ අහිමි වුනා. මට යමක් තිබුනා නම් දැන් මට ඒ දේ ලැබෙන්නෙ නෑ’ කියල. ඔය අදහස නැත්නම් යම් දෙයක් නැති වුනාට එයා ශෝක වෙන්නෙ නෑ. කලන්තෙ හැදෙන්නෙ නෑ. වැළපෙන්නෙ නෑ. පපුවට ගහගන්නෙ නෑ. සිහි විකල් වෙන්නෙ නෑ. පින්වත් භික්ෂුව, බාහිර දේ අහිමි වෙද්දි තැති ගැනීමක් නැතුව ඉන්නෙ මෙහෙමයි.”
“ස්වාමීනී, තමන්ගේ ජීවිතයට අයිති දෙයක් අහිමි වුණොත් තැති ගැනීමක් ඇතිවෙනවාද?”
“ඔව් පින්වත් භික්ෂුව, තැතිගැනීමක් ඇතිවෙනවා. පින්වත් භික්ෂුව, කෙනෙකුට මේ විදිහේ දෘෂ්ටියක් ඇතිවෙනවා. ‘ඒක තමයි ලෝකය. ඒක තමයි ආත්මය. මං මැරිල ගිහින් ඒ ලෝකෙ උපදිනවා. ඒ ලෝකෙ නිත්‍යයි. ස්ථිරයි. සදාකාලිකයි. වෙනස් නොවන ස්වභාවයෙන් යුක්තයි. මං එහෙ ගිහිල්ලා ඒ විදිහට ම ඉන්නවා’ කියල.
ඉතින් ඔහුට තථාගතයන් වහන්සේ නමකගෙන් හරි, තථාගත ශ්‍රාවකයෙකු ගෙන් හරි, ධර්මය අහන්න ලැබෙනවා. හැම දෘෂ්ටියක් ම, දෘෂ්ටි හැදෙන හැම තැනක් ම, දෘෂ්ටි බැසගන්න හැම තැනක් ම, සිතේ ඇතුළේ දෘෂ්ටි හැදෙන හැම දෙයක් ම, නැත්තට ම නැති කිරීම පිණිසයි ඒ ධර්මය දේශනා කරන්නෙ. සියලු සංස්කාර සංසිඳවීම පිණිසයි, සියලු කෙලෙස් දුරුකිරීම පිණිසයි, තණ්හාව නැති කිරීම පිණිසයි, විරාගය පිණිසයි, තණ්හාව නිරුද්ධ කිරීම පිණිසයි, නිවන පිණිසයි, ඒ ධර්මය දේශනා කරන්නෙ. එතකොට අර පුද්ගලයා ඒ ධර්මය අහන කොට කලබල වෙනවා. ‘අයියෝ! නිවන් දැක්කම මරණින් පස්සෙ උපදින්නෙ නැතිලු, විනාශ වෙලා යනවලු. ආයෙ හටගන්නෙ නැතිලු. අනේ අපොයි!’ කිය කියා එයා ශෝක කරනවා. කලන්තෙ හැදෙනවා. වැළපෙනවා. පපුවට ගහගන්නවා. සිහිවිකල් වෙනවා. පින්වත් භික්ෂුව, ඔන්න ඔය විදිහටයි තමන්ගේ ජීවිතේ දෙයක් අහිමි වෙන කොට තැතිගැනීම ඇතිවෙන්නේ.
“එතකොට ස්වාමීනී, තමන්ගේ ජීවිතේ පිළිබඳ යමක් අහිමි වුනොත්, තැතිගැනීම් ඇති නොවීමකුත් තියෙනවාද?”
“ඔව් පින්වත් භික්ෂුව, තැති ගැනීම් ඇති නොවීමකුත් තියෙනවා. පින්වත් භික්ෂුව, කෙනෙකුට මේ අදහස ඇතිවෙන්නෙ නෑ. ‘ඒක තමයි ලෝකය. ඒක තමයි ආත්මය. මං මැරුණාට පස්සෙ එහෙ උපදිනවා. ඒ ලෝකෙ නිත්‍යයි. ඒ ලෝකෙ ස්ථිරයි. ඒ ලෝකෙ සදාකාලිකයි. මං එහේ ගිහිල්ලා ඒ විදිහට ම ඉන්නවා’ කියන ඔය අදහස නෑ. ඔහුටත් තථාගතයන් වහන්සේ නමකගෙන් හරි, තථාගත ශ්‍රාවකයෙකුගෙන් හරි ධර්මය අහන්න ලැබෙනවා. හැම දෘෂ්ටියක් ම නැතිවෙන, දෘෂ්ටි හැදෙන හැම තැනක් ම නැතිවෙන, දෘෂ්ටි මතුවෙන හැම තැනක්ම නැතිවෙන, සිත ඇතුළේ හැදෙන හැම දෘෂ්ටියක් ම නැති වෙන ධර්මයක් තමයි අහන්න ලැබෙන්නෙ. සියලු සංස්කාර සංසිඳෙන, සියලු කෙලෙස් දුරු වෙන, තණ්හාව නැතිවෙන, නො ඇල්ම ඇතිවෙන, තණ්හාව නිරුද්ධ වෙන, නිවන පිණිස ම හේතුවන ධර්මයක් තමයි අහන්න ලැබෙන්නෙ. ඔහු තුළ මේ අදහස ඇතිවෙන්නෙ නෑ. ‘අයියෝ! නිවන් දැක්කොත් මරණින් පස්සෙ උපදින්නෙ නැතිලු. විනාශ වෙලා යනවලු. ආයෙ හටගන්නෙ නැතිලු. අනේ අපොයි!’ කිය කියා එයා නම් ශෝක කරන්නෙ නෑ. කලන්තෙ හදා ගන්නෙ නෑ. වැළපෙන්නෙ නෑ. පපුවට ගහගන්නෙ නෑ. සිහි විකල් කරගන්නෙ නෑ. ඔන්න ඔය විදිහටයි තමන්ගේ ජීවිතේ දෙයක් අහිමි වෙන කොට තැති ගැනීම ඇතිවෙන්නෙ නැත්තෙ.
පින්වත් මහණෙනි, යම්කිසි දෙයක් අල්ලගත්තා ම ඒ අල්ලගත්තු දේ නිත්‍ය දෙයක් නම්, ස්ථිර දෙයක් නම්, සදාකාලික දෙයක් නම්, වෙනස් නොවන ධර්මතාවයකින් යුක්ත නම්, ඒ විදිහට ම තියෙන දෙයක් නම්, ඒක අල්ලගත්තට කමක් නෑ. නමුත් මහණෙනි, එබඳු වූ අල්ලගන්න දෙයක් නිත්‍ය වෙලා තියෙන, ස්ථිර වෙලා තියෙන, සදාකාලික වෙලා තියෙන, වෙනස් නොවී තියෙන, ඒ විදිහට ම තියෙන දෙයක් ඔබ දැකල තියෙනවාද?”
“ස්වාමීනී, අපි නම් ඒ විදිහේ දෙයක් දැකලා නෑ.”
“ඒක හරි පින්වත් මහණෙනි, යම්කිසි දෙයක් අල්ලගත්ත ම, ඒ අල්ලගත්තු දෙය නිත්‍ය වෙලා තියෙනවා නම්, ස්ථිර වෙලා තියෙනවා නම්, සදාකාලික වෙලා තියෙනවා නම්, වෙනස් නොවී තියෙනවා නම් එබඳු දෙයක් මම දැකලත් නෑ.
“පින්වත් මහණෙනි, ‘මේක මගේ’, ‘මේ මම’, ‘මේ මගේ ආත්මය’ කියල ග්‍රහණය වෙන අත්තවාද උපාදානයට බැඳිල ගියොත් ඒ අත්තවාද උපාදානයට බැඳී ඉන්නතාක් කල් ම ශෝක ඇතිවෙන්නෙ නැත්නම්, වැළපීමක් ඇතිවෙන්න නැත්නම්, දුක් දොම්නස්, සුසුම් හෙළීම් ඇතිවෙන්නෙ නැත්නම් එබඳු වූ අත්තවාද උපාදානයකට බැඳිල ගියාට කමක් නෑ.
“ස්වාමීනී, එබඳු උපාදානයක් නම් අපි දකින්නෙ නෑ.”
“ඒක හරි පින්වත් මහණෙනි, යම් අත්තවාද උපාදානයකට බැඳිල ගියොත්, ශෝක වැළපීම්, දුක් දොම්නස් උපායාස හට නොගන්නවා නම් එබඳු වූ අත්තවාද උපාදානයක් මම පවා දකින්නෙ නෑ.
පින්වත් මහණෙනි, යම්කිසි දෘෂ්ටි බන්ධනයක් ඇසුරු කරගෙන සිටිද්දී ඒ දෘෂ්ටි බන්ධනය ඇසුරු කිරීම හේතුවෙන් ශෝක වැළපීම්, දුක් දොම්නස්, උපායාස හටගන්නෙ නැත්නම්, එබඳු දෘෂ්ටියක් ඇසුරු කළාට කමක් නෑ. නමුත් පින්වත් මහණෙනි, යම්කිසි දෘෂ්ටි බන්ධනයක් ඇසුරු කරද්දී ශෝක වැළපීම්, දුක් දොම්නස්, උපායාස ඇති නොවෙනවා නම් එබඳු දෘෂ්ටි බන්ධනයක් ඔබ දැකලා තියෙනවාද?”
“ස්වාමීනී, අපි එබඳු දෙයක් නම් දැකල නෑ.”
“ඒක හරි පින්වත් මහණෙනි, මම පවා එබඳු වූ දෘෂ්ටි බන්ධනයක් දැකල නෑ. ඒ කියන්නෙ යම්කිසි දෘෂ්ටි බන්ධනයක් ඇසුරු කළා ම ඒ හේතුවෙන් ශෝක වැළපීම්, දුක් දොම්නස්, උපායාස හට නොගන්නවා නම්, එබඳු දෘෂ්ටි බන්ධනයක් මම දකින්නෙත් නෑ.
පින්වත් මහණෙනි, ආත්මයක් තිබුනොත් නේද ‘ඒ ආත්මයට අයත් දෙයක් මට තියෙනවා ය’ යන අදහස ඇතිවෙන්නෙ?”
“එහෙමයි, ස්වාමීනී”
“ඒ වගේ ම පින්වත් මහණෙනි, ආත්මයකට අයත් දෙයක් තිබුනොත් නේද ‘මට ආත්මයක් තියෙනවා ය’ යන අදහස ඇතිවෙන්නෙ?”
“එහෙමයි, ස්වාමීනී.”
“නමුත් පින්වත් මහණෙනි, සත්‍ය වශයෙන් ම, ස්ථිර වශයෙන් ම එබඳු ආත්මයක් නැත්නම්, ආත්මයකට අයිති දේකුත් නැත්නම්, ‘ඒක තමයි ලෝකය. ඒක තමයි ආත්මය. මං මරණින් පස්සෙ ඒ ලෝකෙට යනවා. ඒ ලෝකෙ නිත්‍යයි. ස්ථිරයි. සදාකාලිකයි. වෙනස් වෙන්නෙ නෑ. ඒ විදිහටම තියෙනවා’ කියලා යම් දෘෂ්ටියක් ඇද්ද, පින්වත් මහණෙනි, ඉතින් ඔය දෘෂ්ටිය මුළුමනින් ම පරිපූර්ණ වූ මෝඩකමක් නොවෙයිද?”
“ස්වාමීනී, ඒක මෝඩකමක් නොවෙන්නේ කොහොමද? ඒක මුළුමනින් ම පරිපූර්ණ වූ මෝඩකමක්මයි”
“පින්වත් මහණෙනි, මේ ගැන කුමක්ද ඔබ හිතන්නේ? රූපය නිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක්ද?”
“ස්වාමීනී, රූපය අනිත්‍යයි”
“යමක් අනිත්‍ය නම් ඒක දුකක්ද? නැත්නම් සැපක්ද?”
“ස්වාමීනී, දුකයි”
“යම් දෙයක් අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වන ස්වභාවයෙන් යුතු නම් ‘මේක මගේ, මේ මම, මේ මගේ ආත්මය’ කියල රැවටෙන එක හරිද?”
“ස්වාමීනී, ඒක හරි නැහැ.”
“පින්වත් මහණෙනි, එහෙම නම් මේ ගැන ඔබ මොකක් ද හිතන්නෙ? වේදනාව නිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක්ද?”
“ස්වාමීනී, අනිත්‍යයි.”
“යම් දෙයක් අනිත්‍ය නම් ඒක දුකක්ද? සැපක්ද?”
“දුකයි ස්වාමීනී.”
“යම් දෙයක් අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වන ස්වභාවයෙන් යුතු නම්, ‘මේක මගේ, මේ මම, මේ මගේ ආත්මය’ කියල රැවටෙන එක හරිද?”
“ස්වාමීනී, ඒක හරි නැහැ.”
“පින්වත් මහණෙනි, මේ ගැන කුමක් ද ඔබ හිතන්නෙ? සඤ්ඤාව නිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක්ද?”
“ස්වාමීනී, අනිත්‍යයි.”
“යමක් අනිත්‍ය නම් ඒක දුකක්ද? නැත්නම් සැපක්ද?”
“ස්වාමීනී, දුකයි.”
“යම් දෙයක් අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වන ස්වභාවයෙන් යුතු නම් ‘මේක මගේ, මේ මම, මේ මගේ ආත්මය’ කියල රැවටෙන එක හරි ද?”
“ස්වාමීනී, ඒක හරි නැහැ.”
“පින්වත් මහණෙනි, මේ ගැන ඔබ මොකක් ද හිතන්නෙ? සංස්කාර කියන්නෙ නිත්‍ය දේවල්ද? අනිත්‍ය දේවල්ද?”
“ස්වාමීනී, අනිත්‍යයි”
“යම් දෙයක් අනිත්‍ය නම් ඒවා දුකක්ද? සැපක්ද?”
“ස්වාමීනී, දුකයි”
“යම් දෙයක් අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වන ස්වභාවයෙන් යුතු නම් ‘මේක මගේ, මේ මම, මේ මගේ ආත්මය’ කියල රැවටෙන එක හරිද?”
“ස්වාමීනී, ඒක හරි නැහැ.”
“පින්වත් මහණෙනි, මේ ගැන ඔබ මොකක් ද හිතන්නෙ? විඤ්ඤාණය කියන්නෙ නිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක්ද?”
“ස්වාමීනී, අනිත්‍යයි”
“යම් දෙයක් අනිත්‍ය නම් ඒක දුකක්ද? සැපක්ද?”
“ස්වාමීනී, දුකයි”
“යම් දෙයක් අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වන ස්වභාවයෙන් යුතු නම් ‘මේක මගේ, මේ මම, මේ මගේ ආත්මය’ කියල රැවටෙන එක හරිද?”
“ස්වාමීනී, ඒක හරි නැහැ.”
“ඒ නිසා පින්වත් මහණෙනි, අතීත, අනාගත, වර්තමාන, තමාගේ යැයි සළකන, බාහිර යැයි සළකන, ගොරෝසු වේවා, සියුම් වේවා, ළාමක වේවා, උතුම් වේවා යම්කිසි රූපයක් ඇද්ද, දුර වේවා, ළඟ වේවා යම් රූපයක් ඇද්ද, ඒ සෑම රූපයක් ම ‘මේක මගේ නොවේ. මේ මම නොවේ. මේ මගේ ආත්මය නොවේ’ කියල ඔන්න ඔය විදිහට දියුණු කරපු ප්‍රඥාවෙන් යථාර්ථය දකින්න ඕන. ඒ වගේම යම්කිසි වේදනාවක් ….(පෙ)…. යම්කිසි සඤ්ඤාවක් ….(පෙ)…. යම්කිසි සංස්කාර ….(පෙ)…. අතීත, අනාගත, වර්තමාන, තමාගේ යැයි සළකන, බාහිර යැයි සළකන, ගොරෝසු වේවා, සියුම් වේවා, ළාමක වේවා, උතුම් වේවා යම්කිසි විඤ්ඤාණයක් ඇද්ද, දුර වේවා, ළඟ වේවා යම් විඤ්ඤාණයක් ඇද්ද, ඒ සෑම විඤ්ඤාණයක්ම ‘මේක මගේ නොවේ. මේ මම නොවේ. මේ මගේ ආත්මය නොවේ’ කියල ඔන්න ඔය විදිහට දියුණු කරපු ප්‍රඥාවෙන් යථාර්ථය දකින්න ඕන.
පින්වත් මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ඔන්න ඔය විදිහට යථාර්ථය දකින කොට රූපය ගැන අවබෝධයෙන් ම කළකිරෙනවා. වේදනාව ගැනත් අවබෝධයෙන් ම කළකිරෙනවා. සඤ්ඤාව ගැනත් අවබෝධයෙන් ම කළකිරෙනවා. සංස්කාර ගැනත් අවබෝධයෙන් ම කළකිරෙනවා. විඤ්ඤාණය ගැනත් අවබෝධයෙන් ම කළකිරෙනවා. ඒ කළකිරීම නිසා ඒ කෙරෙහි ඇල්ම නැතුව යනවා. ඒ ඇල්ම නැතිවීම නිසා එයින් නිදහස් වෙනවා. පංච උපාදානස්කන්ධයෙන් නිදහස් වුනා ම ‘මං දැන් දුකෙන් නිදහස් වුනා’ කියන අවබෝධය ඇතිවෙනවා. ‘ඉපදීම නැති වුනා. නිවන් මග සම්පූර්ණ කරගත්තා. කළ යුත්ත කරල අවසන් කළා. ආයෙමත් මට නිවන් පිණිස කළ යුතු දෙයක් නැහැ’ යි කියල අවබෝධය ඇතිවෙනවා.
පින්වත් මහණෙනි, ඔන්න ඔය භික්ෂුවට තමයි කියන්නෙ ‘අවිද්‍යාව නැමැති දොර අගුල් කඩා දාපු කෙනා ය’ කියල. ‘කර්මය නැමැති දිය අගල සුනුවිසුණු කරල දාපු කෙනා ය’ කියල. ‘තෘෂ්ණාව නැමැති ගල් කණුව ගලවපු කෙනා ය’ කියල. ‘සංසාරයේ අගුල බිඳපු කෙනා ය’ කියල. ‘ආර්ය තත්වයට පත්වුණු කෙනා ය’ කියල. ‘මාන්නය නැමැති කොඩිය බිම දාපු කෙනා ය’ කියල. ‘කෙලෙස් බර වීසිකරපු කෙනා ය’ කියල. ‘කෙලෙස්වලින් වෙන් වූ කෙනා ය’ කියල.
(1). පින්වත් මහණෙනි, ඒ භික්ෂුවට ‘අවිද්‍යාව නැමැති දොර අගුළු කඩා දාපු කෙනා ය’ කියල කියන්නෙ ඇයි? පින්වත් මහණෙනි, ඒ භික්ෂුවගේ අවිද්‍යාව නෑ. මුල් එක්කම නැතිවෙලා. කරටිය කැඩිච්ච තල් ගහක් වගේ වෙලා. අභාවයට පත්වෙලා. ආයෙ කවදාවත් හට නොගන්න තත්වයට පත්වෙලා. අන්න ඒ නිසයි ඒ භික්ෂුවට ‘අවිද්‍යාව නැමැති දොර අගුළු කඩා දාපු කෙනා ය’ කියල කියන්නෙ.
(2). පින්වත් මහණෙනි, ‘කර්මය නැමැති දිය අගල සුනුවිසුණු කරපු කෙනා ය’ කියල කියන්නෙ ඇයි? පින්වත් මහණෙනි, ඒ භික්ෂුවට ආයෙමත් භවයක් හැදිල ඉපදෙන සසර නෑ. මුලින් ම උදුරල තියෙන්නෙ. කරටිය කැඩිච්ච තල් ගහක් වගේ වෙලා තියෙන්නෙ. අභාවයට පත්වෙලා තියෙන්නෙ. ආයෙ කවදාවත් හට නොගන්න ස්වභාවයට පත් වෙලා තියෙන්නෙ. අන්න ඒ නිසයි ඒ භික්ෂුවට ‘දිය අගල සුනුවිසුණු කළ කෙනා ය’ කියල කියන්නෙ.
(3). පින්වත් මහණෙනි, ඒ භික්ෂුවට ‘තෘෂ්ණාව නැමැති ගල් කණුව උදුරල දාපු කෙනා ය’ කියල කියන්නෙ ඇයි? පින්වත් මහණෙනි, ඒ භික්ෂුවට තෘෂ්ණාව නෑ. මුලින් ම උදුරල දාලයි තියෙන්නෙ. කරටිය කැඩිච්ච තල් ගහක් වගේ වෙලා තියෙන්නෙ. අභාවයට පත්වෙලා තියෙන්නෙ. ආයෙ කවදාවත් හට නොගන්න ස්වභාවයට පත්වෙලා තියෙන්නෙ. පින්වත් මහණෙනි, අන්න ඒ නිසයි ඒ භික්ෂුවට ‘තෘෂ්ණාව නැමැති ගල්කණුව උදුරල දාපු කෙනා ය’ කියල කියන්නෙ.
(4). පින්වත් මහණෙනි, ඒ භික්ෂුවට ‘සංසාරයේ අගුල බිඳපු කෙනා ය’ කියල කියන්නෙ ඇයි? පින්වත් මහණෙනි, ඒ භික්ෂුව තුළ කාම භවයේ බැඳ තබන ඕරම්භාගීය සංයෝජන පහ නෑ. ඒවා මුලින් ම උදුරල දාලයි තියෙන්නෙ. තල් ගහේ කරටිය කැඩුණා වගේ වෙලා තියෙන්නෙ. අභාවයට පත් වෙලා තියෙන්නෙ. ආයෙ කවදාවත් හට නොගන්න ස්වභාවයට පත්වෙලා තියෙන්නෙ. පින්වත් මහණෙනි, අන්න ඒ භික්ෂුවට තමයි ‘සසර දොර අගුළු කඩපු කෙනා ය’ කියල කියන්නෙ.
(5). පින්වත් මහණෙනි, ඒ භික්ෂුවට ‘ආර්ය තත්වයට පත්වුන කෙනා, මාන්නය නැමැති කොඩිය බිම දැමූ කෙනා, කෙලෙස් බර විසි කරපු කෙනා, කෙලෙස් වලින් වෙන්වුන කෙනා’ කියල කියන්නෙ ඇයි? පින්වත් මහණෙනි, ඒ භික්ෂුවට ‘මම වෙමි’ කියන මාන්නය නෑ. මුලින් ම උදුරල දාලයි තියෙන්නෙ. කරටිය කැඩිච්ච තල් ගහක් වගේ වෙලා තියෙන්නෙ. අභාවයට පත්වෙලා තියෙන්නෙ. ආයෙ කවදාවත් හට නොගන්න තත්වයට පත්වෙලා තියෙන්නෙ. පින්වත් මහණෙනි, අන්න ඒ භික්ෂුවට තමයි ‘ආර්ය තත්වයට පත්වුන කෙනා, මාන්නය නැමැති කොඩිය බිම දැමූ කෙනා, කෙලෙස් බර විසි කරපු කෙනා, කෙලෙස් වලින් වෙන්වුන කෙනා ය’ කියල කියන්නෙ.
පින්වත් මහණෙනි, ඔය විදිහට දුකින් නිදහස් වුණු සිත් ඇති භික්ෂුව ගැන සක් දෙවිඳුන් සහිත බ්‍රහ්මයා සහිත ප්‍රජාපතී සහිත දෙවියන්ටවත් අවබෝධ කරගන්න අමාරුයි, ඒ රහතන් වහන්සේගේ විඤ්ඤාණය දැන් පවතින්නේ මේ මේ අරමුණු ආශ්‍රය කරගෙන කියලා. ඒකට හේතුව මොකක්ද? පින්වත් මහණෙනි, රහතන් වහන්සේ මේ ජීවිතයේ දී ම සියල්ල ඉක්මවා ගියා කියලයි කියන්න තියෙන්නෙ.
පින්වත් මහණෙනි, මං ඔය විදිහේ අදහස් දරද්දී, මං ඔය විදිහේ ධර්මයක් කියද්දී සමහර ශ්‍රමණ බ්‍රාහ්මණවරු මට අසත්‍යයෙන්, බොරුවෙන්, අභූතයෙන් චෝදනා කරනවා. ‘ශ්‍රමණ ගෞතමයන් සත්වයන්ව නැති කරනවාලු. ඉන්නා වූ සත්වයන්ගේ වැනසීම, අභාවය ගැන කියා දෙනවාලු’ පින්වත් මහණෙනි, මම සත්වයන් විනාශ කරන කෙනෙක් නොවෙයි. ඒ නිසා මම සත්වයන්ගේ විනාශය කියන්න යන්නෙ නෑ. මං එහෙම කටයුතු කරද්දිත් ඒ පින්වත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් අසත්‍ය දෙයින්, බොරුවෙන්, අභූතයෙන් මට චෝදනා කරනවා. ‘ශ්‍රමණ ගෞතමයන් සත්වයන් විනාශ කරනවාලු. ඉන්නා වූ සත්වයන්ගේ නැතිවීම කියනවාලු. වැනසීම කියනවාලු. හට නො ගැනීම කියනවාලු.’
නමුත් පින්වත් මහණෙනි, මං ඉස්සරත්, දැනුත්, මේ දුක ගැන විතරයි කියන්නෙ. දුකේ නිරුද්ධ වීම ගැන විතරයි කියන්නෙ. මහණෙනි, ඔය එක එක්කෙනා තථාගතයන් වහන්සේට බනිනවා. නින්දා කරනවා. නපුරු වචන කියනවා. වෙහෙසවනවා. රණ්ඩුවලට පැටලෙන්න එනවා. නමුත් පින්වත් මහණෙනි, ඒ උදවිය ගැන තථාගතයන් වහන්සේගේ සිතේ තරහක් ඇතිවෙන්නෙ නෑ. අසතුටක් ඇතිවෙන්නෙ නෑ. පීඩාවක් ඇතිවෙන්නෙ නෑ.
ඒ වගේ ම පින්වත් මහණෙනි, ඔය එක එක්කෙනා තථාගතයන් වහන්සේට හොඳට සළකනවා. ගෞරව කරනවා. බුහුමන් දක්වනවා. පුද පූජා පවත්වනවා. ඒ වෙලාවට තථාගතයන් වහන්සේගේ සිතේ අමුතු සතුටක් ඇතිවෙන්නෙ නෑ. සොම්නසක් ඇතිවෙන්නෙ නෑ. සිත පිනා යන්නෙ නෑ. පින්වත් මහණෙනි, ඔය එක එක්කෙනා තථාගතයන් වහන්සේට සළකන කොට ගෞරව කරන කොට, බුහුමන් දක්වන කොට, පුද පූජා පවත්වන කොට, පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේට මෙහෙමයි හිතෙන්නෙ. ‘අවිද්‍යා තණ්හා නැතිවෙන ආකාරයට පිරිසිඳ දැකගත්තු යම් ධර්මයක් ඇද්ද, අන්න ඒකටයි ඔය විදිහේ සත්කාර සම්මාන කරන්නෙ’ කියලා.
පින්වත් මහණෙනි, ඒ නිසා ඔබත් ඔය එක එක්කෙනා ඔබට නින්දා කළාට, අපහාස කළාට, දොස් කිව්වාට, වෙහෙසෙව්වාට, රණ්ඩුවලට පැටලෙන්න ආවාට ඒ ගැන තරහ ගන්න එපා. කෝප වෙන්න එපා. චිත්ත පීඩා ඇති කරගන්න එපා. ඒ වගේම පින්වත් මහණෙනි, ඔය එක එක්කෙනා සත්කාර කළාට, ගෞරව කළාට, බුහුමන් දැක්වුවාට, පුද පූජා කළාට, ඔබත් ඒ ගැන අමුතුවෙන් සතුටු වෙන්න ඕන නෑ. සොම්නස් වෙන්න ඕන නෑ. සිත පිනා යන්න ඕන නෑ. ඒ නිසා පින්වත් මහණෙනි, ඔය එක එක්කෙනා ඔබට ම සත්කාර කරන කොට, ගරු කරන කොට, බුහුමන් දක්වන කොට, පුදපූජාවන් කරන කොට, මෙන්න මේ විදිහටයි හිතන්න ඕන. ‘මේ අවිද්‍යාව තණ්හාව නැතිවෙන විදිහට මං කලින් යමක් පිරිසිඳ දැක්කා ද, අන්න ඒ ධර්මයටයි ඔය ඔක්කොම සැළකිලි තියෙන්නෙ’ කියලා.
පින්වත් මහණෙනි, එම නිසා යමක් ඔබට අයිති නැත්නම්, ඒ අයිති නැති දේ අතහරින්න. ඒක ඔබට ප්‍රහාණය වුණු විට බොහෝ කාලයක් හිත සුව පිණිස පවතීවි. පින්වත් මහණෙනි, ඔබට අයිති නැති දේ මොකක්ද? පින්වත් මහණෙනි, ඔබට රූපය අයිති නෑ. ඒ නිසා රූපය ගැන ඇති ආශාව අත්හරින්න. ඒ කෙරෙහි ඇති ආශාව ප්‍රහීණ වූ විට ඔබට ඒක බොහෝ කලක් හිත සුව පිණිස පවතීවි. පින්වත් මහණෙනි, ඔබට වේදනාව අයිති නෑ. ඒ නිසා වේදනාව ගැන ඇති ආශාව අත්හරින්න. ඒ කෙරෙහි ඇති ආශාව ප්‍රහීණ වූ විට ඔබට ඒක බොහෝ කලක් හිත සුව පිණිස පවතීවි. පින්වත් මහණෙනි, ඔබට සඤ්ඤාව අයිති නෑ. ඒ නිසා සඤ්ඤාව ගැන තියෙන ආශාව අත්හරින්න. ඒ කෙරෙහි ඇති ආශාව ප්‍රහීණ වූ විට ඔබට ඒක බොහෝ කලක් හිත සුව පිණිස පවතීවි. පින්වත් මහණෙනි, ඔබට සංස්කාර අයිති නෑ. ඒ නිසා සංස්කාර ගැන ඇති ආශාව අත්හරින්න. ඒ කෙරෙහි ඇති ආශාව ප්‍රහීණ වූ විට ඔබට ඒක බොහෝ කලක් හිත සුව පිණිස පවතීවි. පින්වත් මහණෙනි, ඔබට විඤ්ඤාණය අයිති නෑ. ඒ නිසා විඤ්ඤාණය ගැන තියෙන ආශාව අත්හරින්න. ඒ කෙරෙහි ඇති ආශාව ප්‍රහීණ වූ විට ඔබට ඒක බොහෝ කලක් හිත සුව පිණිස පවතීවි.
පින්වත් මහණෙනි, ඔබට මේ ගැන මොකක්ද හිතෙන්නෙ? මේ ජේතවනයේ තියෙන දර, කොළ, අතු ආදිය මිනිස්සු ඇවිල්ල අරගෙන ගියොත් ඒවාට ගිනි තිබ්බොත්, ඒවාට කැමති දෙයක් කළොත්, ඔබට මේ විදිහට හිතෙනවාද? ‘අයියෝ! මේ මිනිස්සු අපිව අරගෙන යනවා. අපිව ගිනි තියනවා. එයාලට ඕන ඕන දේවල් කරනවා නෙව’ කියලා.”
“නෑ, ස්වාමීනී”
“ඒකට හේතුව මොකක්ද?”
“ස්වාමීනී, අපට ඒවා තමා ය කියල හරි තමන්ට අයත් දේවල් ය කියල හරි හිතෙන්නෙ නැති නිසයි.”
“අන්න ඒ වගේ පින්වත් මහණෙනි, යමක් ඔබට අයිති නැත්නම්, ඒ අයිති නැති දේ අතහරින්න. ඒක ඔබට ප්‍රහාණය වුන විට බොහෝ කාලයක් හිත සුව පිණිස පවතීවි. පින්වත් මහණෙනි, ඔබට අයිති නැති දේ මොකක්ද? පින්වත් මහණෙනි, ඔබට රූපය අයිති නෑ. ඒ නිසා රූපය ගැන ඇති ආශාව අත්හරින්න. ඒ කෙරෙහි ඇති ආශාව ප්‍රහීණ වූ විට ඔබට ඒක බොහෝ කලක් හිත සුව පිණිස පවතීවි. පින්වත් මහණෙනි, ඔබට වේදනාව අයිති නෑ. ඒ නිසා වේදනාව ගැන ඇති ආශාව අත්හරින්න. ඒ කෙරෙහි ඇති ආශාව ප්‍රහීණ වූ විට ඔබට ඒක බොහෝ කලක් හිත සුව පිණිස පවතීවි. පින්වත් මහණෙනි, ඔබට සඤ්ඤාව අයිති නෑ. ඒ නිසා සඤ්ඤාව ගැන තියෙන ආශාව අත්හරින්න. ඒ කෙරෙහි ඇති ආශාව ප්‍රහීණ වූ විට ඔබට ඒක බොහෝ කලක් හිත සුව පිණිස පවතීවි. පින්වත් මහණෙනි, ඔබට සංස්කාර අයිති නෑ. ඒ නිසා සංස්කාර ගැන ඇති ආශාව අත්හරින්න. ඒ කෙරෙහි ඇති ආශාව ප්‍රහීණ වූ විට ඔබට ඒක බොහෝ කලක් හිත සුව පිණිස පවතීවි. පින්වත් මහණෙනි, ඔබට විඤ්ඤාණය අයිති නෑ. ඒ නිසා විඤ්ඤාණය ගැන තියෙන ආශාව අත්හරින්න. ඒ කෙරෙහි ඇති ආශාව ප්‍රහීණ වූ විට ඔබට ඒක බොහෝ කලක් හිත සුව පිණිස පවතීවි.
පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහට මං ඉතා ම යහපත් ලෙසයි මේ ධර්මය දේශනා කරල තියෙන්නෙ. උඩට මතු කරලයි තියෙන්නෙ. විවෘත කරලයි තියෙන්නෙ. පැහැදිලිව කියා දීලයි තියෙන්නෙ. අවිද්‍යා වැරහැලි ඉරල දාලයි තියෙන්නෙ. ඉතින් පින්වත් මහණෙනි, මං ඔය විදිහට ඉතා යහපත් ලෙසට දේශනා කරපු, මතුකොට දක්වපු, විවෘත කරපු, කියා දීපු, අවිද්‍යා වැරහැලි ඉරල දාපු, මේ ධර්මය තුළ භික්ෂූන් වහන්සේලා ඉන්නවා. ඔවුන් රහතන් වහන්සේලා. ආශ්‍රවයන් ක්ෂය වෙලා තියෙන්නෙ. බඹසර වාසය නිමා කරලයි තියෙන්නෙ. කළ යුතු දේ කරලයි තියෙන්නෙ. කෙලෙස් බර වීසි කරලයි තියෙන්නෙ. ක්‍රමානුකූලව උතුම් අර්ථයට පැමිණිලා තියෙන්නෙ. භව බන්ධන නැතිවෙලා තියෙන්නෙ. අවබෝධය තුළින් ම දුකින් නිදහස් වෙලයි ඉන්නෙ. ඔවුන්ගේ සසර සැරිසැරීමක් නැහැ.
පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහට මං ඉතා ම යහපත් ලෙසයි මේ ධර්මය දේශනා කරල තියෙන්නෙ. උඩට මතු කරලයි තියෙන්නෙ. විවෘත කරලයි තියෙන්නෙ. පැහැදිලිව කියා දීලයි තියෙන්නෙ. අවිද්‍යා වැරහැලි ඉරල දාලයි තියෙන්නෙ. ඉතින් පින්වත් මහණෙනි, මං ඔය විදිහට ඉතා යහපත් ලෙසට දේශනා කරපු, මතුකොට දක්වපු, විවෘත කරපු, කියා දීපු, අවිද්‍යා වැරහැලි ඉරල දාපු, ධර්මය තුළ ඕරම්භාගිය සංයෝජන පහ ප්‍රහාණය කරපු භික්ෂූන් වහන්සේලා ඉන්නවා. ඒ අය ‘අනාගාමි’ යි. ඒ සියලු දෙනා ම ඕපපාතිකව සුද්ධාවාස බඹලොව ඉපිද පිරිනිවන් පානවා. ආයෙ කවදාවත් ඒ ලෝකෙන් චුතවෙලා මෙහෙ එන්නෙ නෑ.
පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහට මං ඉතා ම යහපත් ලෙසයි මේ ධර්මය දේශනා කරල තියෙන්නෙ. උඩට මතු කරල තියෙන්නෙ. විවෘත කරල තියෙන්නෙ. පැහැදිලිව කියා දීල තියෙන්නෙ. අවිද්‍යා වැරහැලි ඉරල දාලයි තියෙන්නෙ. ඉතින් පින්වත් මහණෙනි, මං ඔය විදිහට ඉතා යහපත් ලෙසට ම දේශනා කරපු, මතුකොට දක්වපු, විවෘත කරපු, කියා දීපු, අවිද්‍යා වැරහැලි ඉරල දාපු, මේ ධර්මය තුළ සංයෝජන තුනක් ප්‍රහාණය වෙච්ච රාග, ද්වේෂ, මෝහ තුනී වෙච්ච භික්ෂූන් වහන්සේලා ඉන්නවා. ඒ හැම දෙනාම සකදාගාමී වෙලයි ඉන්නෙ. මේ ලෝකයට එක වතාවක් විතරක් ඇවිල්ලා සියලු දුක් අවසන් කරනවා.
පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහට මං ඉතා ම යහපත් ලෙසයි මේ ධර්මය දේශනා කරල තියෙන්නෙ. උඩට මතු කරලයි තියෙන්නෙ. විවෘත කරලයි තියෙන්නෙ. පැහැදිලිව කියා දීලයි තියෙන්නෙ. අවිද්‍යා වැරහැලි ඉරල දාලයි තියෙන්නෙ. ඉතින් පින්වත් මහණෙනි, මං ඔය විදිහට ඉතා යහපත් ලෙසට දේශනා කරපු, මතුකොට දක්වපු, විවෘත කරපු, කියා දීපු, අවිද්‍යා වැරහැලි ඉරල දාපු, මේ ධර්මය තුළ සංයෝජන තුනක් ප්‍රහාණය වෙච්ච භික්ෂූන් වහන්සේලා ඉන්නවා. ඒ සියලු දෙනාම ‘සෝතාපන්න’ වෙලයි ඉන්නෙ. කවදාවත් සතර අපායට වැටෙන්නෙ නෑ. ස්ථිර වශයෙන් ම නිවන් අවබෝධ කරනවා.
පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහට මං ඉතා ම යහපත් ලෙසයි මේ ධර්මය දේශනා කරල තියෙන්නෙ. උඩට මතු කරලයි තියෙන්නෙ. විවෘත කරලයි තියෙන්නෙ. පැහැදිලිව කියා දීලයි තියෙන්නෙ. අවිද්‍යා වැරහැලි ඉරල දාලයි තියෙන්නෙ. ඉතින් පින්වත් මහණෙනි, මම ඉතා යහපත් ලෙසට දේශනා කරපු, මතුකොට දක්වපු, විවෘත කරපු, කියා දීපු, අවිද්‍යා වැරහැලි ඉරල දාපු, මේ ධර්මය තුළ ‘ධම්මානුසාරී, සද්ධානුසාරී’ භික්ෂූන් වහන්සේලා ඉන්නවා. ඒ සියලු දෙනාම නිවන් අවබෝධ කරනවා.
පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහට මං ඉතා ම යහපත් ලෙසයි මේ ධර්මය දේශනා කරල තියෙන්නෙ. උඩට මතු කරලයි තියෙන්නෙ. විවෘත කරලයි තියෙන්නෙ. පැහැදිලිව කියා දීලයි තියෙන්නෙ. අවිද්‍යා වැරහැලි ඉරල දාලයි තියෙන්නෙ. ඉතින් පින්වත් මහණෙනි, මං ඔය විදිහට ඉතා යහපත් ලෙසට දේශනා කරපු, මතුකොට දක්වපු, විවෘත කරපු, කියා දීපු, අවිද්‍යා වැරහැලි ඉරල දාපු, මේ ධර්මය තුළට පැමිණිච්ච යම් කෙනෙක් මා කෙරෙහි ශ්‍රද්ධා මාත්‍රයක් ඇති කරගත්තොත්, ප්‍රේම මාත්‍රයක් ඇති කරගත්තොත් ඒ සියලු දෙනා ම සුගතියේ උපදිනවා.”
භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව වදාළා. මෙයට සවන් දුන් භික්ෂූන් වහන්සේලා ගොඩාක් සතුටු වුණා. භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ දේශනාව සාදු නාද නංවමින් ඉතා සතුටින් පිළිගත්තා.
සාදු! සාදු!! සාදු!!!
සර්පයා උපමා කොට වදාළ දෙසුම නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn1_1-3-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M