මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. එදා භාග්‍යවතුන් වහන්සේ “පින්වත් මහණෙනි” යි කියල භික්ෂු සංඝයා ඇමතුවා. “පින්වතුන් වහන්ස” කියල ඒ භික්ෂූන් වහන්සේලාත් භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ ඒ මොහොතේ දී මේ දෙසුම වදාළා.
“පින්වත් මහණෙනි, මම ඔබට වන සෙනසුන ගැන කියා දෙන්නයි යන්නෙ. එය හොඳින් අසාගන්න ඕන. නුවණින් තේරුම් ගන්න ඕන. මම කියා දෙන්නම්.”
ඒ භික්ෂු පිරිස ද “එසේ ය ස්වාමීනී” යි කියා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. ඒ වෙලාවේ දී භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව වදාළා.
පින්වත් මහණෙනි, මෙහි භික්ෂුව එක්තරා වන සෙනසුනක් ඇසුරු කරගෙන ඉන්නවා. නමුත් ඔහු ඒ වන සෙනසුනේ වාසය කරද්දී පිහිටුවා ගන්න බැරිව තිබුණු සිහිය පිහිටන්නෙ නෑ. අසමාහිතව තිබුණු සිත සමාධිමත් වෙන්නෙත් නෑ. නැති නොවුණු ආශ්‍රවයන් නැතිවෙලා යන්නෙත් නෑ. පත් නොවුණු උතුම් අරහත්වයට පත්වෙන්නෙත් නෑ. පැවිදි ජීවිතයට ඕන කරන සිවුරු, පිණ්ඩපාත, සේනාසන, බේත්හේත් වුනත් ලබාගන්න තියෙන්නෙත් හරිම අමාරුවෙන්.
පින්වත් මහණෙනි. එතකොට ඒ භික්ෂුව මේ විදිහට නුවණින් මෙනෙහි කරන්න ඕන. ‘මම මේ වන සෙනසුනේ නේවාසිකව ඉන්නවා. නමුත්, මම මේ වන සෙනසුනේ හිටියා කියල සතිපට්ඨානයේ නොපිහිටි සිහිය පිහිටන්නෙත් නැහැ. එකඟ නොවෙච්ච සිත සමාධිමත් වෙන්නෙත් නෑ. නැති නොවුණු ආශ්‍රවයන් නැතිවෙලා යන්නෙත් නෑ. නොපැමිණි උතුම් අරහත්වයට පත්වෙන්නෙත් නෑ. පැවිද්දන්ට ජීවත් වෙන්න ඕන කරන සිවුරු, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බේත්හේත් ආදියත් දුක සේ ම යි ලබාගන්න තියෙන්නෙ.’ පින්වත් මහණෙනි, ඒ විදිහට කල්පනා කරන භික්ෂුව විසින් රාත්‍රී කාලයක හෝ දවල් කාලයක හෝ ඒ වන සෙනසුන අතහැරලා යන්න ඕන. සිටිය යුතු නැහැ.
ඒ වගේ ම පින්වත් මහණෙනි, මෙහි භික්ෂුව එක්තරා වන සෙනසුනක් ඇසුරු කරගෙන ඉන්නවා. ඉතින් ඔහු ඒ වන සෙනසුනේ නේවාසිකව සිටියත් සතිපට්ඨානයේ නොපිහිටි සිහිය පිහිටන්නෙත් නැහැ. අසමාහිත සිත සමාධිගත වෙන්නෙත් නැහැ. නැති නොවුණු ආශ්‍රවයන් නැතිවෙලා යන්නෙත් නෑ. නොපැමිණි උතුම් අරහත්වයට පත්වෙන්නෙත් නෑ. නමුත් පැවිද්දන්ට ජීවත් වීමට ඕන කරන සිවුරු, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බේත් හේත් ආදිය නම් පහසුවෙන් ලැබෙනවා. එතකොට ඒ භික්ෂුව මේ විදිහට නුවණින් මෙනෙහි කරන්න ඕන. ‘මම මේ වන සෙනසුනේ ඉන්නවා තමයි. නමුත් මම මේ වන සෙනසුනේ හිටියා කියල සතිපට්ඨානයේ නොපිහිටි සිහිය පිහිටියෙත් නැහැ. අසමාහිත සිත සමාධිගත වුනෙත් නැහැ. නැති නොවුණු ආශ්‍රවයන් නැති වෙලා ගියෙත් නෑ. නොපැමිණි උතුම් අරහත්වයට පත්වුනෙත් නෑ. ඒ වුනාට පැවිද්දන්ට ජීවත් වෙන්න ඕන කරන සිවුරු, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බේත්හේත් ආදිය පහසුවෙන් ලැබෙනවා. ඒත් මම නම් සිවුරු නිසා ගිහි ජීවිතේ අතහැරලා මහණ වුනා නොවෙයි. පිණ්ඩපාතෙ නිසා ….(පෙ)…. කුටියක් නිසා ….(පෙ)…. ගිලන්පස බේත්හේත් නිසා ගිහි ජීවිතේ අතහැරලා මහණ වුනා නොවෙයි. මං මේ වන සෙනසුනේ වාසය කළා කියල, සතිපට්ඨානයේ නොපිහිටි සිහිය පිහිටන්නෙත් නැහැ. අසමාහිත සිත සමාධිගත වෙන්නෙත් නැහැ. නැති නොවුණු ආශ්‍රවයන් නැතිවෙලා යන්නෙත් නෑ කියල. පින්වත් මහණෙනි, ඒ විදිහට නුවණින් සළකලා ඒ භික්ෂුව ඒ වන සෙනසුන අතහැරලා යන්න ඕන. සිටිය යුතු නැහැ.
පින්වත් මහණෙනි, මෙහි භික්ෂුව එක්තරා වන සෙනසුනක වාසය කරනවා. ඉතින් ඒ භික්ෂුව ඒ වන සෙනසුනේ වාසය කරද්දි, සතිපට්ඨානයේ නොපිහිටි සිහියත් පිහිටනවා. අසමාහිත සිත සමාධිමත් වෙනවා. නැති නොවුණු ආශ්‍රවයන් නැතිවෙලාත් යනවා. නොපැමිණි උතුම් අරහත්වයටත් පත්වෙනවා. නමුත් පැවිදි ජීවිතයකට ඕන කරන සිවුරු, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බේත් හේත් ආදිය දුක සේ ම යි හොයාගන්න තිබෙන්නෙ. පින්වත් මහණෙනි, එතකොට ඒ භික්ෂුව විසින් මේ විදිහට නුවණින් මෙනෙහි කරන්න ඕන. ‘මම මේ වන සෙනසුන ඇසුරු කරගෙන ඉන්නවා තමයි. මම මේ වන සෙනසුන ඇසුරු කරගෙන ඉන්න කොට සතිපට්ඨානයේ නොපිහිටි සිහියත් පිහිටනවා. අසමාහිත සිතත් සමාධිගත වෙනවා. නැති නොවුණු ආශ්‍රවත් නැතිවෙලා යනවා. නොපැමිණි උතුම් අරහත්වයටත් පත්වෙනවා. නමුත් පැවිදි කෙනෙකුට ජීවත් වෙන්න උවමනා කරන සිවුරු, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බේත් හේත් ආදිය දුක සේ ම යි ලබාගන්න තියෙන්නෙ. ඇත්තෙන් ම මං සිවුරක් නිසා ගිහි ජීවිතය අත්හැරල මහණ වුනා නොවෙයි. පිණ්ඩපාතයක් නිසා ….(පෙ)…. කුටියක් නිසා ….(පෙ)…. ගිලන්පස බේත් හේත් නිසා ගිහි ජීවිතේ අතහැරලා මහණ වුනා නොවෙයි. එහෙම වුනත්, මං මේ වන සෙනසුනේ සිටිද්දි, සතිපට්ඨානයේ නොපිහිටි සිහියත් පිහිටනවා. අසමාහිත සිතත් සමාධිමත් වෙනවා. නැති නොවුණු ආශ්‍රවත් නැතිවෙලා යනවා. නොපැමිණි උතුම් අරහත්වයටත් පත්වෙනවා’ කියලා. පින්වත් මහණෙනි, ඒ විදිහට සිහි කරන භික්ෂුව ඒ වන සෙනසුනේ ම ඉන්න ඕන. අත්හැර නොයා යුතුයි.
පින්වත් මහණෙනි, මෙහි භික්ෂුව එක්තරා වන සෙනසුනක වාසය කරනවා. ඉතින් ඔහු ඒ වන සෙනසුනේ වාසය කරද්දි සතිපට්ඨානයේ නොපිහිටි සිහියත් පිහිටනවා. අසමාහිත සිතත් සමාධිමත් වෙනවා. නැති නොවුණු ආශ්‍රවයන් නැතිවෙලත් යනවා. නොපැමිණි උතුම් අරහත්වයටත් පත්වෙනවා. ඒ වගේම පැවිදි ජීවිතයකට ඕන කරන සිවුරු, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බේත් හේත් ආදියත් පහසුවෙන් ම ලැබෙනවා. පින්වත් මහණෙනි, එතකොට ඒ භික්ෂුව විසින් මේ විදිහට නුවණින් මෙනෙහි කරන්න ඕන. ‘මම මේ වන සෙනසුනේ වාසය කරනවා. ඉතින් මම මේ වන සෙනසුනේ වාසය කරද්දි, සතිපට්ඨානයේ නොපිහිටි සිහියත් පිහිටනවා. අසමාහිත සිතත් සමාධිගත වෙනවා. නැති නොවුණු ආශ්‍රවත් නැතිවෙලා යනවා. නොපැමිණි උතුම් අරහත්වයටත් පත්වෙනවා. ඉතින් ඒ වගේ ම පැවිදි ජීවිතයකට උවමනා කරන සිවුරු, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බේත් හේත් ආදියත් පහසුවෙන් ම ලැබෙනවා.’ පින්වත් මහණෙනි, ඒ විදිහට නුවණින් මෙනෙහි කරන භික්ෂුව දිවි තිබෙන තුරාවට ඒ වන සෙනසුනේ ම වාසය කරන්න ඕන. අත්හැර නොයා යුතුයි.
පින්වත් මහණෙනි, මෙහි භික්ෂුව එක්තරා ගමක් ඇසුරු කරගෙන ඉන්නවා ….(පෙ)…. එක්තරා පුංචි නගරයක් ඇසුරු කරගෙන ඉන්නවා ….(පෙ)…. එක්තරා නගරයක් ඇසුරු කරගෙන ඉන්නවා ….(පෙ)…. එක්තරා ජනපදයක් ඇසුරු කරගෙන ඉන්නවා ….(පෙ)….
පින්වත් මහණෙනි, මෙහි භික්ෂුව එක්තරා පුද්ගලයෙකු ඇසුරු කරගෙන ඉන්නවා. ඉතින් ඒ පුද්ගලයාව ඇසුරු කරගෙන ඉන්න විට ඒ භික්ෂුවට සතිපට්ඨානයේ නොපිහිටි සිහිය පිහිටන්නෙත් නැහැ. අසමාහිත සිත සමාධිගත වෙන්නෙත් නැහැ. නැති නොවුණු ආශ්‍රවයන් නැති වන්නෙත් නෑ. නොපැමිණි උතුම් අරහත්වයට පත්වෙන්නෙත් නෑ. ඒ වගේ ම පැවිදි ජීවිතයකට උවමනා කරන සිවුරු, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බේත්හේත් ආදියත් අපහසුවෙන් ම යි ලැබෙන්නෙ.
ඉතින් පින්වත් මහණෙනි, ඒ භික්ෂුව ඒ ගැන මේ විදිහටයි නුවණින් මෙනෙහි කරන්න ඕන. ‘මම මේ පුද්ගලයාව ඇසුරු කරගෙන ඉන්නවා තමයි. නමුත් මම මේ පුද්ගලයාව ඇසුරු කරගෙන හිටියා කියල සතිපට්ඨානයේ නොපිහිටි සිහිය පිහිටන්නෙත් නැහැ. අසමාහිත සිත සමාහිත වෙන්නෙත් නැහැ. නැති නොවුණු ආශ්‍රවයන් නැතිවෙලා යන්නෙත් නෑ. නොපැමිණි උතුම් අරහත්වයට පත්වෙන්නෙත් නෑ. ඒ වගේ ම පැවිදි ජීවිතයට උවමනා කරන සිවුරු, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බේත්හේත්වත් පහසුවෙන් ලැබෙන්නෙ නෑ. පින්වත් මහණෙනි, ඒ විදිහට නුවණින් සිහි කරන භික්ෂුව විසින් රාත්‍රී කාලයේ හෝ දවල් කාලයේ ඒ පුද්ගලයාට නොකියා ම අත්හැර දාලා යන්න ඕන. ඒ පුද්ගලයා පස්සෙන් නොයා යුතුයි.
පින්වත් මහණෙනි, මෙහි භික්ෂුව එක්තරා පුද්ගලයෙකු ඇසුරු කරගෙන ඉන්නවා. ඉතින් ඔහු ඒ පුද්ගලයා ඇසුරු කරගෙන ඉන්න විට, ඒ භික්ෂුව තුළ සතිපට්ඨානයේ නොපිහිටි සිහිය පිහිටන්නෙත් නැහැ. අසමාහිත සිත සමාධිගත වෙන්නෙත් නැහැ.
නැති නොවූ ආශ්‍රවයන් නැති වෙන්නෙත් නෑ. නොපැමිණි උතුම් අරහත්වයට පත්වෙන්නෙත් නෑ. නමුත් පැවිදි ජීවිතයකට උවමනා කරන සිවුරු, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බේත් හේත් ආදිය පහසුවෙන් ම ලැබෙනවා. පින්වත් මහණෙනි, එතකොට ඒ භික්ෂුව ඒ ගැන මේ විදිහට නුවණින් මෙනෙහි කරන්න ඕන.
‘මම මේ පුද්ගලයාව ඇසුරු කරගෙන ඉන්නවා තමයි. නමුත් මම මේ පුද්ගලයාව ඇසුරු කරගෙන හිටියා කියල සතිපට්ඨානයේ නොපිහිටි සිහිය පිහිටන්නෙත් නැහැ. අසමාහිත සිත සමාහිත වන්නෙත් නැහැ. නැති නොවුණු ආශ්‍රවයන් නැතිවෙලා යන්නෙත් නෑ. නොපැමිණි උතුම් අරහත්වයට පත්වෙන්නෙත් නෑ. ඒ වුනාට පැවිදි ජීවිතයකට උවමනා කරන සිවුරු, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බේත් හේත් ආදිය පහසුවෙන් ම ලැබෙනවා. ඇත්තෙන් ම මම, මේ සිවුරක් නිසා ගිහි ජීවිතේ අත්හැරලා මහණ වුනා නොවෙයි. පිණ්ඩපාතෙ නිසා ….(පෙ)…. ස්ථානයක් ඕනවෙලා ….(පෙ)…. ගිලන්පස බේත්හේත් නිසා ගිහි ජීවිතේ අත්හැරලා මහණ වුනා නොවෙයි. අනික මම මේ පුද්ගලයාව ඇසුර කරගෙන හිටියා කියල සතිපට්ඨානයේ නොපිහිටි සිහිය පිහිටන්නෙත් නැහැ. අසමාහිත සිත සමාහිත වෙන්නෙත් නැහැ. නැති නොවුණු ආශ්‍රවයන් නැති වෙන්නෙත් නෑ. නොපැමිණි අරහත්වයට පත්වෙන්නෙත් නෑ’ කියලා. පින්වත් මහණෙනි, ඒ විදිහට නුවණින් සිහි කරන භික්ෂුව විසින් අර පුද්ගලයාට කියල එතනින් ගියාට කමක් නෑ. ඒ පුද්ගලයා පස්සෙ යන්න ඕන නෑ.
පින්වත් මහණෙනි, මෙහි භික්ෂුව එක්තරා පුද්ගලයෙකු ඇසුරු කරගෙන ඉන්නවා. ඉතින් ඒ පුද්ගලයාව අසුරු කරගෙන ඉන්න විට, ඒ භික්ෂුව තුළ සතිපට්ඨානයේ නොපිහිටි සිහියත් පිහිටනවා. අසමාහිත සිතත් සමාධිගත වෙනවා. නැති නොවුණු ආශ්‍රවයන් නැතිවෙලාත් යනවා. නොපැමිණි උතුම් අරහත්වයටත් පත්වෙනවා. නමුත් පැවිදි ජීවිතයකට ඕන කරන සිවුරු, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බේත් හේත් ආදිය අපහසුවෙන් ම යි ලැබෙන්නෙ.
පින්වත් මහණෙනි, ඒ භික්ෂුව ඒ ගැන නුවණින් සිතන්න ඕන මේ විදිහටයි. ‘මම මේ පුද්ගලයාව ඇසුරු කරගෙන සිටිද්දී, සතිපට්ඨානය් නොපිහිටි සිහියත් පිහිටනවා. අසමාහිත සිතත් සමාහිත වෙනවා. නැති නොවුණු ආශ්‍රවත් නැතිවෙලා යනවා. නොපැමිණි උතුම් අරහත්වයටත් පත්වෙනවා. ඒ වුනාට පැවිදි ජීවිතයකට උවමනා කරන සිවුරු, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බේත් හේත් ආදිය අපහසුවෙන් ම යි ලැබෙන්නෙ. ඇත්තෙන්ම මම, සිවුරක් නිසා ගිහි ජීවිතය අත්හැරල මහණ වුනා නොවෙයි. පිණ්ඩපාතෙ නිසා ….(පෙ)…. ස්ථානයක් අයිති කරගැනීමට ….(පෙ)…. ගිලන්පස බේත්හේත් නිසා ගිහි ජීවිතේ අත්හැරලා මහණ වුනා නොවෙයි. අනික මම මේ පුද්ගලයාව ඇසුරු කරද්දී සතිපට්ඨානයේ නොපිහිටි සිහියත් පිහිටනවා. අසමාහිත සිතත් සමාහිත වෙනවා. නැති නොවුණු ආශ්‍රවත් නැතිවෙලා යනවා. නොපැමිණි උතුම් අරහත්වයටත් පත්වෙනවා.’ පින්වත් මහණෙනි, ඒ භික්ෂුව විසින් මේ විදිහට නුවණින් තේරුම් ගෙන ඒ පුද්ගලයා පස්සෙන් ම යන්න ඕන. අත්හැරල දාල යන්න හොඳ නෑ.
පින්වත් මහණෙනි, මෙහි භික්ෂුව එක්තරා පුද්ගලයෙකු ඇසුරු කරගෙන ඉන්නවා. ඉතින් ඒ පුද්ගලයාව ඇසුරු කොට සිටිද්දී, නොපිහිටි සිහියත් පිහිටනවා. එකඟ නොවූ සිතත් එකඟ වෙනවා. නැති නොවුණු ආශ්‍රවයන් නැති වෙලාත් යනවා. නොපැමිණි උතුම් අරහත්වයටත් පත්වෙනවා. ඒ වගේම පැවිදි ජීවිතයකට ඕන කරන සිවුරු, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බේත් හේත් ආදියත් පහසුවෙන් ම ලැබෙනවා. පින්වත් මහණෙනි, එතකොට ඒ භික්ෂුව විසින් මේ විදිහට නුවණින් මෙනෙහි කරන්න ඕන. ‘මම මේ පුද්ගලයාව ඇසුරු කරගෙන සිටිද්දී, සතිපට්ඨනායේ නොපිහිටි සිහියත් පිහිටනවා. එකඟ නොවූ සිතත් එකඟ වෙනවා. නැති නොවුණු ආශ්‍රවත් නැතිවෙලා යනවා. නොපැමිණි උතුම් අරහත්වයටත් පත්වෙනවා. ඉතින් ඒ වගේ ම පැවිදි කෙනෙකුට ජීවත් වෙන්න උවමනා කරන සිවුරු, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බේත් හේත් ආදියත් පහසුවෙන් ම ලැබෙනවා.’ ඒ භික්ෂුව විසින් ඒ විදිහට නුවණින් සලකළා දිවි තිබෙන තුරාවට ම අර පුද්ගලයා පස්සෙන් යන්න ඕන. තමන් ව එලවා දැම්මත් දාල යන්න හොඳ නෑ.
භාග්‍යවතුන් වහන්සේ මේ දෙසුම වදාළා. මෙයට සවන් දුන් ඒ භික්ෂු පිරිස මහත් සතුටට පත්වුනා. සාදු නාද දෙමින් භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ දේශනාව ඉතා සතුටින් පිළිගත්තා.
සාදු! සාදු!! සාදු!!!
වන සෙනසුන ගැන වදාළ දෙසුම නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn1_1-2-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M