මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. එදා භාග්‍යවතුන් වහන්සේ “පින්වත් මහණෙනි”යි කියල භික්ෂූන් වහන්සේලා ඇමතුවා. “පින්වතුන් වහන්ස” කියල ඒ භික්ෂූන් වහන්සේලත් භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. ඒ මොහොතේදී භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව වදාළා.
පින්වත් මහණෙනි, සිතක ඇනෙන හුල් පහක් තියෙනවා. ඒ හුල් පහ භික්ෂුවකගේ සිතින් ප්‍රහාණය වෙලා නැත්නම්, ඒ වගේ ම සිතකට බැඳෙන බන්ධන පහක් තියෙනවා. ඒ පහත් භික්ෂුව තුළ සම්පූර්ණයෙන් ම නැතිවෙලා නැත්නම්, ඒ භික්ෂුව ඇත්තෙන් ම මේ බුද්ධ සාසනයේ දියුණුව කරා, ගුණදහම් වැඩීමක් කරා, ලොකු දියුණුවක් කරා යනවා කියන එක සිද්ධ වෙන්න පුළුවන් දෙයක් නොවෙයි.
මොනවද ඒ භික්ෂුව තුළ ප්‍රහාණය වෙලා නැති සිතේ ඇනිලා තිබෙන හුල් පහ?
(1). පින්වත් මහණෙනි, භික්ෂුව ශාස්තෘන් වහන්සේව සැකකරනවා. විශ්වාසයක් නෑ. අවබෝධයක් නෑ. පැහැදීමක් නෑ. පින්වත් මහණෙනි, ඒ භික්ෂුව තුළ ශාස්තෘන් වහන්සේ ගැන සැක කිරීමක් තියෙනවා නම්, අවිශ්වාසයක් තියෙනවා නම්, අවබෝධයක් නැත්නම්, පැහැදීමක් නැත්නම්, ඒ භික්ෂුවට වරදින් මිදෙන්න හිත නැමෙන්නෙ නෑ. අකුසල් දුරුකරලා කුසල් දියුණු කරගැනීමට වීරිය වඩන්න හිත නැමෙන්නෙ නෑ. හැමතිස්සෙම වීරියෙන් වාසය කරන්න හිත නැමෙන්නෙ නෑ. ඉතින් වරදින් මිදෙන්න ඔහුගේ සිත නැමෙන්නෙ නැත්තෙ යමක් නිසා ද, අකුසල් දුරුකරලා කුසල් දියුණු කරන්න ඔහුගේ සිත නැමෙන්නෙ නැත්තෙ යමක් නිසා ද, නිතර ම වීරිය වඩන්න ඔහුගේ හිත නැමෙන්නෙ නැත්තෙ යමක් නිසා ද, ඒ තමයි ශාස්තෘන් වහන්සේ කෙරෙහි සැක කිරීම නැමැති ‘හුල’. ප්‍රහාණය නොවී තිබෙන සිතේ ඇනුන පළවෙනි ‘හුල’ කියල කියන්නේ මෙයටයි.
(2). සිතේ ඇනිච්ච තවත් හුලක් ගැන කියනවා නම්, පින්වත් මහණෙනි, භික්ෂුව ධර්මය ගැන සැකකරනවා. ධර්මය විශ්වාස කරන්නෙ නෑ. ධර්මය ගැන අවබෝධයක් නෑ. ධර්මය ගැන හිත පහදින්නෙ නෑ. පින්වත් මහණෙනි, භික්ෂුව තුළ ධර්මය ගැන ඇති සැකකිරීම, විශ්වාසය නැතිකම, අවබෝධයක් නැතිකම, පැහැදීමක් නැතිකම තිබෙනතාක් ඔහුට වරදින් මිදෙන්න හිත නැමෙන්නෙ නෑ. අකුසල් දුරුකරලා කුසල් වඩන්න හිත නැමෙන්නෙ නෑ. හැම තිස්සේම වීරියෙන් වාසය කරන්න හිත නැමෙන්නේ නෑ. ඉතින් වරදින් මිදෙන්න ඔහුගේ සිත නැමෙන්නෙ නැත්තෙ යමක් නිසා ද, අකුසල් දුරුකරලා කුසල් දියුණු කරන්න ඔහුගේ සිත නැමෙන්නෙ නැත්තෙ යමක් නිසා ද, නිතර ම වීරිය වඩන්න ඔහුගේ හිත නැමෙන්නෙ නැත්තෙ යමක් නිසා ද, ඒ තමයි ධර්මය කෙරෙහි සැක කිරීම නැමැති ‘හුල’. ප්‍රහාණය නොවී තිබෙන සිතේ ඇනුන දෙවෙනි ‘හුල’ කියල කියන්නේ මෙයටයි.
(3). සිතේ ඇනිච්ච තවත් හුලක් ගැන කියනවා නම්, පින්වත් මහණෙනි, භික්ෂුව සංඝයා (මාර්ගඵලලාභී පැවිදි ශ්‍රාවකයින්) කෙරෙහි සැකකරනවා. විශ්වාස කරන්නෙ නෑ. අවබෝධයක් නෑ. පැහැදීමක් නෑ. පින්වත් මහණෙනි, ඒ භික්ෂුව තුළ සංඝයා ගැන සැක කිරීමක් තියෙන කොට, අවිශ්වාසයක් තියෙන කොට, අවබෝධය නැතිකම තියෙන කොට, පැහැදීම නැතිකම තියෙන කොට ඒ භික්ෂුවට වරදින් මිදෙන්න හිත නැමෙන්නෙ නෑ. අකුසල් දුරුකරලා කුසල් වඩන්න හිත නැමෙන්නෙ නෑ. හැමතිස්සෙ ම වීරියෙන් වාසය කරන්න හිත නැමෙන්නෙ නෑ. ඉතින් වරදින් මිදෙන්න ඔහුගේ සිත නැමෙන්නෙ නැත්තෙ යමක් නිසා ද, අකුසල් දුරුකරලා කුසල් දියුණු කරන්න ඔහුගේ සිත නැමෙන්නෙ නැත්තෙ යමක් නිසා ද, නිතර ම වීරිය වඩන්න ඔහුගේ හිත නැමෙන්නෙ නැත්තෙ යමක් නිසා ද, ඒ තමයි මාර්ගඵලලාභී ශ්‍රාවක සංඝයා කෙරෙහි සැක කිරීම නැමැති ‘හුල’. ප්‍රහාණය නොවී තිබෙන සිතේ ඇනුන තුන්වෙනි ‘හුල’ කියල කියන්නේ මෙයටයි.
(4). සිතේ ඇනිච්ච තවත් හුලක් ගැන කියනවා නම්, පින්වත් මහණෙනි, භික්ෂුව නිවන් දකින වැඩපිළිවෙල සැක කරනවා. විශ්වාස කරන්නෙ නෑ. අවබෝධයක් නෑ. පැහැදීමක් නෑ. පින්වත් මහණෙනි, ඒ භික්ෂුව තුළ නිවන් දකින වැඩපිළිවෙළ ගැන සැක කිරීමක් තියෙන කොට, අවිශ්වාසයක් තියෙන කොට, අවබෝධය නැතිකම තියෙන කොට, පැහැදීමක් නැතිකම තියෙන කොට ඒ භික්ෂුවට වරදින් මිදෙන්න හිත නැමෙන්නෙ නෑ. අකුසල් දුරු කරලා, කුසල් දියුණු කරන්න හිත නැමෙන්නෙ නෑ. හැමතිස්සෙ ම වීරියෙන් වාසය කරන්න හිත නැමෙන්නෙ නෑ. ඉතින් වරදින් මිදෙන්න ඔහුගේ සිත නැමෙන්නෙ නැත්තෙ යමක් නිසා ද, අකුසල් දුරුකරලා කුසල් දියුණු කරන්න ඔහුගේ සිත නැමෙන්නෙ නැත්තෙ යමක් නිසා ද, නිතර ම වීරිය වඩන්න ඔහුගේ හිත නැමෙන්නෙ නැත්තෙ යමක් නිසා ද, ඒ තමයි නිවන් අවබෝධය පිණිස හික්මෙන වැඩපිළිවෙල කෙරෙහි සැක කිරීම නැමැති ‘හුල’. ප්‍රහාණය නොවී තිබෙන සිතේ ඇනුන සිව්වෙනි ‘හුල’ කියල කියන්නේ මෙයටයි.
(5). සිතේ ඇනුන තවත් හුලක් ගැන කියනවා නම්, පින්වත් මහණෙනි, භික්ෂුව සබ්‍රහ්මචාරීන් වහන්සේලා (තමන් සමඟ එකට පිළිවෙත් පුරන සහෝදර ස්වාමීන් වහන්සේලා) ගැන කිපෙනවා. අසතුටු වෙනවා. ගැටෙනවා. තරහ හුලක් ඇති කරගන්නවා. පින්වත් මහණෙනි, ඒ භික්ෂුව තුළ සබ්‍රහ්මචාරීන් වහන්සේලා ගැන කෝපය තියෙන කොට, නොසතුටු සිතක් තියෙන කොට, ගැටුණු සිතක් තියෙන කොට, තරහ හුලක් තියෙන කොට, ඒ භික්ෂුවට වරදින් මිදෙන්න හිත නැමෙන්නෙ නෑ. අකුසල් දුරු කරල, කුසල් දියුණු කරන්න හිත නැමෙන්නෙ නෑ. හැමතිස්සෙ ම වීරියෙන් වාසය කරන්න හිත නැමෙන්නෙ නෑ. ඉතින් වරදින් මිදෙන්න ඔහුගේ සිත නැමෙන්නෙ නැත්තෙ යමක් නිසා ද, අකුසල් දුරුකරලා කුසල් දියුණු කරන්න ඔහුගේ සිත නැමෙන්නෙ නැත්තෙ යමක් නිසා ද, නිතර ම වීරිය වඩන්න ඔහුගේ හිත නැමෙන්නෙ නැත්තෙ යමක් නිසා ද, ඒ තමයි සබ්‍රහ්මචාරීන් වහන්සේලා කෙරෙහි කෝපයෙන් සිටීම නැමැති ‘හුල’. ප්‍රහාණය නොවී තිබෙන සිතේ ඇනුන පස්වෙනි ‘හුල’ කියල කියන්නේ මෙයටයි.
භික්ෂුවගේ සිතේ ප්‍රහාණය වෙලා නැති සිතේ ඇනුන හුල් පහ කියල කියන්නේ මෙන්න මේවාටයි.
ඒ වගේ ම භික්ෂුව තුළ තියෙනවා සම්පූර්ණයෙන් ම නැති වෙලා නැති සිතකට බැඳෙන බන්ධන පහක්. මොනවද ඒ බන්ධන පහ?
(1). පින්වත් මහණෙනි, භික්ෂුවක් ඉන්නවා. ඔහු කාමයන් ගැන රාගය නැති කරපු කෙනෙක් නොවෙයි. ආශාව නැති කරපු කෙනෙක් නොවෙයි. ඇල්ම නැති කරපු කෙනෙක් නොවෙයි. පිපාසය නැති කරපු කෙනෙක් නොවෙයි. සිතේ දැවිල්ල නැති කරපු කෙනෙක් නොවෙයි. තණ්හාව නැති කරපු කෙනෙක් නොවෙයි. ඉතින් පින්වත් මහණෙනි, භික්ෂුව කාමයන් ගැන, රාගය නැති නොකළ නිසා ම, ආශාව නැති නොකළ නිසා ම, ඇල්ම නැති නොකළ නිසා ම, පිපාසය නැති නොකළ නිසා ම, සිතේ දැවිල්ල නැති නොකළ නිසා ම, තණ්හාව නැති නොකළ නිසා ම, ඒ භික්ෂුවට වරදින් මිදෙන්න හිත නැමෙන්නෙ නෑ. අකුසල් දුරු කරල, කුසල් දියුණු කරන්න හිත නැමෙන්නෙ නෑ. හැමතිස්සෙ ම වීරියෙන් වාසය කරන්න හිත නැමෙන්නෙ නෑ. ඉතින් වරදින් මිදෙන්න ඔහුගේ සිත නැමෙන්නෙ නැත්තෙ යමක් නිසා ද, අකුසල් දුරුකරලා කුසල් දියුණු කරන්න ඔහුගේ සිත නැමෙන්නෙ නැත්තෙ යමක් නිසා ද, නිතර ම වීරිය වඩන්න ඔහුගේ හිත නැමෙන්නෙ නැත්තෙ යමක් නිසා ද, ඒ තමයි කාමයන් කෙරෙහි රාගය තිබීම නම් වූ බන්ධනය. මෙසේ භික්ෂුවගේ සිතින් සම්පූර්ණයෙන් ම ඉවත් නොකළ පළවෙනි බන්ධනය කියල කියන්නෙ ‘කාමයන් කෙරෙහි රාගය තිබීම’ යි.
(2). සිතේ බැඳිලා තියෙන තවත් බන්ධනයක් ගැන කියනවා නම්, පින්වත් මහණෙනි, භික්ෂුවක් ඉන්නවා. ඔහු කය ගැන රාගය නැති කරපු කෙනෙක් නොවෙයි. ආශාව නැති කරපු කෙනෙක් නොවෙයි. ඇල්ම නැති කරපු කෙනෙක් නොවෙයි. පිපාසය නැති කරපු කෙනෙක් නොවෙයි. සිතේ දැවිල්ල නැති කරපු කෙනෙක් නොවෙයි. තණ්හාව නැති කරපු කෙනෙක් නොවෙයි. ඉතින් පින්වත් මහණෙනි, භික්ෂුව කය ගැන, රාගය නැති නොකළ නිසා ම, ආශාව නැති නොකළ නිසා ම, ඇල්ම නැති නොකළ නිසා ම, පිපාසය නැති නොකළ නිසා ම, සිතේ දැවිල්ල නැති නොකළ නිසා ම, තණ්හාව නැති නොකළ නිසා ම, ඒ භික්ෂුවට වරදින් මිදෙන්න හිත නැමෙන්නෙ නෑ. අකුසල් දුරු කරල, කුසල් දියුණු කරන්න හිත නැමෙන්නෙ නෑ. හැමතිස්සෙ ම වීරියෙන් වාසය කරන්න හිත නැමෙන්නෙ නෑ. ඉතින් වරදින් මිදෙන්න ඔහුගේ සිත නැමෙන්නෙ නැත්තෙ යමක් නිසා ද, අකුසල් දුරුකරලා කුසල් දියුණු කරන්න ඔහුගේ සිත නැමෙන්නෙ නැත්තෙ යමක් නිසා ද, නිතර ම වීරිය වඩන්න ඔහුගේ හිත නැමෙන්නෙ නැත්තෙ යමක් නිසා ද, ඒ තමයි කය කෙරෙහි රාගය තිබීම නම් වූ බන්ධනය. මෙසේ භික්ෂුවගේ සිතින් සම්පූර්ණයෙන් ම ඉවත් නොකළ දෙවෙනි බන්ධනය කියල කියන්නෙ ‘කය කෙරෙහි රාගය තිබීම’ යි.
(3). සිතේ බැඳිලා තියෙන තවත් බන්ධනයක් ගැන කියනවා නම්, පින්වත් මහණෙනි, භික්ෂුවක් ඉන්නවා. ඔහු රූපය ගැන රාගය නැති කරපු කෙනෙක් නොවෙයි. ආශාව දුරු කරපු කෙනෙක් නොවෙයි. ඇල්ම නැති කරපු කෙනෙක් නොවෙයි. පිපාසය නැති කරපු කෙනෙක් නොවෙයි. සිතේ දැවිල්ල නැතිකරපු කෙනෙක් නොවෙයි. තණ්හාව නැති කරපු කෙනෙක් නොවෙයි. ඉතින් පින්වත් මහණෙනි, භික්ෂුව රූපය ගැන, රාගය නැති නොකළ නිසා ම, ආශාව නැති නොකළ නිසා ම, ඇල්ම නැති නොකළ නිසා ම, පිපාසය නැති නොකළ නිසා ම, සිතේ දැවිල්ල නැති නොකළ නිසා ම, තණ්හාව නැති නොකළ නිසා ම, ඒ භික්ෂුවට වරදින් මිදෙන්න හිත නැමෙන්නෙ නෑ. අකුසල් දුරු කරල, කුසල් දියුණු කරන්න හිත නැමෙන්නෙ නෑ. හැමතිස්සෙ ම වීරියෙන් වාසය කරන්න හිත නැමෙන්නෙ නෑ. ඉතින් වරදින් මිදෙන්න ඔහුගේ සිත නැමෙන්නෙ නැත්තෙ යමක් නිසා ද, අකුසල් දුරුකරලා කුසල් දියුණු කරන්න ඔහුගේ සිත නැමෙන්නෙ නැත්තෙ යමක් නිසා ද, නිතර ම වීරිය වඩන්න ඔහුගේ හිත නැමෙන්නෙ නැත්තෙ යමක් නිසා ද, ඒ තමයි රූපය කෙරෙහි රාගය තිබීම නම් වූ බන්ධනය. මෙසේ භික්ෂුවගේ සිතින් සම්පූර්ණයෙන් ම ඉවත් නොකළ තුන්වෙනි බන්ධනය කියල කියන්නෙ ‘රූපය කෙරෙහි රාගය තිබීම’ යි.
(4). සිතේ බැඳිලා තියෙන තවත් බන්ධනයක් ගැන කියනවා නම්, පින්වත් මහණෙනි, භික්ෂුවක් ඉන්නවා. ඔහු හොඳ හැටි බඩ කට පිරෙනකම් වළඳනවා. ඊට පස්සේ ඇඳ පුටුවල පෙරළීගෙන ඉන්න සැපයට අහුවෙලා, එහාට මෙහාට පෙරලි පෙරලි හාන්සි වෙන සැපයට අහුවෙලා, නින්දෙන් ලැබෙන සැපයට අහුවෙලා වාසය කරනවා. පින්වත් මහණෙනි, ඉතින් භික්ෂුව හොඳ හැටියට බඩ පිරෙනකම් වළඳලා, ඇඳ පුටුවල පෙරලීගෙන ඉන්න සැපයට අහුවෙලා, එහාට මෙහාට ඇඟපත පෙරල පෙරලා හාන්සි වෙන සැපයට අහුවෙලා, නින්දෙන් ලැබෙන සැපයට අහුවෙලා වාසය කළොත්, ඒ භික්ෂුවට වරදින් මිදෙන්න හිත නැමෙන්නෙ නෑ. අකුසල් දුරු කරල, කුසල් දියුණු කරන්න හිත නැමෙන්නෙ නෑ. හැමතිස්සෙ ම වීරියෙන් වාසය කරන්න හිත නැමෙන්නෙ නෑ. ඉතින් වරදින් මිදෙන්න ඔහුගේ සිත නැමෙන්නෙ නැත්තෙ යමක් නිසා ද, අකුසල් දුරුකරලා කුසල් දියුණු කරන්න ඔහුගේ සිත නැමෙන්නෙ නැත්තෙ යමක් නිසා ද, නිතර ම වීරිය වඩන්න ඔහුගේ හිත නැමෙන්නෙ නැත්තෙ යමක් නිසා ද, ඒ තමයි හොඳට වළඳලා පෙරලි පෙරලි නිදියගන්න තියෙන ආශාව නම් වූ බන්ධනය. මෙසේ භික්ෂුවගේ සිතින් සම්පූර්ණයෙන් ම ඉවත් නොකළ සිව්වෙනි බන්ධනය කියල කියන්නෙ ‘හොඳට වළඳලා පෙරලි පෙරලි නිදිය ගන්න තියෙන ආශාව තිබීම’ යි.
(5). සිතේ බැඳිලා තියෙන තවත් බන්ධනයක් ගැන කියනවා නම්, පින්වත් මහණෙනි, භික්ෂුවක් ඉන්නවා. ඔහු මහණ ජීවිතය ගෙවන්නේ යම්කිසි දිව්‍ය ලෝකයක උපදින්න සිත පිහිටුවාගෙනයි. ‘මම මේ සීලයෙන් හරි, මේ ව්‍රතයෙන් හරි, මේ තපසින් හරි, මේ බඹසරින් හරි, දෙවියෙක් වෙන්න ඕන. එක්කො කවර දෙවි කෙනෙක් හරි වෙන්න ඕන’ කියලා. ඉතින් පින්වත් මහණෙනි, භික්ෂුවක් මහණ ජීවිතය ගෙවන්නෙ යම්කිසි දිව්‍ය ලෝකයක උපදින්න හිත පිහිටුවාගෙන නම්, මම මේ සීලයෙන් හරි, මේ ව්‍රතයෙන් හරි, මේ තපසින් හරි, මේ බඹසරින් හරි, දෙවියෙක් වෙනවා. කොයි විදිහෙ දෙවියෙක් හරි වෙනවා’ කියල. එතකොට ඒ භික්ෂුවට වරදින් මිදෙන්න හිත නැමෙන්නෙ නෑ. අකුසල් දුරු කරල, කුසල් දියුණු කරන්න හිත නැමෙන්නෙ නෑ. හැමතිස්සෙ ම වීරියෙන් වාසය කරන්න හිත නැමෙන්නෙ නෑ. ඉතින් වරදින් මිදෙන්න ඔහුගේ සිත නැමෙන්නෙ නැත්තෙ යමක් නිසා ද, අකුසල් දුරුකරලා කුසල් දියුණු කරන්න ඔහුගේ සිත නැමෙන්නෙ නැත්තෙ යමක් නිසා ද, නිතර ම වීරිය වඩන්න ඔහුගේ හිත නැමෙන්නෙ නැත්තෙ යමක් නිසා ද, ඒ තමයි දෙව්ලොව උපත පතාගෙන බඹසර හැසිරීම නම් වූ බන්ධනය. මෙසේ භික්ෂුවගේ සිතින් සම්පූර්ණයෙන් ම ඉවත් නොකළ පස්වෙනි බන්ධනය කියල කියන්නෙ ‘දෙව්ලොව උපත පතාගෙන බඹසර හැසිරීම’ යි.
ඒ භික්ෂුවගේ හිතේ සම්පූර්ණයෙන් ම නැති නොකරපු, සිතක බැඳුන බන්ධන පහ කියල කියන්නෙ ඕවට තමයි.
පින්වත් මහණෙනි, යම්කිසි භික්ෂුවකට මේ හිතේ ඇණුන හුල් පහ ප්‍රහාණය වෙලා නැත්නම්, සිතේ බැඳෙන බන්ධන පහ මුලිනුපුටා නැත්නම්, ඒ භික්ෂුව ඇත්තෙන් ම මේ බුද්ධ ශාසනයේ දියුණුවක් කරා ගුණදහම් වැඩීමක් කරා ලොකු දියුණුවක් කරා යනවා කියන එක සිද්ධ වෙන දෙයක් නොවෙයි.
නමුත් පින්වත් මහණෙනි, යම්කිසි භික්ෂුවකට මේ සිතේ ඇනුන හුල් පහ ප්‍රහාණය වෙලා ගියොත් සිතේ බැඳෙන බන්ධන පහත් මුලිනුපුටා දැම්මොත්, ඒ භික්ෂුව ඇත්තෙන් ම මේ බුද්ධ ශාසනයේ දියුණුව කරා ම ගුණ දහම් වැඩීමක් කරා ම ලොකු දියුණුවක් කරා ම යනවා කියන එක සිද්ධ වෙන්න පුළුවන් දෙයක්.
භික්ෂුවක් තුළ ප්‍රහාණ වෙලා ගිය සිතක ඇනුන හුල් පහ මොනවාද?
(1). පින්වත් මහණෙනි, භික්ෂුව ශාස්තෘන් වහන්සේව සැක කරන්නෙ නෑ. අවිශ්වාස කරන්නෙ නෑ. අවබෝධයක් තියෙනවා. පැහැදීමක් තියෙනවා. ඒ භික්ෂුව ශාස්තෘන් වහන්සේ ගැන සැක නොකරන කොට, අවිශ්වාස නොකරන කොට, අවබෝධයක් තියෙන කොට, පැහැදීමක් තියෙන කොට, වරදින් මිදීම පිණිස ඒ භික්ෂුව ගේ සිත නැමෙනවා. අකුසල් දුරු කරලා කුසල් දියුණු කර ගැනීම පිණිස සිත නැමෙනවා. හැම තිස්සේ ම වීරියෙන් වාසය කරන්න සිත නැමෙනවා. ඉතින් වරදින් මිදෙන්න සිත නැමෙන එක, අකුසල් දුරු කරල කුසල් දියුණු කරන්න සිත නැමෙන එක, නිතර ම වීරිය වඩන්න සිත නැමෙන එක තියෙනවා නම් අන්න ඒක වුනේ ශාස්තෘන් වහන්සේ කෙරෙහි සැක නොකිරීම නිසයි. මේ විදිහට භික්ෂුව තුළ සිතේ ඇනී තිබුණු පළවෙනි හුල වන ‘ශාස්තෘන් වහන්සේ කෙරෙහි සැකය’ ප්‍රහාණය වුනා වෙනවා.
(2). සිතේ ඇනිච්ච හුල නැතිවීම ගැන තවදුරටත් කියනවා නම්, පින්වත් මහණෙනි, භික්ෂුව ධර්මය ගැන සැක කරන්නෙ නෑ. අවිශ්වාස කරන්නෙ නෑ. අවබෝධයක් තියෙනවා. පැහැදීමක් තියෙනවා. ඒ භික්ෂුව ධර්මය ගැන සැක නොකරන කොට, අවිශ්වාස නොකරන කොට, අවබෝධයක් තියෙන කොට, පැහැදීමක් තියෙන කොට, වරදින් මිදීම පිණිස ඒ භික්ෂුවගේ සිත නැමෙනවා. අකුසල් දුරු කරලා කුසල් දියුණු කර ගැනීම පිණිස සිත නැමෙනවා. හැම තිස්සේ ම වීරියෙන් වාසය කරන්න සිත නැමෙනවා. ඉතින් වරදින් මිදෙන්න සිත නැමෙන එක, අකුසල් දුරු කරල කුසල් දියුණු කරන්න සිත නැමෙන එක, නිතර ම වීරිය වඩන්න සිත නැමෙන එක තියෙනවා නම් අන්න ඒක වුනේ ධර්මය කෙරෙහි සැක නොකිරීම නිසයි. මේ විදිහට භික්ෂුව තුළ සිතේ ඇනී තිබුණු දෙවෙනි හුල වන ‘ධර්මය කෙරෙහි සැකය’ ප්‍රහාණය වුනා වෙනවා.
(3). සිතේ ඇනිච්ච හුල නැති වී යාම ගැන තවදුරටත් කියනවා නම්, පින්වත් මහණෙනි, භික්ෂුව සංඝයා (මාර්ගඵල ලාභී පැවිදි ශ්‍රාවකයන්) ගැන සැක කරන්නෙ නෑ. අවිශ්වාස කරන්නෙ නෑ. අවබෝධයක් තියෙනවා. පැහැදීමක් තියෙනවා. ඒ භික්ෂුව මගඵලලාභී භික්ෂුසංඝයා ගැන සැක නොකරන කොට, අවිශ්වාස නොකරන කොට, අවබෝධයක් තියෙන කොට, පැහැදීමක් තියෙන කොට, වරදින් මිදීම පිණිස ඒ භික්ෂුවගේ සිත නැමෙනවා. අකුසල් දුරු කරලා කුසල් දියුණු කරගැනීම පිණිස සිත නැමෙනවා. හැම තිස්සේ ම වීරියෙන් වාසය කරන්න සිත නැමෙනවා. ඉතින් වරදින් මිදෙන්න සිත නැමෙන එක, අකුසල් දුරු කරල කුසල් දියුණු කරන්න සිත නැමෙන එක, නිතර ම වීරිය වඩන්න සිත නැමෙන එක තියෙනවා නම් අන්න ඒක වුනේ මගඵලලාභී භික්ෂුසංඝයා කෙරෙහි සැක නොකිරීම නිසයි. මේ විදිහට භික්ෂුව තුළ සිතේ ඇනී තිබුණු තුන්වෙනි හුල වන ‘මගඵලලාභී භික්ෂුසංඝයා කෙරෙහි සැකය’ ප්‍රහාණය වුනා වෙනවා.
(4). සිතේ ඇනිච්ච හුල නැති වීම ගැන තවදුරටත් කියනවා නම්, පින්වත් මහණෙනි, භික්ෂුව නිවන් දකින වැඩපිළිවෙළ ගැන සැක කරන්නෙ නෑ. අවිශ්වාස කරන්නෙ නෑ. අවබෝධයක් තියෙනවා. පැහැදීමක් තියෙනවා. ඒ භික්ෂුව නිවන් දකින වැඩපිළිවෙල ගැන සැක නොකරන කොට, අවිශ්වාස නොකරන කොට, අවබෝධයක් තියෙන කොට, පැහැදීමක් තියෙන කොට, වරදින් මිදීම පිණිස ඒ භික්ෂුවගේ සිත නැමෙනවා. අකුසල් දුරු කරලා කුසල් දියුණු කරගැනීම පිණිස සිත නැමෙනවා. හැම තිස්සේ ම වීරියෙන් වාසය කරන්න සිත නැමෙනවා. ඉතින් වරදින් මිදෙන්න සිත නැමෙන එක, අකුසල් දුරු කරල කුසල් දියුණු කරන්න සිත නැමෙන එක, නිතර ම වීරිය වඩන්න සිත නැමෙන එක තියෙනවා නම් අන්න ඒක වුනේ නිවන් දකින වැඩපිළිවෙල කෙරෙහි සැක නොකිරීම නිසයි. මේ විදිහට භික්ෂුව තුළ සිතේ ඇනී තිබුණු සිව්වෙනි හුල වන ‘නිවන් දකින වැඩපිළිවෙල කෙරෙහි සැකය’ ප්‍රහාණය වුනා වෙනවා.
(5). සිතේ ඇනිච්ච හුල නැතිවීම ගැන තවදුරටත් කියනවා නම්, පින්වත් මහණෙනි, භික්ෂුව සබ්‍රහ්මචාරීන් වහන්සේලා ගැන කිපෙන්නෙ නෑ. සතුටු වෙනව. ගැටෙන්නෙ නෑ. තරහ හුලක් ඇති කරගන්නෙ නෑ. පින්වත් මහණෙනි, ඒ භික්ෂුව තුළ සබ්‍රහ්චාරීන් වහන්සේලා ගැන කෝපය නැත්නම්, සතුටු සිතක් නම් තියෙන්නෙ, ගැටුණු සිතක් නැත්නම්, තරහ හුලක් නැත්නම්, වරදින් මිදීම පිණිස ඒ භික්ෂුවගේ සිත නැමෙනවා. අකුසල් දුරු කරලා කුසල් දියුණු කර ගැනීම පිණිස සිත නැමෙනවා. හැම තිස්සේ ම වීරියෙන් වාසය කරන්න සිත නැමෙනවා. ඉතින් වරදින් මිදෙන්න සිත නැමෙන එක, අකුසල් දුරු කරල කුසල් දියුණු කරන්න සිත නැමෙන එක, නිතර ම වීරිය වඩන්න සිත නැමෙන එක තියෙනවා නම් අන්න ඒක වුනේ සබ්‍රහ්මචාරීන් වහන්සේලා කෙරෙහි කෝප නොකිරීම නිසයි. මේ විදිහට භික්ෂුව තුළ සිතේ ඇනී තිබුණු පස්වෙනි හුල වන ‘සබ්‍රහ්මචාරීන් වහන්සේලා කෙරෙහි කිපී සිටීම’ ප්‍රහාණය වුනා වෙනවා.
ඔහුගේ සිතේ ඇනුණ හුල් පහ ප්‍රහාණය වුනා කියන්නෙ ඔන්න ඕකටයි.
ඒ වගේම ඔහුගේ සිත බැඳී තිබුණ බන්ධන පහ මුලින් ම උපුටා දැම්මා කියල කියන්නෙ මොකක්ද?
(1). පින්වත් මහණෙනි, භික්ෂුවක් ඉන්නවා. ඔහු කාමයන් ගැන රාගය නැති කරපු කෙනෙක්. ආශාව නැති කරපු කෙනෙක්. ඇල්ම නැති කරපු කෙනෙක්. පිපාසය නැති කරපු කෙනෙක්. සිතේ දැවිල්ල නැති කරපු කෙනෙක්. තණ්හාව නැති කරපු කෙනෙක්. ඉතින් පින්වත් මහණෙනි, භික්ෂුව කාමයන් ගැන රාගය නැති කළ නිසා ම, ආශාව නැති කළ නිසා ම, ඇල්ම නැති කළ නිසා ම පිපාසය නැති කළ නිසා ම, සිතේ දැවිල්ල නැති කළ නිසා ම, තණ්හාව නැති කළ නිසා ම, වරදින් මිදෙන්න සිත නැමෙනවා. අකුසල් දුරුකරලා කුසල් දියුණු කරන්න හිත නැමෙනවා. හැම තිස්සෙම වීරියෙන් වාසය කරන්න සිත නැමෙනවා. ඉතින් වරදින් මිදෙන්න හිත නැමෙන එක, අකුසල් දුරු කරලා කුසල් දියුණු කරන්න සිත නැමෙන එක, නිතර ම වීරිය වඩන්න සිත නැමෙන එක තියෙනවා නම්, අන්න ඒක වුනේ කාමයන් ගැන තිබුන රාගය නැතිවීම නිසයි. මේ විදිහටයි භික්ෂුවගේ සිත බැඳී තිබුන පළවෙනි බන්ධනය වන ‘කාමයන් ගැන තිබුණ රාගය’ මුලිනුපුටා දැම්මා වෙන්නෙ.
(2). සිතේ බැඳී තිබුණ බන්ධනය මුලිනුපුටා දැමීම ගැන තවදුරටත් කියනවා නම් පින්වත් මහණෙනි, භික්ෂුවක් ඉන්නවා. ඔහු කය ගැන රාගය නැති කරපු කෙනෙක්. ආශාව නැති කරපු කෙනෙක්. ඇල්ම නැති කරපු කෙනෙක්. පිපාසය නැති කරපු කෙනෙක්. සිතේ දැවිල්ල නැති කරපු කෙනෙක්. තණ්හාව නැතිකරපු කෙනෙක්. ඉතින් පින්වත් මහණෙනි, භික්ෂුව කය ගැන රාගය නැති කළ නිසා ම, ආශාව නැති කළ නිසා ම, ඇල්ම නැති කළ නිසා ම, පිපාසය නැති කළ නිසා ම, සිතේ දැවිල්ල නැති කළ නිසා ම, තණ්හාව නැති කළ නිසා ම, වරදින් මිදෙන්න සිත නැමෙනවා. අකුසල් දුරු කරලා කුසල් වඩන්න හිත නැමෙනවා. හැම තිස්සෙම වීරියෙන් වාසය කරන්න සිත නැමෙනවා. ඉතින් වරදින් මිදෙන්න හිත නැමෙන එක, අකුසල් දුරු කරලා කුසල් දියුණු කරන්න සිත නැමෙන එක, නිතර ම වීරිය වඩන්න සිත නැමෙන එක තියෙනවා නම්, අන්න ඒක වුනේ කය ගැන තිබුන රාගය නැතිවීම නිසයි. මේ විදිහටයි භික්ෂුවගේ සිත බැඳී තිබුන දෙවෙනි බන්ධනය වන ‘කය ගැන තිබුන රාගය’ මුලිනුපුටා දැම්මා වෙන්නෙ.
(3). සිතේ බැඳී තිබුණු බන්ධනය මුලිනුපුටා දැමීම ගැන තවදුරටත් කියනවා නම්, පින්වත් මහණෙනි, භික්ෂුවක් ඉන්නවා. ඔහු රූපය ගැන රාගය නැති කරපු කෙනෙක්. ආශාව නැති කරපු කෙනෙක්. ඇල්ම නැති කරපු කෙනෙක්. පිපාසය නැති කරපු කෙනෙක්. සිතේ දැවිල්ල නැති කරපු කෙනෙක්. තණ්හාව නැති කරපු කෙනෙක්. ඉතින් පින්වත් මහණෙනි, භික්ෂුව රූපය ගැන රාගය නැති කළ නිසා ම, ආශාව නැති කළ නිසා ම, ඇල්ම නැති කළ නිසා ම, පිපාසය නැති කළ නිසා ම, සිතේ දැවිල්ල නැති කළ නිසා ම, තණ්හාව නැති කළ නිසා ම, වරදින් මිදෙන්න සිත නැමෙනවා. අකුසල් දුරුකරලා කුසල් වඩන්න හිත නැමෙනවා. හැම තිස්සෙම වීරියෙන් වාසය කරන්න සිත නැමෙනවා. ඉතින් වරදින් මිදෙන්න හිත නැමෙන එක, අකුසල් දුරු කරලා කුසල් දියුණු කරන්න සිත නැමෙන එක, නිතර ම වීරිය වඩන්න සිත නැමෙන එක තියෙනවා නම්, අන්න ඒක වුනේ රූපය ගැන තිබුන රාගය නැතිවීම නිසයි. මේ විදිහටයි භික්ෂුවගේ සිත බැඳී තිබුන තුන්වෙනි බන්ධනය වන ‘රූපය ගැන තිබුන රාගය’ මුලිනුපුටා දැම්මා වෙන්නෙ.
(4). සිතේ බැඳී තිබුණු බන්ධනය මුලිනුපුටා දැමීම ගැන තවදුරටත් කියනවා නම්, පින්වත් මහණෙනි, භික්ෂුවක් ඉන්නවා. ඔහු හොඳ හැටි බඩ කට පිරෙනකම් ම වළඳන්නෙ නෑ. ඇඳ පුටුවල පෙරළීගෙන ඉන්න සැපයට අහුවෙලා නෑ. එහාට මෙහාට ඇඟපත පෙරළ පෙරළ හාන්සි වෙලා ඉන්න සැපයට අහුවෙලත් නෑ. නින්දෙන් ලැබෙන සැපයට අහුවෙන්නෙත් නෑ. පින්වත් මහණෙනි, ඉතින් භික්ෂුව හොඳ හැටි බඩකට පිරෙනකම් ම වළඳන්නෙ නැති නිසා ම, ඇඳ පුටුවල පෙරළීගෙන ඉන්න සැපයට අහු වෙලා ඉන්නෙ නැති නිසා ම, එහාට මෙහාට ඇඟ පත පෙරළ පෙරළ ඉන්න සැපයට අහුවෙන්නෙ නැති නිසා ම, නින්දෙන් ලැබෙන සැපයට අහුවෙලා නැති නිසා ම ඒ භික්ෂුවට වරදින් මිදෙන්න සිත නැමෙනවා. අකුසල් දුරුකරලා කුසල් වඩන්න සිත නැමෙනවා. හැම තිස්සෙම වීරියෙන් වාසය කරන්න සිත නැමෙනවා. ඉතින් වරදින් මිදෙන්න හිත නැමෙන එක, අකුසල් දුරු කරලා කුසල් දියුණු කරන්න සිත නැමෙන එක, නිතර ම වීරිය වඩන්න සිත නැමෙන එක තියෙනවා නම්, අන්න ඒක වුනේ හොඳට වළඳලා බුදියගෙන ඉන්න ආශා කිරීම නැතිවීම නිසයි. මේ විදිහටයි භික්ෂුවගේ සිත බැදී තිබුන සිව්වෙනි බන්ධනය වන ‘හොඳට වළඳලා බුදියගෙන ඉන්න ආශා කිරීම’ මුලිනුපුටා දැම්මා වෙන්නෙ.
(5). සිතේ බැඳී තිබුණු බන්ධනය මුලිනුපුටා දැමීම ගැන තවදුරටත් කියනවා නම්, පින්වත් මහණෙනි, භික්ෂුවක් ඉන්නවා. ඔහු බුදු සසුනේ මහණදම් පුරන්නේ දිව්‍ය ලෝකයක උපදින්න සිතාගෙන නොවෙයි. ‘මම මේ සීලයෙන් හරි, මේ ව්‍රතයෙන් හරි, මේ තපසින් හරි, මේ බඹසරින් හරි, දෙවියෙක් වෙන්න ඕන. එක්කො කවර දෙවිකෙනෙක් හරි වෙන්න ඕන’ කියල හිතන්නෙ නෑ. ඉතින් පින්වත් මහණෙනි, ඒ භික්ෂුව තුළ දිව්‍ය ලෝකෙක උපදින්න ඕන කියල අධිෂ්ඨානයක් නැති නිසා ම, ‘මම මේ සීලයෙන් හරි, ව්‍රතයෙන් හරි, මේ තපසින් හරි, මේ බඹසරින් හරි, දෙවියෙක් වෙනවා, කොයි විදිහේ දෙවියෙක් හරි වෙනවා’ කියල හිතන්නෙ නැති නිසා ම, වරදින් මිදෙන්න ඒ භික්ෂුවගේ සිත නැමෙනවා. අකුසල් දුරුකරලා කුසල් වඩන්න සිත නැමෙනවා. හැම තිස්සෙම වීරියෙන් වාසය කරන්න සිත නැමෙනවා. ඉතින් වරදින් මිදෙන්න හිත නැමෙන එක, අකුසල් දුරු කරලා කුසල් දියුණු කරන්න සිත නැමෙන එක, නිතර ම වීරිය වඩන්න සිත නැමෙන එක තියෙනවා නම්, අන්න ඒක වුනේ දෙව්ලොව උපත පිණිස මහණදම් පිරීමේ අවශ්‍යතාව නැතිවීම නිසයි.
මේ විදිහටයි භික්ෂුවගේ සිත බැදී තිබුණ පස්වෙනි බන්ධනය වන ‘දෙව්ලොව උපතට ආශාවෙන් මහණදම් පිරීම’ මුලිනුපුටා දැම්මා වෙන්නෙ.
පින්වත් මහණෙනි, යම්කිසි භික්ෂුවකට හිතේ ඇනිච්ච මේ හුල් පහ නැති වුනොත්, සිත බැඳුන මේ බන්ධන පහ මුලින් ම සිඳිල ගියොත්, ඒ භික්ෂුව ඇත්තෙන් ම මේ බුද්ධ ශාසනයේ දියුණුවක් කරා, ගුණදහම් වැඩීමක් කරා, ලොකු දියුණුවක් කරා යනවා කියන එක සිදුවෙන්න පුළුවන් දෙයක්.
අන්න ඒ භික්ෂුව ධර්මයේ හැසිරෙන්න බලවත් කැමැත්තක් ඇති කරගන්නවා. ඒ නිසා ම සමාධිය දියුණු කරගන්නවා. ඒ නිසා ම වීර්යය දියුණු කරගන්නවා. ඒකට තමයි ‘ඡන්ද ඉර්ධිපාදය’ වඩනවා කියන්නෙ. ඒ වගේ ම භික්ෂුව ධර්මයේ හැසිරෙන්න බලවත් වීරිය ඇති කරගන්නවා. ඒ නිසා ම සමාධිය ඇති කරගන්නවා. ඒ නිසා ම වීරිය ඇති කරගන්නවා. ඒකට කියන්නෙ ‘වීර්ය ඉර්ධිපාදය’ වඩනවා කියලයි. ඒ වගේ ම භික්ෂුව ධර්මයේ හැසිරෙන්න බලවත් ලෙස අධිෂ්ඨානයක් ඇති කරගන්නවා. ඒ නිසා ම සමාධිය දියුණු කරගන්නවා. ඒ නිසා ම වීරිය ඇති කරගන්නවා. ඒකට කියන්නෙ ‘චිත්ත ඉර්ධිපාදය’ වඩනවා කියලයි. ඒ වගේ ම භික්ෂුව ධර්මයේ හැසිරෙන්න බලවත් ලෙස නුවණින් විමසීම ඇති කරගන්නවා. ඒ නිසා ම සමාධිය දියුණු කරගන්නවා. ඒ නිසා ම වීරිය ඇති කරගන්නවා. ඒකට කියන්නෙ ‘වීමංසා ඉර්ධිපාදය’ වඩනවා කියලයි. පස් වෙනි එක නම් අධික උත්සාහයෙන් කටයුතු කිරීමයි.
පින්වත් මහණෙනි, මේ විදියට ඒ භික්ෂුව (සිතේ ඇනුනු උල් පහ නැති කිරීමත්, සිත බැඳුණු බන්ධන පහ නැතිකිරීමත්, ඉර්ධිපාද හතරෙන් යුක්ත වීමත් යන අංග දාහතරට) අධික උත්සාහය ඇති කර ගැනීම නැමැති අංගයත් එක්කර ගත් විට අංග පහළොවකින් යුක්ත වුනා ම අවබෝධයෙන් ම අවිද්‍යා කෙලෙස් කඳ සිඳබිඳ දමන්න සුදුස්සෙක් වෙනවා. ආර්ය සත්‍යය අවබෝධ කරගන්න සුදුස්සෙක් වෙනවා. අනුත්තර යෝගක්ඛේම නම් වූ ඒ අමා නිවන සාක්ෂාත් කරගන්න සුදුස්සෙක් වෙනවා.
පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. කිකිළියකට බිත්තර අටක් හරි, දහයක් හරි, දොළහක් හරි, තියෙනවා කියල හිතන්න. ඉතින් මේ කිකිළි ඒ බිත්තර ටික හොඳ හැටියට රකිනවා. හොඳ හැටියට උණුසුම් කරනවා. හොඳ හැටියට බලාගන්නවා. නමුත් ඒ කිකිළිට මේ විදිහට හිතෙන්නෙ නෑ. ‘අනේ ඇත්තෙන් ම මගේ කුකුල් පැටව් ටික නියපොතු වලින් හරි, හොටෙන් හරි, බිත්තර කටුව පළාගෙන කරදරයක් නැතිව එළියට එනවා නම් කොච්චර දෙයක්ද’ කියලා. නමුත් ඒ කුකුළු පැටව් නියපොත්තෙන් හරි, හොටෙන් හරි, බිත්තර කටුව පළාගෙන කරදරයක් නැති එළියට එන්න සුදුසු ම යි. පින්වත් මහණෙනි, අන්න ඒ විදිහම තමයි, ඔය අයුරින් අධික උත්සාහය ඇති කරගැනීම කියන අංගයත් එකතු කරගත්තහම ඔය අංග පහළොවෙන් යුක්ත භික්ෂුව අවබෝධයෙන් ම අවිද්‍යා කෙලෙස් කඳ සිඳබිඳ දමන්න සුදුස්සෙක් වෙනවා. චතුරාර්ය සත්‍යය අවබෝධයට සුදුස්සෙක් වෙනවා. අනුත්තර යෝගක්ඛේම නම් වූ ඒ අමා නිවන සාක්ෂාත් කරන්න සුදුස්සෙක් වෙනවා.
භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව වදාළා. ඒ භික්ෂූන් වහන්සේලා ඒ ගැන ගොඩක් සතුටු වුනා. භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ දේශනාව ඉතා සතුටින් පිළිගත්තා.
සාදු! සාදු!! සාදු!!!
සිතේ ඇනුන හුල් ගැන වදාළ දෙසුම නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn1_1-2-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M