මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ ශාක්‍ය ජනපදයේ කපිලවස්තුවේ නිග්‍රෝධාරාමයේ. එදා මහානාම ශාක්‍ය රජු භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්න ගියා. ගිහින් භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කරලා පැත්තකින් වාඩිවුනා. පැත්තකින් වාඩි වූ මහානාම ශාක්‍ය රජු භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.
“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් අපට කියා දීපු ධර්මයක් හැටියට බොහෝ කාලයක් තිස්සේ මම මේ ගැන දැනගෙන ඉන්නවා. එනම් ‘ලෝභය කියන්නෙ සිත කිලුටු කරන දෙයක්, ද්වේෂය කියන්නෙ සිත කිලුටු කරන දෙයක්. මෝහය කියන්නෙ සිත කිලුටු කරන දෙයක්’ කියලා.
ඉතින් ස්වාමීනී, ‘ලෝභය කියන්නෙ සිත කිලුටු කරන දෙයක්, ද්වේෂය කියන්නෙ සිත කිලුටු කරන දෙයක්, මෝහය කියන්නෙ සිත කිලුටු කරන දෙයක්’ ය කියල භාග්‍යවතුන් වහන්සේ විසින් අපට කියා දීපු ධර්මය මම දැනගෙන හිටියත්, සමහර දවස්වලට ලෝභය මගේ සිත යටකරල දානවා. ද්වේෂයත් මගේ සිත යටකරල දානවා. මෝහයත් මගේ සිත යටකරල දානවා. ස්වාමීනී, එතකොට මට මෙහෙම හිතෙනවා. සමහර දවස්වලට ලෝභය මේ සිත යටකරල දාන්නෙ මගේ සිතෙන් මොකක් දුරුවුනේ නැති නිසාද? ද්වේෂය සිත යටකරල දාන්නෙ මගේ සිතෙන් මොකක් දුරුවුනේ නැති නිසාද? මෝහයත් මගේ සිත යටකරල දාන්නේ මගේ සිතෙන් මොකක් දුරුවුනේ නැති නිසාද?’ කියලා.”
“පින්වත් මහානාම, සමහර දවස්වලට ලෝභය ඔබේ සිත යටකරල දානවා නම්, ද්වේෂය ඔබේ සිත යටකරල දානවා නම්, මෝහය ඔබේ සිත යටකරල දානවා නම්, ඔබ තුළ ප්‍රහාණය වෙලා නැත්තෙත් ඒවා ම යි. පින්වත් මහානාම, ඔබ තුළ ඔය ලෝභ, ද්වේෂ, මෝහ ප්‍රහාණය වෙලා ගියා නම්, ඔබ කවදාවත් ගිහි ගෙදර ඉන්නෙ නෑ. කාම සම්පත් විඳින්නෙත් නෑ. පින්වත් මහානාම, ඔබ තුළ ඒ ලෝභ, ද්වේෂ, මෝහ නැති නොවුණු නිසා ම යි ගිහි ගෙදර ඉන්නෙ. කාම සම්පත් විඳින්නෙ.
පින්වත් මහානාම, ආර්ය ශ්‍රාවකයා දියුණු කරපු ප්‍රඥාවෙන්, යථාර්ථය දැක්කත්, මේ කාමයන්ගේ ආශ්වාදය චුට්ටයි කියල. මේ කාමයන් නිසා විඳින දුක් කම්කටොළු, පසුතැවිලි ගොඩක් තියෙනවා කියල. නමුත් ඒ ආර්ය ශ්‍රාවකයා කාමයන්ගෙන් වෙන් වී තිබෙන අකුසල ධර්මයන්ගෙන් වෙන් වී තිබෙන, ප්‍රීතිසැපයක් සාක්ෂාත් කළේ නැත්නම්, ඊට ඉහළ ශාන්ත සමාධියක්වත් සාක්ෂාත් කළේ නැත්නම්, ඒ තැනැත්තා ඒ තාක් ම ඉන්නෙ කාමයන්ට නොවැටෙන කෙනෙක් හැටියට නොවෙයි.
පින්වත් මහානාම, යම් දවසක ආර්ය ශ්‍රාවකයා දියුණු කරපු ප්‍රඥාවෙන් අවබෝධ කළොත් මේ කාමයේ තියෙන ආශ්වාදය නම් චුට්ටයි. නමුත් දුක් කම්කටොළු පීඩා ගොඩාක් තියෙනවා කියල. ඒ වගේම ඒ ආර්ය ශ්‍රාවකයා කාමයෙන් වෙන් වුන, අකුසලයෙන් වෙන් වුන ප්‍රීති සැපයකුත් සාක්ෂාත් කළොත්, ඊට වඩා ශාන්ත සමාධියක් හරි සාක්ෂාත් කළොත්, එතකොට නම් ඒ කෙනා කාමයන්ට වැටෙන්නෙ නෑ.
පින්වත් මහානාම, සම්බුද්ධත්වයට පත්වෙන්න කලින් මම බෝසත් බව තුළ සිටින කාලෙදී මටත් ඔය අදහස ඇති වුනා. කාමයන්ගේ ආශ්වාදය නම් හරි ම චුට්ටයි. ඒ වුනාට දුක් කම්කටොළු පීඩා ගොඩාක් තියෙනවා කියල දියුණු කරපු ප්‍රඥාවෙන් මම ඒ විදිහට යථාර්ථය දැක්කා. නමුත් කාමයන් ගෙන් වෙන් වෙලා, අකුසල් වලින් වෙන් වෙලා ඇතිවෙන ප්‍රීතිසැපයක් මට අත්දකින්න බැරි වුනා. ඊට වඩා ඉහළ ශාන්ත සමාධියක්වත් අත්දකින්න බැරි වුනා. ඒ තාක් ම මම ප්‍රතිඥා දුන්නෙ නෑ ‘කාමයන්ට නොවැටෙන කෙනෙක් ය’ කියලා.
පින්වත් මහානාම, යම් දවසක දියුණු කරන ලද ප්‍රඥාවෙන් මම යථාර්ථය දැක්කාද මේ කාමයන්ගේ ආශ්වාදය නම් චුට්ටයි, ඒ වුනාට දුක් පීඩා කරදර නම් ගොඩක් තියෙනවා කියල, ඒ වගේම මම කාමයන්ගෙන් වෙන් වෙලා, අකුසලයන්ගෙන් වෙන් වෙලා ප්‍රීති සැපයක් අත්දකින්න පටන් ගත්තා ද, ඊට වඩා ශාන්ත සමාධියකුත් අත්දකින්න පටන් ගත්තා ද, අන්න එතකොට තමයි මම ප්‍රතිඥා දුන්නෙ ආයෙත් නම් කාමයන්ට වැටෙන්නෙ නෑ කියලා.
පින්වත් මහානාම, කාමයන්ගේ ආශ්වාදය කියන්නෙ මොකක්ද? පින්වත් මහානාම, මේ කාම ගුණ පහක් තියෙනවා. ඒ පහ මොනවාද? ඇසෙන් බලන රූප තියෙනවා බොහොම ලස්සන, සිත ඇදගන්න, කැමැත්ත ඇති වෙන, රාගය ඇතිවෙන. කනෙන් අහන ශබ්ද තියෙනවා ….(පෙ)…. නාසයෙන් දැනගන්න ගඳ සුවඳ තියෙනවා ….(පෙ)…. දිවෙන් දැනගන්න රස තියෙනවා ….(පෙ)…. කයට දැනෙන පහස තියෙනවා බොහෝ ම හොඳ, සිත් ඇදගන්න, කැමැත්ත ඇති වෙන, රාගය ඇතිවෙන. පින්වත් මහානාම, ඔය පහට කියන්නෙ කාම ගුණ කියලයි. ඉතින් පින්වත් මහානාම, මේ කාම ගුණ පහ හේතු කරගෙන යම්කිසි සැපයක්, සොම්නසක් ඇති වුණොත් ඒක තමයි කාමයන්ගේ ආශ්වාදය.
පින්වත් මහානාම, කාමයන්ගේ ආදීනවය කියන්නේ මොකක්ද? පින්වත් මහානාම, ගිහි ජීවිතේ ගෙවන කෙනෙක් ජීවත් වෙන්න ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගන්න ඕන. දෑතෙ වැඩ හරි, ගණන් හිලව් හදන එක හරි, වෙළහෙළදාම් කරන එක හරි, ගොවිතැන හරි, ගව පාලනය හරි, ආණ්ඩුවේ රස්සාවකින් හරි, හමුදාවට ගිහින් හරි, තව නොයෙක් රස්සාවල් වලින් තමයි ජීවිතය ගෙවන්න තියෙන්නෙ. ආයෙ ඉතින් සීතලයි කියල බෑ. රස්නෙයි කියල බෑ. මදුරුවො, මැස්සො ඉන්නවා කියල බෑ. අව් හුළං තියෙනවා, සර්පයො ඉන්නවා කියල බෑ. බඩගින්නෙන්, පිපාසෙන්, මැරි මැරී හරි රස්සාවල් කරන්න වෙනවා. පින්වත් මහානාම, මේක මේ ජීවිතේදී ම අත්දකින්න ලැබෙන කාමයන්ගේ ආදීනවයයි. දුක් ගොඩයි. කාමයන් නිසා ම යි, කාමයන් මුල් කරගෙන ම යි, කාම අවුලෙන් ම යි, කාම හේතුවෙන් ම යි ඔය ආදීනව ඇතිවෙන්නේ.
ඉතින් පින්වත් මහානාම, ඒ ගිහි ගෙදර ඉන්න කෙනා ඔය විදිහට මහන්සි වෙන්න ඕන. උත්සාහ කරන්න ඕන. වීර්යය කරන්න ඕන. නමුත් ආදායම් මොකුත් නැති වුණොත්, ප්‍රතිඵලයක් නැති වුනොත් එතකොට ශෝක වෙනවා. කලන්තෙ හැදෙනවා. වැළපෙනවා. පපුවේ අත් ගගහ අඬනවා. පිස්සු හැදෙන්න වුණත් පුළුවනි. ‘අයියෝ! මගේ උත්සාහය වතුරෙ ගියා, අයියෝ! මගේ මහන්සිය කිසි ඵලක් වුනේ නැහැ’ කියලා. පින්වත් මහානාම, මේ ජීවිතේදී ම අත්දකින්න ලැබෙන මේ දුක් ගොඩ කාමයන්ගේ ආදීනවය ම යි. කාමයන් නිසා ම යි, කාමයන් මුල් කරගෙන ම යි, කාම අවුලෙන් ම යි, කාම හේතුවෙන් ම යි මේ දුක් ගොඩ ඇතිවෙන්නෙ.
පින්වත් මහානාම, ගිහි ගෙදර ඉන්න කෙනා ඔය විදිහට උත්සාහ කරන්න ඕන. මහන්සි වෙන්න ඕන. වීර්යය කරන්න ඕන. එතකොට අත මිට සරු වෙනවා. ඊට පස්සෙ දුක් දොම්නස් විඳින්නෙ, හරි හම්බකරපු දේවල් ආරක්ෂා කරගන්න තියෙන අවුලට මැදි වෙලයි. ‘අනේ මං හරිහම්බ කරපු දේවල් ආණ්ඩුවට ගන්නෙ නැත්නම්, හොර හතුරො ගන්නෙ නැත්නම්, ගින්නට පිච්චෙන්නෙ නැත්නම්, වතුරෙ ගහගෙන යන්නෙ නැත්නම්, අපි අකමැති උදවිය ගන්නෙ නැත්නම්’ කියලා.
ඉතින් ඒ පුද්ගලයා ඔය විදිහට තමන්ගේ දේපල ආරක්ෂා කරගෙන, රැකගෙන ඉන්න කොට, ආණ්ඩුවෙන් හරි අරගන්නවා. නැත්නම් හොරු අරගන්නවා, ගින්නට පිච්චෙනවා, එක්කො වතුරෙ ගහගෙන යනවා, එක්කො තමන් අකමැති උදවිය ඒවා අරගන්නවා. එතකොට එයා ශෝක කරනවා. කලන්තෙ හැදිලා වැටෙනවා. විලාප තියනවා. පපුවෙ අත් ගගහ අඬා වැටෙනවා. පිස්සු හැදෙනවා. ‘අයියෝ! මං හම්බ කරපු දේවල්, අයියෝ! මට ඒවා නැති වුනා’ කියලා. පින්වත් මහානාම, මේ ජීවිතේදී ම අත්දකින ඔය දුක් ගොඩත් කාමයන්ගේ ආදීනවය ම යි. කාමයන් නිසා ම යි, කාමයන් මුල් කරගෙන ම යි, කාම අවුලෙන් ම යි, කාම හේතුවෙන් ම යි ඔය දුක් ගොඩ ඇතිවෙන්නෙ.
කාමයන්ගේ ආදීනව ගැන තවදුරටත් කියනවා නම් පින්වත් මහානාම, කාමයන් නිසා ම යි, කාමයන් මුල්කරගෙන ම යි, කාම අවුලෙන් ම යි, කාම හේතුවෙන් ම යි රජවරු රජවරුත් එක්ක යුද්ධ කරන්නෙ, සිටුවරු සිටුවරුත් එක්ක යුද්ධ කරන්නෙ. පූජකවරු පූජකවරුත් එක්ක රණ්ඩු අල්ලන්නෙ. ගිහියො ගිහියොත් එක්ක රණ්ඩු අල්ලන්නෙ. අම්මා පුතත් එක්ක රණ්ඩු අල්ලන්නෙ. පුතා අම්මත් එක්ක රණ්ඩු අල්ලන්නෙ. තාත්තා පුතත් එක්ක රණ්ඩු අල්ලන්නෙ. පුතා තාත්තත් එක්ක රණ්ඩු අල්ලන්නෙ. සහෝදරයා සහෝදරයන් එක්ක රණ්ඩු අල්ලන්නෙ. සහෝදරයා සහෝදරියත් එක්ක රණ්ඩු අල්ලන්නෙ. සහෝදරී සහෝදරයන් එක්ක රණ්ඩු අල්ලන්නෙ. යාළුවා යාළුවත් එක්ක රණ්ඩු අල්ලන්නෙ. ඔය විදිහට කලකෝලාහල කර ගනිමින් ආරවුල් හදාගනිමින් එකිනෙකා අත්වලින් ගහ ගන්නවා. ගල්වලින් ගහ ගන්නවා. පොලුවලින් ගහ ගන්නවා. අවි ආයුධවලින් ගහ ගන්නවා. ඒවට මැදි වෙලා මැරිල යනවා. මාරාන්තික දුක් විඳිනවා. පින්වත් මහානාම, මේ ජීවිතේ දී ම අත්දකින්න ලැබෙන මේ දුක් ගොඩ කාමයන්ගේ ආදීනව ම යි. කාමයන් නිසා ම යි, කාමයන් මුල් කරගෙන ම යි, කාම අවුලෙන් ම යි, කාම හේතුවෙන් ම යි මේ දුක් හටගන්නෙ.
කාමයන්ගේ ආදීනව ගැන තවත් කියනවා නම් පින්වත් මහානාම, කාමයන් නිසා ම, කාමයන් මුල් කරගෙන ම, කාම අවුල නිසා ම, කාම හේතුවෙන් ම, අවි ආයුධ අරගෙන, යුද ඇඳුම් ඇඳගෙන, දෙපැත්තට බෙදිල රණ බිමට යනවා. ඊතල විදිද්දි, හෙල්ල පහර විදිද්දි, කඩු කිනිසි ලෙල දෙද්දී, රණ බිමට යනවා. ඔවුන් එහි ගිහින් ඊතලවලින් විද ගන්නවා. හෙල්ලවලින් ඇන ගන්නවා. කඩුවලින් හිස ගසා දානවා. අන්තිමේදී ඔවුන් මැරිල යනවා. එක්කො මාරාන්තික දුක් විඳිනවා. පින්වත් මහානාම, මේ ජීවිතේ දී ම අත්දකින්න ලැබෙන මේ දුක් ගොඩ කාමයන්ගේ ආදීනවය ම යි. කාමයන් නිසා ම යි. කාමයන් මුල් කරගෙන ම යි, කාම අවුලෙන් ම යි, කාම හේතුවෙන් ම යි මේ දුක් ගොඩ ඇතිවෙන්නෙ.
කාමයන්ගේ ආදීනව ගැන තවත් කියනවා නම් පින්වත් මහානාම, කාමය නිසා ම, කාමය මුල් කරගෙන ම, කාම අවුල නිසා ම, කාම හේතුව නිසා ම, අවිආයුධ අමෝරාගෙන, යුද ඇඳුම් ඇඳගෙන, තාප්ප උඩින් බලකොටු වලට ඇතුල් වෙනවා. එතනදී ඊතලවලින් විදිද්දි, හෙල්ල පහරවල් විදිද්දි, කඩු කිනිසි ලෙළ දෙද්දි තමයි ඔවුන් එතනට පනින්නේ. එතනදී ඊතල වලින් විද ගන්නවා. හෙල්ල පහරවල් ඇනගන්නවා. රත්වුණු තෙල් ඇඟවල් වලට හලා ගන්නවා. උල්වලින් ඇන ගන්නවා. කඩුවෙන් හිසත් කපනවා. අන්තිමේ දී එතනදී මැරිල යනවා. මාරාන්තික දුක්වලට ගොදුරු වෙනවා. පින්වත් මහානාම, මේ ජීවිතයේ දී අත්දකින්න ලැබෙන මේ දුක් ගොඩ කාමයන්ගේ ආදීනවය ම යි. කාමයන් නිසා ම යි, කාමයන් මුල් කරගෙන ම යි, කාම අවුලෙන් ම යි, කාම හේතුවෙන් ම යි ඔය දුක් ගොඩ හටගන්නේ.
කාමයන්ගේ ආදීනව ගැන තවත් කියනවා නම් පින්වත් මහානාම, කාමයන් නිසා ම, කාමයන් මුල් කරගෙන ම, කාම අවුලෙන් ම, කාමයන් හේතු කොටගෙන ම ගෙවල් බිඳිනවා. ගම් පිටින් කොල්ල කනවා. ගෙවල් වලට පැනල මිනිස්සු භය කරල කොල්ල කනවා. පාරෙ යන මිනිස්සුන් ගෙන් මංකොල්ල කනවා. කාන්තාවන්ට බලහත්කාරකම් කරනවා. අන්තිමේ දී ඒ හොරුන් ආණ්ඩුවට අහුවෙනවා. ඊට පස්සෙ විවිධාකාර වධ බන්ධනවලට අහුවෙනවා. ඔවුන්ට කසවලින් තලනවා. වේවැල්වලින් තලනවා. දඬු මුගුරු වලින් තලනවා. අත් කපල දානවා, කකුල් කපල දානවා, අත් කකුල් කපල දානවා, කන කපනවා, නාසයත් කපනවා. කන් නාසත් කපනවා, හිස් කබල චප්ප කරල දානවා. හිස් කබලෙ ඇටේ මතු වෙනකල් බොරළු දාල හූරනවා. යකඩ අඬුවකින් කට පළල් කරල ගිනි පන්දම් ඔබනවා. ඇඟේ තෙල් පාන්කඩ ඔතල ගිනි තියනවා. අත්වල තෙල් පාන්කඩ ඔතල ගිනි තියනවා. බෙල්ලෙ ඉඳන් පහළට හම ගලෝල, ඇදගෙන යනවා. බෙල්ලෙ ඉඳන් පහළටත්, කකුලෙ ඉඳන් උඩටත් හම ගලෝල, එකට ගැට ගහනවා. දණිස් දෙකෙත්, වැලමිටි දෙකෙත් යකඩ උල් ගහල පොළවට හයි කරල ගින්නෙන් රත් කරනවා, කොකු වලින් ඇන ඇන මස් ලේ විසුරුවනවා. මුළු ශරීරයේ ම මස් චූටි කෑලි වලට ඉරල දානවා. ශරීරයේ තැනින් තැන සිදුරු කරල ලෝදිය දානවා. පැත්තට ඇල කරල බිම දාල කනේ උලක් ගහල, ඒ උලෙන් හිටෝලා, කකුල් දෙකෙන් වටේට කරකවනවා. ගල්වලින් තලල ඇඟ ඇතුලෙ ඇට කුඩු කරල දානවා. ගින්නෙන් කකාරගත්තු තෙල්වලින් නාවනවා. බල්ලන්ට කන්න දානවා. උලේ ඉන්දවනවා. හිස ගසා දානවා. අන්තිමේ දී ඒකෙන් ම මැරිල යනවා. එක්කො මාරාන්තික වධ විඳිනවා. පින්වත් මහනාම, මේ ජීවිතේ දී ම අත්දකින්න ලැබෙන මේ දුක් ගොඩ කාමයන්ගේ ආදීනවය ම යි. කාමයන් නිසා ම යි, කාමයන් මුල් කරගෙන ම යි, කාම අවුලෙන් ම යි, කාමයන් හේතුකරගෙන ම යි මේ දුක් ගොඩ ඇතිවෙන්නේ.
කාමයන්ගේ ආදීනව ගැන තවත් කියනවා නම් පින්වත් මහානාම, කාමයන් නිසා ම, කාමයන් මුල් කරගෙන ම, කාම අවුල නිසා ම, කාමයන් හේතු කරගෙන ම, මේ සත්වයන් කයින් වැරදි කරනවා. වචනයෙන් වැරදි කරනවා. මනසින් වැරදි කරනවා. ඔවුන් කයින් වැරදි කරලා, වචනයෙන් වැරදි කරලා, මනසින් වැරදි කරලා, අන්තිමේ දී මැරිල ගිහින් සැප රහිත දුගතිය නම් වූ නරකාදියේ උපදිනවා. පින්වත් මහානාම, පරලොව දී අත්දකින්න සිදුවන ඒ දුක් ගොඩ කාමයන්ගේ ආදීනව ම යි. කාමයන් නිසා ම යි, කාමයන් මුල් කරගෙන ම යි, කාම අවුලෙන් ම යි, කාමයන් හේතුකොටගෙන ම යි මේ දුක් ගොඩ හටගන්නේ.
පින්වත් මහානාම, එක් කාලෙක මම රජගහ නුවර ගිජුකුළු පව්වෙ හිටියා. ඒ දවස්වල ඉසිගිලි පර්වතයේ බෑවුමට වෙන්න තියෙන කළුගල් තලාවෙ හිටියා වාඩිවෙන ආසන ප්‍රතික්ෂේප කරපු නිගණ්ඨයො පිරිසක්. ඔවුන් හිටියෙ හිටගෙන විතරයි. හිතාමතා ඇති කරගත් නොයෙක් දුක් විඳ විඳ හිටියා. ඉතින් පින්වත් මහානාම, මම හවස් වරුවෙ භාවනාවෙන් නැගිටලා, ඉසිගිලි පර්වත බෑවුමේ කළුගල් තලාවෙ තපස් රකින නිගණ්ඨයන් ලඟට ගියා. ගිහින් නිගණ්ඨයන් ගෙන් මෙහෙම ඇහුවා.
“ඈ හැබෑට නිගණ්ඨවරුනි, ඔහේලා වාඩිවෙන ආසන ප්‍රතික්ෂේප කරලා, හිටගෙන විතරක් පුදුම විදිහට දුක් පීඩා දිදී, හිතාමතා ඇති කරගත් දුක් විඳවන්නෙ ඇයි?” කියලා. පින්වත් මහානාම, මම නිගණ්ඨයන්ගෙන් එහෙම ඇහුවා ම ඒ නිගණ්ඨයො මට මේ විදිහට උත්තර දුන්නා.
“ආයුෂ්මතුන් වහන්ස, නිගණ්ඨ නාතපුත්‍රයන් තමයි හැම දෙයක් ම දන්නෙ. හැම දෙයක් ම දකින්නෙ. පුදුම විදිහේ අවබෝධ ඥානයක් තියෙනවා. ඇවිදින කොටත්, හිටගෙන ඉන්නකොටත්, නිදාගෙන ඉන්නකොටත්, ඇහැරගෙන ඉන්නකොටත්, හැම තිස්සෙ ම ඔහුගේ අවබෝධ ඥානය විවෘතයි. එතුමා අපට මෙහෙම කිව්වා ‘ඒයි නිගණ්ඨවරුනි, නුඹලා පෙර කරපු පාප කර්ම තියෙනවා. දැන් ඉතින් නුඹලා මේ කටුක දුෂ්කර ක්‍රියාවෙන් ඒ පව් ටික දිරෝපල්ලා. දැන් ඉතින් නුඹලා කයින් සංවර වෙයල්ලා. වචනයෙන් සංවර වෙයල්ලා. මනසින් සංවර වෙයල්ලා. එතකොට අනාගතේට කර්මයන් කෙරෙන්නෙ නෑ. පුරාණ කර්ම ටික තපසින් නැති කරනවා. අලුතින් කර්ම කරන්නෙත් නැති නිසා අනාගතේට කර්ම රැස් වෙන්නෙත් නැහැ. අනාගතේට කර්ම රැස් වෙන්නෙ නැති නිසා කර්ම ක්ෂය වෙනවා. කර්ම ක්ෂය වීමෙන් දුක් ක්ෂය වෙනවා. දුක් ක්ෂය වීමෙන් වේදනා ක්ෂය වෙනවා. වේදනා ක්ෂය වීමෙන් හැම දුකක් ම දිරවල යනවා’ කියලා. ඉතින් ඔය අදහසට අපි හරි කැමතියි. අපි එකඟයි. අපි සතුටුයි” කියලා.
පින්වත් මහානාම, එතකොට මම ඒ නිගණ්ඨයන්ගෙන් මේ විදිහට ඇහැව්වා.
“ඈ නිගණ්ඨවරුනි, ඇත්තෙන් ම ඔහේලා දන්නවා ද මේ දේ? අපි කලින් සංසාරෙ හිටපු උදවිය, නොහිටපු උදවිය නොවේ ය කියල?”
“ආයුෂ්මතුන් වහන්ස, ඒ ගැන නම් අපි දන්නෙ නෑ.”
“එහෙම නම් නිගණ්ඨවරුනි, ඔහේලා මේ ගැන දන්නවා ද, අපි සංසාරෙ පව් කරපු උදවිය. පව් නො කරපු උදවිය නොවේ ය කියල?”
“ආයුෂ්මතුන් වහන්ස, අපි ඒ ගැන දන්නෙත් නෑ.”
“එහෙම නම් නිගණ්ඨවරුනි, ඔහේලා මේ ගැන දන්නවා ද, අපි සංසාරෙ මෙන්න මේ විදිහේ පව් තමයි කරල තියෙන්නෙ කියලා?”
“ආයුෂ්මතුන් වහන්ස, අපි ඒ ගැන දන්නෙත් නෑ.”
“එහෙම නම් නිගණ්ඨවරුනි, ඔහේලා මේ ගැන දන්නවා ද, දැන් ඉතින් මෙච්චර දුකක් දිරවල දැම්මා. මෙච්චර දුකක් දිරවන්න ඉතුරු වෙලා තියෙනවා. මේ දුකත් දිරවලා දැම්ම ම, හැම දුකක් ම දිරවලා දැම්මා වෙනවා කියලා?”
“ආයුෂ්මතුන් වහන්ස, අපි ඒ ගැන දන්නෙත් නෑ.”
“එහෙම නම් මේ ජීවිතේ දී ම අකුසල් නැති කරල, කුසල් දියුණු කරගෙන ඉන්න හැටි දන්නවා ද කියල?”
“ආයුෂ්මතුන් වහන්ස, අපි ඒ ගැන දන්නෙත් නෑ.”
“ඈ නිගණ්ඨවරුනි, ඔහේලා හරි උදවිය නෙව. සංසාරෙ කලින් හිටියා කියල දන්නවා ද, නොහිටිය අය නොවේ කියල දන්නවා දැ යි ඇහුවා ම ‘දන්නෙ නැහැ’ යි කිව්වා. සංසාරෙ පව් කරපු උදවිය ද පව් නොකරපු උදවිය ද කියල ඇහුවා ම, ‘දන්නෙ නැතෙ’යි කිව්වා. කොයි කොයි ආකාරයේ පව් ද කෙරිල තියෙන්නෙ ඇහුවාම, ඒකත් ‘දන්නෙ නැතෙ’යි කිව්වා. දැන් මෙච්චර දුක් දිරවලා තියෙනවා, දැන් දිරවන්න මෙච්චර ඉතුරු වෙලා තියෙනවා, මේ ටික දිරෙව්වා ම හැම දුකක් ම දිරවල යනවා ය කියල දන්නවා දැ යි ඇහුව ම ඒකත් ‘දන්නෙ නැතෙ’යි කිව්වා. මේ ජීවිතේ දී ම අකුසල් නැති කරල කුසල් දියුණු කරන හැටි දන්නවා ද කියල ඇහුවම ‘දන්නෙ නැතෙ’යි කිව්වා. එහෙම නම්, නිගණ්ඨවරුනි ආයෙ දෙකක් නෑ. ඔහේල මීට කලින් රෞද්‍ර, ලේ තැවරුණ අත් ඇති, කෲර මිනිස්සු අතරෙ තමයි උපදින්න ඇත්තෙ. දැන් ඒ උදවිය තමයි නිගණ්ඨයන් අතර පැවිදි වෙලා ඉන්නෙ.”
“ආයුෂ්මත් ගෞතමයන් වහන්ස, සැප විඳලා සැපයක් ලබාගන්න පුළුවන් කමක් නෑ. දුක් විඳලා තමයි සැප ලබන්න තියෙන්නෙ. ආයුෂ්මත් ගෞතමයන් වහන්ස, සැප විඳල සැපයක් ලබන්න පුළුවන් කමක් තියෙනවා නම්, මේ මගධ රටේ රජ්ජුරුවො වන සේනිය බිම්බිසාරයන්ටත්, ඒ සැපය ලබන්න පුළුවන් නෙව. ආයුෂ්මත් ගෞතමයන් වහන්සේට වඩා මගධ රජ්ජුරුවො වන සේනිය බිම්බිසාරයන් තමයි සැප සේ වාසය කරන්නෙ.”
“ඒකාන්තයෙන් ම මේ නිගණ්ඨයින් කිසිම දෙයක් ගැන සළකන්නෙ නැතිව, බරපතල කතාවක් කිව්වා නෙව. ‘ආයුෂ්මත් ගෞතමයන් වහන්ස, සැපයකින් සැපයක් ලබන්න පුළුවන්කමක් නෑ. දුක් විඳල ම යි සැප ලබන්න ඕන. ආයුෂ්මත් ගෞතමයන් වහන්ස, සැප විඳල සැපයක් ලබන්න පුළුවන්කමක් තිබෙනවා නම්, මේ මගධ රටේ රජ්ජුරුවො වන සේනිය බිම්බිසාරයන්ටයි, ඒ සැපය ලබන්න පුළුවන් වෙන්නෙ. ආයුෂ්මත් ගෞතමයන් වහන්සේට වඩා, මගධ රජ්ජුරුවො වන සේනිය බිම්බිසාරයන් සැප සේ වාසය කරන කෙනෙක් නෙව’ කියලා.
එහෙම නම් ඒ ගැන අහන්න තියෙන්නෙ මගෙන් ම යි. ඔය දෙදෙනා අතුරෙන් ඇත්තෙන් ම කවුද සැප සේ වාසය කරන්නෙ? මගධේශ්වර වන සේනිය බිම්බිසාර රජ්ජුරුවො ද? ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ද? කියලා.”
“ඇත්තෙන් ම ආයුෂ්මත් ගෞතමයන් වහන්ස, අපි නුවණින් සළකන්නෙ නැතුව ම යි, මේ බරපතල කතාව කියල තියෙන්නෙ. ‘ආයුෂ්මත් ගෞතමයන් වහන්ස, සැපයකින් සැපයක් ලබන්න පුළුවන් කමක් නෑ. දුක් විඳල ම යි සැප ලබන්න තියෙන්නෙ. ආයුෂ්මත් ගෞතමයන් වහන්ස, සැපයෙන් සැපයක් ලබන්ට පුළුවන්කමක් තියෙනවා නම්, මගධ රජ්ජුරුවො වන සේනිය බිම්බිසාර යන්ට තමයි ඒ සැප ලබන්න පුළුවන් වෙන්නෙ. ආයුෂ්මත් ගෞතමයන්ට වඩා, මගධ රජ්ජුරුවො වන සේනිය බිම්බිසාරයන් සැප සේ වාසය කරන කෙනෙක් නෙව’ කියලා.”
“එහෙම නම් නිගණ්ඨවරුනි, මම ඔහේලගෙන් මේ කාරණය විමසනවා. කැමති විදිහකට පිළිතුරු දෙන්න. නිගණ්ඨවරුනි, ඔහේලා මොකක් ද මේ ගැන හිතන්නෙ? මගධ රජ්ජුරුවන් වන සේනිය බිම්බිසාරයන්ට පුළුවන් ද කය සොලවන්නෙ නැතිව, වචන කතා කරන්නෙ නැතිව එක දිගට හත් දවසක් ඒකාන්ත සැපයකින් වාසය කරන්න?”
“ආයුෂ්මතුන් වහන්ස, ඒක නම් රජ්ජුරුවන්ට බැරි වැඩක්.”
“හොඳයි නිගණ්ඨවරුනි, එහෙම නම් මේ ගැන මොකද හිතන්නෙ? මගධ රජ්ජුරුවො වන සේනිය බිම්බිසාරයන්ට පුළුවන් ද කය සොලවන්නෙ නැතිව, වචන කතා කරන්නෙ නැතිව, එක දිගට දවස් හයක් ….(පෙ)…. දවස් පහක් ….(පෙ)…. දවස් හතරක් ….(පෙ)…. දවස් තුනක් ….(පෙ)…. දවස් දෙකක් ….(පෙ)…. දිවා රාත්‍රී එක දවසක් ඒකාන්ත සැපයකින් වාසය කරන්න පුළුවන්ද?”
“ආයුෂ්මතුන් වහන්ස, ඒක නම් රජ්ජුරුවන්ට පුළුවන් දෙයක් නොවෙයි.”
“නමුත් නිගණ්ඨවරුනි, මට පුළුවනි මේ කය සොලවන්නේ නැතිව, වචන කතා කරන්නෙ නැතිව, දිවා රාත්‍රි එක දවසක් ඒකාන්ත සැපයකින් වාසය කරන්න. ඒ වගේ ම නිගණ්ඨවරුනි, මට පුළුවනි මේ කය සොලවන්නේ නැතිව, වචන කතා කරන්නෙ නැතිව, දවස් දෙකක් ….(පෙ)…. දවස් තුනක් ….(පෙ)…. දවස් හතරක් ….(පෙ)…. දවස් පහක් ….(පෙ)…. දවස් හයක් ….(පෙ)…. රෑ දවල් දවස් හතක් ඒකාන්ත සැපයෙන් වාසය කරන්න. ඈ නිගණ්ඨවරුනි, දැන් ඔහේලා මොකද කියන්නෙ? ඕක නම් සැබෑ තත්වය කවුද සැප සේ වාසය කරන්නෙ? මගධ රජ්ජුරුවො වන සේනිය බිම්බිසාරයන් ද? මම ද?”
“ඔහොම බලද්දී නම් ඉතින් මගධ රජ්ජුරුවො වන සේනිය බිම්බිසාරයන්ට වඩා ආයුෂ්මත් ගෞතමයන් වහන්සේ තමයි සැපසේ ඉන්නෙ.”
භාග්‍යවතුන් වහන්සේ මේ දේශනය වදාළා. මහානාම ශාක්‍ය රජතුමා ගොඩාක් සතුටු වුනා. භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ දේශනය ඉතා සතුටින් පිළිගත්තා.
සාදු! සාදු!! සාදු!!!
දුක් ගොඩක් ගැන වදාළ කුඩා දෙසුම නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn1_1-2-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M