මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දවස්වල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත්නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. එදා බොහෝ භික්ෂූන් වහන්සේලා උදේ වරුවේ සිවුරු පොරෝගෙන, පාත්තර සිවුරු අරගෙන සැවැත් නුවරට පිණ්ඩපාතෙ වැඩියා. එතකොට ඒ භික්ෂූන් වහන්සේලාට මෙහෙම හිතුනා. ‘තවම සැවැත් නුවර පිණ්ඩපාතෙ වඩින්න වේලාසන වැඩියි. ඉතින් අපි අන්‍යාගම්කාර තාපසවරුන්ගේ වාසස්ථානයකට ගියොත් හොඳයි’ කියලා.
ඉතින් ඒ භික්ෂූන් වහන්සේලා අන්‍යාගම්කාර තාපසවරුන්ගේ වාසස්ථානයකට වැඩියා. වැඩම කරලා අන්‍යාගම්කාර තාපසවරුන් සමග සුහද කතා බහක යෙදිලා පැත්තකින් වාඩිවුනා. පැත්තකින් වාඩිවුණු ඒ භික්ෂූන් වහන්සේලාට අර අන්‍යාගම්කාර තාපසවරු මෙහෙම කිව්වා.
“ආයුෂ්මතුනි, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කාමයන් ගැන සම්පූර්ණයෙන් ම අවබෝධ කරගන්න කියල කියා දෙනවා. ඉතින් අපි කියා දෙන්නෙත් කාමයන් සම්පූර්ණයෙන් ම අවබෝධ කරගැනීම ගැන තමයි. ඒ වගේ ම ආයුෂ්මතුනි, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ රූප ගැන සම්පූර්ණයෙන් ම අවබෝධ කරන්න කියල කියා දෙනවා. ඉතින් අපි කියා දෙන්නෙත් රූප ගැන සම්පූර්ණයෙන් ම අවබෝධ කරන හැටි තමයි. ඒ වගේ ම ආයුෂ්මතුනි, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ වේදනාව ගැනත් සම්පූර්ණයෙන් ම අවබෝධ කරන්න කියල කියා දෙනවා. ඉතින් අපි කියා දෙන්නෙත් වේදනාව ගැන සම්පූර්ණයෙන් ම අවබෝධ කරන හැටි තමයි. ආයුෂ්මතුනි, ඉතින් එහෙම එකේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ධර්ම දේශනාවත්, අපේ ධර්ම දේශනාවත්, ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ අනුශාසනාවත්, අපේ අනුශාසනාවත්, වෙනස් වෙන්නෙ කොහොමද? විශේෂ වෙන්නෙ කොහොමද? විවිධාකාර වෙන්නෙ කොහොමද?”
එතකොට ඒ භික්ෂූන් වහන්සේලා ඒ අන්‍යාගම්කාර තාපසයින්ගේ කතාව පිළිගත්තෙත් නෑ. ප්‍රතික්ෂේප කළෙත් නෑ. පිළිගන්නෙත් නැතිව ප්‍රතික්ෂේප කරන්නෙත් නැතිව ආපහු පිටත් වුනා. ‘භාග්‍යවතුන් වහන්සේගෙන් ම මේ කතාවෙ තේරුම දැනගන්න ඕන’ කියලා.
ඊට පස්සෙ ඒ භික්ෂූන් වහන්සේලා සැවැත් නුවර පිණ්ඩපාතෙ වැඩම කරලා දන් වළඳල අවසන් කරලා භාග්‍යවතුන් වහන්සේ ළඟට වැඩියා. වැඩම කොට භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩිවුනා. එකත්පස්ව වාඩිවුනු ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.
“ස්වාමීනී, අපි අද උදේ සිවුරු පොරෝගෙන පාත්තර සිවුරු අරගෙන සැවැත් නුවරට පිණ්ඩපාතෙ ගියා. එතකොට ස්වාමීනී, අපට මෙහෙම හිතුණා. ‘සැවැත් නුවර පිණ්ඩපාතෙ යන්න තවම වේලාසන වැඩියි. ඒ නිසා අන්‍යාගම්කාර තාපසවරුන්ගේ වාසස්ථානයකට ගිහින් එනවා නම් හොඳයි’ කියලා. ඉතින් ස්වාමීනී, අපි ඒ අන්‍යාගම්කාර තාපසවරුන්ගේ වාසස්ථානයකට ගියා. ගිහින් සුහද කතා බහේ යෙදිලා පැත්තකින් වාඩිවුනා. ඉතින් ස්වාමීනී, පැත්තකින් වාඩිවුණු අපට ඒ අන්‍යාගම්කාර තාපසවරු මෙන්න මෙහෙම කිව්වා. ‘ආයුෂ්මතුනි, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කාමයන් ගැන සම්පූර්ණයෙන් ම අවබෝධ කරගන්න කියල කියා දෙනවා. ඉතින් අපි කියා දෙන්නෙත් කාමයන් සම්පූර්ණයෙන් ම අවබෝධ කරගැනීම ගැන තමයි. ඒ වගේ ම ආයුෂ්මතුනි, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ රූප ගැන සම්පූර්ණයෙන් ම අවබෝධ කරන්න කියල කියා දෙනවා. ඉතින් අපි කියා දෙන්නෙත් රූප ගැන සම්පූර්ණයෙන් ම අවබෝධ කරන හැටි තමයි. ඒ වගේ ම ආයුෂ්මතුනි, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ වේදනා ගැනත් සම්පූර්ණයෙන් ම අවබෝධ කරන්න කියල කියා දෙනවා. ඉතින් අපි කියා දෙන්නෙත් වේදනාව ගැන සම්පූර්ණයෙන් ම අවබෝධ කරන හැටි තමයි. ආයුෂ්මතුනි, ඉතින් ඒක එහෙම නම් ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ධර්ම දේශනාවත්, අපේ ධර්ම දේශනාවත්, ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ අනුශාසනාවත්, අපේ අනුශාසනාවත්, වෙනස් වෙන්නෙ කොහොමද? විශේෂ වෙන්නෙ කොහොමද? විවිධාකාර වෙන්නෙ කොහොමද?’ කියලා. ඉතින් ස්වාමීනී, ඒ අන්‍යාගම්කාර තාපසයන්ගේ කතාව අපි පිළිගත්තෙත් නෑ. ප්‍රතික්ෂේප කළෙත් නෑ. පිළිගත්තෙත් නැතිව ප්‍රතික්ෂේප කරන්නෙත් නැතිව අපි එතනින් පිටත් වුනා ‘භාග්‍යවතුන් වහන්සේගෙන් ම මේ කතාවේ තේරුම දැනගන්න ඕන’ කියල.
පින්වත් මහණෙනි, ඔය විදිහේ කතාවල් කියන අන්‍යාගම්කාර තාපසවරුන්ගෙන් මේ විදිහටයි අහන්න තියෙන්නෙ.
“හොඳයි තාපසවරුනි, එහෙම නම් කියන්න බලන්න කාමයන්ගේ ආශ්වාදය කියල කියන්නෙ මොකක්ද? කාමයන්ගේ ආදීනවය කියල කියන්නෙ මොකක්ද? කාමයන්ගෙන් නිදහස් වෙනවා කියල කියන්නෙ මොකක්ද? රූපයන්ගේ ආශ්වාදය කියල කියන්නෙ මොකක්ද? රූපයන්ගේ ආදීනවය කියල කියන්නෙ මොකක්ද? රූපයන්ගෙන් නිදහස් වෙනවා කියල කියන්නෙ මොකක්ද? වේදනාවේ ආශ්වාදය කියල කියන්නෙ මොකක්ද? වේදනාවේ ආදීනවය කියල කියන්නෙ මොකක්ද? වේදනාවෙන් නිදහස් වෙනවා කියල කියන්නෙ මොකක්ද?” කියලා.
පින්වත් මහණෙනි, ඒ අන්‍යාගම්කාර තාපසවරුන්ගෙන් ඔය ටික ඇහුවා නම්, උන්නැහේලාට කියාගන්න දෙයක් නැතිව යනවා. ආයෙ ඉතින් ලොකු කරදරේක වැටිල තමයි ඉවර වෙන්නෙ. ඇයි එහෙම වෙන්නෙ? පින්වත් මහණෙනි, ඔය කාරණා ඒ උදවිය තෝරා බේරාගන්න දන්නෙ නෑ. පින්වත් මහණෙනි, මම දකින්නෙ නෑ මේ දෙවියන් සහිත ලෝකෙ, මරුන් සහිත, බ්‍රහ්මයන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත මේ දෙව් මිනිස් ප්‍රජාව තුළ මේ ප්‍රශ්නය විසඳලා සිත සතුටු කරන්න පුළුවන් වෙන කෙනෙක් ඉන්නවා ය කියලා. ඔය ප්‍රශ්නෙ විසඳගත්තොත් ඉතින් විසඳගන්න වෙන්නෙ තථාගතයන් වහන්සේ නමකගෙන් හෝ, තථාගත ශ්‍රාවකයන් වහන්සේ නමකගෙන් ම අහගෙන විතරයි.
පින්වත් මහණෙනි, කාමයන්ගේ ආශ්වාදය කියල කියන්නෙ මොකක්ද? පින්වත් මහණෙනි, මේ කාම ගුණ පහක් තියෙනවා. ඒ පහ මොනවාද? ඇසෙන් බලන රූප තියෙනවා බොහොම ලස්සන, සිත් ඇදගන්න, කැමැත්ත ඇතිවෙන, රාගය ඇති වෙන. කනෙන් අහන ශබ්ද තියෙනවා ….(පෙ)…. නාසයෙන් දැනගන්න ගඳසුවඳ තියෙනවා ….(පෙ)…. දිවෙන් දැනගන්න රස තියෙනවා ….(පෙ)…. කයට දැනෙන පහස තියෙනවා බොහෝම හොඳ, සිත් ඇදගන්න, කැමැත්ත ඇතිවෙන, රාගය ඇති වෙන. පින්වත් මහණෙනි, ඔය පහට කියන්නෙ කාම ගුණ කියලයි. ඉතින් පින්වත් මහණෙනි, මේ කාම ගුණ පහ හේතු කරගෙන යම්කිසි සැපක්, සොම්නසක් ඇති වුනොත් ඒක තමයි කාමයන්ගේ ආශ්වාදය.
පින්වත් මහණෙනි, කාමයන්ගේ ආදීනවය මොකක්ද? පින්වත් මහණෙනි, ගිහි ජීවිතේ ගෙවන කෙනෙක් ජීවත් වෙන්න ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගන්න ඕන. දෑතෙ වැඩ හරි, ගණන් හිලව් හදන එක හරි, වෙළහෙළදාම් හරි, ගොවිතැන් කිරීම හරි, ගව පාලනය හරි, ආණ්ඩුවේ රස්සාවක් හරි, හමුදාවට ගිහින් හරි, තව නොයෙක් රස්සාවල් වලින් තමයි ජීවිතය ගෙවන්න තියෙන්නෙ. ආයෙ ඉතින් සීතලයි කියල බෑ. රස්නෙයි කියල බෑ. මදුරුවො, මැස්සො ඉන්නවා කියල බෑ. අව්, හුළං තියෙනවා, සර්පයො ඉන්නවා කියල බෑ. බඩගින්නෙන්, පිපාසෙන්, මැරි මැරී හරි රස්සාවල් කරන්න වෙනවා. පින්වත් මහණෙනි, මේක මේ ජීවිතේදී ම අත්දකින්න ලැබෙන කාමයන්ගේ ආදීනවයයි. දුක් ගොඩයි. කාමයන් නිසා ම යි, කාමයන් මුල් කරගෙන ම යි, කාම අවුලෙන් ම යි, කාම හේතුවෙන් ම යි ඔය ආදීනව ඇතිවෙන්නේ.
ඉතින් පින්වත් මහණෙනි, ඒ ගිහි ගෙදර ඉන්න කෙනා ඔය විදිහට මහන්සි වෙන්න ඕන. උත්සාහ කරන්න ඕන. වීර්යය කරන්න ඕන. නමුත් ආදායම් මොකුත් නැති වුනොත්, ප්‍රතිඵලයක් නැති වුනොත් එතකොට එයා ශෝක වෙනවා. ක්ලාන්තය හැදෙනවා. වැළපෙනවා. පපුවේ අත් ගගහ අඬනවා. පිස්සු හැදෙන්න වුනත් පුළුවනි. ‘අයියෝ! මගේ උත්සාහය වතුරෙ ගියා, අයියෝ! මගේ මහන්සිය කිසි ඵලක් වුනේ නැහැ’ කියලා. පින්වත් මහණෙනි, මේ ජීවිතේදී ම අත්දකින්න ලැබෙන මේ දුක් ගොඩ කාමයන්ගේ ආදීනවය ම යි. කාමයන් නිසා ම යි, කාමයන් මුල් කරගෙන ම යි, කාම අවුලෙන් ම යි, කාම හේතුවෙන් ම යි. මේ දුක් ගොඩ ඇතිවෙන්නේ.
පින්වත් මහණෙනි, ගිහි ගෙදර ඉන්න කෙනා ඔය විදිහට උත්සාහ කරන්න ඕන. මහන්සි වෙන්න ඕන. වීර්යය කරන්න ඕන. එතකොට අත මිට සරු වෙනවා. ඊට පස්සෙ දුක් දොම්නස් විඳින්නෙ, හරි හම්බුකරපු දේවල් ආරක්ෂා කරගන්න තියෙන අවුලට මැදි වෙලයි. ‘අනේ! මම හරිහම්බ කරපු දේවල් ආණ්ඩුව ගන්නෙ නැත්නම්, හොර හතුරො ගන්නෙ නැත්නම්, ගින්නට පිච්චෙන්නෙ නැත්නම්, වතුරෙ ගහගෙන යන්නෙ නැත්නම්, අපි අකමැති උදවිය ගන්නෙ නැත්නම්’ කියලා. ඉතින් ඒ පුද්ගලයා ඔය විදිහට තමන්ගේ දේපල ආරක්ෂා කරගෙන රැකගෙන ඉන්න කොට, ආණ්ඩුවෙන් හරි අර ගන්නවා. නැත්නම් හොරු අරගන්නවා, ගින්නට පිච්චෙනවා, එක්කො වතුරෙ ගහගෙන යනවා, එක්කො තමන් අකමැති උදවිය ඒවා අරගන්නවා, එතකොට එයා ශෝක කරනවා. කලන්තෙ හැදිල වැටෙනවා. විලාප තියනවා. පපුවෙ අත් ගගහ අඬා වැටෙනවා. පිස්සු හැදෙනවා. ‘අයියෝ! මං හම්බ කරපු දේවල්, අයියෝ! මට ඒවා නැති වුනා’ කියලා. පින්වත් මහණෙනි, මේ ජීවිතේදී ම අත්දකින ඔය දුක් ගොඩත් කාමයන් ගේ ආදීනවය ම යි. කාමයන් නිසා ම යි, කාමයන් මුල් කරගෙන ම යි, කාම අවුලෙන් ම යි, කාම හේතුවෙන් ම යි ඔය දුක් ගොඩ ඇතිවෙන්නෙ.
කාමයන්ගේ ආදීනව ගැන තවදුරටත් කියනවා නම් පින්වත් මහණෙනි, කාමයන් නිසාම, කාමයන් මුල්කරගෙන, කාම අවුල නිසාම, කාම හේතුවෙන් මයි රජවරු, රජවරුත් එක්ක යුද්ධ කරන්නෙ, සිටුවරු සිටුවරුත් එක්ක යුද්ධ කරන්නේ. පූජකවරු පූජකවරුත් එක්ක රණ්ඩු අල්ලන්නේ. ගිහියො ගිහියොත් එක්ක රණ්ඩු අල්ලන්නේ. අම්මා පුතත් එක්ක රණ්ඩු අල්ලන්නේ. පුතා අම්මත් එක්ක රණ්ඩු අල්ලන්නේ. තාත්තා පුතත් එක්ක රණ්ඩු අල්ලන්නේ. පුතා තාත්තත් එක්ක රණ්ඩු අල්ලන්නේ. සහෝදරයා සහෝදරයත් එක්ක රණ්ඩු අල්ලන්නේ. සහෝදරයා සහෝදරියන් එක්ක රණ්ඩු අල්ලන්නේ. සහෝදරී සහෝදරයන් එක්ක රණ්ඩු අල්ලන්නේ. යාළුවා යාළුවන් එක්ක රණ්ඩු අල්ලන්නේ. ඔය විදිහට කලකෝලාහල කරගනිමින්, ආරවුල් හදාගනිමින් එකිනෙකාට අත්වලින් ගහ ගන්නවා. ගල්වලින් ගහ ගන්නවා. පොලුවලින් ගහ ගන්නවා. අවි ආයුධවලින් ගහ ගන්නවා. ඒවාට මැදිවෙලා මැරිල යනවා. මාරාන්තික දුක් විඳිනවා. පින්වත් මහණෙනි, මේ ජීවිතේදී ම අත්දකින්න ලැබෙන මේ දුක් ගොඩ කාමයන්ගේ ආදීනව ම යි. කාමයන් නිසා ම යි, කාමයන් මුල් කරගෙන ම යි, කාම අවුලෙන් ම යි, කාම හේතුවෙන් ම යි මේ දුක් හටගන්නේ.
කාමයන්ගේ ආදීනව ගැන තවත් කියනවා නම් පින්වත් මහණෙනි, කාමයන් නිසා ම, කාමයන් මුල් කරගෙන ම, කාම අවුල් නිසා ම, කාම හේතුවෙන් ම, අවි ආයුධ අරගෙන, යුද ඇඳුම් ඇඳගෙන, දෙපැත්තට බෙදිල රණ බිමට යනවා. ඊතල විදිද්දී, හෙල්ල පහරවල් වදිද්දී, කඩු කිනිසි ලෙල දෙද්දී, රණ බිමට යනවා. ඔවුන් එහි ගිහින් ඊතල වලින් විද ගන්නවා. හෙල්ල වලින් ඇනගන්නවා. කඩුවලින් හිස ගසා දානවා. අන්තිමේදී ඔවුන් මැරිල යනවා. එක්කො මාරාන්තික දුක් විඳිනවා. පින්වත් මහණෙනි, මේ ජීවිතේදී ම අත්දකින්න ලැබෙන මේ දුක් ගොඩ කාමයන්ගේ ආදීනවය ම යි. කාමයන් නිසා ම යි, කාමයන් මුල් කරගෙන ම යි, කාම අවුලෙන් ම යි, කාම හේතුවෙන් ම යි මේ දුක් ගොඩ ඇතිවෙන්නේ.
කාමයන්ගේ ආදීනව ගැන තවත් කියනවා නම් පින්වත් මහණෙනි, කාමය නිසා ම, කාමය මුල් කරගෙන ම, කාම අවුල නිසා ම, කාම හේතුන් නිසා ම, අවි ආයුධ අමෝරාගෙන, යුද ඇඳුම් ඇඳගෙන තාප්ප උඩින් බලකොටුවලට ඇතුල් වෙනවා. එතනදි ඊතල වලින් විදිද්දී, හෙල්ල පහරවල් විදිද්දී, කඩු කිණිසි ලෙළ දෙද්දී තමයි ඔවුන් එතනට පනින්නේ. එතනදී ඊතල වලින් විද ගන්නවා. හෙල්ල පහරවල් ඇන ගන්නවා. රත්වුණු තෙල් ඇඟවල්වලට හලනවා. උල්වලින් ඇන ගන්නවා. කඩුවෙන් හිසත් කපනවා. අන්තිමේදී එතනදී ම මැරිල යනවා. මාරාන්තික දුක්වලට ගොදුරු වෙනවා. පින්වත් මහණෙනි, මේ ජීවිතයේදී ම අත්දකින්න ලැබෙන මේ දුක් ගොඩ කාමයන්ගේ ආදීනවය ම යි. කාමයන් නිසා ම යි, කාමයන් මුල්කරගෙන ම යි, කාම අවුලෙන් ම යි, කාම හේතුවෙන් ම යි ඔය දුක් ගොඩ හටගන්නෙ.
කාමයන්ගේ ආදීනවය තවත් කියනවා නම්, පින්වත් මහණෙනි, කාමයන් නිසා ම, කාමයන් මුල් කරගෙන ම, කාම අවුලෙන් ම, කාමයන් හේතුකොට ගෙන ම ගෙවල් බිඳිනවා, ගම් පිටින් කොල්ල කනවා. ගෙවල්වලට පැනල මිනිස්සු බය කරල කොල්ල කනවා. පාරෙ යන මිනිස්සුන්ගෙන් මංකොල්ල කනවා. කාන්තාවන්ට බලහත්කාරකම් කරනවා. අන්තිමේදී ඒ හොරුන් ආණ්ඩුවට අහුවෙනවා. ඊට පස්සෙ විවිධාකාර වධ බන්ධන වලට අහුවෙනවා. ඔවුන්ට කස වලින් තලනවා. වේවැල් වලින් තලනවා. දඬු මුගුරු වලින් තලනවා. අත් කපල දානවා. කකුල් කපල දානවා, අත් කකුල් කපල දානවා. කන කපනවා. නාසයත් කපනවා. කන් නාසත් කපනවා. හිස් කබල චප්ප කරල දානවා. හිස් කබලෙ ඇටේ මතු වෙනකල් බොරළු දාල හූරනවා. යකඩ අඬුවකින් කට පළල් කරලා ගිනි පන්දම් ඔබනවා. ඇඟේ තෙල් පාන්කඩ ඔතල ගිනි තියනවා. අත්වල තෙල් පාන්කඩ ඔතල ගිනි තියනවා. බෙල්ලෙ ඉඳන් පහළට හම ගලෝලා, ඇදගෙන යනවා. බෙල්ලෙ ඉඳන් පහළටත්, කකුලෙ ඉඳන් උඩටත් හම ගලෝලා එකට ගැටගහනවා. දණිස් දෙකේත්, වැළමිටි දෙකේත් යකඩ උල් ගහල පොළොවට හයි කරලා, ගින්නෙන් රත් කරනවා. කොකු වලින් ඇන ඇන මස් ලේ විසුරුවනවා. මුළු ශරීරයේ ම මස් චූටි කෑලිවලට ඉරල දානවා. ශරීරයේ තැනින් තැන සිදුරු කරල ලෝදිය දානවා. පැත්තට ඇල කරල බිම දාලා කනේ උලක් ගහල ඒ උලෙන් හිටවලා කකුල් දෙකෙන් වටේට කරකවනවා. ගල් වලින් තලලා ඇඟ ඇතුලේ ඇට කුඩු කරලා දානවා. ගින්නෙන් කකාරගත්තු තෙල් වලින් නාවනවා. බල්ලන්ට කන්න දානවා. උලේ ඉන්දවනවා. හිස ගසා දානවා. අන්තිමේදී ඒකෙන් ම මැරිල යනවා. එක්කො මාරාන්තික වධ විඳිනවා. පින්වත් මහණෙනි, මේ ජීවිතේ දී ම අත්දකින්න ලැබෙන මේ දුක් ගොඩ කාමයන්ගේ ආදීනවය ම යි. කාමයන් නිසා ම යි, කාමයන් මුල් කරගෙන ම යි, කාම අවුලෙන් ම යි, කාමයන් හේතුකරගෙන ම යි මේ දුක් ගොඩ ඇතිවෙන්නෙ.
කාමයන්ගේ ආදීනව ගැන තවදුරටත් කියනවා නම් පින්වත් මහණෙනි, කාමයන් නිසා ම, කාමයන් මුල් කරගෙන ම, කාම අවුල නිසා ම, කාමයන් හේතු කරගෙන ම, මේ සත්වයන් කයින් වැරදි කරනවා. වචනයෙන් වැරදි කරනවා. මනසින් වැරදි කරනවා. ඔවුන් කයින් වැරදි කරලා, වචනයෙන් වැරදි කරලා, මනසින් වැරදි කරලා, අන්තිමේදී මැරිලා ගිහින් සැප රහිත දුගතිය නම් වූ නිරයේ උපදිනවා. පින්වත් මහණෙනි, පරලොවදී අත්දකින්න සිදුවන ඒ දුක් ගොඩ කාමයන්ගේ ආදීනවය ම යි. කාමයන් නිසා ම යි. කාමයන් මුල් කරගෙන ම යි. කාම අවුලෙන් ම යි. කාමයන් හේතු කොටගෙන ම යි මේ දුක් ගොඩ හටගන්නෙ.
පින්වත් මහණෙනි, කාමයන්ගෙන් නිදහස්වීම කියන්නෙ මොකක්ද? පින්වත් මහණෙනි, මේ කාමයන් ගැන තියෙන ආශාව දුරුකර ගැනීම ම යි. ආශාව ප්‍රහාණය කර ගැනීම ම යි. ඒක තමයි කාමයන්ගේ නිදහස් වීම.
පින්වත් මහණෙනි, යම්කිසි ශ්‍රමණයෙක් වේවා, බ්‍රාහ්මණයෙක් වේවා, කාමයන්ගේ ආශ්වාදය ආශ්වාදය වශයෙනුත්, ආදීනවය ආදීනවය වශයෙනුත්, නිදහස් වීම නිදහස් වීම වශයෙනුත් ඔය විදිහට යථාර්ථයෙන් ම අවබෝධ කළේ නැත්නම්, ඇත්තෙන් ම ඔවුන් කාමයන් ගැන තමන් අවබෝධ කරනවා කියල හෝ, කාමයන් ගැන අනුන්ට අවබෝධ කරවනවා කියලා හෝ යම් කිසි වැඩපිළිවෙලක් තුළින් කාමයන් ගැන අවබෝධ කර ගන්නවා ය කියන කරුණ හෝ සිද්ධ වෙන දෙයක් නම් නොවෙයි. නමුත් පින්වත් මහණෙනි, යම්කිසි ශ්‍රමණයෙක් වේවා, බ්‍රාහ්මණයෙක් වේවා, දැන් ඔය කියා දීපු විදිහට කාමයන්ගේ ආශ්වාදය ආශ්වාදය හැටියටත්, ආදීනවය ආදීනවය හැටියටත්, නිදහස් වීම නිදහස් වීම හැටියටත් යථාර්ථයෙන් ම අවබෝධ කරගත්තොත් ඇත්තෙන් ම ඔවුන් කාමයන් ගැන තමනුත් අවබෝධ කරනවා. අනුන්ටත් අවබෝධ කරවනවා. යම්කිසි වැඩපිළිවෙලක් තුළින් ඒ කාමයන් අවබෝධ කරගන්නවා ය යන කරුණ සිද්ධ වෙන්න පුළුවන් දෙයක්.
පින්වත් මහණෙනි, මේ රූපයේ ආශ්වාදය මොකක්ද? පින්වත් මහණෙනි, සිටු කුමරියක් හෝ, බ්‍රාහ්මණ කුමරියක් හෝ සාමාන්‍ය පවුලක කුමරියක් හෝ ඉන්නවා කියල හිතන්න. ඇය වයස අවුරුදු පහළොවක දහසයක විතර දැරිවියක්. ඈ ගොඩාක් උසත් නෑ. ගොඩාක් මිටිත් නෑ. ගොඩාක් කෙට්ටුත් නෑ. ගොඩාක් මහතත් නෑ. ගොඩාක් කළුත් නෑ. ගොඩාක් සුදුත් නෑ. පින්වත් මහණෙනි, ඇත්තෙන් ම ඒ දැරිවි හැබෑට ම ලස්සනයි කියල කියන්න සුදුසුයි නේද?”
“එහෙමයි ස්වාමීනී.”
“පින්වත් මහණෙනි, අන්න ඒ ලස්සන නිසා යම්කිසි සැපයක් සොම්නසක් ඇතිවෙනවා නම් ඒක තමයි රූපයේ ආශ්වාදය.
පින්වත් මහණෙනි, රූපයේ ආදීනවය මොකක්ද? ඒ දැරිවිව පස්සෙ කාලෙක දකින්න ලැබෙනවා අවුරුදු අසූවක් වෙලා, අවුරුදු අනූවක් වෙලා, අවුරුදු සීයක් වෙලා, ජරා ජීර්ණ වෙලා, වකුටු වෙලා, හැරමිටි ගහගෙන වෙව්ල වෙව්ල යනවා. ඇත්තෙන් ම දැන් ඈ ලෙඩෙක්. අර ලස්සන ඉවරයි. දත් කැඩිලා, කෙස් ඉදිලා, කෙස් වැටිලා, ඇඟ රැලි වැටිලා, ඉන්නො වගේ කලු පාට ලප හැදිලා, පින්වත් මහණෙනි, දැන් ඔබ මොකක්ද හිතන්නෙ? ඒ දැරිවිගෙ අර පරණ ලස්සන නැතිවෙලා ගිහින් ආදීනව මතු වුනා නේද?”
“පින්වත් මහණෙනි, මේකත් රූපයේ තියෙන ආදීනවයක්.
රූපයේ ආදීනව ගැන තවත් කියනවා නම්, පින්වත් මහණෙනි, දැන් ඒ දැරිවි ම දැකගන්න ලැබෙනවා මේ විදිහට. හොඳට ම ලෙඩ වෙලා, දුකට පත්වෙලා. තමන්ගේ ම මළ මූත්‍රා ගොඩේ වැටිලා. දැන් ඉතින් කවුරු හරි කෙනෙක් නැගිට්ටුවන්න ඕන. කවුරු හරි කෙනෙක් වාඩි කරවන්න ඕන. පින්වත් මහණෙනි, දැන් ඔබ මොකක්ද හිතන්නෙ? අර දැරිවිගේ තිබිච්ච අර පරණ ලස්සන අතුරුදහන් වෙලා ගිහින් ආදීනව මතු වුනා නේද?
“එහෙමයි ස්වාමීනී.”
“පින්වත් මහණෙනි, මේකත් රූපයේ තියෙන ආදීනවයක්.
රූපයේ ආදීනව ගැන තවත් කියනවා නම්, පින්වත් මහණෙනි, අර දැරිවි ම මැරිල අමු සොහොනෙ දාල ගිහින් තියෙනවා. දැන් ඒ මළ සිරුර එක දවසක් හෝ, දවස් දෙකක් හෝ, දවස් තුනක් හෝ කල් ගත වෙච්ච එකක්. ඉදිමිලා, නිල් වෙලා, සැරව හැදිල තියෙනවා. පින්වත් මහණෙනි, දැන් ඔබ මොකක්ද හිතන්නෙ? ඒ කාලෙ දැරිවියක් හැටියට සිටිද්දි ඇගේ තිබිච්ච රූප සෝභාව අතුරුදහන් වෙලා ආදීනව මතු වුනා නේද?”
“එහෙමයි ස්වාමීනී.”
“පින්වත් මහණෙනි, මේකත් රූපයේ තියෙන ආදීනවයක්.
රූපයේ ආදීනව ගැන තවත් කියනවා නම්, පින්වත් මහණෙනි, දැන් ඒ දැරිවි ම මැරිල අමුසොහොනෙ අත්හැරල දාල තියෙනවා. දැන් ඒ ශරීරය කාක්කො කන්න පටන් ගන්නවා. උකුස්සො කන්න පටන් ගන්නවා. ගිජුලිහිණියොත් කන්න පටන් ගන්නවා. බල්ලොත් කන්න පටන් ගන්නවා. හිවල්ලුත් කන්න පටන් ගන්නවා. එක එක ජාතියෙ සත්තුත් කන්න පටන් ගන්නවා. පින්වත් මහණෙනි, දැන් ඔබ මොකක්ද හිතන්නෙ? ඒ කාලෙ දැරිවියක් හැටියට සිටිද්දි ඇගේ තිබිච්ච රූපසෝභාව අතුරුදහන් වෙලා ආදීනව මතු වුනා නේද?”
“එහෙමයි ස්වාමීනී.”
“පින්වත් මහණෙනි, මේකත් රූපයේ තියෙන ආදීනවයක්.
රූපයේ ආදීනව ගැන තවත් කියනවා නම් පින්වත් මහණෙනි, දැන් ඒ දැරිවි ම මැරිල අමු සොහොනෙ අත්හැරලා දාලා තියෙනවා. දැන් ඒ ශරීරයේ නහර වැලින් බැඳිච්ච මස් ලේ ඇතිව ඇට සැකිල්ලක් වෙලා ….(පෙ)…. මස් නැති, ලේ තැවරුන, නහර වැලින් බැඳුන ඇට සැකිල්ලක් වෙලා ….(පෙ)…. මස් ලේ කොහෙත් ම නැති නහර වැලින් බැඳුණු ඇට සැකිල්ලක් වෙලා ….(පෙ)…. ඒ ඇට සැකිල්ලේ ඇට හැම තැන ම විසිරිලා, අත් ඇට එක පැත්තක, කකුල් ඇට තව පැත්තක, කෙණ්ඩා ඇට තව පැත්තක, කලවා ඇට තව පැත්තක, කොඳු ඇට තව පැත්තක, උකුල් ඇට තව පැත්තක, හිස් කබල තව පැත්තක. පින්වත් මහණෙනි, දැන් ඔබ මොකක්ද හිතන්නෙ? ඒ කාලෙ දැරිවියක් හැටියට සිටිද්දි ඇගේ තිබිච්ච රූප සෝභාව අතුරුදහන් වෙලා ආදීනව මතු වුනා නේද?”
“එහෙමයි ස්වාමීනී.”
“පින්වත් මහණෙනි, මේකත් රූපයේ තියෙන ආදීනවයක්.
රූපයේ ආදීනව ගැන තවත් කියනවා නම්, පින්වත් මහණෙනි, දැන් ඒ දැරිවි ම මැරිල අමු සොහොනෙ අත්හැරලා දාල තියෙනවා. හක් ගෙඩියේ පාටට සුදුපාට වෙච්ච ඇට ගොඩක් විතරයි තියෙන්නෙ ….(පෙ)…. ඒ ඇටත් අවුරුදු ගණනක් පරණ වෙලා කැඩිල ගිහිල්ල තියෙන්නෙ ….(පෙ)…. ඒ ඇටත් අන්තිමේදී කුඩු වෙලා පිටි බවට පත්වෙලා යනවා. පින්වත් මහණෙනි, දැන් ඔබ මොකක්ද හිතන්නෙ? ඒ කාලෙ දැරිවියක් හැටියට සිටිද්දි ඇගේ තිබිච්ච රූප සෝභාව අතුරුදහන් වෙලා ආදීනව මතුවුනා නේද?”
“එහෙමයි ස්වාමීනී.”
“පින්වත් මහණෙනි, මේකත් රූපයේ තියෙන ආදීනවයක්.
පින්වත් මහණෙනි, මේ රූපයෙන් නිදහස් වීම කියන්නේ මොකක්ද? පින්වත් මහණෙනි, මේ රූපය කෙරෙහි තියෙන ආශාව දුරු කරගැනීම ම යි. ආශාව ප්‍රහාණය කර ගැනීම ම යි. මේක තමයි රූපයෙන් නිදහස් වීම කියන්නෙ.
පින්වත් මහණෙනි, යම්කිසි ශ්‍රමණයෙක් වේවා, බ්‍රාහ්මණයෙක් වේවා, රූපයේ ආශ්වාදය ආශ්වාදය වශයෙනුත්, ආදීනවය ආදීනවය වශයෙනුත්, නිදහස් වීම නිදහස් වීම වශයෙනුත් ඔය විදිහට යථාර්ථයෙන් ම අවබෝධ කළේ නැත්නම්, ඇත්තෙන් ම ඔවුන් රූපය ගැන තමන් අවබෝධ කරනවා කියලා හෝ රූපය ගැන අනුන්ට අවබෝධ කරවනවා කියල හෝ යම්කිසි වැඩපිළිවෙලක් තුළින් රූපය අවබෝධ කරගන්නවා ය කියලා හෝ යන කරුණ හෝ සිද්ධ වෙන දෙයක් නම් නොවෙයි. නමුත් පින්වත් මහණෙනි, යම්කිසි ශ්‍රමණයෙක් වේවා, බ්‍රාහ්මණයෙක් වේවා, දැන් ඔය කියා දීපු විදිහට රූපයේ ආශ්වාදය ආශ්වාදය හැටියටත්, ආදීනවය ආදීනවය හැටියටත්, නිදහස් වීම නිදහස් වීම හැටියටත් යථාර්ථයෙන් ම අවබෝධ කරගත්තොත් ඇත්තෙන් ම ඔවුන් රූපය ගැන තමනුත් අවබෝධ කරගන්නවා. අනුන්ටත් අවබෝධ කරවනවා. යම්කිසි වැඩපිළිවෙලක් තුළ රූපය අවබෝධ කරගන්නවා ය කියන කරුණ සිද්ධ වෙන්න පුළුවන් දෙයක්.
පින්වත් මහණෙනි, වේදනාවන්ගේ ආශ්වාදය මොකක්ද? පින්වත් මහණෙනි, මෙහි භික්ෂුව කාමයෙන් වෙන්වෙලා, අකුසල් වලින් වෙන්වෙලා, විතර්ක විචාර සහිත, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති පළවෙනි ධ්‍යානය ඇතිව වාසය කරනවා. පින්වත් මහණෙනි, භික්ෂුව කාමයන්ගෙන් වෙන්වෙලා, අකුසල් වලින් වෙන්වෙලා, විතර්ක විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය, සැපය ඇති පළවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරන වෙලාවේදී තමන්ට පීඩාවක් කිරීමට හිතන්නෙ නෑ. අනුන්ට පීඩාවක් කරන්ටත් හිතන්නෙ නෑ. දෙපැත්තට ම පීඩාවක් කරන්න හිතෙන්නෙත් නෑ. ඒ නිසා ඒ වෙලාවෙදී ඔහු විඳින්නෙ පීඩා රහිත විඳීමක්. පින්වත් මහණෙනි, මම වේදනාවන්ගේ ආශ්වාදය හැටියට කියන්නෙ පීඩාවලින් තොර විඳීම ම අවසන් කොට ඇති දෙයයි.
වේදනාවේ ආශ්වාදය ගැන තවත් කියනවා නම් පින්වත් මහණෙනි, භික්ෂුව විතර්ක විචාර සංසිඳුවලා, අභ්‍යන්තර ජීවිතය තුළ චිත්තප්‍රසාදය ඇතිකරගෙන සිත වඩාත් එකඟ කරගෙන, විතර්ක විචාර නැති, සමාධියෙන් හටගත් ප්‍රීතියත්, සැපයත් ඇති දෙවන ධ්‍යානය ….(පෙ)…. තුන්වන ධ්‍යානය ….(පෙ)…. හතරවන ධ්‍යානයත් ලබාගෙන වාසය කරනවා. පින්වත් මහණෙනි, භික්ෂුව කායික සැප දුක නැතිව, මානසික සොම්නස් දොම්නස් කලින් ම අත්හැරලා, දුක් සැප රහිත, ඉතා පිරිසිදු සිහිය ඇති, උපේක්ෂාව තියෙන හතරවන ධ්‍යානයට පැමිණිලා වාසය කරන වෙලාවට ඔහු තමන්ට පීඩාවක් කරන්න හිතන්නෙ නෑ. අනුන්ට පීඩා කරන්න හිතන්නෙත් නෑ. දෙපැත්තට ම පීඩා කරන්න හිතන්නෙ නෑ. ඒ නිසා ඒ වෙලාවෙදී ඔහු විඳින්නෙ පීඩා රහිත විඳීමක්. පින්වත් මහණෙනි, මම වේදනාවන්ගේ ආශ්වාදය හැටියට කියන්නෙ පීඩා වලින් තොරව විඳීම ම අවසන් කොට ඇති දෙයයි.
පින්වත් මහණෙනි, වේදනාවේ තියෙන ආදීනවය මොකක්ද? පින්වත් මහණෙනි, මේ වේදනා අනිත්‍යයි, දුකයි, වෙනස් වන ස්වභාවයට අයිතියි. මේක තමයි වේදනාවේ තිබෙන ආදීනවය.
පින්වත් මහණෙනි, මේ වේදනාවෙන් නිදහස් වෙනවා කියන්නෙ මොකක්ද? පින්වත් මහණෙනි, මේ වේදනාව ගැන තියෙන ආශාව දුරු කර ගැනීම ම යි. ආශාව ප්‍රහාණය කරගැනීම ම යි. මේක තමයි වේදනාවෙන් නිදහස් වීම.
පින්වත් මහණෙනි, යම්කිසි ශ්‍රමණයෙක් වේවා, බ්‍රාහ්මණයෙක් වේවා, වේදනාවේ ආශ්වාදය ආශ්වාදය හැටියටත්, ආදීනවය ආදීනවය හැටියටත්, නිදහස් වීම නිදහස් වීම හැටියටත් ඔය විදිහට යථාර්ථයෙන් ම අවබෝධ කළේ නැත්නම්, ඇත්තෙන් ම ඔවුන් වේදනාව ගැන තමන් අවබෝධ කරනවා කියල හෝ වේදනා ගැන අනුන්ට අවබෝධ කරවනවා කියල හෝ යම්කිසි වැඩපිළිවෙලක් තුළින් වේදනා ගැන අවබෝධ කරගන්නවා ය කියන කරුණ සිද්ධ වෙන දෙයක් නම් නොවෙයි. නමුත් පින්වත් මහණෙනි, යම්කිසි ශ්‍රමණයෙක් වේවා, බ්‍රාහ්මණයෙක් වේවා, දැන් ඔය කියා දීපු විදිහට වේදනාවේ ආශ්වාදය ආශ්වාදය හැටියටත්, ආදීනවය ආදීනවය හැටියටත්, නිදහස් වීම නිදහස් වීම හැටියටත් යථාර්ථයක් වශයෙන් අවබෝධ කරගත්තොත් ඇත්තෙන් ම ඔවුන් වේදනාව ගැන තමනුත් අවබෝධ කරගන්නවා. අනුන්ටත් අවබෝධ කරවනවා. යම්කිසි වැඩපිළිවෙලක් තුළින් ඒ වේදනාවන් අවබෝධ කරගන්නවා ය යන කරුණ සිද්ධ වෙන්න පුළුවන් දෙයක්.
භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව වදාළා. ඒ භික්ෂූන් වහන්සේලා මේ දේශනාව ගැන ගොඩාක් සතුටු වුනා. භාග්‍යවතුන් වහන්සේ වදාළ දේශනාව සතුටින් පිළිගත්තා.
සාදු! සාදු!! සාදු!!!
දුක් ගොඩක් ගැන විස්තර වශයෙන් වදාළ දෙසුම නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn1_1-2-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M