මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. එදා ආයුෂ්මත් මහා චුන්දයන් වහන්සේ හැන්දෑවේ භාවනාවෙන් නැගිටලා, භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණුනා. භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොට එකත්පස්ව වාඩිවුනා. එකත්පස්ව වාඩිවුන ආයුෂ්මත් මහා චුන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මේ විදිහට ප්‍රකාශ කළා.
“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ආත්මය ගැන වාද ඇති කරගැනීම තුළින්, ලෝකය ගැන වාද ඇති කරගැනීම තුළින් විවිධාකාර ආකල්ප, දෘෂ්ටි මේ ලෝක සත්වයා තුළ හටගන්නවා. ඉතින් ස්වාමීනී, භික්ෂුවට නුවණින් සිහි කරන්න පටන් ගත්විට ඉස්සෙල්ලා ම නැති වෙන්නෙ ඔය දෘෂ්ටි නේද? දුරු වෙලා යන්නෙත් ඔය දෘෂ්ටි නේද?”
“පින්වත් චුන්ද, ආත්මය ගැන වාද ඇති කරගැනීම තුළින්, ලෝකය ගැන වාද ඇති කරගැනීම තුළින්, විවිධාකාර ආකල්ප, දෘෂ්ටි මේ ලෝක සත්වයා තුළ හටගන්නවා තමයි. ඉතින් ඔය දෘෂ්ටි උපදින්නේ යම් තැනක ද, ඔය දෘෂ්ටි කිඳා බැස තිබෙන්නෙ යම් තැනක ද, ඔය දෘෂ්ටි හැසිරෙන්නේ යම් තැනක ද, අන්න ඒ තැන ‘මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ’ කියල දියුණු කරපු ප්‍රඥාවෙන් යථාර්ථය ම දකින්න ඕන. එතකොට තමයි ඒ දෘෂ්ටි නැතිවෙලා යන්නෙ. එතකොට තමයි ඒ දෘෂ්ටි දුරු වෙන්නෙ.
පින්වත් චුන්ද, මේ විදිහේ දෙයක් දකින්න තියෙනවා. යම් භික්ෂුවකට පුළුවනි, කාමයන්ගෙන් වෙන් වෙලා, අකුසල් වලින් වෙන් වෙලා, විතර්ක විචාර පවතින, චිත්ත විවේකයෙන් ඇතිවුණු ප්‍රීතියත්, සැපයත් තියෙන පළවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරන්න. එතකොට ඔහු මෙහෙම හිතනවා. ‘මං තමයි නිකෙලෙස් ජීවිතයක් ගත කරන්නෙ’ කියලා. නමුත් පින්වත් චුන්ද, බුද්ධ ශාසනය තුළ ‘නිකෙලෙස් ජීවිතය’ කියන්නෙ ඕකට නොවෙයි. බුද්ධ ශාසනය තුළ ඕකට කියන්නෙ ‘මේ ජීවිතේ දී ම සුවසේ ඉන්නවා’ කියලා.
පින්වත් චුන්ද, මේ විදිහේ දේකුත් දකින්නට ලැබෙනවා. ඒ කියන්නෙ, යම් භික්ෂුවක් විතර්ක, විචාර සංසිඳවලා, තමන් තුළ ම ප්‍රසන්න භාවය ඇතිවුණු සිතින්, වඩාත් එකඟ වූ සිතින් විතර්ක, විචාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති දෙවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරන්න පුළුවනි. එතකොට ඔහුටත් මෙහෙම හිතෙනවා. ‘මං ගත කරන්නෙ නිකෙලෙස් ජීවිතයක්’ ය කියල. පින්වත් චුන්ද, බුද්ධ ශාසනය තුළ ඕකට ‘නිකෙලෙස් ජීවිතය’ කියල කියන්නෙ නෑ. බුද්ධ ශාසනය තුළ ඕකට කියන්නෙත් ‘මේ ජීවිතේ දී ම සුවසේ ඉන්නවා’ කියලා.
පින්වත් චුන්ද, මෙන්න මේ විදිහේ දේකුත් දකින්න ලැබෙනවා. මෙහි යම් භික්ෂුවක් ප්‍රීතිය ගැන ඇලෙන්නෙ නැතිව, උපේක්ෂාවෙන් යුක්තව, සිහි නුවණින් යුක්තව කයෙනුත් සමාධි සැපය විඳිනවා. ආර්යයන් වහන්සේලා ඒකට කිව්වේ ‘උපේක්ෂාවෙන් යුක්තව, සිහියෙන් යුක්තව, සැප සේ ඉන්නවා’ කියලා. අන්න ඒ තුන්වෙනි ධ්‍යානයටත් පැමිණ වාසය කරනවා. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා ‘මං ගත කරන්නෙ නිකෙලෙස් ජීවිතයක් ය’ කියලා. නමුත් පින්වත් චුන්ද, බුද්ධ ශාසනය තුළ නම් ඕකට කියන්නෙ ‘නිකෙලෙස් ජීවිතයක්’ කියල නොවෙයි. බුද්ධ ශාසනය තුළ ඕකට කියන්නෙ ‘මේ ජීවිතය තුළ දී ම සුවසේ ඉන්නවා’ කියලයි.
පින්වත් චුන්ද, මෙන්න මේ විදිහේ දේකුත් දකින්න ලැබෙනවා. මෙහි යම් භික්ෂුවක් සැප දුක දෙක ම නැති කරලා, මානසික සොම්නස් දොම්නස් දෙක කලින් ම අත්හැරලා, දුක සැප නැතිව ඉතා පිරිසිදු සිහියෙන් යුක්තව, උපේක්ෂාවෙන් යුක්තව හතර වෙනි ධ්‍යානයටත් පැමිණ වාසය කරනවා. එතකොට ඔහුටත් මෙහෙම හිතෙනවා. ‘මං ගත කරන්නෙ නිකෙලෙස් ජීවිතයක් ය’ කියල. නමුත් පින්වත් චුන්ද, බුද්ධ ශාසනය තුළ ඕකට කියන්නෙ ‘නිකෙලෙස් ජීවිතයක්’ කියල නම් නොවෙයි. බුද්ධ ශාසනය තුළ ඕකට කියන්නෙත් ‘මේ ජීවිතය තුළ දී ම සුවසේ ඉන්නවා’ කියලයි.
පින්වත් චුන්ද, මෙන්න මේ විදිහේ දේකුත් දකින්න ලැබෙනවා. මෙහි යම් භික්ෂුවක් රූප ගැන තියෙන සියලු සංඥා ඉක්ම යෑමෙන්, මානසිකව ඒ රූප ගැන ඇතිවෙන සියලු සංඥා නැති කිරීමෙන්, නොයෙක් සංඥාවන් සිහි නොකිරීමෙන්, ‘අනන්ත වූ ආකාසය’ කියල ‘ආකාසානඤ්චායතනය’ නම් වූ අරූප ධ්‍යානයටත් පැමිණ වාසය කරනවා. එතකොට ඔහුටත් මෙහෙම හිතෙනවා, ‘මං ගත කරන්නෙ නිකෙලෙස් ජීවිතයක් ය’ කියලා. නමුත් පින්වත් චුන්ද, බුද්ධ ශාසනය තුළ ඕකට ‘නිකෙලෙස් ජීවිතයක්’ කියල කියන්නෙ නෑ. බුද්ධ ශාසනය තුළ නම් ඕකට කියන්නෙ ‘ශාන්තව වාසය කරනවා’ කියලයි.
පින්වත් චුන්ද, මෙන්න මෙහෙම දේකුත් දකින්න ලැබෙනවා. මෙහි ඇතැම් භික්ෂුවක් ‘ආකාසානඤ්චායතන’ සමාධියත් සම්පූර්ණයෙන් ම ඉක්මවලා යනවා. ‘අනන්ත වූ විඤ්ඤාණය’ කියල (දැනෙන දෙය අනන්තයි කියල හිතමින් ඇති කරගන්න සමාධිය) විඤ්ඤාණඤ්චායතන සමාධියට පැමිණ වාසය කරනවා. එතකොට ඔහුටත් මෙහෙම හිතෙනවා. ‘මං ගත කරන්නෙ නිකෙලෙස් ජීවිතයක් ය’ කියලා. නමුත් පින්වත් චුන්ද, බුද්ධ ශාසනය තුළ ඕකට ‘නිකෙලෙස් ජීවිතය’ කියල කියන්නෙ නෑ. බුද්ධ ශාසනය තුළ ඕකට කියන්නෙ ‘ශාන්තව වාසය කරනවා’ කියලයි.
පින්වත් චුන්ද, මෙන්න මේ විදිහේ දේකුත් දකින්න ලැබෙනවා. ඇතැම් භික්ෂුවක් ‘විඤ්ඤාණඤ්චායතනය’ සම්පූර්ණයෙන් ම ඉක්මවා යෑමෙන්, ‘කිසිවක් නෑ’ කියල ආකිඤ්චඤ්ඤායතන සමාධිය ඇති කරගෙන වාසය කරනවා. එතකොට ඔහුටත් මෙහෙම හිතෙනවා. ‘මං ගත කරන්නෙ නිකෙලෙස් ජීවිතයක්’ කියලා. නමුත් පින්වත් චුන්ද, බුද්ධ ශාසනය තුළ ඕකට කියන්නෙ ‘නිකෙලෙස් ජීවිතය’ කියලා නොවෙයි. බුද්ධ ශාසනය තුළ ඕකට කියන්නෙ ‘ශාන්තව වාසය කරනවා’ කියලයි.
පින්වත් චුන්ද, මෙන්න මේ විදිහේ දේකුත් දකින්න ලැබෙනවා. මෙහි ඇතැම් භික්ෂුවක් ආකිඤ්චඤ්ඤායතන සමාධියත් සම්පූර්ණයෙන් ම ඉක්මවා යෑමෙන් ‘නේවසඤ්ඤානාසඤ්ඤායතන’ සමාධියට පැමිණ වාසය කරනවා. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා ‘මං ගත කරන්නේ නිකෙලෙස් ජීවිතයක්’ය කියලා. නමුත් පින්වත් චුන්ද, බුද්ධ ශාසනය තුළ නම් ඕකට කියන්නෙ ‘නිකෙලෙස් ජීවිතය’ කියලා නොවෙයි. බුද්ධ ශාසනය තුළ ඕකට කියන්නෙ ‘ශාන්තව වාසය කරනවා’ කියලයි.
පින්වත් චුන්ද, මේ බුදු සසුන තුළ ඔබ විසින් මේ අයුරිනුයි නිකෙලෙස් ජීවිතයක් ඇති කරගත යුත්තේ.
‘අනිත් උදවිය සත්ව හිංසාවේ යෙදෙන්න පුළුවනි. ඒ වුනාට අපි නම් සත්ව හිංසාවෙන් වැළකී ඉන්නවා’ කියල නිකෙලෙස් ජීවිතයක් ඇති කරගන්නට ඕන.
‘අනිත් උදවිය සත්ව ඝාතනයේ යෙදෙන්න පුළුවනි. ඒ වුනාට අපි නම් සත්ව ඝාතනයෙන් වැළකී ඉන්නවා’ කියල නිකෙලෙස් ජීවිතයක් ඇති කරගන්නට ඕන.
‘අනිත් උදවිය සොරකම් කරන්න පුළුවනි. ඒ වුනාට අපි නම් සොරකමින් වැළකී ඉන්නවා’ කියල නිකෙලෙස් ජීවිතයක් ඇති කරගන්න ඕන.
‘අනිත් උදවිය බඹසර සීලයෙන් තොරව ඉන්න පුළුවනි. ඒ වුනාට අපි නම් බ්‍රහ්මචාරීව ඉන්නවා’ කියල නිකෙලෙස් ජීවිතයක් ඇති කරගන්න ඕන.
‘අනිත් උදවිය බොරු කියන්න පුළුවනි. ඒ වුනාට අපි නම් බොරු කීමෙන් වැළකිලා ඉන්නවා’ කියල නිකෙලෙස් ජීවිතයක් ඇති කරගන්න ඕන.
‘අනිත් උදවිය කේළාම් කියන්න පුළුවනි. ඒ වුනාට අපි නම් කේළාම් කීමෙන් වැළකිලා ඉන්නවා’ කියල නිකෙලෙස් ජීවිතයක් ඇති කරගන්න ඕන.
‘අනිත් උදවිය හිත් රිදෙන විදිහේ නපුරු වචන කතා කරන්න පුළුවනි. ඒ වුනාට අපි නම් නපුරු වචන වලින් වැළකිලා ඉන්නවා’ කියල නිකෙලෙස් ජීවිතයක් ඇති කරගන්න ඕන.
‘අනිත් උදවිය වැඩකට නැති හිස් දේවල් ගැන කතා කරන්න පුළුවනි. ඒ වුනාට අපි නම් වැඩකට නැති හිස් දේවල් ගැන කතා කිරීමෙන් වැළකිලා ඉන්නවා’ කියල නිකෙලෙස් ජීවිතයක් ඇති කරගන්න ඕන.
‘අනිත් උදවිය අන් සතු දේවල් තමා සතු කරගැනීමට ලෝභ සිත් ඇතිව ඉන්න පුළුවනි. නමුත් අපි නම් අනුන් සතු දේවල් ගැන ලෝභ සිත් ඇති කර ගැනීමෙන් වැළකිලා ඉන්නවා’ කියල නිකෙලෙස් ජීවිතයක් ඇති කරගන්න ඕන.
‘අනිත් උදවිය ද්වේෂ සිත් ඇති කරගන්න පුළුවනි. ඒ වුනාට අපි නම් ද්වේෂ සිත් ඇති කර ගැනීමෙන් වැළකිලා ඉන්නවා’ කියල නිකෙලෙස් ජීවිතයක් ඇති කරගන්න ඕන.
‘අනිත් උදවිය මිථ්‍යා දෘෂ්ටික වෙන්න පුළුවනි. ඒ වුනාට අපි නම් සම්මා දිට්ඨියෙන් යුතුව ඉන්නවා’ කියල නිකෙලෙස් ජීවිතයක් ඇති කරගන්න ඕන.
‘අනිත් උදවිය මිථ්‍යා සංකල්ප ඇතිව ඉන්න පුළුවනි. ඒ වුනාට අපි නම් සම්මා සංකල්පනාවෙන් යුක්තව ඉන්නවා’ කියල නිකෙලෙස් ජීවිතයක් ඇති කරගන්න ඕන.
‘අනිත් උදවිය මිථ්‍යා වචන කතා කරන්න පුළුවනි. ඒ වුනාට අපි නම් සම්මා වාචා ඇති අය වෙනවා’ කියල නිකෙලෙස් ජීවිතයක් ඇති කරගන්න ඕන.
‘අනිත් උදවිය මිථ්‍යා කටයුතු වලින් යුක්ත වෙන්න පුළුවනි. ඒ වුනාට අපි නම් සම්මා කම්මන්තයෙන් යුතුව ඉන්නවා’ කියල නිකෙලෙස් ජීවිතයක් ඇති කරගන්න ඕන.
‘අනිත් උදවිය මිථ්‍යා ආජීවයෙන් ජීවත් වෙන්න පුළුවනි. ඒ වුණාට අපි නම් සම්මා ආජීවයෙන් ජීවත් වෙනවා’ කියල නිකෙලෙස් ජීවිතයක් ඇති කරගන්න ඕන.
‘අනිත් උදවිය මිථ්‍යා වීරියෙන් යුක්ත වෙන්න පුළුවනි. ඒ වුනාට අපි නම් සම්මා වායාමයෙන් යුක්තව ඉන්නවා’ කියල නිකෙලෙස් ජීවිතයක් ඇති කරගන්න ඕන.
‘අනිත් උදවිය මිථ්‍යා සිහියෙන් යුක්තව ඉන්න පුළුවනි. ඒ වුනාට අපි නම් සම්මා සතියෙන් යුක්තව ඉන්නවා’ කියල නිකෙලෙස් ජීවිතයක් ඇති කරගන්න ඕන.
‘අනිත් උදවිය මිථ්‍යා සමාධියෙන් යුක්තව ඉන්න පුළුවනි. ඒ වුනාට අපි නම් සම්මා සමාධියෙන් යුක්තව ඉන්නවා’ කියල නිකෙලෙස් ජීවිතයක් ඇති කරගන්න ඕන.
‘අනිත් උදවිය මිථ්‍යා ඤාණයකින් යුක්ත වෙන්න පුළුවනි. ඒ වුනාට අපි නම් සම්මා ඤාණයෙන් යුක්තව ඉන්නවා’ කියල නිකෙලෙස් ජීවිතයක් ඇති කරගන්න ඕන.
‘අනිත් උදවිය මිථ්‍යා විමුක්තියක් තුළ ඉන්න පුළුවනි. ඒ වුනාට අපි නම් සම්මා විමුක්තියක් තුළ ම ඉන්නවා’ කියල නිකෙලෙස් ජීවිතයක් ඇති කරගන්න ඕන.
‘අනිත් උදවිය නිදිමතෙනුත්, අලස බවෙනුත් ඉන්නට පුළුවනි. ඒ වුනාට අපි නම් නිදිමතින් හා අලස බවෙන් තොරව ඉන්නවා’ කියල නිකෙලෙස් ජීවිතයක් ඇති කරගන්න ඕන.
‘අනිත් උදවිය ආඩම්බරකමින් ඉන්න පුළුවනි. ඒ වුනාට අපි නම් ආඩම්බරකම් නැතුව ඉන්නවා’ කියල නිකෙලෙස් ජීවිතයක් ඇති කරගන්න ඕන.
‘අනිත් උදවිය සැකයෙන් ඉන්න පුළුවනි. ඒ වුනාට අපි නම් සැකයෙන් එතෙර වෙලා ඉන්නවා’ කියල නිකෙලෙස් ජීවිතයක් ඇති කරගන්න ඕන.
‘අනිත් උදවිය ක්‍රෝධ සිත් ඇතිව ඉන්න පුළුවනි. ඒ වුනාට අපි නම් ක්‍රෝධ සිතින් තොරව ඉන්නවා’ කියල නිකෙලෙස් ජීවිතයක් ඇති කරගන්න ඕන.
‘අනිත් උදවිය වෛර බැඳගන්නා ගතියෙන් ඉන්න පුළුවනි. ඒ වුනාට අපි නම් බද්ධ වෛරයෙන් තොරව ඉන්නවා’ කියල නිකෙලෙස් ජීවිතයක් ඇති කරගන්න ඕන.
‘අනිත් උදවිය ගුණමකුකමින් යුක්ත වෙන්න පුළුවනි. ඒ වුනාට අපි නම් ගුණමකු වෙන්නෙ නෑ’ කියල නිකෙලෙස් ජීවිතයක් ඇති කරගන්න ඕන.
‘අනිත් උදවිය එකට එක කරමින් ඉන්න පුළුවනි. ඒ වුනාට අපි නම් එකට එක කරන්නෙ නෑ’ කියල නිකෙලෙස් ජීවිතයක් ඇති කරගන්න ඕන.
‘අනිත් උදවිය ඉරිසියාවෙන් ඉන්න පුළුවනි. ඒ වුනාට අපි නම් ඉරිසියා කරන්නේ නෑ’ කියල නිකෙලෙස් ජීවිතයක් ඇති කරගන්න ඕන.
‘අනිත් උදවිය මසුරුකමින් ඉන්න පුළුවනි. ඒ වුනාට අපි නම් මසුරුකම් නැතුව ඉන්නවා’ කියල නිකෙලෙස් ජීවිතයක් ඇති කරගන්න ඕන.
‘අනිත් උදවිය කපටිකමින් ඉන්න පුළුවනි. ඒ වුනාට අපි නම් කපටිකම් නැතිව ඉන්නවා’ කියල නිකෙලෙස් ජීවිතයක් ඇති කරගන්න ඕන.
‘අනිත් උදවිය ගුණවතුන් හැටියට පෙනී සිටින්න පුළුවනි. ඒ වුනාට අපි නම් ඒ විදිහේ මායා නැතිව ඉන්නවා’ කියල නිකෙලෙස් ජීවිතයක් ඇති කරගන්න ඕන.
‘අනිත් උදවිය සාධාරණ කරුණු වලට එකඟ නොවී, දැඩිව ඉන්න පුළුවනි. ඒ වුනාට අපි නම් සාධාරණ කරුණු වලට එකඟව, මෘදු විදිහට ඉන්නවා’ කියල නිකෙලෙස් ජීවිතයක් ඇති කරගන්න ඕන.
‘අනිත් උදවිය මාන්නක්කාරකමින් ඉන්න පුළුවනි. ඒ වුනාට අපි නම් නිහතමානීව ඉන්නවා’ කියල නිකෙලෙස් ජීවිතයක් ඇති කරගන්න ඕන.
‘අනිත් උදවිය මුරණ්ඩුකමින් ඉන්න පුළුවනි. ඒ වුනාට අපි නම් කීකරුව ඉන්නවා’ කියල නිකෙලෙස් ජීවිතයක් ඇති කරගන්න ඕන.
‘අනිත් උදවිය පවිටු මිතුරන් ඇසුරු කරන්න පුළුවනි. ඒ වුනාට අපි නම් කල්‍යාණ මිත්‍ර ආශ්‍රයෙන් ඉන්නවා’ කියල නිකෙලෙස් ජීවිතයක් ඇති කරගන්න ඕන.
‘අනිත් උදවිය ප්‍රමාදීව ඉන්න පුළුවනි. ඒ වුනාට අපි නම් අප්‍රමාදීව ඉන්නවා’ කියල නිකෙලෙස් ජීවිතයක් ඇති කරගන්න ඕන.
‘අනිත් උදවිය ශ්‍රද්ධාවෙන් තොරව ඉන්න පුළුවනි. ඒ වුනාට අපි නම් ශ්‍රද්ධාවෙන් යුක්තව ඉන්නවා’ කියල නිකෙලෙස් ජීවිතයක් ඇති කරගන්න ඕන.
‘අනිත් උදවිය පව් කරන්න ලැජ්ජා නැති වෙන්න පුළුවනි. ඒ වුනාට අපි නම් පව් කරන්න ලැජ්ජා වෙනවා’ කියල නිකෙලෙස් ජීවිතයක් ඇති කරගන්න ඕන.
‘අනිත් උදවිය පව් කරන්න බය නැති වෙන්න පුළුවනි. ඒ වුනාට අපි නම් පව් කරන්න බය ඇතුව ඉන්නවා’ කියල නිකෙලෙස් ජීවිතයක් ඇති කරගන්න ඕන.
‘අනිත් උදවිය අල්ප වූ දහම් දැනුමක් ඇතුව ඉන්න පුළුවනි. ඒ වුනාට අපි නම් බොහෝ සේ අසන ලද දහම් දැනුමකින් යුක්ත වෙලා ඉන්නවා’ කියල නිකෙලෙස් ජීවිතයක් ඇති කරගන්න ඕන.
‘අනිත් උදවිය කම්මැලිකමෙන් ඉන්න පුළුවනි. ඒ වුනාට අපි නම් පටන් ගත් වීරියෙන් ම ඉන්නවා’ කියල නිකෙලෙස් ජීවිතයක් ඇති කරගන්න ඕන.
‘අනිත් උදවිය සිහි මුලා වෙලා ඉන්න පුළුවනි. ඒ වුනාට අපි නම් හොඳ හැටියට සිහිය පිහිටුවා ගෙන ඉන්නවා’ කියල නිකෙලෙස් ජීවිතයක් ඇති කරගන්න ඕන.
‘අනිත් උදවිය ප්‍රඥාවක් නැතිව ඉන්න පුළුවනි. ඒ වුනාට අපි නම් ප්‍රඥාවෙන් යුතුව ඉන්නවා’ කියල නිකෙලෙස් ජීවිතයක් ඇති කරගන්න ඕන.
‘අනිත් උදවිය තමන් ගත් වැරදි දෘෂ්ටියට බැඳිලා එය දැඩි කොට ගෙන අත්හැර ගන්න බැරුව ඉන්න පුළුවනි. ඒ වුනාට අපි නම් වැරදි දෘෂ්ටි වලට බැඳෙන්නෙ නැතිව, ඒ දෘෂ්ටි ඕනෑ ම මොහොතක අත්හරින්න පුළුවන් විදිහට ඉන්නවා’ කියල නිකෙලෙස් ජීවිතයක් ඇතිකරගන්න ඕන.
පින්වත් චුන්ද, කුසල් දහම් වඩන්න සිතක් ඇති කරගැනීම පවා ගොඩාක් උපකාර වෙනවා කියලයි මං කියන්නෙ. ඉතිං එහෙම නම් කයින්, වචනයෙන් කුසල් සිද්ධ කිරීමෙන් වෙන යහපත ගැන කතා කරන්න දෙයක් තියෙනවා ද?
පින්වත් චුන්ද, අන්න ඒ නිසා ‘අනිත් උදවිය සතුන්ට හිංසා කරන්න පුළුවනි. ඒ වුනාට අපි නම් සත්ව හිංසාවෙන් තොර වෙලා ඉන්නවා’ කියල සිතක් උපදවා ගන්න ඕන. ‘අනිත් උදවිය ප්‍රාණඝාත කරන්න පුළුවනි, ඒ වුනාට අපි නම් ප්‍රාණඝාතයෙන් වැළකී ඉන්නවා’ කියල සිතක් උපදවා ගන්න ඕන ….(පෙ)…. ‘අනිත් උදවිය වැරදි දෘෂ්ටි වලට බැඳිල අත්හැරගන්න බැරිව ඉන්න පුළුවනි. ඒ වුනාට අපි නම් වැරදි දෘෂ්ටි වලට බැඳෙන්නෙ නැතිව ඕන ම මොහොතක දෘෂ්ටීන් අත්හරින්න පුළුවන් විදිහට ඉන්නවා’ කියල සිතක් උපදවා ගන්න ඕන.
පින්වත් චුන්ද, ඒක මෙන්න මේ වගේ දෙයක්. භයානක මාර්ගයක් තියෙනවා කියල හිතමු. නමුත් ඒ මාර්ගය අත්හැර යන්න පුළුවන් වෙන යහපත් මාර්ගයකුත් තියෙනවා. ඒ වගේ ම පින්වත් චුන්ද, භයානක තොටුපොලක් තියෙනවා කියල හිතමු. ඒ තොටුපොල මගහැරල යන්න වෙන හොඳ තොටුපොලකුත් තියෙනවා වගෙයි.
පින්වත් චුන්ද, ඔන්න ඔය විදිහට ම යි සතුන්ට හිංසා කරන කෙනෙකුට එයින් මගහැරල යන්නයි අවිහිංසාව තියෙන්නෙ. ප්‍රාණඝාත කරන කෙනෙකුට එයින් මගහැරල යන්නයි ප්‍රාණඝාතයෙන් වැළකීම තියෙන්නෙ. සොරකම් කරන කෙනෙකුට එයින් මගහැරල යන්නයි, සොරකමින් වැළකීම තියෙන්නෙ. අබ්‍රහ්මචාරී කෙනෙකුට එයින් මගහැරල යන්නයි බඹසර ජීවිතය තියෙන්නෙ. බොරු කියන කෙනෙකුට එයින් මගහැරල යන්නයි බොරු කීමෙන් වැළකීම තියෙන්නෙ. කේළාම් කියන කෙනෙකුට එයින් මගහැරල යන්නයි කේළමෙන් වැළකීම තියෙන්නෙ. පරුෂ වචන කියන කෙනෙකුට එයින් මගහැරල යන්නයි පරුෂ වචන කීමෙන් වැළකීම තියෙන්නෙ. වැඩකට නැති කතා කියන කෙනෙකුට එයින් මගහැරල යන්නයි හිස් වචනයෙන් වැළකීම තියෙන්නෙ. අන්සතු දෙයට ලෝභ කරන කෙනෙකුට එයින් මගහැරල යන්නයි ලෝභ නැතිකම තියෙන්නෙ. තරහ සිත් තියෙන කෙනෙකුට එයින් මගහැරල යන්නයි තරහ සිත් නැති බව තියෙන්නෙ.
මිථ්‍යා දෘෂ්ටිය තියෙන කෙනෙකුට එයින් මගහැරල යන්නයි සම්මා දිට්ඨිය තියෙන්නෙ. මිථ්‍යා සංකල්ප තියෙන කෙනෙකුට එයින් මගහැරල යන්නයි සම්මා සංකල්ප තියෙන්නෙ. මිථ්‍යා වචන තියෙන කෙනෙකුට එයින් මගහැරල යන්නයි සම්මා වචන තියෙන්නෙ. මිථ්‍යා කටයුතු තියෙන කෙනෙකුට එයින් මගහැරල යන්නයි සම්මා කටයුතු තියෙන්නෙ. මිථ්‍යා ආජීවය තියෙන කෙනෙකුට එයින් මගහැරල යන්නයි සම්මා ආජීවය තියෙන්නෙ. මිථ්‍යා වීරිය තියෙන කෙනෙකුට එයින් මගහැරල යන්නයි සම්මා වායාම තියෙන්නෙ. මිථ්‍යා සිහිය තියෙන කෙනෙකුට එයින් මගහැරල යන්නයි සම්මා සතිය තියෙන්නෙ. මිථ්‍යා සමාධිය තියෙන කෙනෙකුට එයින් මගහැරල යන්නයි සම්මා සමාධිය තියෙන්නෙ. මිථ්‍යා ඤාණය තියෙන කෙනෙකුට එයින් මගහැරල යන්නයි සම්මා ඤාණය තියෙන්නෙ. මිථ්‍යා විමුක්ති තියෙන කෙනෙකුට එයින් මගහැරල යන්නයි සම්මා විමුක්ති තියෙන්නෙ.
නිදිමතින් හා අලසකමින් දුක් විඳින කෙනෙකුට එයින් මගහැරල යන්නයි නිදිමත හා අලස බව නැතිකම තියෙන්නෙ. ආඩම්බරකාරකම තියෙන කෙනෙකුට එයින් මගහැරල යන්නයි ආඩම්බර නැතිකම තියෙන්නෙ. සැකය තියෙන කෙනෙකුට එයින් මගහැරල යන්නයි සැකයෙන් එතෙර වීම තියෙන්නෙ. ක්‍රෝධ කරන කෙනෙකුට එයින් මගහැරල යන්නයි ක්‍රෝධ නැති බව තියෙන්නෙ. වෛර බැඳගන්න කෙනෙකුට එයින් මගහැරල යන්නයි බද්ධ වෛර නැතිකම තියෙන්නෙ. ගුණමකු කෙනෙකුට එයින් මගහැරල යන්නයි ගුණමකු රහිත බව තියෙන්නෙ. එකට එක කරන කෙනෙකුට එයින් මගහැරල යන්නයි එකටෙක නොකිරීම තියෙන්නෙ. ඉරිසියා කරන කෙනෙකුට එයින් මගහැරල යන්නයි ඉරිසියා නැති බව තියෙන්නෙ. මසුරු කෙනෙකුට එයින් මගහැරල යන්නයි මසුරු නැති බව තියෙන්නෙ. කපටි කෙනෙකුට එයින් මගහැරල යන්නයි කපටි නැති බව තියෙන්නෙ. ගුණවතුන් ලෙස පෙනී සිටින කෙනෙකුට එයින් මගහැරල යන්නයි මායා නැති බව තියෙන්නෙ. සාධාරණ කරුණු ඉදිරියේ නොනැමෙන කෙනාට එයින් මගහැරල යන්නයි සාධාරණ කරුණු ඉදිරියේ අවනත වීම තියෙන්නෙ. මාන්නක්කාර කෙනෙකුට එයින් මගහැරල යන්නයි නිහතමානීකම තියෙන්නෙ. අකීකරු කෙනෙකුට එයින් මගහැරල යන්නයි කීකරුකම තියෙන්නෙ. පවිටු මිතුරන් ඉන්න කෙනෙකුට එයින් මගහැරල යන්නයි කල්‍යාණ මිත්‍ර ආශ්‍රය තියෙන්නෙ. ප්‍රමාදී කෙනාට එයින් මගහැරල යන්නයි අප්‍රමාදීකම තියෙන්නෙ.
ශ්‍රද්ධාව නැති කෙනාට එයින් මගහැරල යන්නයි ශ්‍රද්ධාව තියෙන්නෙ. පව් කරන්න ලැජ්ජා නැති කෙනාට එයින් මගහැරල යන්නයි පවට ලැජ්ජා ඇති බව තියෙන්නෙ. පව් කරන්න බය නැති කෙනාට එයින් මගහැරල යන්නයි පවට බය ඇති බව තියෙන්නෙ. අල්ප දහම් දැනුම ඇති කෙනාට එයින් මගහැරල යන්නයි බොහෝ සේ අසන ලද දහම් දැනුම තියෙන්නෙ. කම්මැලි කෙනාට එයින් මගහැරල යන්නයි පටන් ගත්ත වීරිය තියෙන්නෙ. සිහිමුලා වූ කෙනාට එයින් මගහැරල යන්නයි සිහිය පිහිටුවා ගැනීම තියෙන්නෙ. ප්‍රඥාව නැති කෙනාට එයින් මගහැරල යන්නයි ප්‍රඥාසම්පත්තිය තියෙන්නෙ. වැඩකට නැති දෘෂ්ටි වලට බැඳිල අත්හැරගන්න බැරුව ඉන්න කෙනෙකුට එයින් මගහැරල යන්නයි දෘෂ්ටි වලට නොබැඳීමත්, පහසුවෙන් අත්හැරීමත් තියෙන්නෙ.
පින්වත් චුන්ද, ඒක හරියට මෙන්න මේ වගේ දෙයක්. යම් තාක් අකුසල් තියෙනවා නම්, ඒ අකුසල් ඔක්කොම තියෙන්නෙ කෙනෙක්ව පහළට ඇදල දාන්නයි. නමුත් යම්තාක් කුසල් දහම් තියෙනවා නම්, ඒ කුසල් දහම් ඔක්කොම තියෙන්නෙ කෙනෙක්ව ශ්‍රේෂ්ඨත්වයට පත් කරවන්නටයි.
පින්වත් චුන්ද, ඔන්න ඔය විදිහ ම යි, සතුන්ට හිංසා කරන කෙනෙකුට ශ්‍රේෂ්ඨත්වය ලබා දෙන්නයි අහිංසාව තියෙන්නෙ. ප්‍රාණඝාතය කරන කෙනෙකුට ශ්‍රේෂ්ඨත්වය ලබා දෙන්නයි ප්‍රාණඝාතයෙන් වැළකීම තියෙන්නෙ ….(පෙ)…. දෘෂ්ටි වලට බැඳිල අත්හැරගන්න බැරුව ඉන්න කෙනෙකුට ශ්‍රේෂ්ඨත්වය ලබා දෙන්නයි වැඩකට නැති දෘෂ්ටි වලට බැඳෙන්නෙ නැතිව, ඒවා අත්හැරීම තියෙන්නෙ.
පින්වත් චුන්ද, ඇත්තෙන් ම තමන් මඩේ එරිල සිටිද්දි, මඩේ එරිල ඉන්න තවත් කෙනෙක්ව තමන් විසින් ගොඩගන්නවා කියන එක සිද්ධ වෙන්ට පුළුවන් දෙයක් නම් නොවෙයි. ඒ වගේ ම පින්වත් චුන්ද, තමන් මඩේ එරිල හිටියේ නැත්නම් මඩේ එරුණු අනිත් උදවියව ගොඩට ගන්න පුළුවන් යන කරුණ සිදුවිය හැකි දෙයක්. පින්වත් චුන්ද, ඇත්තෙන් ම තමන් දමනය නොවී, තමන් නොහික්මී, තමන් නොපිරිනිවී, අනිත් උදවිය දමනය කරනවා ය, හික්මවනවා ය, පිරිනිවන්පාන්නට සළස්වනවා ය යන කරුණ සිද්ධ වෙන්න පුළුවන් දෙයක් නොවෙයි. ඒ වගේ ම පින්වත් චුන්ද, තමන් දමනය වෙලා, තමන් හික්මිලා, තමන් පිරිනිවීමට පත්වෙලා, අනිත් උදවිය දමනය කරනවා ය, හික්මවනවා ය, පිරිනිවන්පාන්න සළස්වනවා ය යන කරුණ සිද්ධ වෙන දෙයක්.
පින්වත් චුන්ද, ඔන්න ඔය වගේ ම යි සතුන්ට හිංසා කරන කෙනෙකුට පිරිනිවන්පාන්නටයි අහිංසාව තියෙන්නෙ. ප්‍රාණඝාත කරන කෙනෙකුට පිරිනිවන්පාන්නටයි ප්‍රාණඝාතයෙන් වැළකීම තියෙන්නෙ. සොරකම් කරන කෙනෙකුට පිරිනිවන්පාන්නටයි සොරකමින් වැළකීම තියෙන්නෙ. අබ්‍රහ්මචාරී කෙනෙකුට පිරිනිවන්පාන්නටයි බ්‍රහ්මචාරී ජීවිතය තියෙන්නෙ. බොරු කියන කෙනෙකුට පිරිනිවන්පාන්නටයි බොරුවෙන් වැළකීම තියෙන්නෙ. කේළාම් කියන කෙනෙකුට පිරිනිවන්පාන්නටයි කේළමින් වැළකීම තියෙන්නෙ. නපුරු වචන කියන කෙනෙකුට පිරිනිවන්පාන්නටයි නපුරු වචන කීමෙන් වැළකීම තියෙන්නෙ. වැඩකට නැති බොළඳ කතා කියන කෙනෙකුට පිරිනිවන්පාන්නටයි හිස් වචන වලින් වෙන්වීම තියෙන්නෙ. අනුන්ගේ දෙයට ලෝභ සිත් ඇතිකර ගන්න කෙනෙකුට පිරිනිවන්පාන්නටයි ලෝභ නැතිකම තියෙන්නෙ. තරහ සිත් ඇති කෙනෙකුට පිරිනිවන්පාන්නටයි තරහ සිත් නැති බව තියෙන්නෙ.
මිථ්‍යා දෘෂ්ටි ඇති කෙනෙකුට පිරිනිවන්පාන්නටයි සම්මා දිට්ඨිය තියෙන්නෙ. මිථ්‍යා සංකල්ප ඇති කෙනෙකුට පිරිනිවන්පාන්නටයි සම්මා සංකල්ප තියෙන්නෙ. මිථ්‍යා වචන ඇති කෙනෙකුට පිරිනිවන්පාන්නටයි සම්මා වචන තියෙන්නෙ. මිථ්‍යා කටයුතු ඇති කෙනෙකුට පිරිනිවන්පාන්නටයි සම්මා කම්මන්ත තියෙන්නෙ. මිථ්‍යා ආජීවය ඇති කෙනෙකුට පිරිනිවන්පාන්නටයි සම්මා ආජීවය තියෙන්නෙ. මිථ්‍යා වීරිය ඇති කෙනෙකුට පිරිනිවන්පාන්නටයි සම්මා වායාමය තියෙන්නෙ. මිථ්‍යා සිහිය ඇති කෙනෙකුට පිරිනිවන්පාන්නටයි සම්මා සතිය තියෙන්නෙ. මිථ්‍යා සමාධිය ඇති කෙනෙකුට පිරිනිවන්පාන්නටයි සම්මා සමාධිය තියෙන්නෙ. මිථ්‍යා ඤාණ ඇති කෙනෙකුට පිරිනිවන්පාන්නටයි සම්මා ඤාණ තියෙන්නෙ. මිථ්‍යා විමුක්ති ඇති කෙනෙකුට පිරිනිවන්පාන්නටයි සම්මා විමුක්ති තියෙන්නෙ.
නිදිමතින් හා අලසකමින් දුක් විඳින කෙනෙකුට පිරිනිවන්පාන්නටයි නිදිමතින් හා අලස බවින් තොරවීම තියෙන්නෙ. ආඩම්බරකාර කෙනෙකුට පිරිනිවන්පාන්නටයි ආඩම්බර නැතිබව තියෙන්නෙ. සැක තියෙන කෙනෙකුට පිරිනිවන්පාන්නටයි සැකයෙන් එතෙරවීම තියෙන්නෙ. ක්‍රෝධ කරන කෙනෙකුට පිරිනිවන්පාන්නටයි ක්‍රෝධ නැතිබව තියෙන්නෙ. වෛර බඳින කෙනෙකුට පිරිනිවන්පාන්නටයි බද්ධ වෛර නැතිබව තියෙන්නෙ. ගුණමකු කෙනෙකුට පිරිනිවන්පාන්නටයි ගුණමකු නැතිබව තියෙන්නෙ. එකට එක කරන කෙනෙකුට පිරිනිවන්පාන්නටයි එකටෙක නොකිරීම තියෙන්නෙ. ඉරිසියා කරන කෙනෙකුට පිරිනිවන්පාන්නටයි ඉරිසියා නැති බව තියෙන්නෙ. මසුරු කෙනෙකුට පිරිනිවන්පාන්නටයි මසුරු නැති බව තියෙන්නෙ. කපටි කෙනෙකුට පිරිනිවන්පාන්නටයි කපටි නැති බව තියෙන්නෙ. නැති ගුණ පෙන්නා සිටින කෙනෙකුට පිරිනිවන්පාන්නටයි මායා නැති බව තියෙන්නෙ. සාධාරණ කරුණු ඉදිරියේ එකඟ නොවී දැඩිව ඉන්න කෙනෙකුට පිරිනිවන්පාන්නටයි සාධාරණ කරුණු ඉදිරියේ අවනත වීම තියෙන්නෙ. මාන්නක්කාර කෙනෙකුට පිරිනිවන්පාන්නටයි නිහතමානීකම තියෙන්නෙ. අකීකරු කෙනෙකුට පිරිනිවන් පාන්නටයි කීකරුකම තියෙන්නෙ. පවිටු මිතුරන් ගේ ඇසුර තියෙන කෙනෙකුට පිරිනිවන්පාන්නටයි කල්‍යාණ මිත්‍ර ආශ්‍රය තියෙන්නෙ. ප්‍රමාදී කෙනාට පිරිනිවන්පාන්නටයි අප්‍රමාදය තියෙන්නෙ.
ශ්‍රද්ධාව නැති කෙනෙකුට පිරිනිවන්පාන්නටයි ශ්‍රද්ධාව තියෙන්නෙ. පව් කරන්න ලැජ්ජා නැති කෙනෙකුට පිරිනිවන්පාන්නටයි පවට ලැජ්ජා ඇති බව තියෙන්නෙ. පව් කරන්නට බය නැති කෙනාට පිරිනිවන්පාන්නටයි පවට බය ඇති බව තියෙන්නෙ. අල්ප දහම් දැනුම ඇති කෙනාට පිරිනිවන්පාන්නටයි බොහෝ සේ අසන ලද දහම් දැනුම තියෙන්නෙ. කම්මැලි කෙනාට පිරිනිවන්පාන්නටයි පටන් ගත් වීරිය තියෙන්නෙ. සිහිමුලා වූ කෙනාට පිරිනිවන්පාන්නටයි සිහිය පිහිටුවා ගැනීම තියෙන්නෙ. ප්‍රඥාව නැති කෙනෙකුට පිරිනිවන්පාන්නටයි ප්‍රඥාසම්පත්තිය තියෙන්නෙ. වැඩකට නැති දෘෂ්ටි වලට බැඳිලා, අත්හැර ගන්නට බැරුව ඉන්න කෙනෙකුට පිරිනිවන්පාන්නටයි වැඩකට නැති දෘෂ්ටි වලට නොබැඳීමත්, පහසුවෙන් අත්හැරීමත් තියෙන්නෙ.
පින්වත් චුන්ද, ඔන්න මං දැන් නිකෙලෙස් ජීවිතය ගැන කියල දුන්නා. උතුම් සිතක් උපදවා ගැනීම ගැනත් කියල දුන්නා. ඒ වගේ ම වැරදි පාර අත්හැරල හරි පාරට වැටෙන හැටිත් කියල දුන්නා. ඒ වගේ ම ශ්‍රේෂ්ඨත්වයට පත්වෙන හැටිත් කියල දුන්නා. ඒ වගේ ම පිරිනිවන්පාන්නට ඕන කරන දේත් කියල දුන්නා.
පින්වත් චුන්ද, ශ්‍රාවකයින්ට ආදරේ ඇති, ශ්‍රාවකයන් ගැන අනුකම්පා ඇති ශාස්තෘන් වහන්සේ නමක් අනුකම්පාවෙන් යමක් කළ යුතු නම්, අන්න ඒ දෙය මං ඔබට කරල තියෙනවා. පින්වත් චුන්ද, ඔය තියෙන්නෙ ගස් සෙවණ. ඔය තියෙන්නෙ පාළු තැන්, පින්වත් චුන්ද, දැන් ඉතින් භාවනා කරන්න. ප්‍රමාද වෙන්න එපා. දැන් ප්‍රමාද වෙලා අන්තිමේ දී පසුතැවෙන්න එපා. මට ඔබ වෙනුවෙන් අනුශාසනා කරන්න තියෙන්නෙ ඔච්චරයි.”
ශාස්තෘන් වහන්සේ මේ අසිරිමත් දෙසුම වදාළා. ආයුෂ්මත් මහා චුන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ දෙසුම ගැන සතුටු වුනා. සාදු නාද නංවමින් ඉතා සතුටින් පිළිගත්තා.
“හතළිස් හතර ආකාරයකින් දහම් පද වදාරණ ලදී. ඒ දහම් පද කරුණු පහකට ගොනු කොට වදාරණ ලදී. මේ නිකෙලෙස් ජීවිතය නමින් වදාළ දෙසුම මහා සාගරයක් සේ පරම ගම්භීර ය.”
නිකෙලෙස් ජීවිතයක් ගැන වදාළ දෙසුම නිමා විය.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn1_1-1-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M