මා හට අසන්නට ලැබුනේ මේ විදිහට යි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. එදා භාග්‍යවතුන් වහන්සේ “පින්වත් මහණෙනි” කියල භික්ෂුසංඝයා ඇමතුවා. “පින්වතුන් වහන්ස” කියල ඒ භික්ෂූන් වහන්සේලාත් භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. ඒ මොහොතේ දී තමයි භාග්‍යවතුන් වහන්සේ මේ දෙසුම වදාළේ.
“පින්වත් මහණෙනි, කිලුටු වෙලා, අපිරිසිදු වෙච්ච ඇඳුමක් තියෙනවා කියල හිතමු. ඉතින් රෙදිවලට සායම් පොවන කෙනෙක් හිතනවා ඒ ඇඳුමට සායම් පොවන්න ඕන කියලා. එහෙම හිතලා නිල් පාට හරි, කහ පාට හරි, රතුපාට හරි, මදටිය පාට හරි සායම් තියෙන භාජනයක ඒ ඇඳුම දානවා. ඇත්තෙන් ම ඒ ඇඳුමට ලස්සනට සායම් අල්ලන්නේ නෑ. අවලස්සන පාටක් ම යි ඇතිවෙන්නෙ. ඇයි එහෙම වෙන්නෙ?
පින්වත් මහණෙනි, ඒක එහෙම වෙන්නෙ ඒ ඇඳුම අපිරිසිදු එකක් නිසා. පින්වත් මහණෙනි, අන්න ඒ විදිහම යි සිතක් වුනත් කිලුටු වෙලා ගියොත් කැමති වෙන්න තියෙන්නේ දුගතියේ උපතක් ම තමයි.
පින්වත් මහණෙනි, හොඳ පිරිසිදුවට බබලන ඇඳුමක් තියෙනවා කියල හිතමු. ඉතින් රෙදි වලට සායම් පොවන කෙනෙක් හිතනවා ඒ ඇඳුමට සායම් පොවන්න ඕන කියලා. එහෙම හිතල නිල් පාට හරි, කහ පාට හරි, රතුපාට හරි, මදටිය පාට හරි සායම් තියෙන භාජනයකට ඒ ඇඳුම දානවා. එතකොට ඒ ඇඳුමට හොඳට සායම් අල්ලනවා. ලස්සනට පාට වෙනවා. පිරිසිදු පාටකට හැරෙනවා. ඇයි එහෙම වෙන්නෙ?
පින්වත් මහණෙනි, ඒක එහෙම වෙන්නෙ, ඒ ඇඳුම පිරිසිදු එකක් නිසා. පින්වත් මහණෙනි, අන්න ඒ විදිහට ම යි සිතක් වුනත් කිලුටු වෙලා නැත්නම් කැමති වෙන්න තියෙන්නෙ සැප තියෙන ලෝකයක ඉපදීමක් තමයි.
පින්වත් මහණෙනි, මොනවයින් ද සිතක් කිලුටු වෙන්නෙ? තමන් සතු දේ තමා ළඟම තබා ගන්නටත්, අනුන් සතු දේ තමන් සතු කරගන්නටත් ලෝභකම ඇතිවෙනවා. අන්න ඒක සිතට කිලුටක්. ද්වේෂය ඇතිවෙනවා. අන්න ඒකත් සිතට කිලුටක්. ක්‍රෝධය ඇතිවෙනවා. අන්න ඒකත් සිතට කිලුටක්. වෛර බැඳගැනීම ඇතිවෙනවා. අන්න ඒකත් සිතට කිලුටක්. අනුන්ගේ ගුණවත්කම මතුවෙද්දී එය යටපත් කොට මකලා දානවා. අන්න ඒකත් සිතට කිලුටක්. එකට එක කරනවා. අන්න ඒකත් සිතට කිලුටක්. ඉරිසියාව ඇතිවෙනවා. අන්න ඒකත් සිතට කිලුටක්. තමන්ගේ දෙයක් තව කෙනෙක් පාවිච්චි කරනවට අකැමති මසුරුකම ඇතිවෙනවා. අන්න ඒකත් සිතට කිලුටක්. ගුණවතුන් හැටියට පෙනී ඉන්නවා. අන්න ඒකත් සිතට කිලුටක්. කපටිකම ඇතිවෙනවා. අන්න ඒකත් සිතට කිලුටක්. සාධාරණ අදහස්වලට විරුද්ධව දැඩිව ඉන්නවා. අන්න ඒකත් සිතට කිලුටක්. තරඟයට වැඩකරනවා. අන්න ඒකත් සිතට කිලුටක්. අහංකාරකමින් ඉන්නවා. අන්න ඒකත් සිතට කිලුටක්. අධික අහංකාරකමින් ඉන්නවා. අන්න ඒකත් සිතට කිලුටක්. හිතට අරගෙන ඉදිමිලා ඉන්නවා. අන්න ඒකත් සිතට කිලුටක්. බාහිර කටයුතු පෙරට ගෙන ධර්මයේ හැසිරීම ප්‍රමාද කරනවා. අන්න ඒකත් සිතට කිලුටක්.
පින්වත් මහණෙනි, ඒ භික්ෂුව තමන් සතු දේ ගැනත්, අනුන් සතු දේ ගැනත් ඇතිවෙන ලෝභකම නම් වූ අභිජ්ඣා විෂම ලෝභය සිත කිලුටු කරවන උපක්ලේශයක් බව අවබෝධ කරගෙන, සිත කිලුටු කරවන ඒ අභිජ්ඣා විෂම ලෝභය අත්හරිනවා. ද්වේෂය සිත කිලුටු කරවන උපක්ලේශයක් බව අවබෝධ කරගෙන, සිත කිලුටු කරවන ඒ ව්‍යාපාදය අත්හරිනවා. ක්‍රෝධය සිත කිලුටු කරවන උපක්ලේශයක් බව අවබෝධ කරගෙන, සිත කිලුටු කරවන ඒ ක්‍රෝධය අත්හරිනවා. වෛර බැඳ ගැනීම සිත කිලුටු කරවන උපක්ලේශයක් බව අවබෝධ කරගෙන, සිත කිලුටු කරවන ඒ බද්ධ වෛරය අත්හරිනවා. ගුණමකුකම සිත කිලුටු කරවන උපක්ලේශයක් බව අවබෝධ කරගෙන, සිත කිලුටු කරවන ඒ ගුණමකුකම අත්හරිනවා. එකට එක කිරීම සිත කිලුටු කරවන උපක්ලේශයක් බව අවබෝධ කරගෙන, සිත කිලුටු කරවන ඒ එකට එක කිරීම අත්හරිනවා. ඉරිසියාව සිත කිලුටු කරවන උපක්ලේශයක් බව අවබෝධ කරගෙන, සිත කිලුටු කරවන ඒ ඉරිසියාව අත්හරිනවා. මසුරුකම සිත කිලුටු කරවන උපක්ලේශයක් බව අවබෝධ කරගෙන, සිත කිලුටු කරවන ඒ මසුරුකම අත්හරිනවා. නැති ගුණ පෙන්වීම සිත කිලුටු කරවන උපක්ලේශයක් බව අවබෝධ කරගෙන, සිත කිලුටු කරවන ඒ නැති ගුණ පෙන්වීම අත්හරිනවා. කපටිකම සිත කිලුටු කරවන උපක්ලේශයක් බව අවබෝධ කරගෙන, සිත කිලුටු කරවන ඒ කපටිකම අත්හරිනවා. සාධාරණ අදහස්වලට විරුද්ධව දැඩිව සිටීම සිත කිලුටු කරවන උපක්ලේශයක් බව අවබෝධ කරගෙන, සිත කිලුටු කරවන ඒ සාධාරණ අදහස් වලට විරුද්ධව දැඩිව සිටීම අත්හරිනවා. තරඟයට වැඩ කිරීම සිත කිලුටු කරවන උපක්ලේශයක් බව අවබෝධ කරගෙන, සිත කිලුටු කරවන ඒ තරඟයට වැඩ කිරීම අත්හරිනවා. අහංකාරකම සිත කිලුටු කරවන උපක්ලේශයක් බව අවබෝධ කරගෙන, සිත කිලුටු කරවන ඒ අහංකාරකම අත්හරිනවා. අධික අහංකාරකම සිත කිලුටු කරවන උපක්ලේශයක් බව අවබෝධ කරගෙන, සිත කිලුටු කරවන ඒ අධික අහංකාරකම අත්හරිනවා. හිතට අරගෙන ඉදිමී සිටීම සිත කිලුටු කරවන උපක්ලේශයක් බව අවබෝධ කරගෙන, සිත කිලුටු කරවන ඒ හිතට අරගෙන ඉදිමී සිටීම අත්හරිනවා. ධර්මයේ හැසිරෙන්න ප්‍රමාද වීම සිත කිලුටු කරවන උපක්ලේශයක් බව අවබෝධ කරගෙන, සිත කිලුටු කරවන ඒ ප්‍රමාදය අත්හරිනවා.
පින්වත් මහණෙනි, ඒ භික්ෂුව යම් දවසක තමන් සතු දේ ගැනත්, අනුන් සතු දේ ගැනත් ඇතිවෙන ලෝභකම නම් වූ අභිජ්ඣා විෂම ලෝභය සිත කිලුටු කරවන උපක්ලේශයක් බව අවබෝධ කරගෙන, සිත කිලුටු කරවන ඒ අභිජ්ඣා විෂම ලෝභය සිතින් ප්‍රහාණය වෙලා ගියා නම්, ද්වේෂය සිත කිලුටු කරවන උපක්ලේශයක් බව අවබෝධ කරගෙන, සිත කිලුටු කරවන ඒ ව්‍යාපාදය සිතින් ප්‍රහාණය වෙලා ගියා නම්, ක්‍රෝධය සිත කිලුටු කරවන උපක්ලේශයක් බව අවබෝධ කරගෙන, සිත කිලුටු කරවන ඒ ක්‍රෝධය සිතින් ප්‍රහාණය වෙලා ගියා නම්, වෛර බැඳ ගැනීම සිත කිලුටු කරවන උපක්ලේශයක් බව අවබෝධ කරගෙන, සිත කිලුටු කරවන ඒ බද්ධ වෛරය සිතින් ප්‍රහාණය වෙලා ගියා නම්, ගුණමකුකම සිත කිලුටු කරවන උපක්ලේශයක් බව අවබෝධ කරගෙන, සිත කිලුටු කරවන ඒ ගුණමකුකම සිතින් ප්‍රහාණය වෙලා ගියා නම්, එකට එක කිරීම සිත කිලුටු කරවන උපක්ලේශයක් බව අවබෝධ කරගෙන, සිත කිලුටු කරවන ඒ එකට එක කිරීම සිතින් ප්‍රහාණය වෙලා ගියා නම්, ඉරිසියාව සිත කිලුටු කරවන උපක්ලේශයක් බව අවබෝධ කරගෙන, සිත කිලුටු කරවන ඒ ඉරිසියාව සිතින් ප්‍රහාණය වෙලා ගියා නම්, මසුරුකම සිත කිලුටු කරවන උපක්ලේශයක් බව අවබෝධ කරගෙන, සිත කිලුටු කරවන ඒ මසුරුකම සිතින් ප්‍රහාණය වෙලා ගියා නම්, නැති ගුණ පෙන්වීම සිත කිලුටු කරවන උපක්ලේශයක් බව අවබෝධ කරගෙන, සිත කිලුටු කරවන ඒ නැති ගුණ පෙන්වීම සිතින් ප්‍රහාණය වෙලා ගියා නම්, කපටිකම සිත කිලුටු කරවන උපක්ලේශයක් බව අවබෝධ කරගෙන, සිත කිලුටු කරවන ඒ කපටිකම සිතින් ප්‍රහාණය වෙලා ගියා නම්, සාධාරණ අදහස්වලට විරුද්ධව දැඩිව සිටීම සිත කිලුටු කරවන උපක්ලේශයක් බව අවබෝධ කරගෙන, සිත කිලුටු කරවන ඒ සාධාරණ අදහස්වලට විරුද්ධව දැඩිව සිටීම සිතින් ප්‍රහාණය වෙලා ගියා නම්, තරඟයට වැඩ කිරීම සිත කිලුටු කරවන උපක්ලේශයක් බව අවබෝධ කරගෙන, සිත කිලුටු කරවන ඒ තරඟයට වැඩ කිරීම සිතින් ප්‍රහාණය වෙලා ගියා නම්, අහංකාරකම සිත කිලුටු කරවන උපක්ලේශයක් බව අවබෝධ කරගෙන, සිත කිලුටු කරවන ඒ අහංකාරකම සිතින් ප්‍රහාණය වෙලා ගියා නම්, අධික අහංකාරකම සිත කිලුටු කරවන උපක්ලේශයක් බව අවබෝධ කරගෙන, සිත කිලුටු කරවන ඒ අධික අහංකාරකම සිතින් ප්‍රහාණය වෙලා ගියා නම්, හිතට අරගෙන ඉදිමී සිටීම සිත කිලුටු කරවන උපක්ලේශයක් බව අවබෝධ කරගෙන, සිත කිලුටු කරවන ඒ හිතට අරගෙන ඉදිමී සිටීම සිතින් ප්‍රහාණය වෙලා ගියා නම්, ධර්මයේ හැසිරෙන්න ප්‍රමාද වීම සිත කිලුටු කරවන උපක්ලේශයක් බව අවබෝධ කරගෙන, සිත කිලුටු කරවන ඒ ප්‍රමාදය සිතින් ප්‍රහාණය වෙලා ගියා නම්,
අන්න ඒ භික්ෂුව බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියල අවබෝධයෙන් ම හඳුනාගෙන උන්වහන්සේ ගැන නොසෙල්වෙන පැහැදීමකින් යුක්ත වෙනවා. “ඒ අප ගේ භාග්‍යවතුන් වහන්සේ රාග, ද්වේෂ, මෝහ නැති පරම පිවිතුරු සිත් ඇති කෙනෙක් වන සේක (අරහං). බාහිර උපකාරයකින් තොරව තම බුද්ධි මහිමයෙන් ම චතුරාර්ය සත්‍යාවබෝධය ලබාගත් කෙනෙක් වන සේක (සම්මා සම්බුද්ධෝ). ඉතා පිරිසිදු අවබෝධ ඤාණයෙනුත්, ඊට අනුකූල ජීවිත පැවැත්මෙනුත් යුක්ත කෙනෙක් වන සේක (විජ්ජා චරණ සම්පන්නෝ). සුන්දර නිවන් මග සොයා ගෙන ඒ සුන්දර නිවනට පැමිණි කෙනෙක් වන සේක (සුගතෝ). සකල ලෝක ධාතුව ම පරිපූර්ණ වශයෙන් අවබෝධ කළ කෙනෙක් වන සේක (ලෝකවිදූ). දෙව් මිනිසුන් දමනය කිරීමෙහි අතිශයින් ම දක්ෂ කෙනෙක් වන සේක (අනුත්තරෝ පුරිසදම්මසාරථී). දෙවි මිනිස් ප්‍රජාවට නිවැරදි නායකත්වය සපයන කෙනෙක් වන සේක (සත්ථා දේවමනුස්සානං). අවබෝධ කරගත් සද්ධර්මය අන්‍යන්ට ද අවබෝධ කරවන කෙනෙක් වන සේක (බුද්ධෝ). මේ සියලු ගුණ දැරීමට භාග්‍යය ඇති කෙනෙක් වන සේක (භගවා)” කියල.
ඒ වගේ ම “සද්ධර්මය” කියන්නේ මොකක් ද කියලත් අවබෝධයෙන් ම හඳුනාගෙන සද්ධර්මය ගැනත් නොසෙල්වෙන පැහැදීමකින් යුක්ත වෙනවා. “අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් මුල, මැද, අග ඉතා ම යහපත් විදිහට, ඉතා ම අර්ථවත්ව, පැහැදිලි වචන වලින් පරිපූර්ණ නිවන් මග පෙන්වා වදාළ නිසා මේ සද්ධර්මය ‘ස්වාක්ඛාත’ යි. මේ ජීවිතයේ දී ම අවබෝධ කරගන්න පුළුවන් නිසා මේ සද්ධර්මය ‘සන්දිට්ඨික’ යි. ඕනෑ ම කාලයක දී අවබෝධ කරගන්න පුළුවන් නිසා මේ සද්ධර්මය ‘අකාලික’ යි. ඇවිත් අවබෝධ කරගන්න කියල පෙන්වා දෙන්න පුළුවන් නිසා මේ සද්ධර්මය ‘ඒහිපස්සික’ යි. තමා තුළින් ම අවබෝධ කර ගත යුතු නිසා මේ සද්ධර්මය ‘ඕපනයික’ යි. බුද්ධිමත් උදවිය වෙන් වෙන් වශයෙන් අවබෝධ කරගත යුතු දෙයක් නිසා මේ සද්ධර්මය ‘පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහී’ ගුණයෙන් යුක්තයි කියල.
ඒ වගේ ම භික්ෂුව ශ්‍රාවක සංඝරත්නය කියන්නෙ කවුද කියලත් අවබෝධයෙන් ම හඳුනාගෙන “ශ්‍රාවක සංඝරත්නය” ගැනත් නොසෙල්වෙන පැහැදීමකින් යුක්ත වෙනවා. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඟරුවන රාග, ද්වේෂ, මෝහ දුරුකරන ප්‍රතිපදාවෙන් යුක්ත නිසා ‘සුපටිපන්න’ යි. භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවක සඟරුවන සෘජු මාර්ගය වන ආර්ය
අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන නිසා ‘උජුපටිපන්න’ යි. භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රවක සඟරුවන චතුරාර්ය සත්‍යාවබෝධය ඇති කරවන ප්‍රතිපදාවකින් යුක්ත නිසා ‘ඤායපටිපන්න’ යි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඟරුවන ඒ නිවන් මග අන්‍යන්ටත් කියා දෙන නිසා ‘සාමීචිපටිපන්න’ යි. යුගල වශයෙන් ශ්‍රාවකයන් හතරකුත්, පුද්ගලයන් වශයෙන් ශ්‍රාවකයන් අට දෙනෙකුත් දකින්න ලැබෙනවා. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය දුර සිට රැගෙන ආ දන් පැන් ලැබීමට සුදුසු වූ ‘ආහුනෙය්‍ය’ ගුණයෙන් යුක්තයි. ආගන්තුක සත්කාර ලැබීමට සුදුසු වූ ‘පාහුනෙය්‍ය’ ගුණයෙන් යුක්තයි. පින් ලබා ගැනීම පිණිස දන් පැන් පිදීමට සුදුසු වූ ‘දක්ඛිණෙය්‍ය’ ගුණයෙන් යුක්තයි. වැඳුම්-පිඳුම් ලැබීමට සුදුසු වූ ‘අඤ්ජලිකරණීය’ ගුණයෙන් යුක්තයි. ලෝකයේ උතුම් පින් කෙත වන නිසා ‘අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස’ වන සේක කියලා.
ඉතින් පින්වත් මහණෙනි, ඔන්න ඔය විදියට යම් දවසක ආර්ය ශ්‍රාවකයා ගේ සිතින්, සිත කිලුටු කරන දේවල් බැහැර වුනොත්, වමනෙ දැම්මා වගේ වුනොත්, ඒවායින් නිදහස් වෙලා ගියොත්, දුරු වෙලා ගියොත්, එතකොට ඒ භික්ෂුව, “අනේ! මාත් බුදු සමිඳාණන් කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයකින් යුක්ත කෙනෙක් නේද?” කියල මහත් සතුටට පත්වෙනවා. ඒ ගැන අවබෝධයක් ඇතිවෙනවා. ඒ නිසා ම සිත පිනා යනවා. එතකොට ප්‍රීතියක් ඇතිවෙනවා. සිත ප්‍රීතිමත් වුනා ම ඇඟපත සැහැල්ලු වෙනවා. එතකොට සිතට ලොකු සැපයක් ඇතිවෙනවා. සැප ඇති සිත තමයි සමාධිමත් වෙන්නෙ.
ඒ වගේ ම “අනේ! මාත් ශ්‍රී සද්ධර්මය කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයකින් යුක්තයි නේද?” කියල මහත් සතුටට පත්වෙනවා. ඒ ගැන අවබෝධයක් ඇතිවෙනවා. ඒ නිසා ම සිත පිනා යනවා. එතකොට ප්‍රීතියක් ඇතිවෙනවා. සිත ප්‍රීතිමත් වුනා ම ඇඟපත සැහැල්ලු වෙනවා. එතකොට සිතට ලොකු සැපයක් ඇතිවෙනවා. සැප ඇති සිත තමයි සමාධිමත් වෙන්නෙ.
ඒ වගේ ම “අනේ! මාත් ශ්‍රාවක සඟරුවන කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයකින් යුක්තයි නේද?” කියල මහත් සතුටට පත්වෙනවා. ඒ ගැන අවබෝධයක් ඇතිවෙනවා. ඒ නිසා ම සිත පිනා යනවා. එතකොට ප්‍රීතියක් ඇතිවෙනවා. සිත ප්‍රීතිමත් වුනා ම ඇඟපත සැහැල්ලු වෙනවා. එතකොට සිතට ලොකු සැපයක් ඇතිවෙනවා. සැප ඇති සිත තමයි සමාධිමත් වෙන්නෙ.
ඒ වගේ ම ඒ භික්ෂුව “අනේ! මගේ හිතෙත් කිලුටු තිබුනා. ඒත් දැන් ඒ කිලුටු ඔක්කොම සිතෙන් බැහැර වුනා. වමනෙ ගියා වගෙ වුනා. නැති වෙලා ගියා. දුරු වෙලා ගියා නේද” කියල මහත් සතුටට පත්වෙනවා. ඒ ගැන අවබෝධයක් ඇතිවෙනවා. ඒ නිසා ම සිත පිනා යනවා. එතකොට ප්‍රීතියක් ඇතිවෙනවා. සිත ප්‍රීතිමත් වුනා ම ඇඟපත සැහැල්ලු වෙනවා. එතකොට සිතට ලොකු සැපයක් ඇතිවෙනවා. සැප ඇති සිත තමයි සමාධිමත් වෙන්නෙ.
පින්වත් මහණෙනි, ඒ භික්ෂුව ඔය විදිහේ සීලයකිනුත්, ඔය විදිහේ සමාධියකිනුත්, ඔය විදිහේ ප්‍රඥාවකිනුත් යුක්තව ඉන්න කොට, කොයිතරම් රසවත්, සූප ව්‍යංජන පිරුන ඇල් හාලේ බතක් වැළඳුවත් ඒක ඒ භික්ෂුවගෙ නිවන් මගට අන්තරායක් වෙන්නෙ නෑ.
පින්වත් මහණෙනි, කිලුටු වෙලා අපිරිසිදු වෙච්ච ඇඳුමක් තියෙනවා කියල හිතමු. ඒ ඇඳුම හොඳ පිරිසිදු වතුරෙන් සේදුවා ම පිරිසිදුව බබලන්නට පටන් ගන්නවා. ඒ වගේ ම කෝවක දාලා හොඳ හැටියට පිරිසිදු කරගත්තු රත්තරන් හරි ම ලස්සනට බබලනවා. පින්වත් මහණෙනි, දැන් ඉතින් භික්ෂුවත් ඒ වගේ තමයි. ඒ භික්ෂුවත් ඔය විදිහේ සීලයකිනුත්, ඔය විදිහේ සමාධියකිනුත්, ඔය විදිහේ ප්‍රඥාවකිනුත් යුක්තව ඉන්න කොට, කොයිතරම් රසවත්, සූප ව්‍යංජන පිරුන ඇල් හාලේ බතක් වැළඳුවත් ඒක ඒ භික්ෂුවගෙ නිවන් මගට අන්තරායක් නම් වෙන්නෙ නෑ.
ඉතින් ඒ භික්ෂුව එක දිශාවක් පුරා ම මෛත්‍රී සහගත සිතුවිලි පතුරුවනවා. ඒ විදිහට ම දෙවෙනි, තුන්වැනි, හතරවැනි දිසාවන්ට ත් පතුරුවනවා. ඒ වගේ ම උඩ-යට-හරහට හැම දිශාවකට ම, සකල ලෝකයට ම මෛත්‍රී සිතුවිලි බහුල වශයෙන් පතුරුවනවා. සමාධිමත් සිතකින් යුක්තව ප්‍රමාණ රහිත කොට වෛර නැති, තරහ නැති, මෙත් සිතුවිලි පතුරුවනවා. ඒ වගේ ම කරුණාබර සිතුවිලි පතුරුවනවා. ….(පෙ)…. අනුන්ගෙ දියුණුව දැක දැක සතුටු වන මුදිතා සිතුවිලි පතුරුවනවා. ….(පෙ)…. උපේක්ෂා සිතුවිලි පතුරුවනවා. ඒ වගේ ම දෙවෙනි, තුන්වැනි, හතරවැනි දිශාවන්ටත් පතුරුවනවා. ඒ වගේ ම උඩ-යට-හරහට හැම දිශාවට ම, සකල ලෝකයට ම උපේක්ෂා සිතුවිලි බහුල වශයෙන් පතුරුවනවා. සමාධිමත් සිතකින් යුක්තව ප්‍රමාණ රහිත කොට වෛර නැති, තරහ නැති උපේක්ෂා සිතුවිලි පතුරුවනවා.
ඒ භික්ෂුව අවබෝධ කරගන්නවා මෙන්න මෙහෙම. ‘මේ තියෙන්නේ දුකක්’ ය කියලා. ‘මේ ලාමක වූ දුක හටගන්නෙ මෙහෙම යි’ කියලා. ‘උතුම් වූ බ්‍රහ්ම විහාර භාවනාවත් තියෙනවා’ කියලා. ‘ඒ බ්‍රහ්මවිහාර සඤ්ඤාවට වඩා උතුම් වූ අමා නිවනකුත් තියෙනවා’ කියලා. මේ විදිහට දැනගන්න කොට, මේ විදිහට දැකගන්න කොට ඒ භික්ෂුවගේ හිත කාම ආශ්‍රවයෙනුත් නිදහස් වෙනවා. භව ආශ්‍රවයෙනුත් නිදහස් වෙනවා. අවිජ්ජා ආශ්‍රවයෙනුත් නිදහස් වෙනවා. සියලු ආශ්‍රවයන්ගෙන් ම සිත නිදහස් වෙලා ගියා ම, ‘තමන් සියලු දුකින් නිදහස් වුනා!’ කියල අවබෝධ වෙනවා. ‘ඉපදීම නැති වුනා! නිවන් මග සම්පූර්ණ කරගත්තා! කළ යුතු දේ කළා! ආයෙත් නම් මට ඉපදීමක් නැහැ!’ කියල අවබෝධ වෙනවා. පින්වත් මහණෙනි, අන්න ඒ භික්ෂුවටයි කියන්නේ “ජීවිතේ ඇතුළෙ තියෙන වතුරින් හොඳ හැටි නා ගත්තු කෙනා” කියලා.
එතකොට, ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේට නුදුරින් සුන්දරික භාරද්වාජ කියන බ්‍රාහ්මණයා වාඩිවෙලා හිටියා. ඉතින් ඒ සුන්දරික භාරද්වාජ බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා. “ඒත් භාග්‍යවතුන් වහන්සේ පවා ‘බාහුකා’ කියන ගංගාවෙන් පැන් පහසුවෙන්නට වඩිනවා නේද?”
“පින්වත් බ්‍රාහ්මණය, ඔය බාහුකා ගංගාව මොකක් ද? බාහුකා ගංගාවෙන් මොකක් ද කරන්නට පුළුවන්?”
“පින්වත් ගෞතමයන් වහන්ස, බාහුකා ගංගාව ගැන බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නෙ පුණ්‍ය තොටුපොළක් හැටියටයි. පින්වත් ගෞතමයන් වහන්ස, ඔය බාහුකා ගංගාව පින් තොටුපොළක් හැටියට බොහෝ දෙනෙක් සම්මත කරගෙනත් ඉන්නවා. බොහෝ දෙනෙක් ඔය බාහුකා ගංගාවේ ගිලිලා නාලා පව් හෝදලත් දානවා.”
ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ සුන්දරික භාරද්වාජ බ්‍රාහ්මණයාට මේ ගාථාවන් වදාළා.
බාහුකා ගංගාව, අධිකක්ක තීර්ථය, ගයා තීර්ථය, සුන්දරිකා ගංගාව, සරස්වතී ගංගාව, ප්‍රයාග තීර්ථය, බාහුමතී නදිය ආදී තැන් තියෙනවා තමයි.
පව් කරන අඥාන උදවිය ඔය වතුරකට හැම තිස්සේ ම බැහැගෙන හිටියත් පිරිසිදු වෙන්නෙ නම් නෑ. එබඳු කෙනෙකුට ඔය සුන්දරිකා ගඟ කුමක් කරන්න ද? ප්‍රයාග තීර්ථය කුමක් කරන්න ද? බාහුකා නදිය කුමක් කරන්න ද? වෛර කරන, නපුරුකම් කරන, පව්කම් කරන ඒ අඥානයාව පිරිසිදු කරන්නට ඔය වතුරට බැහැ.
කෙලෙස් රහිත පිරිසිදු කෙනාට හැම තිස්සෙම සුභ නැකත ම යි ලබලා තියෙන්නෙ. ඔහු ගේ ජීවිතේ හැමදාම පිරිසිදු පොහොය දවස වගෙයි. පිරිසිදු ජීවිතයක් ඇති කෙනාට තමන්ගේ පිරිසිදු ක්‍රියා කලාපය නිසා, පිරිසිදු පිළිවෙත් නිසා හැමදාම දියුණුවක් තියෙනවා. පින්වත් බ්‍රාහ්මණය, මෙතනදී ම අන්න ඒ වතුර ටික නාගන්න. සියලු සතුන් කෙරෙහි මෙත් පතුරන්න.
ඉදින් බොරු කියන්නෙ නැත්නම්, ඉදින් ප්‍රාණීන්ට හිංසා කරන්නෙ නැත්නම්, ඉදින් හොරකම් කරන්නෙ නැත්නම්, ශ්‍රද්ධාවත් තියෙනවා නම්, තමන්ගේ දෙයක් තව කෙනෙක් පාවිච්චි කරන කොට සතුටු වෙනවා නම්, ගයා තීර්ථයට ගිහින් කුමක් කරන්න ද? එතකොට ඔබේ නිවසේ තියෙන ළිඳ වුනත් ගයාවක් තමයි.”
එතකොට සුන්දරික භාරද්වාජ බ්‍රාහ්මණයා මෙහෙම කිව්වා.
“පින්වත් ගෞතමයන් වහන්ස, හරි ම සුන්දරයි! පින්වත් ගෞතමයන් වහන්ස, හරි ම සුන්දරයි! පින්වත් ගෞතමයන් වහන්ස, මේ ගැන මට මේ විදිහටයි හිතෙන්නෙ.
යටිකුරු වෙච්ච දෙයක් උඩට හැරෙව්වා වගෙයි. සැඟවෙච්ච දෙයක් විවෘත කළා වගෙයි. මං මුළා වූ කෙනෙකුට මාර්ගය පෙන්වුවා වගෙයි. අඳුරේ සිටින ඇස් ඇති උදවියට රූප දකින්න තෙල් පහන් දැල්වුවා වගෙයි. ඔන්න ඔය විදිහටයි පින්වත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ශ්‍රී සද්ධර්මය වදාළේ. ඉතින් මාත් පින්වත් ගෞතමයන් වහන්සේව සරණ යනවා. ශ්‍රී සද්ධර්මයත් සරණ යනවා. ශ්‍රාවක සඟරුවනත් සරණ යනවා. පින්වත් ගෞතමයන් වහන්සේ ළඟ මටත් පැවිදි වෙන්න තියෙනවා නම්, උපසම්පදා වෙන්න තියෙනවා නම් කොයිතරම් හොඳ ද?
ඉතින් සුන්දරික භාරද්වාජ බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේ ළඟ පැවිදි වුනා. උපසම්පදා වුනා. ආයුෂ්මත් භාරද්වාජයන් වහන්සේ උපසම්පදා වෙලා ටික දවසකින් හුදෙකලා වුනා. පිරිසෙන් වෙන් වුනා. අප්‍රමාදී වුනා. බලවත්ව වීරිය ඇති කරගත්තා. ජීවිත පරිත්‍යාගයෙන් ධර්මයේ හැසිරෙන කොට ඉතා සුළු කලකින් අරහත්වයට පත්වුනා. යම් පින්වත් කෙනෙක් ගිහි ගෙයින් වෙන් වෙලා මේ ශාසනයේ යහපත් මහණ ජීවිතේ ලබාගන්නෙ උතුම් අදහසක් ඇතිවයි. අන්න ඒ නිවන් මග සම්පූර්ණ කරගෙන මේ ජීවිතේ දී ම තම නුවණින් උතුම් අරහත්වයට පත්වෙලා වාසය කරන්න ඒ භික්ෂුවටත් පුළුවන් වුනා. ‘ඉපදීම නැති වුනා! නිවන් මග සම්පූර්ණ කරගත්තා! කළ යුත්ත කළා! නිවන පිණිස කළ යුතු වෙන දෙයක් නැත’ කියල අවබෝධ වුනා. දැන් ආයුෂ්මත් භාරද්වාජයන් වහන්සේත් රහතන් වහන්සේලා අතර කෙනෙක්!
ඇඳුමක් උපමා කරගෙන වදාළ දෙසුම නිමා විය.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn1_1-1-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M