ඛුද්දක නිකාය

ථේරී ගාථා

5.7. සකුලා ථේරීගාථා

5.7. සකුලා තෙරණියගේ ගාථා

97. අගාරස්මිං වසන්තීහං ධම්මං සුත්වාන භික්ඛුනෝ,
අද්දසං විරජං ධම්මං නිබ්බානං පදමච්චුතං.

97. මං ගෙදර ඉන්න දවස්වල භික්ෂූන් වහන්සේ නමක ගෙන් සද්ධර්මය අසා දැනගන්ට ලැබුණා. ඒ ධර්මය අහල තමයි මං මේ නිකෙලෙස් වූ අමරණීය වූ නිවන දැකගත්තේ.

98. සාහං පුත්තං ධීතරඤ්ච ධනධඤ්ඤඤ්ච ඡඩ්ඩිය,
කේසේ ඡේදාපයිත්වාන පබ්බජිං අනගාරියං.

98. ඉතින් මං පුතාවත් අත්හැරියා. දුවත් අත්හැරියා. දේපල වස්තුවත් අත්හැරියා. හිස මුඩු කරගෙන බුද්ධ ශාසනේ මහණ වුණා.

99. සික්ඛමානා අහං සන්තී භාවෙන්තී මග්ගමඤ්ජසං,
පහාසිං රාගදෝසඤ්ච තදේකට්ඨේ ච ආසවේ.

99. ඉස්සෙල්ලා ම මං නිවන් මග පුරුදු කළේ සික්ඛමානාවක් වශයෙන් ඉන්න කොටයි. ඊට පස්සෙ රාග ද්වේෂ දෙකත් එක්ක තියෙන කෙලෙසුත් නැති කරගත්ත.

100. භික්ඛුනී උපසම්පජ්ජ පුබ්බේ ජාතිමනුස්සරිං,
විසෝධිතං දිබ්බචක්ඛුං විමලං සාධුභාවිතං.

100. ඊට පස්සෙ මං උපසම්පදාලාභී භික්ෂුණියක් වුණා. පෙර ගත කළ ජීවිත දැනගත්තා. නිර්මල සිත් ඇති සත්පුරුෂයින් විසින් ලැබගත්ත දිවැස් නුවණත් ලබාගත්තා.

101. සංඛාරේ පරතෝ දිස්වා හේතුජාතේ පලෝකිතේ
පහාසිං ආසවේ සබ්බේ සීතිභූතාම්හි නිබ්බුතාති.

101. හේතූන් නිසා හටගත් මේ සිඳී බිඳී යන සංස්කාර අනාත්ම වශයෙන් දැකගත්තා. සියලු ආශ්‍රවයන් ප්‍රහාණය කරගත්තා. සිසිල් වුණා. නිවුණා.

ඉත්ථං සුදං සකුලා ථේරී ගාථායෝ අභාසිත්ථා’ති.

මේ වනාහී සකුලා නම් රහත් තෙරණිය වදාළ ගාථාවන් ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn6_5-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M