ඛුද්දක නිකාය

ථේරී ගාථා

5.6. මිත්තාකාළී ථේරීගාථා

5.6. මිත්තාකාළී තෙරණියගේ ගාථා

92. සද්ධාය පබ්බජිත්වාන අගාරස්මානගාරියං,
විචරිහං තේන තේන ලාභසක්කාර උස්සුකා.

92. මං ගිහි ගෙය අත්හැරල මහණ වුණේ ශ්‍රද්ධාවෙන් ම යි. මහණ වුණාට පස්සෙ ලාභ සත්කාරවලට මං රැවටුණා. මං ඒවා ම සොය සොයා ඇවිදගෙන ගියා.

93. රිඤ්චිත්වා පරමං අත්ථං හීනං අත්ථමසේවිහං,
කිලේසානං වසං ගන්ත්වා සාමඤ්ඤත්ථං න බුජ්ඣිහං.

93. ඇත්තෙන් ම කරල තියෙන්නෙ වටිනා අර්ථය අතහැරලා ලාමක දෙයක් සොයා ගෙන ගිය එක. මාර්ග ඵල අවබෝධයක් ගැන මට කිසි ම තේරුමක් තිබුණෙ නෑ.

94. තස්සා මේ අහු සංවේගෝ නිසින්නාය විහාරකේ,
උම්මග්ගපටිපන්නම්හි තණ්හාය වසමාගතා.

94. මං කුටියෙ ඉන්නකොට මගේ හිතේ බලවත් සංවේගයක් ඇති වුණා. ‘තණ්හාවට වසඟ වෙච්ච නිසා නේ ද මං මේ නො මගක බැසගත්තෙ!’

95. අප්පකං ජීවිතං මය්හං ජරා බ්‍යාධි ච මද්දති,
ජරාය භිජ්ජතේ කායෝ න මේ කාලෝ පමජ්ජිතුං.

95. මට ජීවත් වෙන්ට තියෙන්නෙ සුළු කාලයයි. ඊට පස්සෙ ජරාවෙන් ලෙඩ රෝගවලින් මාව යටපත් වෙනවා. අන්තිමේ දී ජරාජීර්ණ වෙලා මේ කය බිඳිල යනවා. මට දැන් ප්‍රමාද වෙන්ට කාලයක් නෑ.

96. යථාභූතං අවෙක්ඛන්තී ඛන්ධානං උදයබ්බයං,
විමුත්තචිත්තා උට්ඨාසිං කතං බුද්ධස්ස සාසනන්ති.

96. පංච උපාදානස්කන්ධ සකස්වෙන හැටි නැතිවෙන හැටි සැබෑ තත්වය මං නුවණින් විමසන්ට පටන් ගත්තා. එතකොට මං කෙලෙස්වලින් නිදහස් වෙලා නිවනට පත්වුණා. බුදු සසුන සම්පූර්ණ කරගත්තා.

ඉත්ථං සුදං මිත්තා කාළි ථේරී ගාථායෝ අභාසිත්ථා’ති.

මේ වනාහී මිත්තකාලී නම් රහත් තෙරණිය වදාළ ගාථාවන් ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn6_5-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M