ඛුද්දක නිකාය

ථේරී ගාථා

5.4. සුන්දරීනන්දා ථේරීගාථා

5.4. සුන්දරීනන්දා තෙරණියගේ ගාථා

82. ආතුරං අසුචිං පූතිං පස්ස නන්දේ සමුස්සයං,
අසුභාය චිත්තං භාවේහි ඒකග්ගං සුසමාහිතං.

82. පින්වත් නන්දා, රෝග හටගන්න, අපිරිසිදු, කුණු ගඳ හමන, මේ ශරීරය දිහා නුවණින් බලන්න. හිත හොඳට එකඟ කරගෙන අසුභ භාවනාව වඩන්න.

83. යථා ඉදං තථා ඒතං යථා ඒතං තථා ඉදං,
දුග්ගන්ධං පූතිකං වාති බාලානං අභිනන්දිතං.

83. මේ ශරීරයත් මළ කුණක් වගේ තමයි. මළ කුණත් මේ ශරීරය වගේ තමයි. මළ කුණේ තියෙන දේවල්මයි මේ ශරීරයේත් තියෙන්නෙ. දුගඳයි. කුණු වැගිරෙනවා. ඒ වුණාට මෝඩ ජනතාව සතුටින් වැළඳ ගන්නෙත් මේ ශරීරයමයි.

84. ඒවමේතං අවෙක්ඛන්තී රත්තින්දිවමතන්දිතා,
තතෝ සකාය පඤ්ඤාය අභිනිබ්භිජ්ජ දක්ඛිසං.

84. රෑ දවල් දෙකේම මේ ශරීරය ගැන ඔය විදිහට අසුභ වශයෙන් නුවණින් විමසන්න පටන් ගත්ත. මං තුළ ම ඇති වුණු ප්‍රඥාවෙන් මේකෙ ඇත්ත තත්වය දැකගන්ට පුළුවන් වුණා.

85. තස්සා මේ අප්පමත්තාය විචිනන්තියා යෝනිසෝ,
යථාභූතං අයං කායෝ දිට්ඨෝ සන්තරබාහිරෝ.

85. ඔය විදියට අප්‍රමාදී ව නුවණින් විමසන කොට, ‘තමා’ කියා ගන්නා මේ කයත්, ‘අනුන්’ කියා ගන්නා ඒ කයත් සත්‍ය වශයෙන් ම මොකක්ද කියල අවබෝධ කරගත්ත.

86. අථ නිබ්බින්දහං කායේ අජ්ඣත්තඤ්ච විරජ්ජහං,
අප්පමත්තා විසංයුත්තා උපසන්තාම්හි නිබ්බුතාති.

86. මං එතකොට අවබෝධයෙන් ම යි කලකිරුණේ. මං තුළ ම විරාගයට පත්වුණා. අප්‍රමාදී ව හැම කෙලෙසුන්ගෙන් ම නිදහස් වුණා. උපශාන්ත බවට පත් වුණා. නිවුණා.

ඉත්ථං සුදං සුන්දරීනන්දාථේරී ගාථායෝ අභාසිත්ථා’ති.

මේ වනාහී සුන්දරී නන්දා නම් රහත් තෙරණිය වදාළ ගාථාවන් ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn6_5-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M