ඛුද්දක නිකාය

ථේරී ගාථා

20.3. චාපා ථේරීගාථා

20.3. චාපා තෙරණියගේ ගාථා

291. ලට්ඨිහත්ථෝ පුරේ ආසී සෝ දානි මිගලුද්දකෝ,
ආසාය පලිපා ඝෝරා නාසක්ඛි පාරමේතවේ.

291. (උපක:) එයා ඉස්සර තවුස් පිරිකර අතට ගත්ත කෙනෙක්. නමුත් දැන් එයා මුව වැද්දෙක්. ආශාව නිසා කාම මඩ ගොහොරුවෙන් මිදිල එතෙරට යා ගන්ට එයාට බැරි වුණා.

292. සුමුත්තං මං මඤ්ඤමානා චාපා පුත්තමතෝසයී,
චාපාය බන්ධනං ඡෙත්වා පබ්බජිස්සං පුනෝපහං.

292. චාපා හිතා ගෙන ඉන්නෙ මං තාම ත් ඈට ඇලිල ඉන්නෙ කියලා. ඈ පුතා ව නළවන්ට පටන් ගත්තා. ඒ වුණාට චාපා ගැන මතේ හිතේ තියෙන බන්ධනය නැති කරගෙන මං ආයෙමත් මහණ වෙනවා.

293. මා මේ කුජ්ඣි මහාවීර මා මේ කුජ්ඣි මහාමුනී,
න හි කෝධපරේතස්ස සුද්ධි අත්ථි කුතෝ තපෝ.

293. (චාපා:) මහා වීරියවන්තයාණනි, මං ගැන කේන්ති ගන්ට එපා. මහා මුනිඳුනි, මං ගැන කේන්ති ගන්ට එපා. ක්‍රෝධයට යට වෙන කෙනෙකුට පිරිසිදු බවක් ඇති වෙන්නෙ නෑ. තපසක් කොයින් ද?

294. පක්කමිස්සං ච නාලාතෝ කෝධ නාලාය වච්ඡති,
බන්ධන්තී ඉත්ථිරූපේන සමණේ ධම්මජීවිනෝ.

294. (උපක:) මං මේ ‘නාලා’ ගමත් දාල යනවා. මේ ‘නාලා’ ගමේ නවතින්නෙ කවුද? ධාර්මික ව ජීවත් වෙච්ච ශ්‍රමණයින් වත් අල්ලල බැඳ ගත්තෙ මේ ස්ත්‍රී රූපෙ තමයි.

295. ඒහි කාළ නිවත්තස්සු භුඤ්ජකාමේ යථා පුරේ,
අහඤ්ච තේ වසී කතා යේ ච මේ සන්ති ඤාතකා.

295. (චාපා:) කලූ, මෙහාට එන්න. නවතින්න. කලින් වගේ ම කාම සම්පත් අනුභව කරන්ට. මාත්, මගේ නෑදෑයො ත් ඔයාට වසඟ වෙලා ඉන්නෙ.

296. එත්තෝ චාපි චතුබ්භාගං යථා භාසසි ත්වං ච මේ,
තයි රත්තස්ස පෝසස්ස උළාරං වත තං සියා.

296. (උපක:) චාපා, ඔයා මට ඔය කියන කථාවලින් හතරෙන් පංගුවක් කිව්වොත්, ඔයාට ඇලුන මිනිහෙකුට නම් මහා ලොකු දෙයක් වගේ තියේවි.

297. කාළංගිනිංව තක්කාරිං පුප්ඵීතං ගිරිමුද්ධනී,
ඵුල්ලං දාළිමයට්ඨිංව අන්තෝ දීපේව පාටළිං.

297. (චාපා:) කලූ, කන්දක් මුදුනක යොවුන් කිණිහිරි මල් ගහක් තියෙනවා. ඒ මල් ගහේ ලස්සනට මල් පිපිල තියෙන්නෙ. ඒ වගේ ම ලස්සනට මල් පිපිච්ච දෙළුම් ගහක් තියෙනවා. දූපතක් මැද්දෙ තියෙනවා ලස්සනට මල් පිපී ගිය පළොල් ගහක්.

298. හරිචන්දනලිත්තංගිං කාසිකුත්තමධාරිණිං,
තං මං රූපවතිං සන්තිං කස්ස ඕහාය ගච්ඡසි.

298. රන් හඳුන් ගාපු ශරීරයක් තියෙන, උතුම් කසීසළු පොරවන, ලස්සන රූපයක් තියෙන මාව අත්හැරල දාන්ට පුළුවන් වෙන්නෙ කාටද?

299. සාකුන්තිකෝව සකුණිං යථා බන්ධිතුමිච්ඡති,
ආහරිමේන රූපේන න මං ත්වං බාධයිස්සසි.

299. (උපක:) ලිහිණි වැද්දා කැමති වුණා ලිහිණියෙක් හිර කරල තියාගන්ට. නමුත් ඔයා ගෙ ඔය රූපෙන් මාව නම් බැඳල තියා ගන්ට බෑ.

300. ඉමං ච මේ පුත්තඵලං කාළ උප්පාදිතං තයා,
තං මං පුත්තවතිං සන්තිං කස්ස ඕහාය ගච්ඡසි.

300. (චාපා:) කලූ, මගේ මේ පුතා මට ලැබුණෙත් ඔයා නිසා. ඉතින් පුතෙක් ඉන්න මාව අත්හැරල දාල යන්ට හිතන්නෙ කවුද?

301. ජහන්ති පුත්තේ සප්පඤ්ඤා තතෝ ඤාතී තතෝ ධනං,
පබ්බජන්ති මහාවීරා නාගෝ ඡෙත්වාව බන්ධනං.

301. (උපක:) නුවණ තියෙන මිනිස්සු දරුවන් ව අත්හැරල දානවා. ඒ වගේ ම තමන් ගේ නැදෑයන් ව ත්, දේපළ වස්තුව ත් අත්හැරල දානවා. මහා හස්ථිරාජයෙක් දම්වැල් කඩාගෙන යනව වගේ ගිහි බන්ධන කඩාගෙන ගිහින් මහණ වෙනවා.

302. ඉදානි තේ ඉමං පුත්තං දණ්ඩේන ඡුරිකාය වා,
භූමියං වා නිසුම්භෙය්‍යං පුත්තසෝකා න ගච්ඡසි.

302. (චාපා:) එහෙම ද? එහෙනම් මං දැන් පොල්ලකින් ගහල හරි, පිහියකින් ඇනල හරි මේ පුතා ව මරල දානවා. පොළොවේ ගහල හරි මරල දානවා. එතකොට පුතා ගැන ශෝකෙන් ඉන්න ඔයාට ඔය ගමන යන්ට ලැබෙන්නෙ නෑ.

3‍03. සචේ පුත්තං සිගාලානං කුක්කුරානං පදාහිසි,
න මං පුත්තකතේ ජම්මි, පුනරාවත්තයිස්සසි.

303. (උපක:) ඒයි ලාමක ගෑණියේ. ඔහොම නොවෙයි, පුතා ව හිවල්ලුන්ට කන්ට දුන්න ත්, බල්ලන්ට කන්ට දුන්න ත්, මට කමක් නෑ. පුතෙක් හින්ද ආයෙමත් මාව මේ ගෙදර නවත්ත ගන්ට බැරි බව දැනගනින්.

304. හන්ද ඛෝ දානි භද්දන්තේ කුහිං කාළ ගමිස්සසි,
කතමං ගාමං නිගමං නගරං රාජධානියෝ.

304. (චාපා:) කලූ, මගේ ස්වාමීනි, හා හොඳයි. එහෙනම් කියන්න, දැන් ඔයා කොහිද යන්නෙ? කොයි ගමට ද? කොයි නියම් ගමට ද? කොයි නගරෙට ද? කොයි රාජධානියට ද?

305. අහුම්හ පුබ්බේ ගණිනෝ අස්සමණා සමණමානිනෝ,
ගාමේන ගාමං විචරිම්හ නගරේ රාජධානියෝ.

305. (උපක:) ඉස්සර අපි ශ්‍රමණයන් නොවීම ශ්‍රමණයන් කියල හිතාගෙන හිටියා. ඉතින් පිරිස් පිරිවරාගෙන ගමින් ගමට, නගරයෙන් නගරෙට, රාජධානියෙන් රාජධානියට ඇවිද ගෙන ගියා.

306. ඒසෝ හි භගවා බුද්ධෝ නදිං නේරඤ්ජරං පති,
සබ්බදුක්ඛප්පහානාය ධම්මං දේසේති පාණිනං.
තස්සාහං සන්තිකේ ගච්ඡං සෝ මේ සත්ථා භවිස්සති.

306. නමුත් අන්න භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නේරංජරා ගංගා තීරයේ, හැම දුක් අවසන් කරන ධර්මය දේශනා කරනව. මං මේ වතාවෙ යන්නෙ උන්වහන්සේ ළඟට යි. උන්වහන්සේ තමයි මගේ ශාස්තෘන් වහන්සේ.

307. වන්දනං දානි වජ්ජාසි ලෝකනාථං අනුත්තරං,
පදක්ඛිණං ච කත්වාන ආදිසෙය්‍යාසි දක්ඛිණං.

307. (චාපා:) අනේ! එහෙනම් ලෝකනාථ වූ අනුත්තර වූ මුනිඳුන්ට මාත් වන්දනා කරන බව කියන්ට. උන්වහන්සේ ව පැදකුණු කරල ඒ පින මටත් ලබාදෙන්ට.

308. ඒතං ඛෝ ලබ්භමම්හේහි යථා භාසසි ත්වං ච මේ,
වන්දනං දානි තේ වජ්ජං ලෝකනාථං අනුත්තරං,
පදක්ඛිණං ච කත්වාන ආදිසිස්සාමි දක්ඛිණං.

308. (උපක:) ඔව්! ඔයා කියන විදියට ම ඒ පින ලබාගන්ට පුළුවන්. ලෝකනාථ වූ අනුත්තර වූ මුනිඳුන්ට ඔයාගේ වැඳීම ගැන මං කියන්නම්. උන්වහන්සේව පැදකුණු කරල ඒ පින මං ඔයාට ලබා දෙන්නම්.

309. තතෝ ච කාළෝ පක්කාමි නදිං නේරඤ්ජරං පති,
සෝ අද්දසාසි සම්බුද්ධං දේසෙන්තං අමතං පදං.

309. ඊට පසු කලූ (උපක) නේරංජරා ගංතෙර දක්වා ම ගියා. එයාට එහෙදි දැක ගන්ට ලැබුණා අමා දහම් දෙසන බුදු සමිඳාණන්ව.

310. දුක්ඛං දුක්ඛසමුප්පාදං දුක්ඛස්ස ච අතික්කමං,
අරියඤ්චට්ඨංගිකං මග්ගං දුක්ඛූපසමගාමිනං.

310. ඒ දහම් නම්, දුක, දුකේ හටගැනීම, දුක ඉක්මවා යාම, දුක සංසිඳුවන ආර්ය අෂ්ටාංගික මාර්ගය.

311. තස්ස පාදානි වන්දිත්වා කත්වාන තං පදක්ඛිණං,
චාපාය ආදිසිත්වාන පබ්බජි අනගාරියං.
තිස්සෝ විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනන්ති.

311. එයා බුදු සමිඳුන්ගේ සිරි පතුල් වැඳ පුදාගත්ත. උන්වහන්සේ වටේ පැදකුණු කරගෙන ලබා ගත්තු පින් චාපාට අනුමෝදන් කළා. බුද්ධ ශාසනයේ මහණ වුණා. ත්‍රිවිද්‍යාව ලබා ගත්තා. බුදු සසුන සම්පූර්ණ කරගත්තා.

ඉත්ථං සුදං චාපා ථේරී ගාථායෝ අභාසීති.

මේ වනාහී චාපා නම් රහත් තෙරණිය වදාළ ගාථාවන් ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn6_20-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M