480. ගන්ධ කුටියේ සෙවණ සක්මන් මළුවට වැටිලා තිබුණා. පුරුෂෝත්තම බුදු සමිඳුන් සක්මන් කරමින් එතන වැඩසිටියා. මාත් එතනට ගියා. ඒ පුරුෂෝත්තම බුදු සමිඳුන්ට වන්දනා කළා.
481. ඉතින් මමත් සිවුර ඒකාංශ කරලා පොරවා ගත්තා. දෑත එක්කර ගත්තා. සියළු සත්වයන්ට උතුම් වූ නිකෙලෙස් වූ බුදු සමිඳාණන් පිටුපසින් මමත් සක්මන් කළා.
482. බුදු සමිඳාණන් ප්‍රශ්න විසඳන්ට නම් අතිශයින්ම දක්ෂයි. මගෙනුත් ප්‍රශ්න අසා වදාළා. මට ඒ වෙලාවේ කිසි බියක් ඇති වුණේ නෑ. තැති ගැනීමක් ඇතිවුණේ නෑ. මං පිළිතුරු දුන්නා.
483. තථාගත බුදු සමිඳුන් මං ඒ ප්‍රශ්න විසඳපු ආකාරය ගැන සතුටින් අනුමෝදන් වුණා. භික්ෂු සංඝයා දෙස බලා මං ගැන මෙහෙම වදාළා.
484. මේ සෝපාක ශ්‍රමණ දරුවාට ශ්‍රද්ධාවෙන් සිවුරු, පිණ්ඩපාත, සෙනසුන්, ගිලන්පස පූජා කරනවා. මේ ළදරු සෝපාක ඒවා වළඳනවා. ඒ සිවුපසය පූජා කරන අංග, මගධ ජනපදවාසීන්ට නම් ලොකු ම ලාභයක්. මේ සිඟිති ශ්‍රමණයන්ව දැකලා අසුනින් නැගිටලා ගෞරව කළොත්, ඔවුන්ට ලොකු ලාභයක්. ධර්ම කථාවන් පැවැත්වුවොත් ඔවුන්ට ලොකු ලාභයක්.
485. පින්වත් සෝපාක, ඔයා අද ඉඳලා මාව බලන්ට එන්ට ඕනෑ. පින්වත් සෝපාක, මං අහපු ප්‍රශ්නවලට ඔයාගෙ පිළිතුරු දීමම තමයි උපසම්පදාව.
486. මං උපසම්පදාව ලබන කොට වයස අවුරුදු හතයි. මේක මගේ අන්තිම ශරීරය. අහෝ! සද්ධර්මය නම් ආශ්චර්යයි.
මෙය වනාහී ආයුෂ්මත් සෝපාක නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන් ය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_7-1-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M