411. ඒයි කාතියාන, දැන්වත් නැගිටපන්. පළඟක් බැඳගෙන වාඩිවෙයන්. ඔය විදිහට නිදාගන්න පුරුදු වෙන්න එපා. නිදි වරාගෙන භාවනා කරන කෙනෙක් වෙන්න. ප්‍රමාදී උදවියගේ ඤාතියා වන මාරයා කම්මැලි උඹව හඳුනාගෙන වංචාකොට පරදවන්න දෙන්න නම් එපා!
412. මේ ඉපදීමත්, ජරාවත්, ඔබව යටකරගෙන යන්නෙ මහා සාගරයේ රළ ගෙඩි වගේ. තමන්ගේ ජීවිතයට යහපත ලැබෙන දූපතක් හදාගන්න. වෙන බාහිර පිහිටක් ඔබට නෑ.
413. ඔබේ ශාස්තෘන් වහන්සේ පවා මේ රාගාදී කෙලෙස්වලින් මිදුණේ ජාති, ජරා බයෙන් ජය ගත්තෙ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්මයි. ඔබත් දවල් රෑ දෙකේම අප්‍රමාදීව භාවනා කරන්න. ඒ නිවන් මගේ දැඩි විදිහට යෙදෙන්න.
414. ඉස්සෙල්ලා ම කාම බන්ධනයෙන් නිදහස් වෙන්න. දෙපට සිවුරක් පොරවාගෙන දැලි පිහියෙන් හිසත් මුඩු කරගෙන පිණ්ඩපාතෙ යන්නෙ. ලැබෙන දෙයක් වළඳන්න. නිදාගැනීම කියන්නෙ ක්‍රීඩාවක්. ඒකට නොඇලී ඉන්න. පින්වත් කාතියාන, මාර්ගය වඩමින් ධ්‍යාන වඩන්න.
415. පින්වත් කාතියාන, ධ්‍යාන වඩන්න මේ කෙලෙස් සටනින් ජය ලබන්න. නිවන් මගේ දක්ෂ වෙන්න. අනුත්තර වූ පිරිසිදුකම ලබාගන්න. ඇවිලෙන ගින්නක් වතුරෙන් නිවී යන්නා සේ පිරිනිවෙන්න.
416. පහනේ ගිනි සිළුව යාන්තමින් දිලෙනවා. හමායන සුළඟට ලතාවක් වගේ සෙලවි සෙලවි නිවිල යනවා. ඔබත් කිසිවකුට බැඳෙන්න එපා. මාරයාව පරදවන්න. ඔව්! මාරයාව පරදවන්න. ඔව්! දැන් ඒ භික්ෂුව සියළු විඳීම් කෙරෙහි ඇති රාගය දුරු කළා. මේ ජීවිතයේදී සිසිල් වී පිරිනිවන් පාන තුරු දැන් බලාගෙන සිටිනවා.
මෙය වනාහී ආයුෂ්මත් කාතියාන නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_6-1-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M