ඛුද්දක නිකාය

ථේර ගාථා

6.1.5. මාලුංක්‍යපුත්තත්ථේරගාථා

6.1.5. මාලුංක්‍යපුත්ත තෙරුන්ගේ ගාථා

399. මනුජස්ස පමත්තචාරිනෝ තණ්හා වඩ්ඪති මාලුවා විය
සෝ ප්ලවති හුරා හුරං ඵලමිච්ඡං ව වනස්මිං වානරෝ

399. ධර්මයේ හැසිරෙන්ට පමාවුණොත් ඒ පුද්ගලයාගේ තෘෂ්ණාව වේගයෙන් වැඩෙනවා. ගසක් වෙලාගෙන එති එතී යන මහා වැලක් වගේ. එයා හරියට වඳුරෙක් වගේ. වඳුරා ගිහින් ගහට පනින්නෙ පළතුරු කන්ට ආශාවෙන්. එයත් භවයෙන් භවයට යනවා ඒ විදිහටම.

400. යං ඒසා සහතේ ජම්මි තණ්හා ලෝකේ විසත්තිකා
සෝකා තස්ස පවඩ්ඪන්ති අභිවට්ඨං ව බීරණං

400. ලෝකය වෙලාගත් මේ ලාමක තෘෂ්ණාවට පුළුවන් ඕනම කෙනෙක් යටකර දමන්නට. ඊට පස්සේ එයා තුළ ශෝකය වැඩෙන්න පටන් ගන්නවා. සැවැන්දරා පඳුරක් වගේ.

401. යෝ චේතං සහතේ ජම්මිං තණ්හං ලෝකේ දුරච්චයං
සෝකා තම්හා පපතන්ති උදබින්දූව පොක්ඛරා

401. එහෙත් මර්දනය කරගත නොහැකි මේ ලාමක තණ්හාව මර්ධනය කරගන්ට පුළුවන් වුණොත් ඔහුගේ ශෝකය නැතිවෙනවා. නෙළුම් කොළය මතින් වතුර බින්දුවක් ලිස්සා වැටෙනවා වගේ.

402. තං වෝ වදාමි භද්දං වෝ යාවන්තෙත්ථ සමාගතා
තණ්හාය මූලං ඛණථ උසීරත්ථේව බීරණං
මා වෝ නළං ව සෝතෝ ව මාරෝ භඤ්ජි පුනප්පුනං

402. මෙතනට පැමිණි ඔයාල හැම දෙනෙකුටම මං ඉතා හොඳ දෙයක් කියන්නම්. සැවැන්දරා මුල් කැමති කෙනා සැවැන්දරා පඳුර මුලින්ම උදුරා දමනවා. අන්න ඒ විදිහට තණ්හාව මුලින්ම උදුරා දමන්න. සැඩ පහරින් ගහගෙන යන බට ගහක් වගේ. ඔබව නම් මාරයා ආයෙමත් නසන්න එපා.

403. කරෝථ බුද්ධවචනං ඛණෝ වෝ මා උපච්චගා
ඛණතීතා හි සෝචන්ති නිරයම්හි සමප්පිතා

403. බුදු සමිඳුන්ගේ වචනය පිළිපදින්න. මේ උතුම් මොහොත අතපසු වීමට ඉඩ දෙන්න එපා. මේ මොහොත මගහැරුණ උදවිය නිරයේ වැටිලා දුක් විඳිනවා.

404. පමාදෝ රජෝ සබ්බදා පමාදානුපතිතෝ රජෝ
අප්පමාදේන විජ්ජාය අබ්බහේ සල්ලමත්තනෝ’ති

404. ඇත්තෙන්ම ධර්මයේ හැසිරෙන්ට පමාවීම ජීවිතයට කිලුටක්. කිලුට හැදෙන්නෙ ප්‍රමාදයෙනුයි. අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන්න. ආර්ය සත්‍යය අවබෝධය නම් විද්‍යාව උපදවා ගෙන තෘෂ්ණාව උදුරා දමන්න.

ඉත්ථං සුදං ආයස්මා මාලුංක්‍යපුත්තෝ ථේරෝ ගාථායෝ අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් මාලුංක්‍යපුත්ත නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_6-1-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M