ඛුද්දක නිකාය

ථේර ගාථා

20.1.9. අනුරුද්ධත්ථේරගාථා

20.1.9. අනුරුද්ධ තෙරුන්ගේ ගාථා

892. පහාය මාතාපිතරෝ භගිනී ඤාතිභාතරෝ,
පඤ්චකාමගුණේ හිත්වා අනුරුද්ධෝ’ව ඣායතු.

892. එයා අම්මා තාත්තා අත්හැරියා නම්, සහෝදර සහෝදරියන් අත්හැරියා නම් නෑදෑයන් අත්හැරියා නම්, පංච කාම ගුණත් අත්හැරියා නම් අන්න එයා භාවනා කළ යුත්තේ අනුරුද්ධ වගේ.

893. සමේතෝ නච්චගීතේහි සම්මතාළප්පබෝධනෝ,
න තේන සුද්ධිමජ්ඣගං මාරස්ස විසයේ රතෝ.

893. ඒ කාලෙ මං වටේ තිබුණෙ නැටුම් ගැයුම්. මං නැගිට්ටෙ සංගීතයේ හඬින්. මාරයාගෙ තොණ්ඩුව වන කාමයට අහුවෙලා හිටියේ. නමුත් ඒකෙන් කිසිම පිරිසිදු බවක් ලැබුණෙ නෑ.

894. ඒතං ච සමතික්කම්ම රතෝ බුද්ධස්ස සාසනේ,
සබ්බෝඝං සමතික්කම්ම අනුරුද්ධෝ’ව ඣායති.

894. ඒ කාමයන් අතහැරලා බුදු සසුනට කැමැති වෙලා, මේ සෑම කෙලෙස් සැඩ පහරක් ම තරණය කරලා, භාවනා කරනවා නම්, අනුරුද්ධ වගේ කරන්ට කියන්නෙ.

895. රූපා සද්දා රසා ගන්ධා ඵොට්ඨබ්බා ච මනෝරමා,
ඒතේ ච සමතික්කම්ම අනුරුද්ධෝ’ව ඣායති.

895. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන මේවාට සිත ඇදිල යනවා. ඒ කෙරෙහි ඇල්ම අත්හැරලා භාවනා කරනවා නම් කළ යුත්තේ අනුරුද්ධ වගේ.

896. පිණ්ඩපාතා පටික්කන්තෝ ඒකෝ අදුතියෝ මුනි,
ඒසති පංසුකූලානි අනුරුද්ධෝ අනාසවෝ.

896. පිණ්ඩපාතෙන් පස්සෙ මුනිවරයා ඉන්නෙ තනියම. එයාට තෘෂ්ණාව නම් වූ දෙවෙනියෙක් නෑ. කෙලෙස් නැති අනුරුද්ධ සොයාගෙන යන්නෙ පාංශුකූල වස්ත්‍රයක්.

897. විචිනී අග්ගහී ධෝවි රජයී ධාරයී මුනි,
පංසුකූලානි මතිමා අනුරුද්ධෝ අනාසවෝ.

897. එයාට හොඳට සිහි කල්පනාව තියෙනවා. ඒ නිකෙලෙස් අනුරුද්ධ මුනිවරයාට පාංශුකූල වස්ත්‍රයක් හම්බ වුණා. ඒක හොඳට සේදුවා. පඬු පෙව්වා. ඒක තමයි පොරව ගත්තෙ.

898. මහිච්ඡෝ ච අසන්තුට්ඨෝ සංසට්ඨෝ යෝ ච උද්ධතෝ,
තස්ස ධම්මා ඉමේ හොන්ති පාපකා සංකිලේසිකා.

898. ආසාවල් ගොඩක් තියාගෙන, ලැබිච්ච දෙයකින් සතුටු වෙන්න බැරිව, පිරිසක් සමඟ එකතු වෙලා, උඩඟු සිතින් කල් ගෙවන්ට පටන් ගත්තොත්, ඒවා ඔක්කොම එයාට පාපී කෙලෙස් බවට පත්වෙනවා.

899. සතෝ ච හෝති අප්පිච්ඡෝ සන්තුට්ඨෝ අවිඝාතවා,
පවිවේකරතෝ විත්තෝ නිච්චමාරද්ධවීරියෝ.

899. නමුත්, හොඳට සිහිය පිහිටුවාගෙන ආසාවන් අඩුකරගෙන ලද දෙයින් සතුටු වෙලා, එකඟ සිතින්, පටන් ගත්තු වීරියෙන් යුතුවම වාසය කළොත්,

900. තස්ස ධම්මා ඉමේ හොන්ති කුසලා බෝධිපක්ඛිකා,
අනාසවෝ ච සෝ හෝති ඉති වුත්තං මහේසිනා.

900. ඒවා ඔක්කොම එයාට බෝධි පාක්ෂික ධර්ම බවට පත් වෙනවා. මහ ඉසිවර මුනිඳුන් එයා ගැන පැවසුවේ කෙලෙස් නැති කෙනෙක් කියලා.

901. මම සංකප්පමඤ්ඤාය සත්ථා ලෝකේ අනුත්තරෝ,
මනෝමයේන කායේන ඉද්ධියා උපසංකමි.

901. ලෝකයට අති උතුම් ශාස්තෘන් වහන්සේ මගේ සිතුවිලි දැනගත්තා. ඉර්ධි බලයෙන් මනෝමය ශරීරයක් මවාගෙන මං ළඟට වැඩියා.

902. යදා මේ අහු සංකප්පෝ තතෝ උත්තරි දේසයි,
නිප්පපඤ්චරතෝ බුද්ධෝ නිප්පපඤ්චමදේසයි.

902. මං හිතපු දේවල් ගැන ශාස්තෘන් වහන්සේ මට ලස්සනට විස්තර කරලා දුන්නා. අමා නිවනට ඇලී සිටින බුදු සමිඳුන් අමා නිවන ගැනමයි වදාළේ.

903. තස්සාහං ධම්මමඤ්ඤාය විහාසිං සාසනේ රතෝ,
තිස්සෝ විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.

903. උන්වහන්සේගේ ධර්මය දැනගෙනමයි මං ශාසනයට කැමති වුණේ. මාත් ත්‍රිවිද්‍යාව ලබාගත්තා. බුද්ධ ශාසනය සම්පූර්ණ කරගත්තා.

904. පඤ්චපඤ්ඤාසවස්සානි යතෝ නේසජ්ජිකෝ අහං,
පඤ්චවීසතිවස්සානි යතෝ මිද්ධං සමූහතං.

904. මං නොනිඳා භාවනා කිරීම පටන් අරගෙන දැන් අවුරුදු 55ක් වෙනවා. නිදිමත සම්පූර්ණයෙන්ම නැතිකරලා දැන් අවුරුදු 25ක් වෙනවා.

905. නාහු අස්සාසපස්සාසා ඨිතචිත්තස්ස තාදිනෝ,
අනේජෝ සන්තිමාරබ්භ චක්ඛුමා පරිනිබ්බුතෝ.

905. නිවනෙහි සිත පිහිටුවා ගෙන සිටිය, අකම්පිත සිත් ඇති බුදු සමිඳුන්ගේ ආශ්වාස ප්‍රශ්වාස නැතිවෙලා ගියා. දහම් ඇස් ඇති මුනිඳුන් තණ්හාවෙන් තොරව ශාන්ත වූ නිවනම අරමුණු කරගෙන පිරිනිවන් පෑවා.

906. අසල්ලීනේන චිත්තේන වේදනං අජ්ඣවාසයි,
පජ්ජෝතස්සේව නිබ්බානං විමොක්ඛෝ චේතසෝ අහු.

906. උන්වහන්සේට තිබුණේ කිසිම කැලඹීමක් නැති හිතක්. ඒ සිතින් හැම වේදනාවක්ම ඉවසාගෙන හිටියා. තණ්හාවෙන් නිදහස් වෙලා තිබුණා. ඒ විමුක්ති චිත්තය පහනක් නිවිල යනවා වගේ නිවිල ගියා.

907. ඒතේ පච්ඡිමකා දානි මුනිනෝ ඵස්සපඤ්චමා,
නාඤ්ඤේ ධම්මා භවිස්සන්ති සම්බුද්ධේ පරිනිබ්බුතේ.

907. දැන් ඉතුරුවෙලා තිබෙන්නෙ උන්වහන්සේගේ අවසන් ජීවිතයේ ඇස්, කන්, නාසාදී ඉඳුරන් පස විතරයි. සම්බුදු රජාණන් වහන්සේ නමක් පිරිනිවන් පෑවට පස්සේ වෙන කිසි දෙයක් ඉතුරු වෙන්නෙ නෑ.

908. නත්ථි දානි පුනාවාසෝ දේවකායම්හි ජාලිනි,
වික්ඛීණෝ ජාතිසංසාරෝ නත්ථි දානි පුනබ්භවෝ.

908. ඒයි තණ්හා දැල, දැන් ඉතින් මට වුණත් ආයෙ ආයෙමත් දිව්‍ය ලෝකයකවත් වාසයක් නෑ. ඉපදෙන සංසාරය ගෙවිල ගියා. ආයෙමත් පුනර්භවයක් නෑ.

909. යස්ස මුහුත්තේන සහස්සධා ලෝකෝ සංවිදිතෝ සබ්‍රහ්මකප්පෝ,
වසී ඉද්ධිගුණේ චුතූපපාතේ කාලේ පස්සති දේවතා ස භික්ඛු.

909. එයාට පුළුවන් බ්‍රහ්ම ලෝකය සහිත ලෝක දාහක් ගැන එක මොහොතකින් දැනගන්නට. එයාට ඉර්ධි බලයක් තියෙනවා. චුතූපපාත ඤාණයක් තියෙනවා. දෙවිවරුනුත් සුදුසු කලට ඒ භික්ෂුව බලන්න පැමිණෙනවා.

910. අන්නභාරෝ පුරේ ආසිං දළිද්දෝ ඝාසහාරකෝ,
සමණං පටිපාදේසිං උපරිට්ඨං යසස්සීනං.

910. ඉස්සර ජීවිතයක මෙයා ඉතාම දුප්පත් වෙලා හිටියෙ. ඉඳුල් ආහාර අරගෙන යනවා. එයාගෙ නම ‘අන්නභාර’. හරිම දුක සේ හිටියේ. ඒ කාලෙ වැඩහිටියා ‘උපරිට්ඨ’ කියන පසේ බුදුවරයන් වහන්සේ. උන්වහන්සේව කවුරුත් දන්නවා. මෙයා උන්වහන්සේට දානයක් පූජා කළා.

911. සොම්හි සක්‍යකුලේ ජාතෝ අනුරුද්ධෝ’ති මං විදූ,
උපේතෝ නච්චගීතේහි සම්මතාළප්පබෝධනෝ.

911. මේ ජීවිතයේදී මං ශාක්‍යකුලයේ ඉපදුණේ. අනුරුද්ධ කියන කීවාම කවුරුත් දන්නවා. නැටුම් ගැයුම් පිරිල තිබුණා. සංගීත හඬට නින්දෙන් නැගිට්ටා.

912. අථද්දසාසිං සම්බුද්ධං සත්ථාරං අකුතෝභයං,
තස්මිං චිත්තං පසාදෙත්වා පබ්බජිං අනගාරියං.

912. එක දවසක්, කිසිම විදිහකින් බියක් නැති ශාස්තෘ වූ බුදු සමිඳුන් දැකගත්තා. උන්වහන්සේ ගැන මගේ හිත ගොඩක් පැහැදුණා. ඊට පස්සේ ගිහි ජීවිතය අතහැරලා මං මහණ වුණා.

913. පුබ්බේනිවාසං ජානාමි යත්ථ මේ වුසිතං පුරේ,
තාවතිංසේසු දේවේසු අට්ඨාසිං සතජාතියා.

913. සංසාරෙ මං කලින් ගත කරපු ජීවිත ගැන දැන ගන්න පුබ්බේනිවාස ඤාණය ලබාගත්තා. මං සිය වතාවක් තව්තිසා දෙව්ලොව ඉපදිලා තියෙනවා.

914. සත්තක්ඛත්තුං මනුස්සින්දෝ අහං රජ්ජමකාරයිං,
චාතුරන්තෝ විජිතාවී ජම්බුසණ්ඩස්ස ඉස්සරෝ,
අදණ්ඩේන අසත්ථේන ධම්මේන අනුසාසයිං.

914. මම සත් වතාවක් රජ වෙලා තියෙනවා. සාගරය සීමා කරගෙන, මේ පොළොව ජය අරගෙන, දඹදිවට අග රජු වෙලා දඬු මුගුරු නැතිව ධාර්මිකව පාලනය කරලා තියෙනවා.

915. ඉතෝ සත්ත තතෝ සත්ත සංසාරානි චතුද්දස,
නිවාසමභිජානිස්සං දේවලෝකේ ඨිතෝ තදා.

915. මිනිස් ලෝකයෙන් චුත වෙලා දිව්‍ය ලෝකයේ සත් වතාවක් ඉපදුණා. ඊට පස්සේ මිනිස් ලෝකයේ සත් වතාවක් ඉපදුණා. මං දෙව්ලොව ඉන්න කොටත් පුබ්බේනිවාස ඤාණය තිබ්බා.

916. පඤ්චංගිකේ සමාධිම්හි සන්තේ ඒකෝදිභාවිතේ,
පටිප්පස්සද්ධිලද්ධම්හි දිබ්බචක්ඛු විසුජ්ඣි මේ.

916. සතරවන ධ්‍යානය හරිම ශාන්තයි. හොඳට සිත එකඟ වෙනවා. සංසිඳීම ඇතිවෙනවා. එතකොට තමයි මං දිවැස් නුවණ පිරිසිඳු කරගත්තේ.

917. චුතූපපාතං ජානාමි සත්තානං ආගතිං ගතිං,
ඉත්ථභාවඤ්ඤථාභාවං ඣානේ පඤ්චංගිකේ ඨිතෝ.

917. සතරවන ධ්‍යානයේ ඉඳල තමයි මං මේ සත්වයන්ගේ කර්මානුරූපව චුත වීම ඉපදීම සිදුවුණ ආකාරය දැනගත්තේ.

918. පරිචිණ්ණෝ මයා සත්ථා කථං බුද්ධාස්ස සාසනං,
ඕහිතෝ ගරුකෝ භාරෝ භවනෙත්ති සමූහතා.

918. ශාස්තෘන් වහන්සේව ගෞරවයෙන් ඇසුරු කළා. බුදු සසුන සම්පූර්ණ කරගත්තා. කෙලෙස් බර පැත්තකින් තිබ්බා. භව රැහැන කපල දැම්මා.

919. වජ්ජීනං වේළුවගාමේ අහං ජීවිතසංඛයා,
හෙට්ඨතෝ වේළුගුම්බස්මිං නිබ්බායිස්සං අනාසවෝ’ති.

919. මං ඉන්නේ ‘වජ්ජි’ රටේ ‘බේලුව’ කියන ගමේ. දැන් මගේ ආයුෂත් ඉවර වෙලා තියෙන්නෙ. මේ උණ පඳුරක් සෙවණේ මා නිකෙලෙස් සිතින් පිරිනිවන් පානවා.

ඉත්ථං සුදං ආයස්මා අනුරුද්ධෝ ථේරෝ ගාථායෝ අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් අනුරුද්ධ නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_20-1-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M