ඛුද්දක නිකාය

ථේර ගාථා

20.1.8. අංගුලිමාලත්ථේරගාථා

20.1.8. අංගුලිමාල තෙරුන්ගේ ගාථා

866. ගච්ඡං වදේසි සමණට්ඨිතොම්හි
මමං ච බ්‍රෑසි ඨිතමට්ඨිතෝ’ති,
පුච්ඡාමි තං සමණ ඒතමත්ථං
කථං ඨිතෝ ත්වං අහමට්ඨිතොම්හි.

866. ඒයි ශ්‍රමණය, ඔය යන ගමන් නේද සිටියා කියල කියන්නෙ? සිටින්නා වූ මට නේද නොසිටිනවයි කියන්නෙ? ඒයි ශ්‍රමණය, මේ කථාවේ තේරුමයි මං දැන් අහන්නෙ. ඔබ ඔය විදිහට ඉන්නෙ කොහොමද? මං මේ විදිහට නොඉන්නෙ කොහොමද?

867. ඨිතෝ අහං අංගුලිමාල සබ්බදා
සබ්බේසු භූතේසු නිධාය දණ්ඩං,
තුවඤ්ච පාණේසු අසඤ්ඤතෝසි
තස්මා ඨිතෝහං තුවමට්ඨිතෝසි.

867. අංගුලිමාල, මං ඉන්නෙ මෙන්නෙ මෙහෙමයි, හැම තිස්සේම හැම සතුන් කෙරෙහිම වද දීම් අත්හැරල. ඒ වුණාට ඔබ නොසිටින්නෙ මෙහෙමයි. ඔබ සතුන් ගැන කිසි අනුකම්පාවක් නෑ. ඒ නිසා මං නැවතිලා ඉන්නවා. ඔබ නැවතිලා නෑ.

868. චිරස්සං වත මේ මහිතෝ මහේසී
මහාවනං සමණෝ පච්චුපාදි,
සෝහං චජිස්සාමි සහස්සපාපං
සුත්වාන ගාථං තව ධම්මයුත්තං.

868. ඇත්තෙන්ම පූජනීය මහා ඉසිවරයෙක් වන ඔය ශ්‍රමණයන් වහන්සේ මට අනුකම්පාවෙන්මයි මේ මහා වනයට වැඩියේ. ධර්මය ගැන කියවෙන ඔය ගාථාව ඇහුවට පස්සේ මා වෙනස් වුණා. මේ දහසක් පව් හැම එකක්ම මං අත්හැරලා දැම්මා.

869. ඉච්චේව චෝරෝ අසිමාවුධං ච
සොබ්භේ පපාතේ නරකේ අන්වකාසි,
අවන්දි චෝරෝ සුගතස්ස පාදේ
තත්ථේව පබ්බජ්ජමයාචි බුද්ධං.

869. අංගුලිමාල සොරා මෙහෙම කියල කඩුවත්, අතින් ආයුධත් කන්දෙන් පහළට වීසි කළා. සුගතයන් වහන්සේගේ සිරි පතුල් ළඟ ඇද වැටුණ. බුදු සමිඳුන්ගෙන් මහණ වෙන්ට අවසර ඉල්ලා හිටියා.

870. බුද්ධෝ ච ඛෝ කාරුණිකෝ මහේසි
යෝ සත්ථා ලෝකස්ස සදේවකස්ස,
තමේහි භික්ඛූ’ති තදා අවෝච
ඒසෝ’ව තස්ස අහු භික්ඛුභාවෝ.

870. මහ ඉසිවර බුදු සමිඳුන් හරිම කරුණාවන්තයි. සදේවක ලෝකයාටම නිවන් මග පෙන්නල දෙනවා. උන්වහන්සේ අංගුලිමාලට “භික්ෂුව, මෙහාට එන්න” කියලා කිව්වා. ඒක තමයි එයාගෙ උතුම් පැවිදි බව.

871. යෝ ච පුබ්බේ පමජ්ජිත්වා පච්ඡා සෝ නප්පමජ්ජති;
සෝ’මං ලෝකං පභාසේති අබ්භා මුත්තෝ’ව චන්දිමා.

871. කවුරු හරි කලින් දහමේ හැසිරෙන්ට පමා වෙලා හිටියත් පස්සෙ කාලෙක අප්‍රමාදීව දහමේ හැසිරුණොත් එයා මේ ලෝකය එළිය කරනවා. වළාකුලින් මිදුණ පුන් සඳක් වගේ.

872. යස්ස පාපං කතං කම්මං කුසලේන පිථීයති,
සෝ’මං ලෝකං පභාසේති අබ්භා මුත්තෝ’ව චන්දිමා.

872. කවුරු හරි කෙනෙක් තමන්ගේ පව් කුසල් බලයෙන් නැතිකරල දැම්මොත් එයා මේ ලෝකය එළිය කරනවා. වළාකුලින් මිදුණ පුන්සඳක් වගේ.

873. යෝ හවේ දහරෝ භික්ඛු යුඤ්ජති බුද්ධසාසනේ,
සෝ’මං ලෝකං පභාසේති අබ්භා මුත්තෝ’ව චන්දිමා.

873. කොයිතරම් තරුණ භික්ෂුවක් වුණත් සීල, සමාධි, ප්‍රඥාවේ යෙදෙනවා නම් එයා මේ ලෝකය එළිය කරනවා. වළාකුලින් මිදුණ පුන් සඳක් වගේ.

874. දිසා’පි මේ ධම්මකථං සුණන්තු
දිසා’පි මේ යුඤ්ජන්තු බුද්ධසාසනේ,
දිසා’පි මේ තේ මනුජේ භජන්තු
යේ ධම්මමේවාදාපෙන්ති සන්තෝ.

874. මගේ සතුරන්ටත් ඇසෙන්ට ඕනෑ මේ ධර්මයමයි. මගේ සතුරන් හැසිරෙන්ට ඕනෑ ශීල, සමාධි, ප්‍රඥාවේමයි. මගේ සතුරොත් ඇසුරු කරන්ට ඕනෑ මේ උතුම් ධර්මය පෙන්නා දෙන සත්පුරුෂ උතුමන්වයි.

875. දිසා හි මේ ඛන්තිවාදානං අවිරෝධප්පසංසිනං,
සුණන්තු ධම්මං කාලේන තඤ්ච අනුවිධීයන්තු.

875. ඉවසන ගුණයෙන් යුතු, මෛත්‍රියට ප්‍රශංසා කරන ඒ උතුමන්ගේ ධර්මයම මාගේ හතුරෝ ද අසත්වා! ඒ උතුම් ධර්මයම අනුගමනය කරත්වා!

876. න හි ජාතු සෝ මමං හිංසේ අඤ්ඤං වා පන කිඤ්චනං,
පප්පුය්‍ය පරමං සන්තිං රක්ඛෙය්‍ය තසථාවරේ.

876. ඒ මාගේ සතුරෝ මට හෝ වෙන කෙනෙකුට හෝ හිංසා නොකරත්වා! දැන් අංගුලිමාල පරම ශාන්තියට පැමිණිලා ඉන්නෙ. තැති ගන්නා සතුනුත්, තැති නොගන්නා රහතුනුත් රකිනවා.

877. උදකං හි නයන්ති නෙත්තිකා උසුකාරා නමයන්ති තේජනං,
දාරුං නමයන්ති තච්ඡකා අත්තානං දමයන්ති පණ්ඩිතා.

877. වතුර අදින අය තමන් කැමැති දිශාවට වතුර ගෙනියනවා. හී වඩුවන් ඊතලවල ඇද හැරලා කෙලින් කරනවා. ලී වඩුවන් කැමැති විදිහට ලී නවනවා. අන්න ඒ විදිහට බුද්ධිමත් කෙනා තමන්ගෙ ජීවිතයට දමනය කරගන්නවා.

878. දණ්ඩේනේකේ දමයන්ති අංකුසේහි කසාහි ච,
අදණ්ඩේන අසත්ථේන අහං දන්තොම්හි තාදිනා.

878. සමහර උදවිය දඬු මුගුරු වලිනුත්, හෙණ්ඩුවෙනුත්, කසයෙනුත් තමයි අනුන්ව දමනය කරන්නෙ. ඒ වුණාට දඬු මුගුරු නැතිවයි, අවි ආයුධ නැතිවයි අකම්පිත සිත් ඇති බුදු සමිඳුන් මාව දමනය කළේ.

879. අහිංසකෝ’ති මේ නාමං හිංසකස්ස පුරේ සතෝ,
අජ්ජාහං සච්චනාමොම්හි න නං හිංසාමි කිඤ්චනං.

879. ඉස්සර මට අහිංසක කියල කීවෙ අනුන්ට හිංසා කරද්දීමයි. ඒත් දැන් මං කාටවත් හිංසා නොකරන ඇත්තටම අහිංසක කෙනෙක්.

880. චෝරෝ අහං පුරේ ආසිං අංගුලිමාලෝ’ති විස්සුතෝ,
වුය්හමානෝ මහෝඝේන බුද්ධං සරණමාගමං.

880. මං ඉස්සර අංගුලිමාල නමින් ප්‍රසිද්ධ වෙච්ච හොරා. මාව සංසාරෙ සැඩ පහරට අහුවෙලා ගහගෙන යන කොට බුදු සමිඳුන් සරණයන්ට ලැබුණා.

881. ලෝහිතපාණි පුරේ ආසිං අංගුලිමාලෝ’ති විස්සුතෝ,
සරණාගමනං පස්ස භවනෙත්ති සමූහතා.

881. ඉස්සර මං අත්වල ලේ තවරගෙන ප්‍රසිද්ධ වෙලා හිටියා අංගුලිමාල කියල. එහෙත් උතුම් තිසරණයට පැමිණීමේ ආනිශංසය බලන්න. සියළු භව රැහැන් මුලින්ම කපලා දැම්මා.

882. තාදිසං කම්මං කත්වාන බහුං දුග්ගතිගාමිනං,
ඵුට්ඨෝ කම්මවිපාකේන අනණෝ භුඤ්ජාමි භෝජනං.

882. මගේ අතින් අපායට යන්ට බොහෝ පව් සිද්ධ වුණා. එහෙත් දැන් මං විපාක විඳින්නෙ මේ ජීවිතයේදී විතරයි. අනුන්ගෙ දානෙ මං වළඳන්නෙ ණය නැතිවයි.

883. පමාදමනුයුඤ්ජන්ති බාලා දුම්මේධිනෝ ජනා,
අප්පමාදං ච මේධාවී ධනං සෙට්ඨං’ව රක්ඛති.

883. මෝඩ ජනතාව බාහිර වැඩ කටයුතුවලට මුළු ජීවිතයම කැප කරනවා. ධර්මයේ හැසිරීම ප්‍රමාද කරනවා. නමුත් බුද්ධිමත් කෙනා අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන්නෙ උතුම් ධනයක් රැක ගන්නවා වගෙයි.

884. මා පමාදමනුයුඤ්ජේථ මා කාමරතිසන්ථවං,
අප්පමත්තෝ හි ඣායන්තෝ පප්පෝති පරමං සුඛං.

884. ධර්මයේ හැසිරෙන්ට ප්‍රමාද වෙන්ට එපා. කාම සැපයේම ඇලී වාසය කරන්ට එපා. අප්‍රමාදීව භාවනා කරන කෙනා තමයි උතුම් සැපය ලබාගන්නේ.

885. ස්වාගතං නාපගතං නේතං දුම්මන්තිතං මම,
සවිභත්තේසු ධම්මේසු යං සෙට්ඨං තදුපාගමං.

885. සම්බුදු සසුනට මං ආපු එක කොයිතරම් හොඳයිද? මේක වැඩකට නැති දෙයක් නෙවෙයි. අනික, මේ මගේ වැරදි මතයකුත් නොවේ. විස්තර වශයෙන් පහදල දෙන ඒ ධර්මය තුළිනුයි මං උතුම් නිවනට පත්වුණේ.

886. ස්වාගතං නාපගතං නේතං දුම්මන්තිතං මම,
තිස්සෝ විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.

886. බුදු සමිඳුන්ගේ සසුනට මං ආපු එක කොයිතරම් හොඳද? මේක වැඩකට නැති දෙයක් නොවෙයි. අනික, මේ මගේ වැරදි මතයකුත් නොවෙයි. මා ත්‍රිවිද්‍යාව ලැබුවා. බුද්ධ ශාසනය සම්පූර්ණ කරගත්තා.

887. අරඤ්ඤේ රුක්ඛමූලේ වා පබ්බතේසු ගුහාසු වා,
තත්ථ තත්ථේ’ව අට්ඨාසිං උබ්බිග්ගමනසෝ තදා.

887. ඉස්සර මං මහ වනයේ, ගහක් යට ගල් ලෙනක තැනින් තැන හිටියෙ කලබල හිතකින්.

888. සුඛං සයාමි ඨායාමි සුඛං කප්පේමි ජීවිතං,
අහත්ථපාසෝ මාරස්ස අහෝ සත්ථානුකම්පිතෝ.

888. ඒත් දැන් මම සැප සේ නිදාගන්නවා. සැප සේ සිටිනවා. සැනසිල්ලෙ ජීවිතය ගෙවනවා. මාරයාගේ උගුලෙන් මං පැන ගත්තා. අහෝ! මාගේ ශාස්තෘන් වහන්සේ මට කොයිතරම් අනුකම්පා කළාද?

889. බ්‍රහ්මජච්චෝ පුරේ ආසිං උදිච්චෝ උභතෝ අහු,
සොජ්ජ පුත්තෝ සුගතස්ස ධම්මරාජස්ස සත්ථුනෝ.

889. ඉස්සර මව් පිය දෙපාර්ශවයෙන් පිරිසිදු බමුණු කුලයකයි මං උපන්නෙ. එහෙත් දැන් මම ධර්මරාජ වූ සුගත වූ ශාස්තෘන් වහන්සේගේ පුත් රුවනක්.

890. වීතතණ්හෝ අනාදානෝ ගුත්තද්වාරෝ සුසංවුතෝ,
අඝමූලං වධිත්වාන පත්තෝ මේ ආසවක්ඛයෝ.

890. මා තුළ දැන් තණ්හාවක් නෑ. උපාදාන නෑ. ඉඳුරන් රැක ගෙන සංවර වෙලා ඉන්නෙ. මේ දුකේ මුල මං නැති කළා. ආශ්‍රව නැති කරල අරහත්වයට පත් වුණා.

891. පරිචිණ්ණෝ මයා සත්ථා කතං බුද්ධස්ස සාසනං,
ඕහිතෝ ගරුකෝ භාරෝ භවනෙත්ති සමූහතා’ති.

891. මං ශාස්තෘන් වහන්සේව ගෞරවයෙන් ඇසුරු කළා. බුදු සසුන සම්පූර්ණ කරගත්තා. කෙලෙස් බර බිම තිබ්බා. භව රැහැන් මුලින්ම කපල දැම්මා.

ඉත්ථං සුදං ආයස්මා අංගුලිමාලෝ ථේරෝ ගාථායෝ අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් අංගුලිමාල නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_20-1-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M