769. හොඳ හැටියට ඇට නහර ගලපලා ලස්සනට තිබෙන මේ ශරීරයේ ඇත්ත දිහා බලන්න. අඥාන ජනයා ආශාවෙන් හිතන්නෙම මේ ශරීරය ගැනමයි. මේ ශරීරය ලෙඩ වෙලා යන දෙයක්. ස්ථිර පැවැත්මක් නැති දෙයක්.
770. මුතු මැණික් ආභරණවලින් සරසලා තිබුණත් මේ ශරීරයේ සත්‍ය තත්ත්වයමයි. බලන්ට ඕනෑ. හමකින් ඔතා තිබෙන මේ ඇට ගොඩ ලස්සනට පේන්නෙ ඇඳුම නිසා.
771. දෙපාවල පාට ගාලා තිබුණත්, සුවඳ විට හපලා මුඛය සුවඳ කළත්, මෝඩ ජනතාවගේ මෝහයට විතරයි ඒක ගැලපෙන්නෙ. නිවන සොයා යන කෙනෙකුට ඒකෙන් පලක් නෑ.
772. කෙණ්ඩා මෝස්තර දමලා, ඇස් පාට කරල තිබුණත්, මෝඩ ජනතාවගේ මෝහයට විතරයි ඒක ගැලපෙන්නෙ. නිවන සොයා යන කෙනෙකුට ඒකෙන් පලක් නෑ.
773. මේ කුණු ශරීරය කොයිතරම් ලස්සනට සරසලා අලංකාර කරලා අළුත් භාජනයක් වගේ තැබුවත් මෝඩ ජනතාවගේ මෝහයට විතරයි ඒක ගැලපෙන්නෙ. නිවන සොයා යන කෙනෙකුට ඒකෙන් පලක් නෑ.
774. මුව වැද්දා මුවන් අල්ලන්ට උගුල් අටවලා තියෙන්නෙ. ඒ වුණාට මේ පාර නම් මුවා උගුලට අහුවුණේ නෑ. මුව වැද්දා හඬ හඬා සිටිද්දී අපි ගොදුරු කාලා පැනලා යනවා.
775. මුව වැද්දාගේ උගුල කඩලා දැම්මා. මුවා උගුලට අහුවුණේ නෑ. මුව වැද්දා දුක් වෙවී ඉන්න කොට අපි ගොදුරු කාලා පැනලා යනවා.
776. මං දැකලා තියෙනවා ලෝකෙ ඉන්න ධනවත්ම මිනිසුන්. ඔවුන්ට ධනය ලැබුණාම එයට රැවටෙනවා. කාටවත් දෙන්නෙ නෑ. ලෝභකමින් ධනය එකතු කරල තව තවත් ධනයම ප්‍රාර්ථනා කරනවා.
777. රජ කෙනෙක් සාගරය පවුර කරගෙන මුළු ලෝකෙම ජය ගත්තත් එයාට තෘප්තියක් නෑ. එයා කැමතියි සාරගයෙන් එතෙර තිබෙන රටකත් රජ කරන්න.
778. ඒ රජුත් අනෙක් බොහෝ මිනිස්සුත් තණ්හාව සමග මයි මරණයට පත්වෙන්නෙ. ජීවිත අතහරින්නෙ සෑහීමකට පත්වෙලා නොවෙයි. මේ කාම ලෝකයේ තෘප්තියට පත්වීමක් නම් නෑ මයි.
779. කවුරු හරි මැරුණට පස්සේ නෑදෑයෝ එකතු වෙලා කෙහෙවලු කඩාගෙන අඬා වැලපෙනවා. ‘අනේ! අපේ මේ ඤාතියා අමරණීය වේවා!’ කියලා කියනවා. ඊට පස්සේ රෙද්දකින් ඔතල දර සෑයට දාලා ගිනි තියනවා.
780. හැම සම්පතක්ම අතහැරල ඒ මැරුණ කෙනා අන්තිමේදී එකම එක වස්ත්‍රයකින් ඔතාගෙන හුල් වලින් පහර කාල පිච්චිලා යනවා. අවසන් වෙනවා. ඒ මැරුණ කෙනාගෙ ආරක්ෂාවට නෑදෑයෝ, යාළු මිත්‍රයෝ කවුරුත් නෑ.
781. එයාගෙ වස්තුව උරුමක්කාරයෝ ඇවිල්ලා අරගෙන යනවා. කර්මානුරූපව එයා එයාගෙ ගමන ගියා. නමුත් එයාගෙ පස්සෙන් යන්න අඹු දරුවන් මිල මුදල් රට රාජ්‍ය මොකවත් නෑ.
782. සල්ලි තිබුණා කියලා දීර්ඝායුෂ ලැබෙන්නෙ නෑ. වස්තුව තිබුණා කියලා නාකි නොවී ඉන්ට බෑ. අන්න ඒ නිසයි ප්‍රඥාවන්ත මුනිවරු කියන්නෙ මේ ජීවිතය ඉතා සුළු කලයි තියෙන්නෙ කියලා. සදාකාලික නෑ කියලා. වෙනස් වෙන ස්වභාවයට අයිතියි කියලා.
783. දුප්පත්, පොහොසත් කාටත් අරමුණු වලින් ස්පර්ශය ඇති වෙනවා. නුවණැති, මෝඩ කාටත් අරමුණු වලින් ස්පර්ශය ඇති වෙනවා. මෝඩ තැනැත්තා නුවණ නැති නිසාම ඒ ස්පර්ශයෙන් දුක් විඳිනවා. දුක සේ නිදා ගන්නවා. නුවණැති මුනිවරයා කොයි ස්පර්ශයක් ලැබුණත් අකම්පිතව ඉන්නවා.
784. මෙයින් පැහැදිලිව පේනවා සල්ලිවලට වඩා ප්‍රඥාව අග්‍ර බව. ඒ ප්‍රඥාවෙන්මයි මේ දුක අවසන් කළ හැක්කේ. නමුත් මෝහය නිසා භවයේ ඇලුණ සත්වයන් පව්ම රැස් කරනවා.
785. ඔවුන් මැරුණත් සසර දුකටමයි වැටෙන්නේ. ආයෙ ආයෙමත් මවු කුසකටමයි එන්නෙ. ඔවුන්ගේ මතය පිළිගන්න උදවියට ද ඔච්චරයි සිද්ධ වෙන්නේ.
786. සොරකම් කරන්ට ගිහින් අහුවෙච්ච හොරෙක් තමන්ගේ පාපී ක්‍රියාව නිසාමයි දුක් විඳින්නෙ. අන්න ඒ වගේ තමන්ගේම පාපී ක්‍රියා නිසාමයි මේ සත්වයන් පරලොවදී දුක් විඳින්නෙ.
787. පින්වත් රජතුමනි, මේ කාමයන් විචිත්‍ර තමයි. මිහිරි තමයි. සිත ඇදී යනවා තමයි. ඒ වුණත් ඒ තුළින් මේ සිත නොයෙක් විදිහට කලබල වෙලා යනවා. කාමයේ තිබෙන මේ ආදීනව දැකලයි මං මහණ වුණේ.
788. පුංචි අයත් වැඩිහිටියොත් කවුරුත් මැරිලා යන්නෙ ගස්වල ගෙඩි වැටෙනවා වගේ. පින්වත් රජතුමනි, ඒවා දැකලයි මං මහණ වුණේ. මේ ශ්‍රමණ ජීවිතය කිසි කරදරයක් නෑ. ඒ වගේම උතුම් ජීවිතයක්.
789. මං මහණ වුණේ ශ්‍රද්ධාවෙන්මයි. බුදු සසුනට පැමිණුනේ ශ්‍රද්ධාවෙන්මයි. ඒ මගේ මහණකම වඳ පීදුන එකක් නොවේ. මං දානෙ වළඳන්නෙ කිසි ණයක් නැතිව.
790. මං කාමයන් දුටුවෙ ගිනි ජාලාවක් වගේ. රන් රිදී දැක්කෙ අවි ආයුධ වගේ. මවු කුසේ ඉපදීමේ ඉඳල නිරය දක්වාම තියෙන්නෙ දුක නම් වූ මහා බියයි.
791. මං මේ ආදීනවය දැක්කා. මට මා තුළම සංවේගය ඇති වුණා. ඉස්සර මට කෙලෙස් හුල්වලින් පහර ලැබුණා. ඒ වුණාට දැන් ඒ සියළු කෙලෙස් නැති කරල අරහත්වයට පත්වෙලයි මං ඉන්නෙ.
792. මං ශාස්තෘන් වහන්සේව ගෞරවයෙන් ඇසුරු කළා. බුදු සසුන සම්පූර්ණ කරගත්තා. කෙලෙස් බර පැත්තකින් තිබ්බා. භව රැහැන් මුලින්ම කඩල දැම්මා.
793. මං ගිහි ජීවිතය අත්හැරල මහණ වුණේ ලොකු පැතුමක් ඇතිව. මගේ ඒ අදහස ඉෂ්ට වුණා. හැම බන්ධනයකින්ම නිදහස් වුණා. අරහත්වය ලබාගත්තා.
මෙය වනාහී ආයුෂ්මත් රට්ඨපාල නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_20-1-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M