747. මට හරිම වීරියක් තිබුණා. මං බොහෝම කාලයක් තිස්සේ ධර්මයමයි හොය හොය හිටියේ. නොයෙක් ශ්‍රමණ බමුණන්ගෙන් විමසුවා. නමුත් සිත සංසිඳුවන සත්‍ය ධර්මයක් අහන්ට ලැබුණෙ නෑ.
748. ඇත්තෙන්ම මේ ලෝකෙන් එතෙර වෙන කෙනා කවුද? නිවන් අවබෝධ කළ කෙනෙක් ඉන්නවා නම් එයා කවුද? ජීවිතය අවබෝධ කරගැනීමට කාගෙ ධර්මයක් ද මං පිළිගන්නෙ?
749. ඒ දවස්වල මං හිටියේ ජීවිතයේ අභ්‍යන්තරයේ වංක ගතියකින්. ඇමක් ගිලපු මාළුවෙක් වගේ. ශක්‍රයාගේ බන්ධනයට අහුවෙච්ච වේපචිත්ති අසුරයා වගේ. කෙලෙස්වලටමයි බැඳිල හිටියේ.
750. එතකොට මං ඒ කෙලෙස් අයින් කරනවා. ඒත් මේ ශෝක වැලපීම්වලින් මිදෙන්ට මට බැරිවුණා. මේ කෙලෙස් බන්ධනයෙන් මාව නිදහස් කරවල, අවබෝධය ලබාදෙන ධර්මයක් පවසන්ට මේ ලෝකෙ කාටද පුළුවන්?
751. කෙලෙස් නැතිකර දමන ධර්මයක් කියාදෙන්ට පුළුවන් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් ඉන්නවා නම් එයා කවුද? මේ ජරා මරණ සෝදා දමන ධර්මයක්, මං පිළිගන්නේ කාගෙන් ද?
752. සැක සංකා වලින් එක ගොඩට ගැට ගැහිලා, එකට එක කිරීම බලය කරගෙන, ක්‍රෝධ කරගෙන, මාන්නයෙන් දැඩිවෙලා ප්‍රාර්ථනාවලට අහුවෙලයි මං හිටියේ.
753. තෘෂ්ණාවෙන් හදපු දුන්නක් තියෙනවා. ඒ දුන්නෙන් ඉපදිච්ච දෘෂ්ටි නමැති ඊතල තිහක් විතර ගොඩක් මේ හදවත හිල් කරගෙන කිඳා බැහැලා තියෙන හැටි බලන්න.
754. එක එක්කෙනා වාද කරල ජයගන්න නොයෙක් මිථ්‍යා මත තියෙනවා. ඉතින් මං ඒවාට බැඳිල ඒවා නැති නොකළ නිසා ඒවායින්මයි මං පහර කන්නේ. එතකොට මං කම්පා වුණේ හුළඟින් සෙලවෙන ගස්වල කොළ වගේ.
755. මේ ඇස්, කන් ආදී ආයතනයෙන් යුතු ජීවිතය පුරාම ඇති මමත්වය නිසාමයි මං මෙච්චර සැලෙන්නේ.
756. මා තුළ තිබුණ ඒ කෙලෙස් හුල ආයුධයකින් හරි වෙනත් ක්‍රමයකින් හරි උදුරා දමල මට ප්‍රතිකාර කරන්ට පුළුවන් කෙනෙක් මට මුණ ගැහුණෙ නෑ.
757. ආයුධයක් පාවිච්චි කරන්නෙ නැතිව, තුවාල කරන්නෙ නැතිව මේ හිතේ මුල් බැසගෙන තියෙන, හැමතැනම සිදුරු කරල දාපු මේ කෙලෙස් හුල් උදුරා දමන්නෙ කවුද?
758. මං බරපතල කරදරයකයි වැටිල හිටියේ. ධර්මය තුළින් ඒ කෙලෙස් විෂ නසා දාලා, මට අත දෙන්න පුළුවන් කෙනෙක් හිටියොත් එයා තමයි මට ශ්‍රේෂ්ඨ වෙන්නේ.
759. අයින් කරගන්ට බැරි විදිහටම කෙලෙස් නැමැති මැටි ඇඟපුරා ගාගෙන, මායා, මාන, එකටෙක කිරීම, නිදිමත ආදියෙන් පිරීගිය ජලාශයක මං ගිලිල හිටියේ.
760. උඩඟුකම නමැති ගෙරවිලි තියෙන, කෙලෙස් නමැති වළාකුළු තියෙන, මිථ්‍යා දෘෂ්ටි නැමැති හුළං හමන සරාගී සංකල්ප වලින් මාව ඒ මේ අත ගහගෙන ගියා.
761. ඇස්, කන් ආදී හැම තැනින්ම මේ තණ්හා ගඟ ගලාගෙන බහිනවා. මේ තණ්හාව ජීවිතය පුරා එතිල තියෙන්නෙ ගහක එතී ගිය වැලක් වගේ. කවුද මේ තණ්හා ගඟ වලකන්නෙ? කවුද මේ තණ්හා වැල කපල දාන්නෙ?
762. පින්වතාණෙනි, මේ තණ්හා ගඟ වළකාලන්ට වේල්ලක් බඳින්න. මනසින් හටගත් ඒ කෙලෙස් සැඩ පහරින් ගසක් කඩාගෙන වැටෙනවා වගේ ඔබව අපායේ නොවැටේවා!
763. ඇත්තෙන්ම මට හරි බයක් ඇතිවුණා. අන්තමේදී මෙතරින් එතෙර වෙන්ට මග හොයා හිටිය මට ඉතාම ආරක්ෂාකාරී, ප්‍රඥා ආයුධ ඇති, ශ්‍රමණ ඉසිවරයන් පිරිවරාගත් ශාස්තෘන් වහන්සේ වන බුදු සමිඳුන් මුණ ගැහුණා.
764. උන්වහන්සේ මට ඉතාම පිරිසිදු ලස්සන පඩි පෙළක් හදල දුන්නා. ඒ පඩි හදල තියෙන්නේ සද්ධර්මය නමැති අරටුවෙන්. කෙලෙස් සැඩ ගංගාවේ ගහගෙන ගිය මට බිය නොවී එතෙර වෙන්නැයි වදාළ සේක.
765. මං සතිපට්ඨානය නමැති සදහම් ප්‍රාසාදයට නැග ගත්තා. එතනට ගිහින් නුවණින් විමසා බැලුවා. එතකොට මං ඉස්සර සක්කාය දිට්ඨියට ඇලිල හිටිය කාලෙ යමක් හිතුවද,
766. ඒ ඔක්කොම අත්හැරල නිවන කරා යන නැවට නගින මාර්ගය දැකගත්තා. ආත්ම දෘෂ්ටිය අතහැරල උතුම් නිවන නම් වූ පුණ්‍ය තීර්ථය දැකගත්තා.
767. භව රැහැන් වලින් හදපු මේ කෙලෙස් හුල් ආයෙ කවදාවත් හට නොගන්න උතුම් මගක් තමයි බුදු සමිඳුන් කියල දුන්නේ.
768. බුදු සමිඳුන් කෙලෙස් විෂ දොස් නැති කරන කෙනෙක්. බොහෝ කාලයක් තිස්සේ මගේ හිතේ බැසගෙන පිහිටල තිබුණ ඒ හැම කෙලෙස් ගැට උන්වහන්සේ මා තුළින් ඉවත් කර දැම්මා.
මෙය වනාහී ආයුෂ්මත් තේලකානි නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_20-1-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M