557. ඉස්සර මං හරි දුර්වලයි. ධර්මය වටහා ගැනීමේ ශක්තියක් තිබුණේම නෑ. ඒ දවස්වල මං හරි නින්දා වින්දා. මගේ සොහොයුරා පවා ‘දැන් ඉතින් ආයෙමත් ගෙදර පලයන්’ කියල මාව විහාරයෙන් ඉවත් කළා.
558. සහෝදර ස්වාමීන් වහන්සේ මාව ඉවත් කළාට පස්සේ විහාරයේ දොරකඩ මං හිටගෙන හිටියා. බුද්ධ ශාසනයට මං හරිම ආසයි. මං හරිම දුකෙන් හිටියේ.
559. භාග්‍යවතුන් වහන්සේ එතනට වැඩියා. මගේ හිස පිරිමැද්දා. මගේ අතින් අල්ලාගෙන ආයෙමත් විහාරයට එක්කගෙන ආවා.
560. ඇත්තෙන්ම ශාස්තෘන් වහන්සේ මං ගැන අනුකම්පා කළා. පාපිස්නා රෙදි කඩක් මගේ අතට දුන්නා. පැත්තකට ගිහිල්ලා මේ සුදු රෙදි කඩ කෙරෙහි හොඳින් සිත පිහිටුවා ගන්න කියලා මට උපදෙස් දුන්නා.
561. ඉතින් මං බුදු සමිඳුන්ගේ වචනය හිතට ගත්තා. ශාසනයේ ඇල්ම ඇති කරගෙන වාසය කළා. උතුම් නිවනම ලබාගන්ට සුදුසු විදිහට සමාධිය ඇතිකර ගත්තා.
562. දැන් පුබ්බේනිවාස ඥානය ගැන මං දන්නවා. දිබ්බචක්ඛු ඥානයත් පිරිසිදු කරගත්තා. ත්‍රිවිද්‍යාව ලැබුවා. බුදු සසුන සම්පූර්ණ කළා.
563. එදා ඒ පන්ථක භික්ෂුව තමන් වගේම දාහක් මැව්වා. දානයට කල් දන්වන තුරු ලස්සන අඹ වනයේ වාඩි වෙලා හිටියා.
564. ඉතින් මගේ ශාස්තෘන් වහන්සේ දානයට කල් දන්වලා පණිවිඩකාරයෙක් මං වෙතට එව්වා. මං එදා දානෙට ගියේ අහසින්.
565. මං ගිහින් ශාස්තෘන් වහන්සේගේ සිරිපතුල් වැන්දා. පැත්තකින් වාඩිවුණා. මං හිඳගත් බව දැක්කට පස්සෙයි ශාස්තෘන් වහන්සේ දානය පිළිගත්තේ.
566. සියළු ලෝකයාගේ පූජා ලැබීමට සුදුසු දන් පිළිගැනීමට සුදුසු මිනිසුන්ගේ පින්කෙත වූ බුදු සමිඳාණන් දානය පිළිගත් සේක.
මෙය වනාහී ආයුෂ්මත් චූල පන්ථක නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_10-1-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M