ඛුද්දක නිකාය

ථේර ගාථා

10.1.3. මහාකප්පිනත්ථේරගාථා

10.1.3. මහා කප්පින තෙරුන්ගේ ගාථා

547. අනාගතං යෝ පටිගච්ච පස්සති
හිතං ච අත්ථං අහිතං ච තං ද්වයං
විද්දේසිනෝ තස්ස හිතේසිනෝ වා
රන්ධං න පස්සන්ති සමෙක්ඛමානා

547. තමන්ගෙ අනාගතය ගැන හිතලා හොඳ නරක තෝරා බේරාගෙන කලින්ම ඒ ගැන නුවණින් දැනගෙන කටයුතු කළොත්, එයාගෙ සිදුරක් හතුරු මිතුරු කාටවත් දැනගන්ට බැහැ.

548. ආනාපානසතී යස්ස පරිපුණ්ණා සුභාවිතා
අනුපුබ්බං පරිචිතා යථා බුද්ධේන දේසිතා
සෝමං ලෝකං පභාසේති අබ්භා මුත්තෝව චන්දිමා

548. බුදු සමිඳුන් වදාළ විදිහටමයි ආනාපානසතිය ප්‍රගුණ කරන්ට ඕනෙ. ඒ විදිහට ආනාපානසතිය සම්පූර්ණ කළොත්, හොඳට භාවනා වශයෙන් වැඩුවොත්, එයාට පුළුවන් ලෝකයම එළිය කරන්න. වළාකුළු වලින් මිදුණ පුන්සඳ වගේ.

549. ඕදාතං වත මේ චිත්තං අප්පමාණං සුභාවිතං
නිබ්බිද්ධං පග්ගහීතං ච සබ්බා ඕභාසතේ දිසා

549. ඇත්තෙන්ම දැන් මගේ හිත හරිම පිරිසිඳුයි. සීමා රහිත කොට සිත වැඩුණු, අවබෝධයෙන් යුක්තව වීරියෙන් වඩපු නිසා හැම දිසාවක්ම බබලනවා.

550. ජීවිතේ වා පී සප්පඤ්ඤෝ අපි චිත්තපරික්ඛයෝ
පඤ්ඤාය ච අලාභේන විත්තවා පි න ජීවති

550. නුවණ තියෙන කෙනාට කොයිතරම් ධන හානියක් වුණත්, එයා ජීවත් වෙනවා. නමුත් කොයි ආකාරයේ ධනයක් තිබුණත් ප්‍රඥාව නැති කෙනා ජීවත් වෙන කෙනෙක් නොවේ.

551. පඤ්ඤා සුතවිනිච්ඡිනී පඤ්ඤාකිත්තිසිලෝකවඩ්ඪනී
පඤ්ඤා සහිතෝ නරෝ ඉධ අපි දුක්ඛේසු සුඛානි වින්දති

551. තමන් අසන ධර්මයේ සැබෑම විනිශ්චය ලබාදෙන්නේ ප්‍රඥාවයි. කීර්ති ප්‍රශංසා ලබාදෙන්නේ ප්‍රඥාවයි. ප්‍රඥාවන්ත මිනිසාට පුළුවන් දුක මැඩ සැප විඳින්නට.

552. නායං අජ්ජතනෝ ධම්මෝ නච්ඡේරෝ න පි අබ්භුතෝ
යත්ථ ජායේථ මීයේථ තත්ථ කිං විය අබ්භුතං

552. මේ යථාර්ථය අදාළ වන්නේ අදට විතරක් නොවේ. අනිත් එක මේ කරුණේ අද්භූත පුදුම දෙයක් නෑ. යම් කරුණක තිබෙන්නේ ඉපදීමයි මරණයයි නම් ඒකෙ තියෙන පුදුමය කුමක්ද?

553. අනන්තරං හි ජාතස්ස ජීවිතා මරණං ධුවං
ජාතා ජාතා මරන්තීධ ඒවං ධම්මා හි පාණිනෝ

553. ජීවිතයක් උපදින කොටම මරණයත් එනවාමයි. උපදින තාක්ම මැරෙන්ට සිදුවෙනවා. සත්වයන්ගේ ස්වභාවය ඔන්න ඔච්චරයි.

554. න හේතදත්ථාය මතස්ස හෝති
යං ජීවිතත්ථං පරපෝරිසානං
මතම්හි රුණ්ණං න යසෝ න ලෝක්‍යං
න වණ්ණිතං සමණබ්‍රාහ්මණේහි

554. කෙනෙක් මැරුණා ම ඒ වෙනුවෙන් තව කෙනෙක් ඇඬුවා කියල අර මැරුණ කෙනාට කිසිම ඵලක් නෑ. මළකුණක් වෙනුවෙන් හඬා වැලපීම කීර්ති ප්‍රශංසා ලැබෙන දෙයක් නොවේ. ශ්‍රමණ බමුණන් වර්ණනා කළ දෙයකුත් නොවේ.

555. චක්ඛුං සරීරං උපහන්ති රුණ්ණං
නිහීයති වණ්ණබලං මතී ච
ආනන්දිනෝ තස්ස දිසා භවන්ති
හිතේසිනෝ නාස්ස සුඛී භවන්ති

555. හඬපුවාම ඇස්වලටත් අමාරුයි. ඇඟටත් අමාරුයි. පෙනුමත් නැතිව යනවා. නුවණයි කල්පනාවයි දුර්වල වෙනවා. එතකොට එයාගෙ හතුරන්ට තමයි සතුටු. හිතවතුන්ට ඒකෙන් සතුටක් නෑ.

556. තස්මා හි ඉච්ඡෙය්‍ය කුලේ වසන්තේ
මේධාවිනෝ චේව බහුස්සුතේ ච
යේසං හි පඤ්ඤාවිහවේන කිච්චං
තරන්ති නාවාය නදිං ව පුණ්ණ’න්ති

556. එම නිසා ගෙවල්වල ඉන්න අය නුවණ තිබෙන බහුශ්‍රැත උතුමන්ගේ ඇසුරට කැමති වෙන්ට ඕනෙ. ප්‍රඥාවෙන් යුක්තවයි ඒ උතුමන් කටයුතු කරන්නේ. ඒ උතුමන්ගේ ජීවිත වතුර පිරුණ ගංගාවක් තරණය කරන නැවක් වගේ.

ඉත්ථං සුදං ආයස්මා මහාකප්පිනෝ ථේරෝ ගාථායෝ අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් මහා කප්පින නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_10-1-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M