537. වනාන්තරයේ මං තනියම ඉන්න කොට කවුරුවත් මට ඉදිරියෙනුත් නැති නම් කවුරුවත් මගේ පිටුපසිනුත් නැති නම් ඇත්තෙන්ම මට හරි පහසුවක් දැනෙනවා.
538. අපේ බුදුසමිඳුන් වනයේ වාසය කිරීම හරියට අගය කළා. මං වුණත් වනයට යන්නෙ හුදෙකලාවේමයි. දිවි දෙවැනි කොට ධර්මයේ හැසිරෙන භික්ෂුවකට තනියම ඉන්න එක හරිම පහසුයි.
539. මම භාවනා කරන කෙනෙක්. අලි ඇතුන් වාසය කරන මහා වනයට ඇතුළු වීමට මම හරි සතුටුයි. වනය ලස්සනයි. මං තනියම ඉක්මනින් වනය ඇතුළට යන්නෙ ලොකු තේරුමක් ඇතිව.
540. එක යායට මල් පිපෙනවා. වනය සීතලයි. සිහිලැල් දොළකින් ඇඟපත සෝදාගෙන මං තනියම සක්මන් කරනවා.
541. නිවන් මග වඩලා අවසන් කරපු රහත් නමක් හැටියට දෙවැන්නෙක් නැතිව තනියම මේ ලස්සන මහ වනයේ මං ඉන්නේ කවදාද?
542. ඒ විදිහට තමයි මං කැමති. මගේ අදහස ඉටුවේවා! නිවන් මග සකසාගන්ට තියෙන්නෙ මා විසින්මයි. මේ වැඬේ තවත් කෙනෙක් තවත් කෙනෙකුට කරල දෙන්නෙ නෑ.
543. මං වනයට යන්නෙ වීරිය තියෙන යුද ඇඳුම් ඇඳගෙන. ආයෙ ඉතින් ආශ්‍රවයන් ප්‍රහාණය කරල මිසක් මං වනාන්තරයෙන් එළියට එන්නෙ නෑ.
544. සිහිළ් සුළඟ හමනකොට හරිම සුවඳයි. දිව්‍ය සුවඳක් වගෙයි. මං කන්ද මුදනෙ ඉඳගෙන අවිද්‍යාව පලා දමනවා.
545. වනය පුරාම සුවඳ මල් පිරිලා. මේ සීතල කඳු බෑවුම්වල විවේක සැපයෙන් සුවපත් වෙලා ඒකටම සිත් අලවාගෙන මං ඉන්නවා.
546. මං හිතාගෙන හිටපු සියලු දේම මට දැන් ඉෂ්ට වුණා. මමත් පෝයදාට ආකාසෙ පායල තියෙන පුන් සඳක් වගේ. හැම ආශ්‍රවයක්ම නැති කළා. දැන් ඉතින් මට පුනර්භවයක් නෑ.
මෙය වනාහී ආයුෂ්මත් ඒකවිහාරිය නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන් ය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_10-1-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M