ඛුද්දක නිකාය

පේතවත්ථු

4.7. රාජපුත්ත පේත වත්ථු

4.7. රාජපුත්ත ප්‍රේත වස්තුව

762. පුබ්බේ කතානං කම්මානං විපාකෝ මථයේ මනං
රූපේ සද්දේ රසේ ගන්ධේ පොට්ඨබ්බේ ච මනෝරමේ

762. පෙර කරපු කර්මයෙන්මයි මේ සැප විපාක ලැබෙන්නෙ. නමුත් මේ සිත්කලු රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශවලට ඔහුගේ සිත යට වෙනවා.

763. නච්චං ගීතං රතිං ඛිඩ්ඩං අනුභුත්වා අනප්පකං
උය්‍යානේ පරිචරිත්වාන පවිසන්තෝ ගිරිබ්බජං

763. ස්වල්ප නොවන නැටුම්, ගැයුම්, කම්සුව, කෙළිසෙල්ලම්වලින් සතුටු වෙවී ඉඳල උයන්වල විනෝද වෙවී ඉඳල රජගහ නුවරට ඇතුළු වෙනවා.

764. ඉසිං සුනෙත්ත මද්දක්ඛි අත්තදන්තං සමාහිතං
අප්පිච්ඡං හිරිසම්පන්නං උඤ්ඡේ පත්තගතේ රතං

764. එතකොට ඔහු සුනෙත්ත නම් වූ පසේබුදු සෘෂිවරයාණන්ව දැක්කා. උන්වහන්සේ දමනය වෙලා ඉන්නෙ. ඒ සිත සමාහිතයි. අල්පේච්ඡයි. වරදට ලැජ්ජයි. පාත්‍රයට ලැබුණු දෙයකින් සතුටු වෙනවා.

765. හත්ථික්ඛන්ධතෝ ඕරුය්හ ලද්ධා භන්තේති ච බ්‍රැවි
තස්ස පත්තං ගහෙත්වාන උච්චං පග්ගය්හ ඛත්තියෝ

765. ඉතින් ඔහු ඇතා පිටින් බැස්සා. ‘ස්වාමීනි, පිණ්ඩපාතේ ලැබුනාද?’ කියල ඇහුවා. උන්වහන්සේගේ පාත්‍ර අතට ගත් ඒ රජ කුමාරයා,

766. ථණ්ඩිලේ පත්තං භින්දිත්වා හසමානෝ අපක්කමි
රඤ්ඤෝ කිතවස්සහං පුත්තෝ කිං මං භික්ඛු කරිස්සසි

766. තද බිම් ප්‍රදේශයක පාත්‍රය පොළොවෙ ගැහුවා. හිනා වෙවී ඉවත් වෙලා ගියා. ‘ඒයි භික්ෂුව, මං කිතව රජ්ජුරුවන්ගෙ පුතා. තමුසෙ මට මොනව කරන්ටද?’

767. තස්ස කම්මස්ස ඵරුසස්ස විපාකෝ කටුකෝ අහු
යං රාජපුත්තෝ වේදේසි නිරයම්හි සමප්පිතෝ

767. ඒ දරුණු පාප කර්මයේ විපාකත් ඒ විදිහටම කටුකයි. ඊට පස්සෙ ඒ රාජ පුත්‍රයා නිරයේ ගිහිල්ලා කොයි විදිහටද දුක් වේදනා වින්ඳේ?

768. ඡළේව චතුරාසීති වස්සානි නහුතානි ච
භුසං දුක්ඛං නිගච්ඡිත්ථෝ නිරයේ කතකිබ්බිසෝ

768. පව්කම් කරපු ඔහු නිරයේ ඉපදිලා දුක් විඳපු අවුරුදු ගණන මෙහෙමයි. අසූහාරදාහක් අවුරුදු ගණන හයෙන් වැඩි කරල ගත්තු අවුරුදු නහුත ගණනක් ඔහු බොහෝම දුක් වින්ඳා.

769. උත්තානෝපි ච පච්චිත්ථ නිකුජ්ජෝ වාමදක්ඛිණෝ
උද්ධංපාදෝ ඨිතෝ චේව චිරං බාලෝ අපච්චථ

769. ඒ අඥාන පුද්ගලයාව උඩු අතට නිරයේ පැහුනා. යටිකුරු අතටත් නිරයේ පැහුනා. වම් ඇලයෙන් ඉඳගෙනත් නිරයේ පැහුනා. දකුණු ඇලයෙන් ඉඳගෙනත් නිරයේ පැහුනා. උඩු අතට පාද ඇතිව ඉඳගෙනත් නිරයේ පැහුනා. බොහෝ කාලයක් නිරයේ පැහුනා.

770. බහූනි වස්සසහස්සානි පූගානි නහුතානි ච
භුසං දුක්ඛං නිගච්ඡිත්ථෝ නිරයේ කතකිබ්බිසෝ

770. අවුරුදු දහස් ගණන්, ගොඩාක් අවුරුදු ගණන්, අවුරුදු නහුත ගණන් ඒ පව් කරපු අඥානයා ඒ නිරයේ අතිශයින්ම බලවත් දුකට පත්වුනා.

771. ඒතාදිසං ඛෝ කටුකං අප්පදුට්ඨප්පදෝසිනං
පච්චන්ති පාපකම්මන්තා ඉසිමාසජ්ජ සුබ්බතං

771. කේන්ති යන උදවිය කෙරෙහි කිසි දවසක නොකිපෙන, යහපත් ගතිපැවතුම් තියෙන ඒ මුනිවරයාණන් හට කරදර කරලා පව්කම් කරලා තමයි ඔය ආකාරයේ කටුක දුක් දොම්නස් විඳින්නෙ.

772. සෝ තත්ථ බහුවස්සානි වේදයිත්වා බහුං දුඛං
ඛුප්පිපාසාහතෝ නාම පේතෝ ආසි තතෝ චුතෝ

772. ඒ පුද්ගලයා බොහෝ අවුරුදු ගණනක් බොහෝ දුක් විඳ විඳ ඉඳල එයින් චුත වුනා. ඊට පස්සෙ පිපාසයෙන් බඩගින්නෙන් වේදනා විඳින පෙරේතයෙක් වුනා.

773. ඒතමාදීනවං දිස්වා ඉස්සරමදසම්භවං
පහාය ඉස්සරමදං නිවාතමනුවත්තයේ

773. සැප සම්පත්වලින් මත්වෙලා හිටපු නිසයි මේ ආදීනව හටගත්තෙ. මේක තේරුම් ගත්ත මනුස්සයා සැප සම්පත්වලින් හිතට ගන්න එක දුරු කරන්න ඕන. නිහතමානී බව ඇති කරගන්න ඕන.

774. දිට්ඨේව ධම්මේ පාසංසෝ යෝ බුද්ධේසු සගාරවෝ
කායස්ස භේදා සප්පඤ්ඤෝ සග්ගං සෝ උපපජ්ජතී‘ති.

774. යම් කෙනෙක් බුදුවරයන් වහන්සේලා කෙරෙහි ගෞරවයෙන් යුක්ත නම් ඒ කෙනාට මේ ජීවිතයේදීම ප්‍රශංසා ලැබෙනවා. ඒ ප්‍රඥාවන්ත කෙනා කය බිඳී මරණින් මතු දෙව්ලොව උපදිනවා.

සාදු! සාදු!! සාදු!!!

රාජපුත්තපේතවත්ථු සත්තමං.

හත්වෙනි රාජපුත්ත ප්‍රේත වස්තුවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn4_4-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M