667. සුරට්ඨ කියල ජනපදයක් තිබුනා. එයට අධිපති වූ පිංගලක කියල රජෙක් හිටියා. ඔහු මෞර්ය රජ්ජුරුවන්ට උපස්ථාන කරන්ට ගිහින් ආපහු සුරට්ඨ ජනපදයට ආවා.
668. ඒ ගිනි මද්දහන වෙලාවේ රජතුමා සිත්කළු භූමියකට පැමිණියා. ඒක ප්‍රේතයෙක් විසින් මවපු මාර්ගයක්. හරි රමණීය දැකුම්කළු මාවතක්. ඔහු ඒ මාවත දැක්කා.
669. රියැදුරා අමතලා මෙහෙම ඇහුවා. ‘රියැදුර’ මේ මාර්ගය හරි අපූරුයි නෙව. කිසි භයක් නෑ. සුවසේ යන්න පුළුවන්. උවදුරු නෑ. මේ මාර්ගයෙන්ම යන්න. මේ මාර්ගයෙන් අපි යනකොට අපිට සුරට්ඨ ජනපදය ළඟටම යන්න පුළුවනි.’
670. ඒ සුරට්ඨ අධිපති රජතුමා සිවුරඟ සේනාවත් සමග ඒ මාවතෙන් ගියා. එතකොට බියෙන් තැති ගත් එක්තරා පුරුෂයෙක් රජ්ජුරුවන්ට මෙහෙම කිව්වා.
671. රජතුමනි, මේ බියජනක වූ ලොමුඩැහැ ගන්වන නපුරු මාවතකට යි අපි වැටුනේ. ඉස්සරහට යන පාර නම් පේනවා තමයි. ඒ වුනාට පිටිපස්සෙන් ඒ පාර පේන්නෙ නෑ.
672. අපි නපුරු මාර්ගයකටයි වැටිල ඉන්නෙ. පෙරේතයින්ගෙ සමීපයටයි අපි වැටිල ඉන්නෙ. පෙරේතයින්ගෙ අමනුස්ස ගඳ හමනවා. මහා දරුණු විලාප ඇහෙනවා.
673. සුරට්ඨ රජ්ජුරුවෝ සංවේගයට පත් වුණා. රියැදුරාට මෙහෙම කිව්වා. ‘මේ බියජනක වූ ලොමුඩැහැ ගන්වන නපුරු මාවතකටයි අපි වැටුනේ. ඉස්සරහට යන පාර නම් පේනවා තමයි. ඒ වුනාට පිටිපස්සෙන් ඒ පාර පේන්නෙ නෑ.’
674. අපි නපුරු මාර්ගයකටයි වැටිල ඉන්නෙ. පෙරේතයින්ගෙ සමීපයටයි අපි වැටිල ඉන්නෙ. පෙරේතයින්ගෙ අමනුස්ස ගඳ හමනවා. මහා දරුණු විලාප ඇහෙනවා.
675. එතකොට ඔහු ඇතාගේ පිට උඩ නැඟලා හතර දිසාව හොඳට බැලුවා. බලද්දී රමණීය නුග රුකක් දැක්කා. සිත්කළු සෙවණ තියෙනවා. නිල් වළාකුලක් වගේ. වළාකුලේ පැහැයෙන් යුක්තයි.
676. රජතුමා රියැදුරා ඇමතුවා. ‘අර මහ විසාලෙට පෙනෙන නිල් වළාකුලක් වගේ පෙනෙන වළාකුලක පැහැය ගත්තු දේ මොකක්ද?’
677. මහරජතුමනි, ඒක නුග රුකක්. හොඳ සිත්කළු සෙවණ තියෙනවා. නිල් වළාකුලක් වගේ. වළාකුලක පැහැයෙන් යුක්තයි.
678. එතකොට සුරට්ඨ රජතුමා ඒ නිල් වළාකුලක් වගේ පෙනුන, වළාකුලක පැහැ සටහන් ගත්තු ඒ මහා විශාල නුගරුක ළඟට ගියා.
679. රජතුමා ඇතාගෙ පිටෙන් බැස්සා. නුග රුක ළඟට ගියා. ඇමැතියන් සහිතව පිරිවර සේනාව සහිතව නුග රුක් සෙවණේ වාඩිවුනා.
680. එතැන පුරවපු පැන් භාජනයක් තිබුනා. මිහිරි කැවුම් තිබුනා. රජතුමා මේව දැක්කා. සියලු ආභරණවලින් සැරසුණු දෙවියෙක් වගේ කෙනෙක් ආවා. ඇවිදින් සුරට්ඨ රජතුමාට මෙහෙම කිව්වා.
681. මහරජතුමනි, ඔබට යහපත් පැමිණීමක් වේවා! ඔබේ මේ ගමන නපුරු පැමිණීමක් නොවෙයි. රජතුමනි, පැන් පානය කළ මැනව. කැවුම් වැළඳුව මැනැව.
682. ඇමැතියන් සහිත වූ පිරිවර සේනා සහිත වූ සුරට්ඨ රජතුමා පැන් වැළඳුවා. කැවුමුත් අනුභව කළා. මෙහෙම කිව්වා.
683. ඔබ දෙවියෙක්ද? ගාන්ධර්වයෙක්ද? එහෙමත් නැත්නම් පුරින්දද වූ ශක්‍රයාද? අපි මේ ඒ ගැන නොදැනයි අහන්නෙ. ඔබ කවුරු කියලද අපි දැනගන්න ඕන?
684. මහරජ, මං දෙවියෙක් නොවෙයි. මං ගාන්ධර්වයෙකුත් නොවෙයි. පුරින්දද නම් වූ ශක්‍රයාත් නොවෙයි. මං පෙරේතයෙක්. සුරට්ඨ දේශයේ ඉඳලයි මෙහේ ආවේ.
685. ඔබ ඉස්සර සුරට්ඨ දේශයේ ඉන්න කොට මොන විදිහේ සිල්වතෙක්ද? මොන විදිහේ යහපත් ගතිගුණ ඇතිව හිටියාද? මොන වගේ උතුම් ජීවිතයකින්ද ඔබට මේ වගේ ආනුභාවයක් ලැබුනේ?
686. සතුරන් දමනය කරන, රට දියුණු කරන මහරජතුමනි, ඇමතිවරුත්, සේනාපිරිසත්, පුරෝහිත බ්‍රාහ්මණයාත් මෙය අසනු මැනැව.
687. දේවයනි, මං සුරට්ඨ දේශයෙන් ආපු පවිටු සිත් ඇති කෙනෙක්. මිත්‍යා දෘෂ්ටික කෙනෙක්. දුස්සීල කෙනෙක්. කෑදරයෙක්. අනුන්ට නින්දා අපහාස කරන කෙනෙක්.
688. දන් දෙන උදවිය ගේ පින්කම් කරන උදවියගේ ඒ බොහෝ දෙනාගේ පින්කම් මං වැළැක්වූවා. අනුන් දෙන දානයටත් මං අනතුරු කරන කෙනෙක් වුනා.
689. දන් දීමෙන් ලැබෙන විපාකයක් නෑ. සිල් රැකීමෙන් ලැබෙන ඵලයකුත් නෑ. ගුරුවරු කියල කොටසක් නෑ. දමනය නොවී ඉන්න අය කවුරුන්ව නම් දමනය කරන්ටද?
690. හැම සත්වයෙක්ම එකිනෙකාට සමානයි. වැඩිහිටියන්ට මොනවට සළකනවාද? බලයක් වීරියක් කියල දෙයක් නෑ. නැඟී සිටීමේ පුරුෂ ධෛර්යය කියල එකක් මොකටද?
691. දානයෙන් ලැබෙන ඵලයක් නම් නෑ. වෛර කරපු උදවියට පින්වලින් පිරිසිදු වෙන්ට පුළුවන්ද? මේ සත්වයා ලැබිය යුතු යම් සැපක් දුකක් ලබනවා නම් සොබාදහමේ පරිණාම නියතියෙනුයි හටගන්නෙ.
692. මව් කියල විශේෂ කෙනෙක් නෑ. පියා කියල විශේෂ කෙනෙක් නෑ. සහෝදරයෝ නෑ. මෙයින් තොර වෙන ලෝකයකුත් නෑ. දන් දීමෙන් වැඩක් නෑ. ඇප උපස්ථාන කිරීමෙන් වැඩක් නෑ. යහපත් ලෙස තැන්පත් කරනවයි කියන පිනක් දකින්ට නෑ.
693. යම් කෙනෙක් තව පුරුෂයෙකුව මරණවා නම් තව කෙනෙකුගේ හිස ගසා දමනවා නම් ඒ කවුරුවත් තව කෙනෙක්ව නසන්නෙ නෑ. ඒක සත් ආකාර වූ ධාතු ඇති මේ ශරීරයේ සිදුරු අතරින් ආයුධයක් ගියා විතරයි.
694. මේ ජීවාත්මය කියන්නෙ සිඳින්ට බිඳින්ට පුළුවන් දෙයක් නොවෙයි. මේ ජීවාත්මය අටපට්ටම් වුන වටකුරු පන්දුවක් වගේ දෙයක්. යොදුන් පන්සියයක උස තියෙනවා. කවුරු නම් ඒ ජීවාත්මය වනසන්න සුදුසු වෙයිද?
695. මේක නූල් බෝලයක් වගේ එකක්. මේක විසි කළ විට ලෙහි ලෙහී යනකල් විතරයි යන්නෙ. මේ ජීවාත්මයත් එහෙම දෙයක් තමයි. මේක ලෙහි ලෙහී යනකල් විතරයි යන්නෙ.
696. ඒක මේ වගේ දෙයක්. ඔන්න කෙනෙක් ගමකින් පිටත් වෙලා වෙන ගමකට යනවා. අන්න ඒ වගේ තමයි. ඒ ජීවාත්මය වෙනත් කයකට මාරු වෙලා යනවා.
697. ඒක මේ වගේ දෙයක්. ඔන්න කෙනෙක් ගෙදරකින් පිටත් වෙලා වෙන ගෙදරකට යනවා. අන්න ඒ වගේ තමයි. ඒ ජීවාත්මය වෙනත් කයකට මාරු වෙලා යනවා.
698. යමෙක් අනුවණයෙක් වුනත් පණ්ඩිතයෙක් වුනත් ඒ අය කවුරුත් මහාකල්ප අසූහතර ලක්ෂයක් සංසාරය ගෙවල ඉවර වුනාට පස්සෙයි මේ දුක් අවසන් වෙලා යන්නෙ.
699. මේ සත්වයන්ගේ සැපදුක් ද්‍රෝණයකින් හරි කුල්ලකින් හරි මැනපු දෙයක් වගෙයි තියෙන්නෙ. ඕවා ඔක්කොම දැනගන්නෙ අවබෝධ කරපු අය විතරයි. අනෙක් සියලු දෙනාම බලවත්ව මුලාවෙලයි ඉන්නෙ.
700. මං ඉස්සර ඔන්න ඔය වගේ මිත්‍යා දෘෂ්ටියක් දරපු කෙනෙක්. බලවත්ව මුලා වෙලා මෝහයෙන් වැහිලයි හිටියේ. දුස්සීල වෙලා හිටියේ. කෑදර වෙලා හිටියේ. අනුන්ට නින්දා අපහාස කර කර හිටියේ.
701. තව හය මාසයක් යන්ට කලින් මගේ මරණය සිද්ධ වෙනවා. එතකොට ඒකාන්තයෙන්ම කටුක වූ භයානක දුක් ඇති නිරයටයි මං වැටෙන්නෙ.
702. ඒ නිරයේ කොන් හතරක් තියෙනවා. දොරවලුත් හතරක් තියෙනවා. ඒව කොටස් වශයෙන් ගානට බෙදලයි තියෙන්නෙ. වටේටම තියෙන්නෙ යකඩ පවුරක්. වහල තියෙන්නෙත් යකඩ පියනකින්.
703. ඒ අවීචි මහානරකාදියේ ඇවිලෙන ගිනිදැල් හරිම සැරයි. ඒ යකඩ භූමියේ හැම තිස්සේම යොදුන් සියයක් පුරාවට ගිනිදැල් පැතිරිලා තියෙනවා.
704. මහරජතුමනි, ඒ නිරයේ අවුරුදු ලක්ෂයක් පැහිල ගෙවුණාම එකපාරටම මහා ශබ්දයක් ඇහෙනවා. එහි විඳවන්න තියෙන ආයුෂ ප්‍රමාණය අවුරුදු කෝටි ලක්ෂයක් වෙනවා. ඔය එහෙ තියෙන ආයුෂ ප්‍රමාණයයි.
705. යම් කෙනෙක් කෝටි ලක්ෂයක් අවුරුදු නිරයේ පැහිල දුක් විඳිනවා නම් ඒ ඔක්කොම අය මිත්‍යා දෘෂ්ටික උදවිය. දුස්සීල උදවිය. ආර්යයන් වහන්සේලාට නින්දා අපහාස කරපු උදවියයි.
706. මං ඒ මහා නිරයේ දීර්ඝ කාලයක් තිස්සේ දුක් විඳින්ටයි නියම වෙලා තියෙන්නෙ. මං කරගත්තු පව්වල විපාක තමයි. ඒ නිසා මං බලවත් ශෝකයකින් ඉන්නෙ.
707. සතුරන් දමනය කරන රට දියුණු කරන මහරජතුමනි, මෙය අසනු මැනැව. ඔබට යහපතක්ම වේවා. මහරජතුමනි, මට උත්තරා කියල දුවක් ඉන්නවා.
708. ඈ පින්කම් කරනවා. නිති පන්සිල් රකිනවා. පොහොයට උපෝසථ සිල් රකිනවා. සීලසංවරයෙන් යුක්තයි. දැන් පැන් බෙදනවා. මිහිරි වචන කියනවා. මසුරු නෑ.
709. ඈ සිල්පද කඩා ගන්නෙ නැතුව හික්මෙනවා. අනික් පවුල්වලටත් මොලොක් කෙනෙක්. ඒ වගේම ඈ ශ්‍රීමත් ශාක්‍ය මුනීන්ද්‍ර වූ සම්බුදු රජාණන් වහන්සේ ගේ උපාසිකාවක්.
710. සිල්වත් භික්ෂුන් වහන්සේ නමක් ගමට පිණ්ඩපාතේ වැඩියා. නෙත් සඟල බිමට යොමාගෙන, හොඳ සිහියෙන් යුතුව, ඉඳුරන් රැකගෙන සංවරවයි වැඩියේ.
711. ගෙපිළිවෙලින් පිඬු සිඟා වඩිද්දී ඒ නිවසටත් වැඩියා. මහරජතුමනි, ඔබට යහපතක් වේවා! උත්තරා අර භික්ෂුන් වහන්සේව දැක්කා.
712. ඕ පුරවපු පැන් බඳුනකුයි, මිහිරි කැවුමුත් ඒ භික්ෂුවට පූජා කළා. ‘ස්වාමීනි, මගේ පියාණන් කලුරිය කළා. ඔහුට මේ පින පැමිණේවා’ කියල කිව්වා.
713. ඒ පින් දීපු මොහොතේම මට ඒ පුණ්‍ය විපාකය ලැබුනා. වෙසමුණි රජ්ජුරුවො වගේ මං කැමති කැමති විදිහට සැප අනුභව කරනවා.
714. සතුරන් දමනය කරන රට දියුණු කරන මහරජතුමනි, මෙය අසනු මැනැව. දෙවියන් සහිත ලෝකයාට අග්‍රවෙන්නේ බුදුරජාණන් වහන්සේ කියල යි කියෙන්නෙ. රජතුමනි, අඹුදරුවන් සමගම ඔබ ඒ බුදුරජාණන් වහන්සේව සරණ යන්න.
715. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්මයි ඒ අමා නිවන ස්පර්ශ කරන්නෙ. රජතුමනි, අඹුදරුවන් සමගම ඔබ ඒ ශ්‍රී සද්ධර්මය සරණ යන්න.
716. ආර්ය මාර්ගයෙහි ගමන් කරන හතර දෙනෙක් ඉන්නවා. ඵලයෙහි පිහිටලා ඉන්න හතර දෙනෙක් ඉන්නවා. මේ තමයි සෘජු සිත් ඇති, ප්‍රඥාවන්ත, සීලවන්ත, සමාහිත සිත් ඇති ආර්ය සංඝරත්නය. රජතුමනි, අඹුදරුවන් සමගම ඔබ ඒ ආර්ය සංඝරත්නය සරණ යන්න.
717. ඉක්මනින්ම සතුන් මැරිමෙන් වළකින්න. ලෝකයෙහි සොරකම් කිරීම දුරු කරන්න. මත්පැන් බොන්න එපා. බොරු කියන්නත් එපා. තම බිරිඳ සමගින් පමණක් සතුටු වෙන්න.
718. පින්වත් යක්ෂය, ඔබ මගේ යහපත කැමැති කෙනෙක්. පින්වත් දෙවිය, ඔබ මට හිත කැමති කෙනෙක්. මං ඔබේ වචනය කරනවා. ඔබ මගේ ආචාර්යවරයා වෙන්න.
719. මං බුදුරජාණන් වහන්සේව සරණ යනවා. අනුත්තර වූ ශ්‍රී සද්ධර්මයත්, නරෝත්තමයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයත් මං සරණ යනවා.
720. ඉක්මනින්ම සතුන් මැරීමෙන් වළකිනවා. ලෝකයෙහි සොරකම් කිරීම දුරු කරනවා. මත්පැන් බොන්නෙ නෑ. බොරු කියන්නෙත් නෑ. තම බිරිඳ සමගින් පමණක් සතුටු වෙනවා.
721. මං බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි සිත් අලවා ගෙන ඉන්නෙ. මහා වාතයක් හමාගෙන ඇවිදින් බොල් වී ගහගෙන යනවා වගේ, වේගවත් සැඩ පහරක් තිබෙන ගංගාවේ තණ රොඩු ගහගෙන යනවා වගේ මං ඔය පවිටු මිත්‍ය දෘෂ්ටි වමනෙ කරල දානවා.
722. මෙහෙම කියපු සුරට්ඨ රජතුමා, ඒ පාපී ආකල්පවලින් වැළකුනා. භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කළා. රථයට නැගලා පෙරදිග දිසාවට ගියා.
සාදු! සාදු!! සාදු!!!
තුන්වෙනි නන්දක ප්‍රේත වස්තුවයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn4_4-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M