ඛුද්දක නිකාය

පේතවත්ථු

3.8. දුතිය මිගලුද්දක පේත වත්ථු

3.8. දුතිය මිගලුද්දක ප්‍රේත වස්තුව

497. කූටාගාරේ ච පාසාදේ පල්ලංකේ ගෝණකත්ථකේ
පඤ්චංගිකේන තුරියේන රමසි සුප්පවාදිතේ

497. කූටාගාරවල ප්‍රාසාදවල දිගු ලොම් ඇති කොඳූපලස් අතුරපු යහන්වල පංචාංගික තූර්යය නාදය සුන්දර විදිහට වාදනය වෙද්දි ඔබ ඒ ගැන සතුටු වෙනවා.

498. තතෝ රත්‍යා ව්‍යවසානේ සුරියස්සුග්ගමනම්පති
අපවිද්ධෝ සුසානස්මිං බහුදුක්ඛං නිගච්ඡසි

498. ඒ රැය ගෙවී ගියාට පස්සෙ හිරු උදා වෙනකොට ඔබව සොහොනෙහි අත්හැර දමනවා. බොහෝ දුකට පත් වෙනවා.

499. කින්නු කායේන වාචාන මනසා දුක්කටං කතං
කිස්ස කම්මවිපාකේන ඉදං දුක්ඛං නිගච්ඡසි

499. ඔබ විසින් කයෙන් වචනයෙන් මනසින් මොන වගේ පවක්ද කරගත්තෙ? මොන වගේ කර්මයක විපාකයක් නිසාද මේ වගේ දුකකට පත් වුනේ.

500. අහං රාජගහේ රම්මේ රමණීයේ ගිරිබ්බජේ
මගලුද්දෝ පුරේ ආසිං ලුද්දෝ චාසිමසඤ්ඤතෝ

500. මං හිටියේ රජගහ නුවර. ඒ රම්‍ය වූ ගිරිබ්බජ කියන රමණීය රාජධානියේ මං හිටියේ මුව වැද්දෙක් වෙලා. මං දරුණුයි. සංවරකමක් තිබුනෙ නෑ.

501. තස්ස මේ සහායෝ සුහදෝ සද්ධෝ ආසි උපාසකෝ
තස්ස කුලූපගෝ භික්ඛූ ආසි ගෝතමසාවකෝ

501. නමුත් මාගේ යාළුවෙක් හිටියා. හරි සුහදයි. ශ්‍රද්ධාවන්ත උපාසකයෙක්. ඔහුගේ කුලුපග භික්ෂුවක් හිටියා. උන්වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්.

502. සෝපි මං අනුකම්පන්තෝ නිවාරේසි පුනප්පුනං
මාකාසි පාපකං කම්මං මා තාත දුග්ගතිං අගා

502. ඒ භික්ෂුව මං ගැන අනුකම්පාවෙන් හිටියේ. මාව නැවත නැවත පව්වලින් වැළැක්වුවා. ‘ළමයෝ, පව් විතරක් කරන්ට එපා! අපායෙ යන්ට එපා!’ කියල.

503. සචේ ඉච්ඡසි පෙච්ච සුඛං විරම පාණවධා අසංයමා
තස්සාහං වචනං සුත්වා සුඛකාමස්ස හිතානුකම්පිනෝ

503. මරණින් මත්තෙ සැප ලබන්ට කැමති නම් ඔය දුස්සීල වූ ප්‍රාණවධයෙන් වෙන් වෙන්න. මගේ සැප කැමති මා කෙරෙහි අනුකම්පා කරන ඒ භික්ෂුවගේ වචනය මං අහලා.

504. නාකාසිං සකලානුසාසනිං චිරපාපාභිරතෝ අබුද්ධිමා
සෝ මං පුන භූරිසුමේධසෝ අනුකම්පාය සංයමේ නිවේසයි

504. ඒ සියළු අවවාද කළේ නෑ. බොහෝ කාලයක් පව්වලට ඇලිල බුද්ධියක් නැතුව නෙව මං හිටියෙ. ඒ මහා ප්‍රඥාවන්ත උපාසකතුමා ආයෙමත් මට අනුකම්පා කරල සීල සංවරයෙහි මාව පිහිටෙව්වා.

505. සචේ දිවා හනසි පාණිනෝ අථ තේ රත්තිං භවතු සංයමෝ
ස්වාහං දිවා හනිත්ව පාණිනෝ විරතෝ රත්තිමහෝසිං සංයතෝ

505. ‘ඉතින් නුඹ දවල් කාලේ සතුන් මරණවා නම් වූ අඩු ගණනේ රාත්‍රියටවත් නුඹගේ සංවරයක් වේවා!’ කියල. ඉතින් මං දවල් කාලෙ සතුන් මරල රෑට සතුන් මැරීමෙන් වෙන් වෙලා සංවර වුනා.

506. රත්තාහං පරිචාරේමි දිවා ඛජ්ජාමි දුග්ගතෝ
තස්ස කම්මස්ස කුසලස්ස අනුභෝමි රත්තිං අමානුසිං
දිවා පටිභතාව කුක්කුරා උපධාවන්ති සමන්තා ඛාදිතුං

506. ඒ නිසයි මට රෑට දිව්‍ය සැප ලැබෙනවා. දවල්ට දුක් අනුභව කරනවා. ඒ කුසල කර්මයේ විපාක වශයෙන් මං රාත්‍රියට දිව්‍ය සැප අනුභව කරනවා. දවල්ට බල්ලන් බද්ධවෛරයෙන් වගේ මාව පන්නගෙන ඇවිත් වට කර ගෙන කනවා.

507. යේ ච තේ සත්තානුයෝගිනෝ ධුවයුත්තා සුගතස්ස සාසනේ
මඤ්ඤාමි තේ අමතමේව කේවලං අධිගච්ඡන්ති පදං අසංඛත‘න්ති

507. යම් කෙනෙක් සුගතයන් වහන්සේගේ සාසනයෙහි ස්ථිරව පිහිටලා නිරතුරුවම බණ භාවනාවෙහි යෙදෙනවා නම්, මං හිතන්නෙ ඔවුන් අසංඛත වූ අමා නිවන මුළුමණින්ම අවබෝධ කර ගන්නවා කියලයි.

සාදු! සාදු!! සාදු!!!

දුතිය මිගලුද්දකපේතවත්ථු අට්ඨමං.

අට වෙනි දුතිය මිගලුද්දක ප්‍රේත වස්තුවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn4_3-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M