460. ඇතැම් පුද්ගලයන්ට හොඳට පින් තියෙනවා. ඇතැම් පුද්ගලයන්ට පින් ටිකයි තියෙන්නෙ කියල ශාස්තෘන් වහන්සේ යම් ආකාරයකින් මේ පුද්ගලයා ගැන වදාළ සේක්ද, සුගතයන් වහන්සේගේ ඒ අවබෝධ ඤාණය නම් ආශ්චර්යජනකයි.
461. මේ කුමාරයාව සොහොනේ අත් හැරල දාල තියෙන්නෙ. මේ දරුවාගේ ඇඟිල්ලෙන් වැගිරෙන කිරිවලින් තමයි රාත්‍රියට යැපෙන්නෙ. කළ පින් ඇති මේ කුමාරයාට යක්ෂ භූත කිසිවෙක්වත්, සර්පයෙක්වත් හිංසා කරන්නෙ නෑ.
462. බල්ලන් පවා මේ දරුවාගේ දෙපා ලෙවනවා. කවුඩෝ, සිවල්ලු මේ දරුවාව එහාට මෙහාට පෙරලනවා විතරයි. පක්ෂීන් ඇවිත් මේ දරුවගේ සිරුර වටා තියෙන ගැබ්මල ඉවත් කරනවා. කපුටෝ ඇවිත් ඇස් වටේ තියෙන කැත කුණු ඉවත් කරනවා.
463. මේ දරුවාගේ රැකවරණයට කිසිම මනුස්සයෙක් නෑ. බෙහෙතක් දෙන්ට කෙනෙක් නෑ. අබ ආදියෙන් දුම් ඇල්ලීමක් නෑ. ඔහු වෙනුවෙන් නැකැත් හැදීමක් නෑ. ඒ වගේම හැල් වී ආදී සියලු ධාන්‍ය විසිරීමක් නෑ.
464. රෑ පානේ ගෙනැවිල්ල අමු සොහොනෙ අත්හැරල දාපු දරුවෙක්. වෙඬරු පිඩක් වගේ වෙව්ලනවා. ජීවත් වෙයිද කියන කාරණෙත් සැකයි. මේ විදිහේ තත්වයකට පත් වෙච්ච දරුවෙක්.
465. දෙවිමිනිසුන්ගේ පිදුම් ලබන මහා ප්‍රාඥා වූ බුදුරජාණන් වහන්සේ මේ දරුවව දැක්කා. දැකල මෙහෙම වදාළා. ‘මේ කුමාරයා මේ නගරයේ භෝගසම්පත්වලින් අග්‍රවෙලා උසස් කුලවන්තයෙක් බවට පත් වෙනවා.’
466. මේ කුමාරයා කරපු ව්‍රතය මොකක්ද? ගත කළ උතුම් ජීවිතය මොකක්ද? එයා මේ විපාකය ලබන්ට මොන වගේ දෙයක්ද හොඳින් පුරුදු කළේ? මේ වගේ දරුණු ව්‍යවසනයකට පත් වෙච්ච කෙනෙක් අර විදිහේ සැපසම්පත් ඇති ආනුභාව සම්පන්න කෙනෙක් වෙන්නෙ කොහොමද?
467. ජනතාව බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු සංඝයාට මහා පූජාවක් කළා. ඒක දැකල මෙයාගෙ හිත නරක් වුනා. බුදු පාමොක් සඟරුවනට නොගැළපෙන ඵරුෂ වචන කිව්වා.
468. පස්සේ මෙයා ඒ නපුරු අදහස දුරු කරගත්තා. ප්‍රීතියත් පැහැදීමත් උපදවා ගත්තා. ජේතවනාරාමයෙහි වැඩවසන තථාගතයන් වහන්සේට සත්දිනක් මුළුල්ලේ කැඳබත්වලින් උපස්ථාන කළා.
469. ඒක තමයි මෙයාගේ ව්‍රතය. ඒකමයි උතුම් ජීවිතයත්. එය පුරුදු කිරීමෙන් තමයි ඔහුට මේ සැප විපාක ලැබෙන්නෙ. මේ වගේ දරුණු ව්‍යවසනයකට පත්වෙච්ච කෙනෙක් වෙලත් ඒ විදිහේ සැපසම්පත් ඇති ආනුභාව සම්පන්න කෙනෙක් වෙන්නෙ ඒ පින නිසාමයි.
470. මේ කුමාරයා මේ මනුස්ස ලෝකෙ සියක් අවුරුදු ජීවත් වෙනවා. සියලු සැපසම්පත්වලින් යුක්ත වෙනවා. කය බිඳී මරණින් මතු සක් දෙවිඳුගේ දෙව්ලොව උපදිනවා.
සාදු! සාදු!! සාදු!!!
පස්වෙනි කුමාර ප්‍රේත වස්තුවයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn4_3-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M