ඛුද්දක නිකාය

පේතවත්ථු

3.2. සාණුවාසී පේත වත්ථු

3.2. සාණුවාසී ප්‍රේත වස්තුව

413. කුණ්ඩිනගරියෝ ථේරෝ සානුවාසී නිවාසිනෝ
පොට්ඨපාදෝති නාමේන සමණෝ භාවිතින්ද්‍රියෝ

413. උන්වහන්සේ උපන්නේ කුණ්ඩි නගරයේ. සානුවාසී පර්වතයේ තමයි වැඩ වාසය කළේ. උන්වහන්සේගේ නම පොට්ඨපාද. ශ්‍රද්ධා ආදී ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කරගත්තු රහත් ශ්‍රමණයන් වහන්සේ නමක්.

414. තස්ස මාතා පිතා භාතා දුග්ගතා යමලෝකිකා
පාපකම්මං කරිත්වාන පේතලෝකං ඉතෝ ගතා

414. උන්වහන්සේගේ මවත් පියාත් සහෝදරයාත් දුගතියේ උපන්නා. යමලෝකයේ උපන්නා. මේ ලෝකෙන් චුත වලා ඔවුන් පෙරේත ලෝකෙ උපන්නෙ පාපී දේවල් කරලයි.

415. තේ දුග්ගතා සූචිකට්ටා කිලන්තා නග්ගිනෝ කිසා
උත්තසන්තා මහාතාසා න දස්සෙන්ති කුරූරිනෝ

415. ඔවුන් දුගතියේ උපන්නෙ. ඉඳිකටුවලින් අනිනවා වගේ වේදනා විඳිනවා. ක්ලාන්ත වෙනවා. ඇඟේ නූල් පොටක්වත් නෑ. කටු ටික විතරයි. නිතරම තැති අරගෙන ඉන්නෙ. මහා භයකින් ඉන්නෙ. කෲර දේවල් කරපු ඔවුන්ගේ සිරුරු පිටට පෙන්නන්නෙ නෑ.

416. තස්ස භාතා විතරිත්වා නග්ගෝ ඒකපථේකකෝ
චතුකුණ්ඩිකෝ භවිත්වාන ථේරස්ස දස්සයී තුමං

416. උන්වහන්සේගේ සහෝදරයා තැති ගැනීම දුරු කරගෙන නිරුවත්ව ඉඳගෙනම අඩිපාරක් අයිනේ හුදෙකලාව හිටියා. අත් දෙකයි, කකුල් දෙකයි බිම ඇනගෙන ඒ තෙරුන් වහන්සේට තමන්ගේ ස්වභාවය පෙන්වුවා.

417. ථේරෝ චාමනසී කත්වා තුණ්හීභූතෝ අපක්කමි
සෝ ච විඤ්ඤාපයී ථේරං භාතා පේතගතෝ අහං

417. ඒ සාණුවාසී තෙරුන් වහන්සේ ඒ දර්ශනය ගණනකට ගත්තෙ නෑ. නිශ්ශබ්දවම වැඩියා. එතකොට ඒ පෙරේතයා ‘මං මැරිල ගිය ඔබ වහන්සේගේ සහෝදරයා’ කියල තෙරුන් වහන්සේට තමාව දැක්වුවා.

418. මාතා පිතා ච තේ භන්තේ දුග්ගතා යමලෝකිකා
පාපකම්මං කරිත්වාන පේතලෝකං ඉතෝ ගතා

418. අනේ ස්වාමීනි, ඔබ වහන්සේගේ මවත් පියාත් දුගතියේ උපන්නා. යමලෝකයේ උපන්නා. මේ ලෝකෙන් චුත වෙලා ඔවුන් පෙරේත ලෝකෙ උපන්නෙ පාපී දේවල් කරලයි.

419. තේ දුග්ගතා සූචිකට්ටා කිලන්තා නග්ගිනෝ කිසා
උත්තසන්තා මහාතාසා න දස්සෙන්ති කුරූරිනෝ

419. ඔවුන් දුගතියේ උපන්නෙ. ඉඳිකටුවලින් අනිනවා වගේ වේදනා විඳිනවා. ක්ලාන්ත වෙනවා. ඇඟේ නූල් පොටක්වත් නෑ. කටු ටික විතරයි. නිතරම තැති අරගෙන ඉන්නෙ. මහා භයකින් ඉන්නෙ. කෲර දේවල් කරපු ඔවුන්ගේ සිරුරු පිටට පෙන්නන්නෙ නෑ.

420. අනුකම්පස්සු කාරුණිකෝ දත්වා අන්වාදිසාහි නෝ
තව දින්නේන දානේන යාපෙස්සන්ති කුරූරිනෝ

420. කාරුණික වූ මුඹවහන්සේ අපට අනුකම්පා කරන සේක්වා! දන් පැන් පූජා කරලා අපට පින් ලබා දෙන සේක්වා! කෲර දේවල් කරපු ඔවුන්ට මුඹවහන්සේ දෙන දානයකින් තමයි යැපෙන්ට සිද්ධ වෙන්නෙ.

421. ථේරෝ චරිත්වා පිණ්ඩාය භික්ඛූ අඤ්ඤේ ච ද්වාදස
ඒකජ්ඣං සන්නිපතිංසු භත්තවිස්සග්ගකාරණා

421. සාණුවාසී තෙරුන් වහන්සේත් තවත් භික්ෂූන් වහන්සේලා දොළොස් නමකුත් පිණ්ඩපාතේ වැඩියා. බත්කිස කිරීම පිණිස උන්වහන්සේලා එකතැනකට රැස් වුනා.

422. ථේරෝ සබ්බේව තේ ආහ යථා ලද්ධං දදාථ මේ
සංඝභත්තං කරිස්සාමි අනුකම්පාය ඤාතිනං

422. සාණුවාසී තෙරුන් වහන්සේ අනික් තෙරුන් වහන්සේලාට මෙහෙම කිව්වා. ‘ඔබවහන්සේලාට ලැබිච්ච යමක් ඇත්නම් ඒක මට දෙන්න. ඤාතීන් කෙරෙහි අනුකම්පාව නිසා මං සාංඝික දානයක් කරන්නම්.’

423. නිය්‍යාතයිංසු ථේරස්ස ථේරෝ සංඝං නිමන්තයී
දත්වා අන්වාදිසි ථේරෝ මාතු පිතු ච භාතුනෝ

423. උන්වහන්සේලාත් තෙරුන් වහන්සේට දුන්නා. තෙරුන් වහන්සේ ආර්ය සංඝයාට ආරාධනා කළා. දානයත් පූජා කරගත්තා. මවටත් පියාටත් සහෝදරයාටත් පින්පෙත් අනුමෝදන් කළා.

424. ඉදං මේ ඤාතීනං හෝතු සුඛිතා හොන්තු ඤාතයෝ
සමනන්තරානුද්දිට්ඨේ භෝජනං උදපජ්ජථ

424. ‘මේ පින මාගේ ඤාතීන්ට වේවා! මාගේ ඤාතිවරු සුවපත් වෙත්වා!, කියල පින් අනුමෝදන් කරනවාත් සමගම ඒ උදවියට භෝජන පහළ වුනා.

425. සුචිං පණීතං සම්පන්නං අනේකරසබ්‍යඤ්ජනං
තතෝ උද්දිසයී භාතා වණ්ණවා බලවා සුඛී

425. ඒ බොජුන් හරි පිරිසිදුයි. ප්‍රණීතයි. නොයෙක් රසවත් වෑංජනවලින් යුක්තයි. එයින් වර්ණවත් වුන, බලවත් වුන, සුවපත් වුන සහෝදරයා පෙනී හිටියා.

426. පහූතං භෝජනං භන්තේ පස්ස නග්ගාම්හසේ මයං
තථා භන්තේ පරක්කම යථා වත්ථං ලභාමසේ

426. ස්වාමීනි, දැක වදාළ මැනැව. දැන් අපිට භෝජන ඕන තරම් තියෙනවා. නමුත් අපි තවමත් ඉන්නෙ නිරුවතින්. ඉතින් ස්වාමීනි, අපට යම් විදිහකින් වස්ත්‍රයක් ලැබෙනවා නම් එබඳූ දෙයකට උත්සාහ කරන සේක්වා!

427. ථේරෝ සංකාරකූටම්හා උච්චිනිත්වානනන්තකේ
පිලෝතිකං පටං කත්වා සංඝේ චාතුද්දිසේ අදා

427. තෙරුන් වහන්සේ කසල ගොඩවල්වල ඉවත දාපු රෙදි කැබලි අහුලා ගත්තා. ඒ රෙදි කැබලි මූට්ටු කළා. සිවුරක් කළා. සිව් දිසාවෙන් වඩින සංඝයාට පූජා කළා.

428. දත්වා අන්වාදිසි ථේරෝ මාතු පිතූ ච භාතුනෝ
ඉදං මේ ඤාතීනං හෝතු සුඛිතා හොන්තු ඤාතයෝ

428. දානය පූජා කරගෙන මවටත් පියාටත් සහෝදරයාටත් පින්පෙත් අනුමෝදන් කළා. ‘මේ පින මාගේ ඤාතීන්ට වේවා! මාගේ ඤාතීවරු සුවපත් වේවා!’ කියල.

429. සමනන්තරානුද්දිට්ඨේ වත්ථානි උදපජ්ජිසුං
තතෝ සුවත්ථවසනෝ ථේරස්ස දස්සයීතු මං

429. පින් අනුමෝදන් කරනවාත් සමගම ඒ උදවියට වස්ත්‍ර පහළ වුනා. ඒ වස්ත්‍රවලින් ලස්සනට සැරසුණු ප්‍රේතයා තෙරුන් වහන්සේට තමන්ව දැක්වුවා.

430. යාවතා නන්දරාජස්ස විජිතස්මිං පටිච්ඡදා
තතෝ බහුතරා භන්තේ වත්ථානච්ඡාදනානි නෝ

430. ස්වාමීනි, නන්දන රජ්ජුරුවන්ගෙ රාජධානියේ යම්තාක් රෙදිපිළි තියෙනවා නම් ඒවාට වඩා බෙහෝ සෙයින් අපට ලැබිච්ච වස්ත්‍ර නම් හරි අගෙයි.

431. කෝසෙය්‍යකම්බලීයානි ඛෝමකප්පාසිකානි ච
විපුලා ච මහග්ඝා ච තේපාකාසේව ලම්බරේ

431. කසීසළු, කම්බිලි, පටවස්ත්‍ර, කපුරෙදි ආදිය අපට දැන් හරියට තියෙනවා. හරි වටිනා ඒව තියෙන්නෙ. ඒ වස්ත්‍ර ආකාසෙ එල්ලිලා තියෙනවා.

432. තේ මයං පරිදහාම යං යං හි මනසෝ පියං
තථා භන්තේ පරක්කම යථා ගේහං ලභාමසේ

432. ස්වාමීනි, අපේ හිතට යම් යම් ඇඳූමක් ප්‍රියයි නම් අපි අඳින්නෙ ඒවා තමයි. ඉතින් ස්වාමීනි, අපිට යම් විදිහකින් ගෙයක් ලැබෙනවා නම් එබඳු දෙයකට උත්සාහ කරන සේක්වා!

433. ථේරෝ පණ්ණකුටිං කත්වා සංඝේ චාතුද්දිසේ අදා
දත්වා අන්වාදිසි ථේරෝ මාතු පිතු ච භාතුනෝ

433. සාණුවාසී තෙරුන් වහන්සේ කොළ අතු සෙවිලි කරල කුටියක් කළා. ඒ කුටිය සිව් දිසාවෙන් වඩින සංඝයාට පූජා කළා. කුටි පූජාව කරලා මවටත් පියාටත් සහෝදරයාටත් පින්පෙත් අනුමෝදන් කළා.

434. ඉදං මේ ඤාතීනං හෝතු සුඛිතා හොන්තු ඤාතයෝ
සමනන්තරානුද්දිට්ඨේ ඝරානි උදපජ්ජිසුං

434. ‘මේ පින මාගේ ඤාතීන්ට වේවා! මාගේ ඤාතීවරු සුවපත් වෙත්වා!’ කියල පින් අනුමෝදන් කරනවාත් සමගම ඒ උදවියට ගෙවල් පහළ වුනා.

435. කූටාගාරනිවේසනා විභත්තා භාගසෝ මිතා
න මනුස්සේසු ඊදිසා යාදිසා නෝ ඝරා ඉධ

435. නොයෙක් කූටාගාර, නිවාස පහළ වුනා. ඒවා හරි පිළිවෙලට වෙන් කරල බෙදල තියෙනවා. අපට තිබෙන මේ ගෙවල් විදිහේ ගෙවල් නම් මනුස්ස ලෝකයේවත් දැකගන්ට නෑ.

436. අපි දිබ්බේසු යාදිසා තාදිසා නෝ ඝරා ඉධ
දද්දල්ලමානා ආභන්ති සමන්තා චතුරෝ දිසා

436. දෙව්ලොව යම් ආකාරයක දිව්‍ය විමාන තියෙනවා නම් මෙහෙ තියෙන අපේ ගෙවලුත් අන්න ඒ වගේ තමයි. හැම දිසාවක්ම බබුලුවමින් දිළිසෙනවා.

437. තථා භන්තේ පරක්කම යථා පානං ලභාමසේ
ථේරෝ කරකං පූරෙත්වා සංඝේ චාතුද්දිසේ අදා

437. අනේ ස්වාමීනි, අපිට යම් විදිහකින් පැන් ලැබෙනවා නම් එබඳු දෙයකට උත්සාහ කරන සේක්වා! එතකොට තෙරුන් වහන්සේ කලයකට පැන් පුරවලා සිව් දිසාවෙන් වඩින සංඝයාට පූජා කළා.

438. දත්වා අන්වාදිසි ථේරෝ මාතු පිතු ච භාතුනෝ
ඉදං මේ ඤාතීනං හෝතු සුඛිතා හොන්තු ඤාතයෝ

438. පැන් පූජාව කරලා මවටත් පියාටත් සහෝදරයාටත් පින්පෙත් අනුමෝදන් කළා. ‘මේ පින මාගේ ඤාතීන්ට වේවා! මාගේ ඤාතීවරු සුවපත් වෙත්වා!’ කියල.

439. සමනන්තරානුද්දිට්ඨේ පානීයං උදපජ්ජථ
ගම්භීරා චතුරස්සා ච පොක්ඛරඤ්ඤෝ සුනිම්මිතා

439. පින් අනුමෝදන් කරනවාත් සමගම ඒ උදවියට පැන් පහළ වුනා. ඉතා ගැඹුරු හතරැස් පොකුණක් හරි සුන්දර පිළිවෙලට මැවිල ගියා.

440. සීතෝදිකා සූපතිත්ථා සීතා අප්පටිගන්ධියා
පදුමුප්පලසඤ්ඡන්නා වාරිකිඤ්ජක්ඛපූරිතා

440. ඒ පොකුණේ ජලය හරි සීතලයි. ඉවුරත් හරි ලස්සනයි. හරි සිසිලයි. සුවඳ හමන නෙළුම් මහනෙල් පිරිල තියෙනවා. ඒ වතුර පුරාවට මල් රේණු විසිරිලා තියෙනවා.

441. තත්ථ නහාත්වා පිවිත්වා ච ථේරස්ස පටිදස්සයුං
පහූතං පානීයං භන්තේ පාදා දුක්ඛං ඵලන්ති නෝ

441. එතකොට ඒ පෙරේතයන් පොකුණට බැහැල නෑවා. තෙරුන් වහන්සේ ඉදිරියේ පෙනී හිටියා. ස්වාමීනි, අපට ඇති වෙන්න පැන් තියෙනවා. ඒ වුනාට අපේ කකුල් පැලෙන නිසා අපිට දුකයි.

442. ආහිණ්ඩමානා ඛඤ්ජාම සක්ඛරේ කුසකණ්ටකේ
තථා භන්තේ පරක්කම යථා යානං ලභාමසේ

442. ස්වාමීනි, කුස කටු තියෙන බොරළු කැට තියෙන පොළොවේ අපි ඇවිදින්නේ හරිම අමාරුවෙන්. ස්වාමීනි, අපිට යම් විදිහකින් යානයක් ලැබෙනවා නම් එබඳු දෙයකට උත්සාහ කරන සේක්වා!

443. ථේරෝ සිපාටිකං ලද්ධා සංඝේ චාතුද්දිසේ අදා
දත්වා අන්වාදිසි ථේරෝ මාතු පිතු ච භාතුනෝ

443. සාණුවාසී තෙරුන් වහන්සේ පටි තියෙන සෙරෙප්පු ජෝඩුවක් ලබාගෙන ඒක සිව් දිසාවෙන් වඩින සංඝයාට පූජා කළා. සෙරෙප්පු පූජාව කරලා මවටත් පියාටත් සහෝදරයාටත් පින්පෙත් අනුමෝදන් කළා.

444. ඉදං මේ ඤාතීනං හෝතු සුඛිතා හොන්තු ඤාතයෝ
සමනන්තරානුද්දිට්ඨේ පේතා රථේනමාගමුං

444. ‘මේ පින මාගේ ඤාතීන්ට වේවා! මාගේ ඤාතීවරු සුවපත් වෙත්වා!’ කියල පින් අනුමෝදන් කරනාවත් සමගම ඒ උදවියට පහළ වූ රථයෙන් ඔවුන් එතැනට ආවා.

445. අනුකම්පිතම්හ භද්දන්තේ භත්තේනච්ඡාදනේන ච
ඝරේන පානදානේන යානදානේන චූභයං
මුනිං කාරුණිකං ලෝකේ භන්තේ වන්දිතුමාගතා‘ති.

445. ස්වාමීනි, ඔබ වහන්සේට යහපතක් වේවා! බත්වලින් රෙදිපිළිවලින් ගෙවල්වලින් පැන්වලින් යානාවලින් අපට උපකාර කරල ඔබ වහන්සේගේ අනුකම්පාව අපට ලැබුනා. ලෝකයෙහි කාරුණික වූ මුනිවරයාණෙනි, අපි මේ ආවේ ඔබ වහන්සේට වන්දනා කරගන්ටයි.

සාදු! සාදු!! සාදු!!!

සානුවාසී පේතවත්ථු දුතියං.

දෙවෙනි සාණුවාසී ප්‍රේත වස්තුවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn4_3-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M