392. එම්බා ප්‍රේතය, ඔබ මෙහි ගංගා නදියෙහි ජලය කළඹවන්නෙ නැතුවයි යන්නෙ. හැබැයි ඔබ නිරුවත්ව ඉන්නෙ. ශරීරයෙන් උඩ කොටස් නම් පේන්නේ පෙරේතයෙකුගෙ වගේ නොවෙයි. මල් මාලාවන් දරලා අලංකාරව ඉන්නවා. ඔබ ඔය කොහේද යන්නෙ? ඔබ වාසය කරන්නෙ කොහේද?
393. එතකොට ඒ ප්‍රේතයා මෙහෙම කිව්වා. ‘මං මේ යන්නේ චුන්දත්ථික කියන ගමටයි. ඒ ගම තියෙන්නෙ වාසභ ගමටත්, බරණැස් නුවරටත් අතර බරණැස සමීපයේමයි.’
394. ඒ ප්‍රේතයාව දැක්කේ කෝලිය නමින් ප්‍රසිද්ධව හිටිය මහ ඇමතිතුමා. ඉතින් ඔහු ඒ ප්‍රේතයාට අග්ගලාත් බතුත් වස්ත්‍ර යුගලකුත් දුන්නා.
395. නැව නවත්වලා තියෙන කොට එක්තරා කරණවෑමි උපාසකයෙකුටයි ඒව දුන්නෙ. ඒ කරණවෑමි උපාසකතුමාට ඒවා දීපු ගමන්ම අර ප්‍රේතයා ගේ ශරීරයෙහි අඳින පොරොවන වස්ත්‍ර පහළ වුනා.
396. එතකොට ඒ ප්‍රේතයා ලස්සනට වස්ත්‍ර ඇඳගෙන මල්මාලා දරාගෙන අලංකාර වෙලා ආවා. පින් අනුමෝදන් වෙන්න පුළුවන් තැනක සිටපු ප්‍රේතයා ඒ පින අනුමෝදන් වුනා. ඒ නිසා මිය පරලොව ගිය අය කෙරෙහි අනුකම්පා කරල නැවත නැවතත් දන් දීල ඒ පින් දෙන්ට ඕන.
397. ඇතැම් පෙරේතයන් ඉන්නෙ වැරහැලිවලින් විලිවසා ගෙනයි. ඇතැම් පෙරේතයන් තමන්ගෙ කෙස් රොදෙනුයි විලි වසා ගන්නෙ. පෙරේතයන් බත් හොයාගෙන යනවා. එක එක දිසාවලට යනවා.
398. සමහර පෙරේතයන් බත් හොයා ගෙන ඉතා දුර දුවනවා. නමුත් කිසි දෙයක් නොලබා නවතිනවා. ඔවුන් හරි බඩගින්නෙ ඉන්නෙ. සිහිසන් නැතුවයි ඉන්නෙ. ඉතා බලවත්ව පීඩා විඳල වේලිලා බිම ඇදගෙන වැටෙනවා.
399. සමහරු ඒ ගිය ගිය තැනම වේලිලා බිම ඇදගෙන වැටෙනවා. කලින් ලැබුනු මනුස්ස ජීවිතයේ දී කිසි පිනක් දහමක් නොකර ජීවත් වෙලා අන්තිමේදී ගිනි අව්වේ ගින්දරකින් පිච්චෙනවා වගේ බඩගින්නෙන් පිපාසයෙන් පිච්චෙනවා.
400. අපිට ඉස්සර පවිටු ගතිගුණ තිබුනා. ගෘහණියන් වෙලා හිටියේ. කුල මාතාවරු වෙලා හිටියේ. අපිට දන්පැන්වලට දෙන්න දේපල වස්තුව තිබුනා. නමුත් තමන්ට පිහිට ඇති ඒ පින්කම් අපි කරගත්තෙ නෑ.
401. හරියට කෑම බීම තිබුනා. අපි ඒව හැංගුවා. යහපත් මාර්ගයෙහි ගමන් කරන පැවිද්දන් වහන්සේලාට අපි කිසිදෙයක් දුන්නෙ නෑ.
402. අපි පින් කරන්න කැමති වුනේ නෑ. කම්මැලිකමෙන් හිටියා. මිහිරි දේ කැමති වුනා. හැම තිස්සෙම කකා හිටියා. බත් පිඬක් වුනත් අපි අනුන්ට දෙන කොට ඒක ලබාගන්න කෙනාට අපි අපහාස කළා.
403. දැන් අපිට ඒ ගෙවල් නෑ. ඒ දාසියන් නෑ. ඒ ආභරණත් අපිට නෑ. දැන් ඒව පරිහරණය කරන්නෙ වෙන උදවියයි. අපිට අයිති වුනේ දුක විතරයි.
404. ඊටපස්සෙ වෙන්නෙ නින්දනීය වූ බට පොතු වියන ගෙවල්වල සොම්මර කුලයේ දුගී දුප්පත්ව උපදිනවා. චණ්ඩාල කුලයේ දීන වෙලා උපදිනවා. ආයෙ ආයෙමත් උපදින්නෙ ඒ වගේ හීන කුලවලයි.
405. යම් යම් හීන දීන දිළිදු පවුල් තියෙනවා. අන්න ඒ කුලවල තමයි උපදින්නෙ. ඕක තමයි මසුරු සිත් ඇති අයට ලැබෙන උපත.
406. පෙර ජීවිතවල පින් කරගත්තු අය ඉන්නවා. එයාල දන් දෙන උදවිය. මසුරු නෑ. ඔවුන් නිසයි දෙව්ලොව පිරෙන්නෙ. නන්දන වනය බබලුවන්නෙ ඔවුන් තමයි.
407. ඒ උදවිය වෛජයන්ත ප්‍රාසාදයේ තමා කැමති පරිදි දිව්‍ය සැපයෙන් සතුටු වෙනවා. එතැනින් චුත වුනාට පස්සෙ හොඳ ධනසම්පත් තියෙන උසස් පවුල්වල උපදිනවා.
408. ඔය විදිහට මහා යසස් ඇති කුලවල ඉපදිලා කූටාගාරවල ප්‍රාසාදවල දිගුලොම් ඇති කොඳුපලස් අතුරපු යහන්වල මොණර පිලෙන් කරවපු විජිනිපත්වලින් පවන් සලමින් සැපසේ ජීවත් වෙනවා.
409. ඒ උදවිය (කුඩා කාලෙම) මල් මාලා දරාගෙන අලංකාර වෙලා කිරිමව්වරුන්ගේ ඇකයෙන් ඇකයට යනවා. ඒ කිරිමව්වරු ඒ දරුවන් ගේම සැප පතමින් උදේ සවස ඔවුන්ට උපස්ථාන කරනවා.
410. මේව ලැබෙන්නේ පින් නොකරපු අයට නම් නොවෙයි. මේවා ලැබෙන්නේ පින් කරපු අයටමයි. එතකොට දෙව්ලොව ඉපදිලා ශෝකයක් නැතිව රම්‍ය වූ නන්දන වනයෙහි සතුටු වෙනවා.
411. පින් කරගන්ට බැරිවෙච්ච උදවියට මෙලොවේවත් පරලොවවත් සැපයක් නම් නෑ. නමුත් පින් කළ උදවියට තමයි මෙලොවදී වගේම පරලොවත් සැප ලැබෙන්නෙ.
412. ඒ දෙවියන් සමග එකතු වෙලා ඉන්ට කැමති අය බොහෝ කුසල්මයි කරන්ට ඕන. පින් කරගත්තු උදවිය දෙව්ලොව දි සැප සම්පත් ලබා ගෙන සතුටු වෙනවා.
සාදු! සාදු!! සාදු!!!
පළමු වෙනි අභිජ්ජමාන ප්‍රේත වස්තුවයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn4_3-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M