ඛුද්දක නිකාය

පේතවත්ථු

2.7. ධනපාල පේත වත්ථු

2.7. ධනපාල ප්‍රේත වස්තුව

227. නග්ගෝ දුබ්බණ්ණරූපෝසි කිසෝ ධමනි සන්ථතෝ
උප්ඵාසුලිකෝ කිසිකෝ කෝ නු ත්වමසි මාරිස

227. ඔබේ ඇඟේ නූල් පොටක් නෑ. හරිම විරූපියි. කෙට්ටුයි. නහරවැල් පෑදිලා තියෙනවා. ඉලඇට ඉලිප්පිලා තියෙනවා. කෙට්ටු සිරුරක්. නිදුකාණෙනි, මෙතැන ඉන්න ඔබ කවුද?

228. අහං භදන්තේ පේතෝම්හි දුග්ගතෝ යමලෝකිකෝ
පාපකම්මං කරිත්වාන පේතලෝකමිතෝ ගතෝ

228. අනේ පින්වත්නි, මං මේ දුකේ වැටිල ඉන්නෙ. මං යමලෝකෙ උපන් පෙරේතයෙක්. මගේ අතින් පව්කම් කෙරිල තමයි මනුස්ස ලෝකෙන් පෙරේත ලෝකෙට ගියේ.

229. කින්නු කායේන වාචාය මනසා දුක්කටං කතං
කිස්ස කම්මවිපාකේන පේතලෝකමිතෝ ගතෝ

229. ඔබ විසින් කයෙන් වචනයෙන් මනසින් මොන වගේ පවක් ද කර ගත්තෙ? මොන වගේ කර්මයක විපාකයක් නිසාද මිනිස් ලෝකෙන් පෙරේත ලෝකෙට ආවෙ?

230. නගරං අත්ථි දසන්නානං ඒරකච්ඡන්තිවිස්සුතං
තත්ථ සෙට්ඨි පුරේ ආසිං ධනපාලෝති මං විදුං

230. දසන්න රටවැසියන්ගේ ඒරකච්ඡ කියල ප්‍රසිද්ධ නගරයක් තියෙනවා. මං කලින් ජීවිතයේ දී ඔය නගරයේ සිටුවරයෙක් වෙලා හිටියා. මාව කවුරුත් දැන ගත්තෙ ධනපාල සිටුවරයා කියලයි.

231. අසීති සකටවාහානං හිරඤ්ඤස්ස අහෝසි මේ
පහූතං මේ ජාතරූපං මුත්තා වේළුරියා බහූ

231. මට අමු රන් විතරක් කරත්ත අසූවක් පුරවලා තිබුනා. රන්, රිදී තව සෑහෙන තරම් තිබුනා. වෛරෝඩි මැණික් මුතු ආදියත් හරියට තිබුනා.

232. තාව මහද්ධනස්සාපි න මේ දාතුං පියං අහු
පිදහිත්වා ද්වාරං භුඤ්ජාමි මා මං යාචනකාද්දසුං

232. ඉතින් ඔය වගේ මහා ධනස්කන්ධයක් තිබුණු මට දන් දෙන්ට කැමැත්තක් ඇති වුනේම නෑ නෙව. මං ආහාර අනුභව කළේ දොරවල් වහගෙන. යාචකයින්ට මාව දකින්ටවත් ලැබෙන්ට එපා කියල.

233. අස්සද්ධෝ මච්ඡරී චාසිං කදරියෝ පරිහාසකෝ
දදන්තානං කරොන්තානං වාරයිස්සං බහුජ්ජනං

233. මට ශ්‍රද්ධාවක් තිබුණෙ නෑ, මං මසුරුයි. කෑදරයි. අනුන්ට හරියට අපහාස කරනවා. දන් දෙන උදවියට, පින් කරන උදවියට මං කරුණු කියල බොහෝ දෙනෙක්ව එයින් වළක්වලා තියෙනවා.

234. විපාකෝ නත්ථි දානස්ස සඤ්ඤමස්ස කුතෝ ඵලං
පොක්ඛරඤ්ඤෝදපානා ආරාමානි ච රෝපිතේ

234. දන් දීමෙහි කිසි විපාකයක් නෑ, සිල් රැකල සංවර වෙලා ඇති ඵලේ මොකක්ද? පැන් පොකුණු ලිං වගේම පොදු යහපතට වගා කරවපු උයන් වතු තිබුනා.

235. පපායෝ ච විනාසේසිං දුග්ගේ සංකමනානි ච
ස්වාහං අකතකල්‍යාණෝ කතපාපෝ තතෝ චුතෝ

235. පාපී සිතින් යුතු මං ඒවා වනසලා දැම්මා. දුර්ග මාර්ගවල තිබුණු ඒදඬුත් වැනසුවා. ඒ මං පින්දහම් කර ගත්තෙ නෑ, පව්ම රැස් කරගෙන මනුස්ස ලෝකෙන් චුත වුනා.

236. උපපන්නෝ පෙත්තිවිසයං ඛුප්පිපාසාසමප්පිතෝ
පඤ්ච පණ්ණාසවස්සානි යතෝ කාලකතෝ අහං

236. ඉතින් මං පෙරේත ලෝකෙ උපන්නා. බඩගින්නෙන් පිපාසයෙන් පුදුම දුකක් විඳින්නෙ. දැනට මං මිය පරලොව ගිහින් අවුරුදු පනස් පහක් වෙනවා.

237. නාභිජානාමි භුත්තං වා පීතං වා පන පානීයං
යෝ සංයමෝ සෝ විනාසෝ යෝ විනාසෝ සෝ සංයමෝ

237. මං මේ දක්වාම කාපු කෑමක් ගැන, බීපු බීමක් ගැන දන්නෙවත් නෑ. යම් දන් නොදී වැළකී සිටීමක් ඇද්ද ඒකමයි විනාසය. යම් විනාසයක් ඇද්ද ඒකමයි දන් නොදී වැළකී සිටීම.

238. පේතා හි කිර ජානන්ති යෝ සංයමෝ සෝ විනාසෝ
අහං පුරේ සංයමිස්සං නාදාසිං බහුකේ ධනේ

238. යම් දන් නොදී වැළකී සිටීමක් ඇද්ද ඒකමයි විනාසය කියන ඔය කාරණය පෙරේතයො දන්නවා. මං ඉස්සර හොඳට දේපල වස්තු තිබෙද්දිත් දීමෙන් වැළකිලා හිටියා. දුන්නෙම නෑ.

239. සන්තේසු දෙය්‍යධම්මේසු දීපං නාකාසිමත්තනෝ
සෝහං පච්ඡානුතප්පාමි අත්තකම්මඵලූපගෝ

239. දන් පැන් පූජා කරගන්නට ඕන කරන දේවල් මං ළඟ තිබෙද්දී තමන්ට පිහිටක් සලසා ගත්තෙ නෑ. දැන් මං පසුතැවි තැවී ඉන්නවා. පව්වල නම් විපාක ලැබුනා.

240. උද්ධං චතූහි මාසේහි කාලකිරියා භවිස්සති
ඒකන්තං කටුකං ඝෝරං නිරයං පපතිස්සහං

240. තව මාස හතරයි මට තියෙන්නෙ. ඊට පස්සෙ මං මේ පෙරේත ලෝකෙන් චුත වෙනවා. තව හාරමාසයකින් පස්සෙ මං මෙහෙන් චුත වෙනවා. එතකොට භයානක වූ කටුක ඝෝර අවිචි මහා නිරයේ තමයි මාව වැටෙන්නෙ.

241. චතුක්කණ්ණං චතුද්වාරං විභත්තං භාගසෝ මිතං
අයෝපාකාරපරියන්තං අයසා පටිකුජ්ජිතං

241. ඒ නිරයේ කොන් හතරක් තියෙනවා. දොරවලුත් හතරක් තියෙනවා. ඒව කොටස් වශයෙන් ගානට බෙදලයි තියෙන්නෙ. වටේටම තියෙන්නෙ යකඩ පවුරක්. වහල තියෙන්නෙත් යකඩ පියනකින්.

242. තස්ස අයෝමයා භූමි ජලිතා තේජසා යුතා
සමන්තා යෝජනසතං ඵරිත්වා තිට්ඨති සබ්බදා

242. ඒ අවීචි මහානරකාදියේ ඇවිලෙන ගිනිදැල් හරිම සැරයි. ඒ යකඩ භූමියේ හැම තිස්සේම යොදුන් සියයක් පුරාවට ගිනිදැල් පැතිරිලා තියෙනවා.

243. තත්ථාහං දීඝමද්ධානං දුක්ඛං වේදිස්සං වේදනං
ඵලං පාපස්ස කම්මස්ස තස්මා සෝචාමහං භුසං

243. මං එහේ ඉපදිලා දීර්ඝ කාලයක් දුක් විඳින්ට වෙනවා. කරපු පව්වල විපාක තමයි. ඒ නිසා මං ගොඩාක් සෝකයෙන් ඉන්නෙ.

244. තං වෝ වදාමි භද්දං වෝ යාවනේතත්ථ සමාගතා
මාකත්ථ පාපකං කම්මං ආවි වා යදි වා රහෝ

244. පින්වත්නි, දැන් මෙතැන රැස් වූ ඔබ සියලු දෙනාට මං කියන්නෙ. ඔබට යහපතක් වේවා! හොර රහසේවත් එළිපිටවත් පව් කියන ජාතිය නම් කරන්ට එපා!

245. සචේ තං පාපකං කම්මං කරිස්සථ කරෝථ වා
න වෝ දුක්ඛා පමුත්ත්‍යත්ථි උප්පච්චාපි පලායතං

245. යම් හෙයකින් ඔබ ඉදිරියේදීවත් පව් කරනවා නම් දැනුත් පව් කරනවා නම් ඔබට ගැලවෙන්ට නම් ලැබෙන්නෙ නෑ. අහසට නැගල පලා ගියත් විපාකවලින් ගැලවෙන්ට බෑ.

246. මත්තෙය්‍යා හෝථ පෙත්තෙය්‍යා කුලේ ජෙට්ඨාපචායකා
සාමඤ්ඤා හෝථ බ්‍රහ්මඤ්ඤා ඒවං සග්ගං ගමිස්සථා‘ති.

246. අම්මාට හොඳට සලකන්න. පියාටත් හොඳට සලකන්න. කුල දෙටුවන්ට හොඳට සලකන්න. ශ්‍රමණ බ්‍රාහ්මණවරුන්ට හොඳට සලකන්න. එහෙම කරල ඔබ සුගතියේ උපදින්න.

සාදු! සාදු!! සාදු!!!

ධනපාලපේතවත්ථු සත්තමං.

හත්වෙනි ධනපාල ප්‍රේත වස්තුවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn4_2-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M