ඛුද්දක නිකාය

පේතවත්ථු

2.8. චුල්ලසෙට්ඨි පේත වත්ථු

2.8. චුල්ලසෙට්ඨි ප්‍රේත වස්තුව

247. නග්ගෝ කිසෝ පබ්බජිතෝසි භන්තේ
රත්තිං කුහිං ගච්ඡසි කිස්ස හේතු
ආචික්ඛ මේ තං අපි සක්කුණේමු
සබ්බේන චිත්තං පටිපාදයේ තුවං

247. ස්වාමීනි, ඔබ ඉන්නෙ නිර්වස්තරයෙන්. ඇඟපත කටු ගැහිලා. ඔබ පැවිද්දෙක් නේද? මේ රෑ තිස්සෙ කොහෙද යන්නෙ? මොන කාරණාවකටද? මට ඒ කාරණාව කියන්න. මට පුළුවන් දෙයක් නම් මං ඔබට හැම දෙයින්ම වස්තුව දෙන්නම්.

248. බාරාණසීනගරං දූරඝුට්ඨං
තත්ථාහං ගහපති අඩ්ඪකෝ දීනෝ
අදාතා ගේධිතමනෝ ආමිසස්මිං
දුස්සීල්‍යෙන යමවිසයම්හි පත්තෝ

248. ලෝකයේ සුප්‍රසිද්ධ නගරයක් තියෙනවා. ඒ තමයි බරණැස් නුවර. මං එහේ ධනවත් ගෘහපතියෙක් වෙලා හිටියා. හැබැයි මට තිබුනේ දීන ගති. මං මේ කාමසම්පත්වලට ගිජු වෙලා හිටියා. දන් දුන්න කෙනෙක් නම් නෙවෙයි. දුස්සීලබව නිසා මං මේ පෙරේත ලෝකෙ ඉපදුනා.

249. සෝ සූචිකාය කිලමිතෝ තේහි
තේනේව ඤාතීසු යාමි ආමිසහේතුං
අදානසීලා න ච සද්දහන්ති
දානඵලං හෝති පරම්හි ලෝකේ

249. ඒ මං කරගත්තු පව් නිසාම බඩගින්නෙන් පෙළෙනවා. මගේ කය ඉඳිකටුවලින් විදිනවා වගේ. කෑම් බීම් ටිකක් හොයාගෙන මං නෑයන් ළඟට යනවා. උන්දැලා දන් දෙන්නෙත් නෑ. දන් දෙන කොට පරලොවදි පුණ්‍ය විපාක ලැබෙන බව උන්දැල පිළිගන්නෙත් නෑ.

250. ධීතා ච මය්හං පලතේ අභික්ඛණං
දස්සාමි දානං පිතුනං පිතාමහානං
උපක්ඛටං පරිවිසයන්ති බ්‍රාහ්මණේ
යාම්‍යහං අන්ධකවින්දං හොන්තුං

250. මගේ දුව නම් නිතරම දානෙ ගැන කියනවා. ‘දෙමාපියන්ට මුතුන් මිත්තන්ට මං නම් දානෙ දෙනවා’ කියල බ්‍රාහ්මණයන් ගෙන්නවල ඒ උදවියට කෑම් බීම්වලින් සලකනවා. මං එතකොට මොනව හරි අනුභව කරන්ට හිතාගෙන අන්ධකවින්දයට යනවා.

251. තමචෝව රාජා අනුභවියාන තම්පි
එය්‍යාසි ඛිප්පං අහම්පි කරිස්සං පූජං
ආචික්ඛ මේ තං යදි අත්ථි හේතු
සද්ධායිතං හේතුවචෝ සුණෝමි

251. එතකොට ඒ රජ්ජුරුවෝ පෙරේතයට මෙහෙම කිව්වා. ඔබ ගිහින් ඉක්මණට එන්න. මමත් ඔබට පූජාවක් කරන්නම්. ඔබට යම් කිසි අවශ්‍යතාවක් තියෙනවා නම් මට කියන්න. මං ඒ ඇදහිය යුතු ලෙස කරුණ සහිතව කියන දේ අහනවා.

252. තථාති වත්වා අගමාසි තත්ථ
භුංඤ්ජිසු භත්තං න ච පන දක්ඛිණාරහා
පච්චාගමි රාජගහං පුනාපරං
පාතුරහෝසි පුරතෝ ජනාධිපස්ස

252. ‘එහෙමයි’ කියල ඒ පෙරේතයා දානෙ දෙන තැනට ගියා. බමුණු පිරිස ඒ දානෙ පිළි අරගෙන අනුභව කළා. මාර්ගඵලලාභී ආර්ය ශ්‍රාවකයන් වහන්සේලා ඒ දානෙට වැඩියෙ නෑ. එයා ආයෙමත් රජගහ නුවරට ආවා. අජාසත් රජ්ජුරුවන් ඉදිරියෙහි පහළ වුනා.

253. දිස්වාන පේතං පුනරේව ආගතං
රාජා අවෝච අහම්පි කිං දදාමි
ආච්ක්ඛ මේ තං යදි අත්ථි හේතු
යේන තුවං චිරතරං පීණිතෝ සියාති

253. රජතුමා නැවත ආපු ඒ පෙරේතයාව දැක්කා. දැකලා මෙහෙම කිව්වා. ‘මං ඔබට මොනවාද දෙන්නෙ? ඔබට යම් කිසි දෙයක් අවශ්‍ය නම් මට කියන්න. මං ඔබට බොහෝ කාලයක් සතුටෙන් පිනා යන්න ඕන කරන දේවල් දෙන්නම්.’

254. බුද්ධඤ්ච සංඝං පරිවිසියාන රාජ
අන්නේන පානේනපි චීවරේන
තං දක්ඛිණං ආදිස මේ හිතාය
ඒවං අහං චිරතරං පීණිතෝ සියා

254. රජ්ජුරුවන් වහන්ස, බුදුරජාණන් වහන්සේටත්, ආර්ය සංඝරත්නයටත් දානමාන ආදියෙන් උපස්ථාන කරනු මැනැව. සිවුරුත් පූජා කළ මැනැව. මගේ යහපත උදෙසා මට ඒ පින අනුමෝදන් කළ මැනැව. එතකොට මට බොහෝ කලක් සතුටෙන් පිනා යන්න පුළුවනි.

255. තතෝ ච රාජා නිපතිත්ව තාවදේ
දානං සහත්ථා අතුලං දදිත්වා සංඝේ
ආරෝචයී පකතිං තථාගතස්ස
තස්ස ච පේතස්ස දක්ඛිණං ආදිසිත්ථ

255. රජතුමා, ඒ වෙලාවෙම ප්‍රාසාදයෙන් නික්මුනා. තමන්ගේ අතින්ම මහා දානයක් පූජා කරගත්තා. තථාගතයන් වහන්සේට මේ සියලු විස්තරය කියා හිටියා. ඒ ප්‍රේතයාට ඕන කරන පින් ලබාදුන්නා.

256. සෝ පූජිතෝ අතිවිය සෝභමානෝ
පාතුරහෝසි පුරතෝ ජනාධිපස්ස
යක්ඛෝහමස්මි පරමිද්ධිප්පත්තෝ
න මය්හමිද්ධිසමසදිසා මනුස්සා

256. මේ විදිහට පිනෙන් පුදනු ලැබූ ඒ පෙරේතයා රජ්ජුරුවන් ඉදිරියේ පහළ වුනේ දිව්‍ය සෝභාවෙන් අතිශයින්ම බැබලි බැබලි. ‘මං දැන් පුදුමාකාර සැපයකට පත් වුන දෙවියෙක්. මගේ සැප සම්පත්වලට සමාන කරන්ට පුළුවන් සැප ඇති මිනිස්සුවත් නෑ.’

257. පස්සානුභාවං අපරිමිතං මමේදං
තයානුද්දිට්ඨං අතුලං දදිත්වා සංඝේ
සන්තප්පිතෝ සතතං සදා බහූහි
යාම්‍යහං සුඛිතෝ මනුස්සදේවා‘ති.

257. මගේ මේ පුණ්‍යානුභාවය බලනු මැනැව. ඔබතුමා විසින් මට උපකාර කළා. ආර්ය සංඝයා උදෙසා මහා දන් පූජා කළා. දැන් හැම තිස්සේම මං තෘප්තිමත් වෙලයි ඉන්නෙ. නර දේවය, ඒ මං දැන් සුවපත් වෙලයි ඉන්නෙ.

සාදු! සාදු!! සාදු!!!

චුල්ලසෙට්ඨිපේතවත්ථු අට්ඨමං.

අටවෙනි චුල්ලසෙට්ඨි ප්‍රේත වස්තුවයි.

භාණවාරං පඨමං.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn4_2-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M