116. ඔබේ ඇඟේ නූල් පොටක් නෑ. හරිම විරූපියි. කෙට්ටුයි. නහරවැල් පෑදිලා තියෙනවා. ඉලඇට ඉලිප්පිලා තියෙනවා. කෙට්ටු සිරුරක්. මෙතැන ඉන්න ඔබ කවුද?
117. අනේ මං මීට කලින් ආත්මභාවවල ඔබවහන්සේගේ වැදූ අම්ම වෙලා ඉඳල තියෙනවා. එහෙව් මං පෙරේත ලෝකයේ උපන්නා නෙව. මහා බඩගින්දරින් මං දැන් පෙළෙනවා.
118. බැහැර කරපු කාරල විසි කරන කෙල, සොටු, සෙම, පිළිස්සෙන මළ සිරුරුවලින් උතුරන වුරුණු තෙල්, දරුවන් වදද්දි ගලන ලේ,
119. තුවාලවලින් වැගිරෙන ලේ, සැරව, නාසා හිස ආදිය කැපුණාම ගලන ලේ, ස්ත්‍රීි පුරුෂ ශරීරවලින් ගලන වෙනත් අසූචි මං අනුභව කරන්නෙ බඩගින්දර ඉවස ගන්න බැරි නිසාමයි.
120. සත්තුන්ගේත්, මිනිස්සුන්ගේත් ලේ සැරව තමයි මං අනුභව කරන්නෙ. අනේ මට පිහිටක් නෑ. ඉන්න තැනක් නෑ. මං අමු සොහොන් ඇඳම පිහිට කර ගෙනයි ඉන්නෙ.
121. අනේ පුතණුවන් වහන්ස, දානයක් දෙන සේක්වා! ඒ පින මට අනුමෝදන් කරන සේක්වා! මේ ලේ සැරව අනුභව කරන ජීවිතෙන් මට නිදහස් වෙන්ට ඇත්නම් මොනතරම් දෙයක්ද?
122. කාරුණික උපතිස්සයන් වහන්සේ ඒ පෙර භවයේ මෑණියන්ව සිටි තැනැත්තියගේ වචනයට සවන් දුන්නා. මහා මොග්ගල්ලාන, අනුරුද්ධ, කප්පින තෙරුන් වහන්සේලාටත් අමතා වදාළා.
123. හතරැස් කුටියක් හැදුවා. හදල ඒ කුටිය සිව්දිසාවෙන් වඩින සංඝරත්නයට පූජා කළා. ඒ කුටියත් ආහාරපාන ආදියත් පූජා කිරීමෙන් ලත් පින මව්ට අනුමෝදන් කළා.
124. ඒ පින් දීපු සැණින්ම පුණ්‍ය විපාකය පහළ වුනා. භෝජන, වස්ත්‍ර, පැන් ආදී සැප සම්පත් පහළ වුනා. මේක තමයි දානයෙහි ඵලය.
125. එතකොට ඇගේ සිරුර පිරිසිදු වුනා. පවිත්‍ර වස්ත්‍රවලින් සැරසුනා. ඒ වස්ත්‍ර කසීසළුවලටත් වඩා උතුම්. විචිත්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසුණු ඒ තැනැත්තිය කෝලිතයන් වහන්සේ වෙත එළඹුනා.
126. පින්වත් දෙව්දුව, ඔබ ඔය සුන්දර රූපෙන් බැබලෙමින් ඉන්නෙ හැම දිසාවක්ම බබුළුවන ඕසධී තාරුකාවක් වගේ.
127. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුනේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේව ලැබුනේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුනේ මොන වගේ පිනකින්ද?
128. මහානුභාව ඇති පින්වත් දෙව්දුව, මිනිස් ලෝකෙ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔබ බැබලි බැබලී ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා.
129. මං මීට කලින් ආත්මභාවවල සාරිපුත්තයන් වහන්සේගේ වැදූ අම්මා වෙලා ඉඳල තියෙනවා. එහෙව් මං පෙරේත ලෝකයේ උපන්නා නෙව. මහා බඩගින්දරින් මං පෙලුනා.
130. බැහැර කරපු කාරල විසි කන කෙල, සොටු, සෙම, පිළිස්සෙන මළ සිරුරුවලින් උතුරන වුරුණු තෙල්, දරුවන් වදද්දි ගලන ලේ,
131. තුවාලවලින් වැගිරෙන ලේ, සැරව, නාසා හිස ආදිය කැපුනාම ගලන ලේ, ස්ත්‍රී පුරුෂ ශරීරවලින් ගලන වෙනත් අසූචි මං අනුභව කළේ බඩගින්දර ඉවස ගන්න බැරි නිසාමයි.
132. සත්තුන්ගේත්, මිනිස්සුන්ගේත් ලේ සැරව තමයි මං අනුභව කළේ. අනේ මට පිහිටක් තිබුනෙ නෑ. ඉන්න තැනක් තිබුනෙ නෑ, මං අමු සොහොන් ඇඳම පිහිට කරගෙනයි හිටියේ.
133. සාරිපුත්තයන් වහන්සේගේ දානය නිසා මට දැන් මොන භයක්වත් නෑ. මං සතුටෙන් ඉන්නෙ. ස්වාමීනි, ලෝකයෙහි කාරුණික මුනිඳුන් වන මුඹවහන්සේට වන්දනා කරගන්ටයි මං මේ ආවේ.
සාදු! සාදු!! සාදු!!!
දෙවෙනි සාරිපුත්තථේරස්ස මාතු ප්‍රේත වස්තුවයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn4_2-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M