95. ඔබේ ඇඟේ නූල් පොටක් නෑ. හරිම විරූපියි. කෙට්ටුයි. නහරවල් පෑදිලා තියෙනවා. ඉලඇට ඉලිප්පිලා තියෙනවා. කෙට්ටු සිරුරක්. මෙතැන ඉන්න ඔබ කවුද?
96. අනේ ස්වාමීනී, මං මේ දුකේ වැටිල ඉන්නෙ. මං යමලෝකෙ උපන් පෙරේතියක්. මගේ අතින් පව්කම් කෙරිල තමයි මනුස්ස ලෝකෙන් පෙරේත ලෝකෙට ගියේ.
97. ඔබ විසින් කයෙන් වචනයෙන් මනසින් මොන වගේ පවක්ද කර ගත්තෙ? මොන වගේ කර්මයක විපාකයක් නිසාද මිනිස් ලෝකෙන් පෙරේත ලෝකෙට ආවෙ.
98. අනේ ස්වාමීනි, මට අනුකම්පා කරන්ට කවුරුවත් හිටියේ නෑ. තාත්තවත් අම්මාවත් වෙන නෑදෑයෙක්වත් හිටියෙ නෑ. හිත පහදවා ගෙන ශ්‍රමණ බ්‍රාහ්මණයින්ට දානෙ ටිකක් දෙන්න කියල ඔය කවුරුවත් මාව පෙළඹෙව්වෙ නෑ.
99. පිපාසයෙන්, තණ්හාවෙන් කා දමන මට මේ විදිහට නිර්වස්තරෙන් තව අවුරුදු පන්සියයක් කල් ජීවත් වෙන්ට වෙනවා. මං කරගත්තු පාපකර්මවල විපාක තමයි මේ.
100. පින්වත් ආර්යයන් වහන්ස, මං මුඹ වහන්සේට වන්දනා කරනවා. මහා ආනුභාව ඇති ප්‍රාඥයන් වහන්ස, මට අනුකම්පා කරන සේක්වා! යම් කිසි දෙයක් දන් දීල මට පින් දෙන සේක්වා! අනේ ස්වාමීනි, මාව මේ අපා දුකෙන් මුදවන සේක්වා!
101. ප්‍රේතිය කෙරෙහි අනුකම්පාවෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේ, හොඳයි කියල පිළිතුරු දුන්නා. භික්ෂුන් වහන්සේලාට බත් පිඬකුත් රියනක විතර රෙදි කැබැල්ලකුත් පැන් භාජනයකුත් පූජා කළා. ඊට පස්සෙ ඇයට ඒ පින අනුමෝදන් කළා.
102. ඒ පින් දීපු සැණින්ම පුණ්‍ය විපාකය පහළ වුණා. භෝජන, වස්ත්‍ර, පැන් ආදී සැප සම්පත් පහළ වුනා. මේක තමයි දානයෙහි ඵලය.
103. එතකොට ඇගේ සිරුර පිරිසිදු වුනා. පවිත්‍ර වස්ත්‍රවලින් සැරසුනා. ඒ වස්ත්‍ර කසීසළුවලටත් වඩා උතුම්. විචිත්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසුණු ඒ තැනැත්තිය සාරිපුත්තයන් වහන්සේ වෙත එළඹුනා.
104. පින්වත් දෙව්දුව, ඔබ ඔය සුන්දර රූපෙන් බැබලෙමින් ඉන්නෙ හැම දිසාවක්ම බබුළුවන ඕසධී තාරුකාවක් වගේ.
105. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුනේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුනේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුනේ මොන වගේ පිනකින්ද?
106. මහානුභාව ඇති පින්වත් දෙව්දුව, මිනිස් ලෝකෙ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔබ බැබලි බැබලී ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා.
107. ලෝකයේ කාරුණික මුනීන්ද්‍රයන් වහන්ස, මුඹවහන්සේ මාව දැක්කා. ඒ මං පඬු පාටවෙලා, කෙට්ටු වෙලා, මහා බඩගින්නකින්, නිර්වස්තරයෙන්, කැඩුණු බිඳුණු අතපය ඇති සිවියකින් තමයි හිටියේ.
108. භික්ෂුන් වහන්සේලාට බත් පිඬකුත් රියනක විතර රෙදි කැබැල්ලකුත් පැන් භාජනයකුත් පූජා කළා. ඊට පස්සෙ මට ඒ පින අනුමෝදන් කළා.
109. බත් පිඬුවක පුණ්‍ය විපාකය දැක වදාළ මැනැව. මං දැන් අවුරුදු දාහකට ඇති වෙන්න අනේක ප්‍රණීත රසමසවුළු ඇතිව කැමති විදිහට බත් කනවා.
110. රියනක් පමණ රෙදි කැබැල්ලක පුණ්‍ය විපාකය දැක වදාළ මැනැව. නන්ද රජ්ජුරුවන්ගෙ රාජධානියෙහි යම් තාක් රෙදිපිළි ඇත්නම්,
111. ස්වාමීනි, ඊටත් වඩා බොහෝ වස්ත්‍ර මට තියෙනවා. මට කසී සළු තියෙනවා. කම්බිලි තියෙනවා. පට රෙදි තියෙනවා. කපු රෙදි තියෙනවා.
112. හරි විශාල, වටිනා රෙදිපිළි ආකාසයේ එල්ලෙනවා. ඉතින් මං කැමැති වෙන්නේ යම් යම් රෙදිවලටද ඒවා තමයි මං හැඳගන්නෙ.
113. පැන් බඳුනක පුණ්‍ය විපාකය දැක වදාළ මැනැව. හරීම ලස්සන පොකුණක් මැවිල තියෙනවා. ඒක හතරැස්. ගැඹුරුයි.
114. ඒකෙ වතුර ටික හරි සීතලයි. සිනිඳු වැල්ල තියෙනවා. ලස්සන තොට තියෙනවා. සුවඳ විහිදෙන නෙළුම්, මහනෙල් පිපිල තියෙනවා. මල් රේණු වතුරේ ඉහිරිලා තියෙනවා.
115. ඒ මං දැන් මොකේකටවත් භයක් නෑ. හරි සතුටින් කෙලිසෙල්ලමින් ඉන්නෙ. ඉතින් ස්වාමීනි, ලෝකයෙහි කාරුණික මුනිවරයාණන් වහන්සේ නමක් වන මුඹවහන්සේට වන්දනා කරගන්ටයි මං මේ ආවේ.
සාදු! සාදු!! සාදු!!!
පළමු වෙනි සංසාරමෝචක ප්‍රේත වස්තුවයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn4_2-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M