ඛුද්දක නිකාය

පේතවත්ථු

1.3. පූතිමුඛ පේත වත්ථු

1.3. පූතිමුඛ ප්‍රේත වස්තුව

07. දිබ්බං සුභං ධාරේසි වණ්ණධාතුං
වේහාසයං තිට්ඨසි අන්තලික්ඛේ
මුඛඤ්ච තේ කිමයෝ පූතිගන්ධං
ඛාදන්ති කිං කම්මමකාසි පුබ්බේති ?

07. ඔබේ ශරීරයෙහි පෙනුම නම් දිව්‍ය සිරුරක් වගේ සුන්දරයි. ඔබ ඉන්නෙ ආකාසයේ. ඒ වුනාට ඔබේ මුඛය ඉතාමත්ම දුගඳයි. පණුවන් කට පුරා පිරිලා කට කකා ඉන්නෙ. කලින් ජීවිතයේදී ඔබ මොන වගේ කර්මයක්ද කරගත්තෙ?

08. සමණෝ අහං පාපෝ දුට්ඨවාචෝ
තපස්සිරූපෝ මුඛසා අසඤ්ඤතෝ
ලද්ධා ච මේ තපසා වණ්ණධාතු
මුඛඤ්ච මේ පේසුනියේන පූති

08. මං ඉස්සර පවිටු භික්ෂුවක්. මං හරියට දුෂ්ට වචන කිව්වා. සිල්වත් කෙනෙකුගේ වේශයෙන් හිටියා. වචනයේ සංවරකමක් තිබුනෙම නෑ. මම බඹසර රැකපු නිසා මගේ ශරීර සෝභාව වර්ණවත් වුනා. කේලාම් කීම නිසයි මගේ කට කුණු වුනේ.

09. තයිදං තයා නාරද සාමං දිට්ඨං
අනුකම්පකා යේ කුසලා වදෙය්‍යුං
මා පෙසුනං මා ච මුසා අභාණී
යක්ඛෝ තුවං හෝහිසි කාමකාමී‘ති.

09. පින්වත් නාරදයන් වහන්ස, දැන් ඔබවහන්සේම මාව දැකගත්ත නෙ. ලොවට අනුකම්පා ඇති බුද්ධාදී උත්තමයන් වහන්සේලා යම් කුසලයක් වදාරයිද මාත් දැන් ඒක කියනවා. කේළමක් නම් කියන්ට එපා! බොරුවක් කියන්ටත් එපා! එතකොට ඔබට කැමති සැප ලබන දෙවි කෙනෙක් වෙන්ට පුළුවනි.

සාදු! සාදු!! සාදු!!!

පූතිමුඛපේතවත්ථු තතියං.

තුන්වෙනි පූතිමුඛ ප්‍රේත වස්තුවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn4_1-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M