73. එක දිව්‍ය පුත්‍රයෙක් සුදු ඇත් වාහනයකින් ඉස්සර වෙලා යනවා. තව දිව්‍ය පුත්‍රයෙක් වෙළඹුන් යෙදූ රථයකින් මැදට වෙලා යනවා. පසු පස්සෙන් දිව්‍ය කන්‍යාවක් මණ්ඩපයකින් යනවා. එතකොට දස දිසාවම බබලනවා.
74. ඒ වුණාට ඔබලා නම් අත්වලින් දඬුමුගුරු අරගෙන, හඬ හඬා හොඳටම කැඩුණු බිඳුණු අතපය ඇතිව යනවා. ඊළඟට එකිනෙකාගෙ ලේ බිබී ඉන්නවා. මිනිස් ලෝකෙ ඉන්න කාලෙ ඔබලා කරපු පාපය මොකක්ද?
75. පාද හතරකින් යුතු සුදු හස්තිරාජයෙක් ඉන්න වාහනයෙන් යන එක්කෙනෙක් ඉන්නවා. එයා අපේ ලොකු පුතා. දන් දුන්නා නෙව. දැන් ඉතින් සැප විඳිමින් සතුටු වෙනවා.
76. අර වෙළඹුන් හතර දෙනෙක් බැඳපු අශ්වරථයෙහි මැදට වෙලා ගමන් කරන කෙනෙක් ඉන්නවනේ. එයා අපේ මධ්‍යම පුතා. මසුරු කෙනෙක් නෙවෙයිනෙ. දානපතියෙක් වෙලයි එයා බබලන්නෙ.
77. අර රන්සිවි ගෙයකින් ගෙන යන දෙවඟනක් ඉන්නවනේ. ඇය හරි නුණැත්ති. මුවැත්තියක වගේ අඩවන් නෙත් තියෙනවා. ඈ අපේ බාල දෝණි. තමාට ලැබිච්ච කොටසින් භාගයක්ම දන් දුන්නා. දැන් ඉතින් සැප සේ සතුටු වෙනවා.
78. ඔය දරුවො ටික ඉස්සර දන් දුන්නා. සිත පහදවාගෙන ශ්‍රමණ බ්රාහ්මණයන්ටයි දන් දුන්නෙ. ඒකට අපි, මසුරුකමින් හිටියා. ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට නින්දා අපහාස කළා. දරුවො ටික දිව්‍ය සැපෙන් සතුටු වෙනවා. ඒකට අපි. කපල අව්වෙ දාපු බට ගස් වගේ වේලි වේලි ඉන්නවා.
79. ඔබලාගේ කෑම බීම් මොනවාද? මොනවායේද නිදාගන්නෙ? මහා පවිටුන් වන ඔබලා ජීවත් වෙන්නෙ කොහොමද? හොඳට දේපල වස්තුව තියෙන කාලෙ ලැබිච්ච සැප වරදවා අරගෙන අද ඉතින් දුක් විඳිනවා.
80. අපි කරන්නෙ එකිනෙකාට වදහිංසා කරගෙන ගලන ලේ සැරව බොන එකයි. අපිට කොච්චර බිව්වත් ඇතිවෙන්නෙ නෑ. අපට එකිනෙකා රුස්සන්නෙ නෑ.
81. දන් පැන් නොදෙන මිනිස්සු මරණින් මත්තෙ පෙරේත ලෝකෙට යනවා. ගිහින් වැළපි වැළපි ඉන්නවා. සමහර මිනිස්සු භෝග සම්පත් ලබාදෙන විට තමන් අනුභව කරන්නෙත් නෑ. පින් කරගන්නෙත් නෑ.
82. ඒ පෙරේතයන් අධික බඩගින්නකින්, පිපාසයකින් පීඩා විඳිනවා. බොහෝ කලක් දුකෙන් තැවි තැවී පිච්චෙනවා. ඔය දුක ඇති වෙන පාපකර්ම කරලයි කටුක ඵල ඇති දුක් අනුභව කරන්නෙ.
83. ධනධාන්‍ය කියන දේවල් මොහොතකින් ඉවරයි. මේ ජීවිතය වුනත් මොහොතකින් ඉවරයි. මොහොතකින් ඉවර වෙලා යන දෙය පවතින්නේ මොහොතක් බව තේරුම් ගත්තු නුවණැති උදවිය තමන්ව දුකට යට නොවන දුපතක් කර ගන්නවා.
84. ධර්මය තේරුම් ගන්ට දක්ෂ මිනිස්සු ඉන්නවා. එයාල ඔය කාරණය ඔය විදිහටම දන්නවා. රහතන් වහන්සේලාගේ ධර්මය අහලා දන් දෙන්න ප්‍රමාද වෙන්නෙ නෑ.
සාදු! සාදු!! සාදු!!!
එකොළොස්වෙන නාග ප්‍රේත වස්තුවයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn4_1-11/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M