58. ඔය විමානෙ ඇතුලේ ඉන්න ස්ත්‍රිය කවුද? ඔය විමානෙන් එළියට එන්නෙ නැත්තෙ මොකද? පින්වතිය, ඔය විමානයෙන් ඔබතුමිය එළියට පැමිණුන මැනව. අපි මහා ඉර්ධි ඇති ඔබතුමියව දැකගන්ට කැමතියි.
59. මං දුකෙන් ඉන්නෙ. මට ලැජ්ජයි. මගේ ඇඟේ නූල් පොටක් නෑ. මට එළියට එන්න විදිහක් නෑ. මුළු ශරීරයම වැහිල තියෙන්නෙ කෙස්වලින්. මං පුංචි පිනක් කරගත්තු කෙනෙක්.
60. හොඳයි. එහෙම නම් මං දැන් ඔබට මගේ මේ උතුරු සළුව පූජා කරනවා. පින්වතිය, මේ වස්ත්‍රය පොරෝ ගන්න. සොඳුර, ඊට පස්සෙ විමානයෙන් එළියට එන්න. ඔය විමානයෙන් ඔබතුමිය එළියට පැමිණුන මැනව. අපි මහා ඉර්ධි ඇති ඔබතුමියව දැකගන්ට කැමතියි.
61. අතින් අතකට දෙන දෙයක් ලබාගන්ට මට කැප නෑ. ඔය පිරිස අතරින් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රද්ධා සම්පන්න උපාසක කෙනෙක් ඉන්නවා.
62. එතුමාට මේ වස්ත්‍රය පොරවන්න. ඊට පස්සෙ ඒ පින මට දෙන්න. එතකොට මං හැම අතින්ම සැපවත් වෙලා සුවසේ සිටීවි.
63. ඒ වෙළඳ පිරිස අර උපාසකතුමාව හොඳට නැහැව්වා. සුවඳ ගැල්වූවා. වස්ත්‍ර දෙකෙන් හොඳට ඇන්දෙව්වා. ඒ පෙරේතියට පින් අනුමෝදන් කළා.
64. ඒ ක්ෂණයෙන්ම ඇයට පින් දෙන කොට පුණ්‍ය විපාකය ඉපදුනා. භෝජන ඇඳුම් පැළඳුම් පැන් ආදිය පහළ වුනා. මේක තමයි දානයෙහි ඵලය.
65. එතකොට ඇගේ සිරුර පිරිසිදු වුනා. පවිත්‍ර වස්ත්‍රවලින් සැරසුනා. ඒ වස්ත්‍ර කසීසළුවලටත් වඩා උතුම්. ඕ සිනහ වෙවී විමානයෙන් එළියට නික්මුනා. මේක තමයි දානයෙහි ඵලය.
66. ඔබේ දිව්‍ය විමානය ඉතා විචිත්රයි. සිත්කළුයි. බබලනවා. පින්වත් දෙව්දුව, අපි අහන මේ කාරණයට පිළිතුරක් දෙන්න. මොන වගේ පුණ්‍ය කර්මයකින්ද මේ විපාකෙ ලැබුනේ.
67. ස්වාමීන් වහන්සේ නමක් පිඬු පිණිස වැඩියා. සෘජු සිත් ඇති උන්වහන්සේ ගැන මං ගොඩාක් පැහැදුනා. මං උන්වහන්සේට තෙල්කැවුමක් පූජා කළා.
68. ඒ පින්කමේ විපාක වශයෙන් මං මේ විමානයෙහි ඉඳගෙන බොහෝ කාලයක් තිස්සේ සැප වින්ඳා. දැන් ඒ පින ගෙවිල ගිහින්. තව ස්වල්පයයි තියෙන්නෙ.
69. තව හාරමාසයකින් පස්සෙ මං මෙහෙන් චුත වෙනවා. එතකොට භයානක වූ කටුක ඝෝර අවිචි මහා නිරයේ තමයි මාව වැටෙන්නෙ.
70. ඒ නිරයේ කොන් හතරක් තියෙනවා. දොරවලුත් හතරක් තියෙනවා. ඒව කොටස් වශයෙන් ගානට බෙදලයි තියෙන්නෙ. වටේටම තියෙන්නෙ යකඩ පවුරක්. වහල තියෙන්නෙත් යකඩ පියනකින්.
71. ඒ අවීචි මහානරකාදියේ ඇවිලෙන ගිනිදැල් හරිම සැරයි. ඒ යකඩ භූමියේ හැම තිස්සේම යොදුන් සියයක් පුරාවට ගිනිදැල් පැතිරිලා තියෙනවා.
72. මං එහේ ඉපදිලා දීර්ඝ කාලයක් දුක් විඳින්ට වෙනවා. කරපු පව්වල විපාක තමයි. ඒ නිසා මං ගොඩාක් සෝකයෙන් ඉන්නෙ.
සාදු! සාදු!! සාදු!!!
දසවෙනි ඛල්ලාටිය ප්‍රේත වස්තුවයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn4_1-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M