ඛුද්දක නිකාය

විමානවත්ථු

7.7. කන්ථක විමාන වත්ථු

7.7. කන්ථක විමානය

1172. තාරුකාවන්ට අධිපති වෙලා සස ලකුණු ඇතිව ඉන්න සඳක් වගෙයි. පුරපසළොස්වක දවසට නැකැත් තරු පිරිවරා ගෙන බබලන සඳක් වගෙයි. හාත්පස ගමන් කරන්නෙ ඒ විදිහටයි.

1173. මේ දිව්‍ය පුරයේ තිබෙන දිව්‍ය විමානයත් ඒ වගේ තමයි. උදාහිරු වගේ ඒ දිව්‍ය වර්ණයෙන් අතිශයින්ම බබලනවා.

1174. වෛරා්ඩි, රත්තරන්, පළිඟු, රිදී, මැසිරිගල්, මුතු, මැණික් ආදියෙන් තමයි,

1175. මේ විමාන භූමිය විචිත්‍ර වෙලා තියෙන්නෙ. වෛරෝඩි මැණික් තමයි බිමට අතුරලා තියෙන්නෙ. ඒ රම්‍ය වූ කූටාගාර හරි සුන්දරයි. ඔබේ දිව්‍ය ප්‍රසාදය නම් හරි අගේට මැවුන එකක්.

1176. ඔබේ පොකුණ හරිම රමණීයයි. දිව්‍ය මාළුන් ගැවසිලා ඉන්නවා. වතුර ටික හරිම අගෙයි. හරී පැහැදිලියි. රන් වැලි තමයි යට තියෙන්නෙ.

1177. ඒ පොකුණේ ලස්සන ලස්සන නෙළුම් පිපෙනවා. හැම තැනම සුඳු නෙළුම් පිපිල තියෙනවා. සිනිඳු සුළඟ හමා ගෙන යද්දි හරිම සුවඳයි.

1178. ඔබේ ඒ පොකුණ දෙපැත්තේ අපූරුවට මැවිල තියෙනවා වන ලැහැබක්. ඒ ගස්වල ලස්සන මලුත් තියෙනවා. පලතුරුත් තියෙනවා.

1179. ඒ ආසනයෙ පාද රත්තරනින් නිමැවිලා තියෙන්නෙ. හරී මොළොක්. දිවසළුවලින් සැරසිලා තියෙන්නෙ. සක්දෙව් රජු වගේ ඔබ එහි ඉන්න කොට දිව්‍ය අප්සරාවෝ පැමිණෙනවා.

1180. සියලු ආභරණවලින් සැරසිලා නා නා මල්මාලාවලින් විභූසිත වෙලා ඉන්න දිව්‍ය අප්සරාවන් මහ ඉර්ධිමත්. ඔබව සතුටු කරනවා. ඔබ සතුටු වෙන්නෙ දේවාධිපති කෙනෙක් වගේ.

1181. බෙරහඬ ඇහෙනවා. සක් පිබිනවා. මෘදංග වාදනය කරනවා. වීණා වයනවා. පණාබෙර හඬ ඇහෙනවා. නැටුම් ගැයුම්වලින් සුන්දර වුන දෙව්ලොවටයි ඔබ ඇලී වසන්නෙ.

1182. විවිධාකාර දිව්‍ය රූප, දිව්‍ය ශබ්ද, ඒ වගේම දිව්‍ය රස, දිව්‍ය සුවඳ, ඒ වගේම මනෝරම්‍ය වූ දිව්‍යමය පහසත් ඔබට තියෙනවා.

1183. පින්වත් දිව්‍ය පුත්‍රය, ඔබ ඒ උතුම් දිව්‍ය විමානයෙහි මහා ප්‍රභාවකින් බබළනවා. ඔබ වර්ණයෙන් අතිශයින්ම බබලන්නෙ උදා හිරු මඬලක් වගෙයි.

1184. ඔබේ මේ පුණ්‍ය විපාකය දානයෙන් ලැබුණු එකක්ද? එහෙම නැත්නම් සීලයෙන් ලැබුණු එකක්ද? එහෙමත් නැත්නම් වෙනත් වැඳුම් පිදුම්වලින් ලැබුණු එකක්ද? මේ අහන කරුණට පිළිතුරු දෙනු මැනව.

1185. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දිව්‍ය පුත්‍රයා ගොඩාක් සතුටු වුනා. මොන වගේ පින්කම්වලින්ද මේ සැප ලැබුනේ කියන ප්‍රශ්නයට ඔහු මෙහෙමයි පිළිතුරු දුන්නේ.

1186. ශාක්‍යවරුන්ගේ උතුම් නගරය කිඹුල්වත්පුරයයි. මං එහේ හිටියේ. සුද්ධෝදන රජ්ජුරුවන්ගේ පුතණුවන් වහන්සේගේ ඉපදීමයි මගේ ඉපදීමයි වුනේ එකම දවසේ. මං කන්ථක.

1187. එදා සිද්ධාර්ථ කුමාරයා මැදියම් රැයේදීයි බුදු බව පිණිස අබිනික්මන් කළේ. කුමාරයන් වහන්සේ ඉතා හොඳින් හසුරවන අත්වලින් ඒ තඹ පාට නියපොතු තියෙන මොළොක් අත්වලින්,

1188. මගේ කලවයට තට්ටු කළා. “යාළුවා, මං උතුම් සම්බෝධියට පත්වෙලා දෙව් මිනිස් ලෝකයාවත් මේ සංසාරයෙන් එතෙර කරවන්නයි යන්නෙ. මාව උසුලාගෙන යන්න” කියල කිව්වා.

1189. මට ඒ වචනය ඇහෙන කොටම මහා ලොකු සතුටක් ඇති වුනා. මගේ සිත පිනා ගියා. ඒ සතුටු සිතින්ම මං උන්වහන්සේව පිළිගත්තෙ.

1190. මහ යසස් ඇති ශාක්‍යපුත්‍රයන් වහන්සේ මගේ පිටේ නැග්ගා. මගේ සිත පිනා ගියා. හරීම සතුටෙන් මං ඒ පුරුෂෝත්තමයාව උසුලාගෙන ගියේ.

1191. සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ වෙන රජෙකුගේ රාජධානියකටයි ගියේ. හිරු උදාවෙන කොට මාවත් ඡන්නවත් අත්හැරලා කිසි බලාපොරොත්තුවක් නැතුව පිටත් වෙලා ගියා.

1192. මං සිද්ධාර්ථ කුමාරයාණන් වහන්සේගේ තඹ පාට නියපොතු ඇති ඒ සිරිපා යුග දිවෙන් ලෙව කෑවා. මහාවීරයන් වහන්සේ වන පියසට වඩිද්දි මං හඬ හඬා බලා හිටියා.

1193. ශ්‍රීමත් වූ ශාක්‍යපුත්‍රයන් වහන්සේ මට නොපෙනී ගියා. එතකොට මට ලොකු අසනීපයක් හැදුනා. ඉක්මනින්ම මගේ මරණය සිද්ධ වුනා.

1194. ඒ පුණය කර්මයේ ආනුභාවයෙන් තමයි මේ දිව්‍ය විමානය ලැබුනේ. සියලු කම්සැපතින් අනූන වූ මේ දිව්‍ය පුරයෙහි මං සතුටු වෙනවා.

1195. සම්බුද්ධත්වය අවබෝධ කළා යන දහම් ඝෝෂාව මටත් ඇහුනා. එතකොට මට හරි සතුටක් දැනුනා. ඒ කුසල මූලයෙන්මයි අමා නිවන සාක්ෂාත් කරන්ට ඕන.

1196. ස්වාමීනි, අපගේ ශාස්තෘ වූ බුදුරජාණන් වහන්සේ වෙත වඩිනවා නම් මගේ වචනයෙනුත් මගේ සිරසෙනුත් උන්වහන්සේට මා කරන වන්දනාව සැල කළ මැනව.

1197. ඒ හා සමාන වෙනත් කෙනෙක් නැති ජිනරාජයන් වහන්සේව බැහැ දකින්ට මමත් යනවා. අටලෝ දහමෙන් කම්පා නොවන ලෝකනාථ වූ බුදුරජාණන් වහන්සේ නමක් දකින්ට ලැබීමත් දුර්ලභ දෙයක්.

1198. කෙළෙහි ගුණ දන්නා කෙළෙහි ගුණ හඳුනන ඒ කන්ථක දිව්‍යපුත්‍රයා ශාස්තෘන් වහන්සේ වෙත එළඹුනා. සදහම් ඇස් ඇති බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා ධම්මචක්ඛුව පිරිසිදු කරගත්තා.

1199. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බතපරාමාස නැතිකරල දැම්මා. ශාස්තෘන් වහන්සේගේ සිරිපා කමල් වන්දනා කරල එතැනම නොපෙනී ගියා.

සාදු ! සාදු !! සාදු !!!

හත්වෙනි කන්ථක විමානයයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn3_1-7-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M