1160. මහා මොග්ගල්ලානයන් වහන්සේ දෙවියෙකුව දැක්කා. දැකලා මෙහෙම අසා වදාළා. “බොහෝ කල් පවතින උස් වූ දිව්‍ය විමානයකයි ඔබ ඉන්නෙ. අත් ආභරණ ලස්සනට පළඳගෙන ඉන්නවා. යසස් තියෙනවා. ඔබ දිව්‍ය විමානයෙහි බබලන්නෙ පුන්සඳ වගේ.”
1161. පින්වත් දිව්‍ය පුත්‍රය, ඔබ හරි ලස්සනයි. දිව්‍ය මල්මාලා දරාගෙන ඉන්නවා. ලස්සන දිවසළු දරාගෙන ඉන්නවා. බොහොම හැඩට කෙස් රැවුල් කපල තියෙනවා. කන්වලත් ලස්සන ආභරණ පැළඳගෙන, අත්වලත් ලස්සන ආභරණ පැළඳගෙන යසස් ඇතිව ඉන්න ඔබ ඔය දිව්‍ය විමානෙ ඉන්න කොට සඳක් වගේ බබලනවා.
1162. දිව්‍ය වීණාවන්ගෙන් මිහිරි වාදනය ඇහෙනවා. ඔය විමානයේ ඉන්න දිව්‍ය අප්සරාවන් සූසැට කලාවන් හොඳට පුහුණු වෙලයි ඉන්නෙ. ඒ උදාර දිව්‍ය කන්‍යාවන් නටනවා, ගයනවා, සතුටු වෙනවා.
1163. මහානුභාව ඇති පින්වත් දිව්‍ය පුත්‍රය, දිව්‍ය අධිපති බවටයි දැන් ඔබ පත් වෙලා ඉන්නෙ. මිනිස් ලෝකෙ ඉන්න කාලෙදි මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලී ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා.
1164. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දිව්‍ය පුත්‍රයා ගොඩාක් සතුටු වුනා. මොන වගේ පින්කම්වලින්ද මේ සැප ලැබුනේ කියන ප්‍රශ්නයට ඔහු මෙහෙමයි පිළිතුරු දුන්නේ.
1165. මං ඉස්සර මිනිස් ලොව මනුස්සයෙක් වෙලා හිටියා. මං කළේ අනුන්ගේ ගව දෙනුන් එක් රැස් කරල ආරක්ෂා කරන එක. එදා ශ්රමණයන් වහන්සේ නමක් මං ළඟට වැඩියා. ගවයොත් මෑ කෙත කන්ට ගියා.
1166. ස්වාමීනි, මට දැන් වැඩ දෙකක් තියෙනවා. දෙකම කරන්ට ඕන. ඉතින් ස්වාමීනි. මං නුවණින් කල්පනා කරන කොට මේ අදහස ඇති වුනා. “ස්වාමීනි, මේක මං පූජා කළා” කියල රෙද්දෙන් ඔතාගෙන හිටිය පිට්ටුව අත්හැරියා.
1167. මේ ගව රැල අනුන්ගේ ධනය වන මෑ කෙත කන්ට ඉස්සර වෙලා මං ඒ මෑ කෙතට දුවගෙන ආවා. මං එහෙම වේගයෙන් යන කොට මහා විෂ ඇති දරුණු සර්පයෙක් මගේ කකුලට දෂ්ඨ කළා.
1168. එතකොට මං ඒ සර්පවිෂ නිසා අධික දුකෙන් පෙළෙන්න වුනා. ඒ ස්වාමීන් වහන්සේත් මා කෙරෙහි අනුකම්පා කරල ඒ රෙදිකඩ බැහැර කරල පිට්ටුව වැළඳුවා. මං කළුරිය කරලා ඒ මිනිස් බවින් චුත වෙලා දෙවියෙක් වුනා.
1169. මට කරගන්න ලැබුනේ ඒ පින විතරයි. ස්වාමීනි, ඔබවහන්සේ මට ගොඩාක් අනුකම්පා කරපු නිසයි මං මේ ඒ පින්කමින් සැප විඳින්නෙ. මං කෙළෙහි ගුණ දන්න නිසා ඔබවහන්සේට වන්දනා කරනවා.
1170. දෙවියන් සහිත වූ මරුන් සහිත වූ ලෝකයෙහි ඔබවහන්සේ තරම් අනුකම්පා කරන වෙන මුනිවරයෙක් නම් නෑ. ස්වාමීනී, ඔබවහන්සේ ගොඩාක්ම සානුකම්පිතයි. මං කෙළෙහි ගුණ දන්න නිසා ඔබවහන්සේට වන්දනා කරනවා.
1171. මේ ලෝකෙවත් වෙනත් ලෝකයකවත් ඔබවහන්සේ තරම් අනුකම්පා කරන වෙන මුනිවරයෙක් නම් නෑ. ස්වාමීනී, ඔබවහන්සේ ගොඩාක්ම සානුකම්පිතයි. මං කෙළෙහි ගුණ දන්න නිසා ඔබවහන්සේට වන්දනා කරනවා.
සාදු ! සාදු !! සාදු !!!
හය වෙනි ගෝපාල විමානයයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn3_1-7-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M