1147. මේ විමානය හරි උසයි. මැණික්වලින් කරපු කණු තියෙනවා. යොදුන් දොළොසක් දුරට පැතිරිලා තියෙනවා. උස් මුදුන් ඇති ගෙවල් හත්සියයක් තියෙනවා. වෛරෝඩි මැණිකෙන් කරපු කණු තියෙනවා. සිත්කළුයි. සුන්දරයි.
1148. ඔබ ඒ විමානයේ ඉඳගෙන පානය කරනවා. අනුභව කරනවා. දිව්‍ය වීණාවන්ගෙන් මිහිරි වාදනය ඇහෙනවා. දිව්‍ය වූ රසය තියෙනවා. පංචකාම ගුණත් තියෙනවා. රන් අබරණවලින් සැරසිලා දිව්‍ය අප්සරාවන් නටනවා.
1149. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුනේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේව ලැබුනේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුනේ මොන වගේ පිනකින්ද?
1150. මහානුභාව ඇති පින්වත් දිව්‍ය පුත්‍රය, දිව්‍ය අධිපති බවටයි දැන් ඔබ පත් වෙලා ඉන්නෙ. මිනිස් ලෝකෙ ඉන්න කාලෙදි මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලී ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා.
1151. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දිව්‍ය පුත්‍රයා ගොඩාක් සතුටු වුනා. මොන වගේ පින්කම්වලින්ද මේ සැප ලැබුනේ කියන ප්‍රශ්නයට ඔහු මෙහෙමයි පිළිතුරු දුන්නේ.
1152. ඒ කාලෙ ඉර සැරට පායනවා. පායන කාලෙ අන්තිම මාසෙ. අනුන්ට බැලමෙහෙ කරන පුද්ගලයෙක් හිටියා. ඔහු අඹ වනයකට වතුර දැම්මා.
1153. එතකොට ඒ දිසාවෙන් වැඩියා ඉතා ප්‍රසිද්ධ වූ සාරිපුත්ත මහරහතන් වහන්සේ. කායික වශයෙන් කලන්තෙ ස්වභාවයක් පෙනුනා. නමුත් මානසිකව කලන්තෙ තිබුනෙ නෑ.
1154. අඹ වනයට වතුර දදා හිටපු මං ඒ වනයට වඩින උන්වහන්සේව දැක්කා. “ස්වාමීනි, මං ඔබවහන්සේව පැන් සනහනවා නම් ඒක මට සැපයට හේතු වේවි” කියල මං කිව්වා.
1155. එතකොට උන්වහන්සේ මා කෙරෙහි අනුකම්පා කළා. පා සිවුරු පැත්තකින් තැබුවා. අඳනය විතරක් ඇඳගෙන රුක්මුල් සෙවණක වාඩි වුණා.
1156. මං එතකොට සිත පහදවා ගත්තා. රුක් සෙවණෙහි අඳනය පිටින් වැඩ සිටිය උන්වහන්සේව පිරිසිදු ජලයෙන් නැහැව්වා.
1157. අඹ ගහටත් මං වතුර ඉස්සා. ශ්රමණයන් වහන්සේවද පැන් පහසු කෙරෙව්වා. මං රැස් කරගත්තේ නම් සුළුපටු පිනක් නොවේ. ඒ ප්‍රීතිය මගේ කය පුරාම පැතිරිලා ගියා.
1158. මං ඒ මනුස්ස ජීවිතයේදී කරගත්තෙ ඔය පින්කම විතරයි. මිනිස් සිරුර අත්හැරියට පස්සෙ මං උපන්නෙ මේ නන්දන උයනේ.
1159. මේ රම්‍ය වූ නන්දන වනයේ නොයෙක් කුරුළු කොබෙයියන් පිරිවරාගෙනයි මං ඉන්නෙ. දිව්‍ය අප්සරාවන් පිරිවරා ගෙන නැටුම් ගැයුම්වලින් මං සතුටු වෙනවා.
සාදු ! සාදු !! සාදු !!!
පස්වෙනි අම්බ විමානයයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn3_1-7-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M