ඛුද්දක නිකාය

විමානවත්ථු

7.4. සුවණ්ණ විමාන වත්ථු

7.4. සුවණ්ණ විමානය

1135. පින්වත් දිව්‍ය පුත්‍රය, හැම පැත්තෙන්ම ප්‍රභාශ්වර වූ ඔබේ විමානය පිහිටල තිබෙන්නෙ රත්තරන් පර්වතයකයි. ඒ විමානය වටා රන්වන් දැලුත් රන් කිංකිණි දැලුත් එල්ලා තිබෙනවා.

1136. ලස්සනට කරපු අටපට්ටම් කණු තියෙනවා. ඒ හැම කණුවක්ම වෛරෝඩි මැණික්වලින් කරල තියෙන්නෙ. ඒ එක එකක් පාසා නිමවලා තියෙන්නෙ සප්ත රත්නයෙන්.

1137. වෛරෝඩි, රත්තරන්, පළිඟු, රිදී, මැසිරිගල්, මුතු, රතු මැණික් ආදියෙන් තමයි,

1138. ඒ විමාන භූමිය සිත්කළු විදිහට ලස්සනට හදල තියෙන්නෙ. ඒ විමානයේ දූවිලි නෑ. රන්වන් පරාලවලින් තමයි ඒ කැණි මඬල දරාගෙන ඉන්නෙ.

1139. හතර දිසාවෙන් පඩිපෙළවල් හතරක් තියෙනවා. නානා මැණික්වලින් හැදුණ අභ්‍යන්තර ශාලාවලින් රැස් විහිදෙන්නෙ හිරු මඬල වගේ.

1140. ඒ විමානයේ හතර දිශාවට බෙදපු ප්‍රධාන වේදිකා හතරක් තියෙනවා. හාත්පස බබලමින් තමයි ඒ වේදිකා තියෙන්නෙ.

1141. අන්න ඒ උතුම් විමානයෙ තමයි ඔය දිව්‍ය පුත්‍රයා ඉන්නෙ. හිරු උදාවෙද්දි ලස්සනට බබලනවා වගේ ඔබත් අතිශයින්ම බබලනවා.

1142. ඔබේ මේ පුණ්‍ය විපාකය දානයෙන් ලැබුණු එකක්ද? එහෙම නැත්නම් සීලයෙන් ලැබුණු එකක්ද? එහෙමත් නැත්නම් වෙනත් වැඳුම් පිදුම්වලින් ලැබුණු එකක්ද? මේ අහන කරුණට පිළිතුරු දෙනු මැනව.

1143. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දිව්‍යපුත්‍රයා ගොඩාක් සතුටු වුනා. මොන වගේ පින්කම්වලින්ද මේ සැප ලැබුනේ කියන ප්‍රශ්නයට ඔහු මෙහෙමයි පිළිතුරු දුන්නේ.

1144. මං ඒ කාලෙ අන්ධකවින්ද රටේ හිටියේ. ඉතින් මම සූර්යබන්ධු වූ ශාස්තෘවූ බුදුරජාණන් වහන්සේට විහාරයක් කෙරෙව්වෙ සිත පහදවා ගෙන මගේ අතින්මයි.

1145. මං එහි දී ශාස්තෘන් වහන්සේට සුවඳ වර්ගද, මල්ද, වටිනා සුවඳ විළවුන් ද, විහාරයක්ද පූජා කළේ ගොඩාක් පැහැදුණු සිතින්මයි.

1146. මට දැන් ඒ පුණ්‍ය විපාකය ලැබුනා. නන්දන වනයෙහි මං දැන් සියලු දෙනා අතර ප්‍රධානයි. මේ රම්‍ය වූ නන්දන වනයේ නොයෙක් කුරුළු කොබෙයියන් පිරිවරා ගෙනයි මං ඉන්නෙ. දිව්‍ය අප්සරාවන් පිරිවරා ගෙන නැටුම් ගැයුම් වලින් මං සතුටු වෙනවා.

සාදු ! සාදු !! සාදු !!!

හතරවෙනි සුවණ්ණ විමානයයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn3_1-7-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M