ඛුද්දක නිකාය

විමානවත්ථු

7.3. මණිථූන විමාන වත්ථු

7.3. මණිථූන විමානය

1127. මේ විමානය හරි උසයි. මැණික්වලින් කරපු කණු තියෙනවා. යොදුන් දොළොසක් දුරට පැතිරිලා තියෙනවා. උස් මුදුන් ඇති ගෙවල් හත්සියයක් තියෙනවා. වෛරෝඩි මැණිකෙන් කරපු කණු තියෙනවා. සිත්කළුයි. සුන්දරයි.

1128. ඔබ ඒ විමානයේ ඉඳගෙන පානය කරනවා. අනුභව කරනවා. දිව්‍ය වීණාවන්ගෙන් මිහිරි වාදනය ඇහෙනවා. දිව්‍ය වූ රසය තියෙනවා. පංචකාම ගුණත් තියෙනවා. රන් අබරණවලින් සැරසිලා දිව්‍ය අප්සරාවන් නටනවා.

1129. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුනේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේව ලැබුනේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුනේ මොන වගේ පිනකින්ද?

1130. මහානුභාව ඇති පින්වත් දිව්‍ය පුත්‍රය, දිව්‍ය අධිපති බවටයි දැන් ඔබ පත් වෙලා ඉන්නෙ. මිනිස් ලෝකෙ ඉන්න කාලෙදි මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලී ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා.

1131. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දිව්‍යපුත්‍රයා ගොඩාක් සතුටු වුනා. මොන වගේ පින්කම්වලින්ද මේ සැප ලැබුනේ කියන ප්‍රශ්නයට ඔහු මෙහෙමයි පිළිතුරු දුන්නේ.

1132. මං මිනිස් ලෝකෙ මනුස්සයෙක් වෙලා හිටියේ. වනගත මාවතක මං සක්මන් මළුවක් හැදුවා. ආරාමයක් හැදුවා. රුක් රෝපණය කළා. ඒ වගේම සිල්වතුන් වහන්සේලාව මට හරි ප්‍රියයි. ඉතින් මං උන්වහන්සේලා ගැන සිත පහදවා ගෙනයි හිටියේ. මං බොහෝම පිළිවෙලට දන්පැන් හදලා මහා දන් පූජා කළා.

1133. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුනේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුනේ ඒ නිසාමයි.

1134. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස, මිනිස් ලෝකෙදි ඔය පින තමයි මං කරගත්තෙ. ආනුභාව සම්පන්නව බැබලි බැබලී ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා.

සාදු ! සාදු !! සාදු !!!

තුන්වෙනි මණිථූන විමානයයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn3_1-7-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M