ඛුද්දක නිකාය

විමානවත්ථු

5.13. චූළරථ විමාන වත්ථු

5.13. චූළරථ විමානය

982. ඔබේ අතේ දුන්නක් තියෙනවා. හොඳ මෝරපු අරටුවකින් කළ මේ දුන්න හරි දැඩියි. එහි එක් කොනක් පයින් ඔබාගෙන ඉන්නෙ. කවුද ඔබ? ක්ෂත්‍රියයෙක්ද? වෙනත් රාජ කුමාරයෙක්ද? එහෙම නැත්නම් වනාන්තරයේ ඇවිදගෙන යන වැද්දෙක්ද?

983. ස්වාමීනි, මං වනාන්තරයේ ඇවිදිනවා. මං අස්සක රජ්ජුරුවන්ගෙ පුතා. පින්වත් භික්ෂුව, ඔබට මගේ නම කියන්නම්. මං ගැන කවුරුත් දන්නෙ සුජාත කියලයි.

984. මං මේ මුවන්ව හොයා ගෙන යනවා. එහෙමයි මේ වනයේ ඇතුළට ආවේ. මං මුවෙක්ව දැක්කෙ නෑ. මං මේ නැවතුනේ ඔබව දැකලයි.

985. ඔබ මහා පින්වන්තයෙක්. ඔබේ පැමිණීම යහපත් එකක්මයි. ඔබේ පැමිණීම අයහපත් එකක් නම් නොවෙයි. ඔන්න ඔතනින් වතුර අරගෙන ඔබේ පා සෝදා ගන්න.

986. මේ තියෙන්නෙ සීතල වතුර. ඔය පැන් ගෙනාවේ කන්දෙ ගුහාවෙන්. රාජ පුත්‍රය, ඔයින් පැන් ටිකකුත් වළඳලා මේ ඇතිරිල්ලේ වාඩිවෙන්න.

987. මහා මුනීන්ද්‍රයාණෙනි, ඔබේ වචන හරිම සුන්දරයි. කන්කළුයි. කිසි වරදක් නෑ. අර්ථවත්. මධුරයි. තේරුමක් ඇතුවමයි ඔබ කතා බස් කරන්නෙ.

988. ශ්‍රේෂ්ඨ සෘෂිතුමනි, මේ වනයෙහි වාසය කරන්නෙ මොන වගේ දේකට ඇළුම් කරලද? මං මේ අහන්නෙ ඒ ගැනයි. ඔබවහන්සේගේ වචනය අහලා අර්ථ දැනගෙන ධර්මය දැනගෙන අපි පිළිපදින්න කැමතියි.

989. පින්වත් කුමාරය, හැම සත්වයන් කෙරහිම අහිංසාව පැතිරීමයි අපේ රුචිකත්වය. ඒ වගේම හොරකම් කරන්නෙ නෑ. අසීලාචාර දේ නෑ. මත් පැන් බීමක් නෑ.

990. ඕවායින් වැළකී ඉන්න එක, ධර්මයෙහි හැසිරෙන එක, බහුශ්‍රැතභාවය ඇති කරගන්න එක, කෙළෙහි ගුණදන්න එක මෙලොවදීම ප්‍රශංසාව ලැබෙන කාරණා. ඇත්තෙන්ම මේව තමයි ප්‍රශංසා ලැබිය යුතු දේ.

991. රාජ පුත්‍රය, තව මාස පහකින් මෙපිට ඔබේ මරණය සිද්ධ වෙනවා. ඊට කලින් තමන්ව අපා දුකින් මුදවා ගන්න.

992. ඒ මං කොයි ජනපදයටද යන්නෙ? මොන වගේ දෙයක්ද කරන්නෙ? මොන වගේ පුරුෂ කාර්යයක්ද කරන්නෙ? මොන වගේ විද්‍යාවකින්ද මේ ජරා මරණවලින් නිදහස් වෙන්න පුළුවන් වෙන්නෙ?

993. රාජ පුත්‍රය, කෙනෙක් යම් තැනකට ගිහින් ජරාමරණවලින් නිදහස් වෙනවා නම්, ඒ විදිහේ තැනක්. ඒ විදිහේ විද්‍යාවක්, ඒ විදිහේ පුරුෂ කාර්යයක් දැකගන්ට නෑ.

994. මහාධනවත් උදවිය, මහා භෝග ඇති උදවිය, ක්ෂත්‍රිය වූ රජවරු, තවත් බොහෝ ධනධාන්‍ය ඇති උදවිය යන ඔය කවුරුත් අජරාමර උදවිය නොවේ.

995. ඉදින් ඔබ අහල තියෙනවාද අන්ධක වෙණ්හූ පුත්‍ර කියන අය ගැන. එයාල හරී ශූරයි. වීරයි. වික්‍රමාන්විතව සතුරන්ට පහර දෙනවා. හිරු සඳු වගේ. අන්තිමේදී ඒ උදවියත් ආයුෂ ඉවර වෙලා මැරිල ගියා.

996. ක්ෂත්‍රිය උදවිය ඉන්නවා. බ්‍රාහ්මණවරු ඉන්නවා. වෙළඳ ව්‍යාපාරිකයෝ ඉන්නවා. දැසිදස්සන් ඉන්නවා. චණ්ඩාල, පුක්කුස කුලවල අය ඉන්නවා. තව නොයෙකුත් උදවිය ඉන්නවා. ඔය කවුරුත් ඉපදීමෙන් අජරාමර වෙච්ච උදවිය නොවෙයි.

997. අට්ඨක වාමක ආදී සෘෂිවරුන් ගේ පරම්පරාවෙන් ආපු සයවැදෑරුම් වේදමන්ත්‍ර පාඩම් කරන උදවිය ඉන්නවා. අනෙක් උදවියත් ඉන්නවා. ඔය කවුරුත් ඒ ඇති කර ගත්තු විද්‍යාවෙන් අජරාමර වෙන්නෙ නෑ.

998. ශාන්ත සෘෂිවරු ඉන්නවා. සීලසංවරයෙන් යුක්තයි. තපස් රකිනවා. ඒ තපස්වීන් වහන්සේලාත් කාලය ආවහම ශරීරය අත්හැර දානවා.

999. වඩන ලද සිත් ඇති රහතන් වහන්සේලා ඉන්නවා. නිවන් මග සම්පූර්ණ කරලයි ඉන්නෙ. ආශ්‍රව රහිතයි. පින්පව් මේ ජීවිතය තුළම ගෙවා දමලා අන්තිමේදි මේ සිරුර බැහැර කරනවා.

1000. මහා මුනිඳාණෙනි, ඔබවහන්සේ විසින් ඔය ගාථාවන් ඉතාම හොඳින් වදාළේ. අර්ථවත්. ඒ යහපත් දේශනාව නිසා මට ධර්මය තේරුනා. අනේ ඔබ වහන්සේවත් මට සරණ වනු මැනව.

1001. පින්වත් කුමරුණි, ඔබ මාව සරණ යන්න ඕන නෑ. මං සරණ ගියේ ශාක්‍යපුත්‍ර වූ මහා වීරයාණන් වහන්සේ නමක් ඉන්නවා. අන්න ඒ උත්තමයාණන් වහන්සේව සරණ යන්න.

1002. අනේ නිදුකාණන් වහන්ස, ඔබගේ ඒ ශාස්තෘන් වහන්සේ වැඩසිටින්නේ කොයි ජනපදයේද? වෙන කිසිවෙක් හා සමාන නොවූ ඒ ජිනයන් වහන්සේව බැහැ දැකගන්නට මාත් යනවා.

1003. කුමරුණි, ඔක්කාක වංශයෙහි උපන් ඒ ආජානීය පුරුෂෝත්තමයාණන් වහන්සේ වැඩසිටියේ පෙරදිග ජනපදයේ. උන්වහන්සේ පිරිනිවන් පා වදාළා.

1004. නිදුකාණන් වහන්ස, ඔබගේ ඒ ශාස්තෘ වූ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින සේක් නම් උන්වහන්සේ සමග උතුම් දහම් ඇසුර ලබන්ට මං දහසක් යොදුන් ගෙවා ගෙන හරි යනවා.

1005. නිදුකාණන් වහන්ස, ඒ ඔබගේ ශාස්තෘන් වහන්සේ යම් හෙයකින් පිරිනිවන් පා වදාළ සේක් ද, පිරිනිවනට වැඩියා වූ ඒ මහා වීරයාණන් වහන්සේව මං සරණ යනවා.

1006. මං බුදුරජාණන් වහන්සේව සරණ යනවා. අනුත්තර වූ ශ්‍රී සද්ධර්මයත් සරණ යනවා. නරදේවයන් වහන්සේගේ ශ්‍රාවක වූ සංඝරත්නයත් සරණ යනවා.

1007. මං වහ වහා සතුන් මැරීමෙන් වළකිනවා. ලෝකයෙහි සොරකම් කිරීම මං කරන්නෙ නෑ. මත් පැන් බොන්නෙත් නෑ. බොරු කියන්නෙත් නෑ. තමන්ගේ බිරිඳ සමඟ පමණයි මං සතුටු වෙන්නෙ.

1008. දහසක් රැස් ඇති හිරු මඬල ආකාසයෙහි පිළිවෙලකට ගමන් කරන්නෙ දිසාවන් බබුලුවාගෙනයි. ඔබේ මහා රථයත් අන්න ඒ වාගෙමයි. හත් යොදුනක් විශාලත්වයෙන් යුක්තයි.

1009. ඒ රථය වටේටම රන් පටිවලින් සරසලා තියෙනවා. එහි වියගස මුල ඉදන්ම මුතු මැණික්වලින් සරසලා තියෙනවා. ඒ වගේම රන්රිදීවලින් කළ පටවල වෛරෝඩි මැණිකෙන් කරපු සුන්දර රේඛා ලස්සනට මැවිල තියෙනවා.

1010. ඒ රථයේ මුදුනත් වෛරෝඩි මැණිකෙන් කරල තියෙන්නෙ. වියගහ විසිතුරු කරල තියෙන්නෙ රතු මැණික්වලින්. රන් රිදීවලින් කරපු රැහැන් පටින් තමයි මේ අශ්වයත් බැඳල ඉන්නෙ. සිතේ වේගයෙන් ගමන් කරන මොවුන් හරි සුන්දරයි.

1011. යසස් ඇති දිව්‍ය පුත්‍රය, දහසක් අශ්වයන් යොදපු දිව්‍ය රථයෙහි ඉන්න සක් දෙවිඳු වගේ ඔබත් මේ රන්වන් රථයේ ඉන්නෙ. මං මේ මෙතරම් දක්ෂතා ඇති ඔබෙන් අහන්නෙ මෙවැනි උදාර වූ සැප සම්පත් ලැබුනේ කොහොමද කියලයි.

1012. ස්වාමීනි, මං ඉස්සර මනුස්ස ලෝකෙදි සුජාත කියල රාජ කුමාරයෙක් වෙලා හිටියා. ඔබවහන්සේ තමයි මා කෙරෙහි අනුකම්පා කරල මේ සංවර කරවන උතුම් ධර්මයෙහි පිහිටෙව්වෙ.

1013. මගේ ආයුෂ පිරිහිලා තිබුණු බව ඔබවහන්සේ දැනගත්තා. සුජාත, මෙයට පුද පූජා කරන්න, ඒක ඔබට යහපත පිණිසමයි හේතු වන්නෙ කියල මට ශාස්තෘන් වහන්සේගේ ධාතූන් වහන්සේ නමක් ලබා දුන්නා.

1014. මං ඒ ධාතූන් වහන්සේට සුවඳින් මලින් පූජා පැවැත්වූවා. හරි පිළිවෙළටම මං කළා. මිනිස් ශරීරය අත්හැරියාට පස්සෙ මං නන්දන වනයෙහි උපන්නා.

1015. මේ රම්‍ය වූ නන්දන වනයෙහි නොයෙක් වර්ගයේ කුරුළු කොබෙයියන් ඉන්නවා. මං මෙහි දිව්‍ය අප්සරාවන් පිරිවරාගෙන නැටුම් ගැයුම්වලින් සතුටු වෙවී ඉන්නවා.

සාදු ! සාදු !! සාදු !!!

දහතුන් වෙනි චූළරථ විමානයයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn3_1-5-13/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M