1016. පින්වත් දිව්‍ය පුත්‍රය. දහසක් අසුන් යොදවලා තියෙන මේ රථය හරිම විචිත්රයි. සුන්දරයි. ඉතින් මේ රථයේ නැඟලා ඔබ උද්‍යාන භූමියට යන කොට භූතපති වූ පුරින්දද වූ සක් දෙවිඳු වගෙයි.
1017. ඔබේ රථය රත්රන්වලින් හැදුනු එකක්. ඒ රථය දෙපැත්තේ යට මනාව පිහිටි දෙකොණ අතිශයින්ම සුන්දරයි. ඒ රථයෙහි කණු හිටවලා තියෙන්නෙ අතිප්රවීණයන්ගේ නිර්මාණ වගේ. මේ රථය බබලන්නෙ පොහොය දවසේ පුන්සඳ වගේ.
1018. මේ රථය ආවරණය කරල තියෙන්නෙ රන්දැල්වලින්. විවිධාකාර මැණික් වර්ගවලින් සරසලා තියෙනවා. මිහිරි ස්වරයෙන් සොඳුරු ඝෝෂාවකුත් නැඟෙනවා. චාමර සලන අත්වලින් යුතු දෙවිවරුන් නිසා තවත් ලස්සනයි.
1019. මෙහි රථ නාභිය සිතෙන් මවාපු එකක් වගේ. රථයේ රෝද අතරේ ඇති අරයන්ද මුතු මැණික්වලින් සරසලා තියෙනවා. ඒ රථ නාභි සිය ගණන් සැරසිලිවලින් සරසලා තියෙනවා. මේ රථය ගමන් කරනකොට එළිය විහිදෙන්නෙ විදුලි කොටනවා වගේ.
1020. මේ රථය හරිම විචිත්රයි. දහසක් රැස් ඇති නිම්වළලු තියෙනවා. හරි මිහිරි හඬින් ඇහෙන කිංකිණි දැල් තියෙනවා. පංචාංගික තූර්ය නාදය වගෙයි එය ඇහෙන්නෙ.
1021. මේ රථයේ මුදුන හරි විචිත්රයි. සඳමඬල වගෙයි. මැණික් ඔබ්බවල තියෙන්නෙ. හැම තිසේසෙම පිරිසිදුයි. සිත්කළුයි. ප්‍රභාස්වරයි. රන්වන් රේඛාවන්ගෙන් වඩාත් සුන්දර වෙලා තියෙනවා. වෛරෝඩි මැණික් රොදක් වගේ අතිශයින්ම සුන්දරයි.
1022. මේ අශ්වයොත් සඳමඬල වැනි මැණික් වලින් සරසලා තියෙන්නෙ. හොඳ උස මහත තියෙනවා. හොඳ ජවයකුත් තියෙනවා. හරි විශාලයි. බලවත්. මහා ජවයක් තියෙනවා. ඔබේ සිතට අනුකූලවමයි අශ්වයන් ගමන් කරන්නෙ.
1023. සතර පාදවල වේගයෙන් ගමන් කරන මේ හැම අශ්වයෙක්ම ජවයෙන් සමානයි. ඔබේ සිතට අනුකූලවමයි ගමන් කරන්නෙ. මේ රථය උසුලන මොවුන් හරි මෘදුයි. කීකරුයි. සතුට ඇති කරල දෙනවා. ආජානීය අශ්වයන්.
1024. අහසේ ගමන් කරද්දි මේ අශ්වයන් සැරසිලි සොළවනවා. සීනු හඬින් මිහිරට නද දෙනවා. ඉතා යහපත් ලෙස කරන ලද සැරසිලි වඩ වඩාත් දීප්තිමත් වෙනවා. උන්ගේ ස්වරය මොන තරම් සුන්දරද යත් පංචාං ගික තූර්ය නාදය වගේ.
1025. රථයේ ශබ්දයයි පළඳනාවල ශබ්දයයි අශ්වයින්ගේ කුර ගැටෙන හඬයි අශ්වයින්ගේ හේසරාවයයි කියන මේ සියල්ලෙන්ම නැඟෙන ඝෝෂාව දෙවියන්ගේ ඝෝෂාව සමග එකතු වෙන කොට දිව්‍ය ගාන්ධර්වයන් විචිත්‍ර වූ තූර්ය නාද පවත්වනවා වගේ ඉතා මිහිරට ඇහෙනවා.
1026. ඒ රථයේ ඉන්නවා දිව්‍ය අප්සරාවන්. ඔවුන්ගේ ඇස් මුව පැටවුන්ගේ වගෙයි. අඩවන් වෙලා තියෙන්නෙ. දිගු ඇස් පිහාටු තියෙනවා. සිනහ මූණු තියෙනවා. සොඳුරු කථා බහ තියෙනවා. වෛරෝඩි මැණිකෙන් කරපු දැල්වලින් සිරුර වහගෙන ඉන්නෙ. ගාන්ධර්වයන්ගෙන් අග්‍ර දෙවියන්ගෙන් ඔවුන් හැම තිස්සේම පිදුම් ලබනවා.
1027. ඒ දිව්‍ය අප්සරාවන් සිත් අලවන රතුපාට රන්වන් පාට වස්ත්‍රවලින් සැරසිලා ඉන්නවා. විශාල නෙත් යුග තියෙනවා. සොඳුරු රත් පැහැයෙන් සැරසුණු නෙත් යුග තියෙනවා. සොඳුරු උපතක් ලබාදෙන සොඳුරු සිරුරු ඇතිව රථයේ ඉන්න ඒ සුර අඟනන් දිව්‍ය කුමාරයාට වැඳගෙන ඉන්නවා.
1028. ඒ දිව්‍ය අප්සරාවන් රන්වන් ආභරණ පැළඳගෙන ඉන්නවා. දිවසළු දරා ගෙන ඉන්නවා. සිහින් ඉඟ තියෙනවා. ස්ථූල නැති කෘශ නැති වටොර තියෙනවා. පියයුරු තියෙනවා. දිගුවට ඇඟිලි තියෙනවා. සියුම් දැක්මෙන් යුක්තයි. රථයේ ඉන්න ඒ සුර අඟනන් දිව්‍ය කුමාරයාට වැඳගෙන ඉන්නවා.
1029. ඒ දිව්‍ය අප්සරාවන්ට ලස්සන කෙස් කළඹක් තියෙනවා. ලස්සනට බෙදල පීරල තියෙනවා. රන් කෙඳිවලින් සරසලා තියෙනවා. ප්‍රභාශ්වරයි. ඔබ හිතන හිතන පිළිවෙලටයි ඔබ කැමති පරිදි ඔවුන් සිටින්නෙ. රථයේ ඉන්න ඒ සුර අඟනන් දිව්‍ය කුමාරයාට වැඳගෙන ඉන්නවා.
1030. ඒ දිව්‍ය අප්සරාවන් නෙළුම් මහනෙල් මලින් සැරසිලා ඉන්නවා. දිව්‍ය සඳුන් තවරා ගෙන ඉන්නවා. ඔවුන් අලංකාරයි. ඔබ හිතන හිතන පිළිවෙලටයි ඔබ කැමති පරිදි ඔවුන් සිටින්නෙ. රථයේ ඉන්න ඒ සුර අඟනන් දිව්‍ය කුමාරයාට වැඳගෙන ඉන්නවා.
1031. ඒ මල් දරන දිව්‍ය අප්සරාවන් නෙළුම් මහනෙල් මලින් සැරසිලා ඉන්නවා. දිව්‍ය සඳුන් තවරා ගෙන ඉන්නවා. ඔවුන් අලංකාරයි. ඔබ හිතන හිතන පිළිවෙලටයි ඔබ කැමති පරිදි ඔවුන් සිටින්නෙ. රථයේ ඉන්න ඒ සුර අඟනන් දිව්‍ය කුමාරයාට වැඳගෙන ඉන්නවා.
1032. ඔවුන්ගේ ගෙළෙහි ලස්සන පළඳනා තියෙනවා. අත්පාවලත් හිසේත් ලස්සන පළඳනා තියෙනවා. සරත් කාලයේ හිරු මඬල උදාවුනහම දස දිසාවම බබලනවා වගේ ඔවුන් බබලන්නෙ.
1033. මඳ සුළඟින් ඔවුන්ගේ අත්වල මල් සෙළවෙනවා. පළඳනාත් සෙළවෙනවා. එතකොට එයින් නැඟෙන්නෙ සියලු ප්‍රවීණ ගාන්ධර්වයන් හට හුරු පුරුදු වූ නාද වැනි ඉතා කන්කළු සොඳුරු නාදයන්.
1034. දිව්‍ය පුත්‍රය, ඒ උද්‍යානයෙහි දෙපස රථ හඬ ඇහෙනවා. කුඤ්චනාදය ඇහෙනවා. කුරුළු නාදය ඇහෙනවා. එයින් දෙවිවරු ප්‍රමුදිත වෙනවා. නෙළුම් පත් නමැති අත්ගැටෙන කොට වීණාවකින් වගේ මිහිරි නාදය ඇහෙනවා.
1035. මේ වීණාවල්වල බොහෝ කන්කළු මිහිරි හඬ ඇහෙන කොට ඉතා සුන්දර විලසට හෘදයාංගම නාදයන් ඇහෙන කොට දිව්‍ය අප්සරාවන් ඉතා හොඳින් පුහුණු වෙලා නෙළුම් මල් උඩ කරකැවි කැවී නටනවා.
1036. මේ සිංදු කීමත් වාදනයත් නැටුම් නැටීමත් යන දේවල් එකට එකතු වුනාම මේ රථයේ ඉන්න ඇතැම් දිව්‍ය අප්සරාවන් නටනවා. මේ රථයේ ඉන්න උතුම් දිව්‍ය අප්සරාවන් දෙපැත්තේ ඉඳගෙන බබලන්න පටන් ගන්නවා.
1037. ඒ දිව්‍ය පුත්‍රයා තූර්ය වාදනවලින් සන්තෝෂ වෙනවා. ශක්‍රයා වගේ අන්‍යයන්ගෙන් පිදුම් ලබනවා. මේ වීණානාදයන් බොහෝ සෙයින් වැයෙන කොට හෘදයාංගම වූ මිහිරි නාදයට සතුට උපදිනවා.
1038. ඔබ ඉස්සර මනුස්ස ලෝකෙදි මොන විදිහේ පුණ්‍ය කර්මයක්ද කළේ? මොන විදිහේ සිල්ද රැක්කේ? මොන විදිහේ ධම්මචාරී ජීවිතයක්ද ගත කළේ. මොන වගේ ව්රතයක්ද කැමැති වුනේ.
1039. ඔබ කලින් ජීවිතයක කරපු පොඩිපහේ පිනක් නම් වෙන්න බෑ. රැක ගත්තු පොඩි සීලයක් නම් වෙන්න බෑ. ඔබේ ඉර්ධි ආනුභාවය අති විශාලයි. අනිත් දෙවිවරුන්ව ඔබේ ආලෝකයෙන් යටපත් වෙනවා.
1040. ඔබේ මේ පුණ්‍ය විපාකය දානයෙන් ලැබුණු එකක්ද? එහෙම නැත්නම් සීලයෙන් ලැබුණු එකක්ද? එහෙමත් නැත්නම් වෙනත් වැඳුම් පිදුම් වලින් ලැබුණු එකක්ද? මේ අහන කරුණට පිළිතුරු දෙනු මැනව.
1041. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දිව්‍යපුත්‍රයා ගොඩාක් සතුටු වුනා. මොන වගේ පින්කම්වලින්ද මේ සැප ලැබුනේ කියන ප්‍රශ්නයට ඔහු මෙහෙමයි පිළිතුරු දුන්නේ.
1042. ඒ අග්‍ර පුද්ගල වූ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ නරෝත්තමයන් වහන්සේ නමක්. ඉඳුරන් ජයගෙනයි ඉන්නෙ. කෙලෙස් නෑ. දේවාතිදේවයි. සුන්දර පුණ්‍ය ලක්ෂණයන්ගෙන් යුක්තයි. දෙවි මිනිසුන් හට අමෘත ද්වාරය විවෘත කරලයි තියෙන්නෙ.
1043. මං උන්වහන්සේව දැකගත්තා. සසරෙන් එතෙරට වැඩි උන්වහන්සේ හස්තිරාජයෙක් වගේ. තනි රත්තරනින් කරපු රූපයක් වගෙයි. උන්වහන්සේව දැක බලාගත්තු ගමන් වහ වහා මං සිත පිරිසිදු කර ගත්තා. සුභාසිත ධජය වූ ඒ බුදුරජාණන් වහන්සේව දැක ගත්තට පස්සෙ,
1044. කිසිවකට නොඇලෙන උන්වහන්සේට මං මගේ නිවසේ මල් අතුරලා දන් පැන් පූජා කරගත්තා. ඉතා පිරිසිදුවට ප්‍රණීත විදිහටයි ඒ රසවත් ආහාර පාන පිළිගැන්වූයේ. ඒ වගේම සිවුරුත් පූජා කරගත්තා.
1045. ඒ නරෝත්තමයානන් වහන්සේට මං දන් පැන්වලින්, සිවුරෙන්, රසවත් කැවිලිපෙවිලිවලින් හොඳින් පූජා සත්කාර කළා. දැන් ඒ මං දෙව්ලොවක් දෙව්ලොවක් පාසා යනවා. සුදස්සන දිව්‍ය පුරයේ මං දැන් ඇලී වසන්නෙ.
1046. ඔන්න ඔය විදිහට මං ඉතාම නිරවුල්ව දන් දීමට කලින්. දන් දෙන විට, දන් දුන්නට පසු කියන මේ තුන් අවස්ථාවේම සිත පහදවා ගෙන තමයි දාන මාන කළේ. ඊට පස්සෙ මං ඒ මිනිස් සිරුර අත්හැරියා. දැන් මේ දිව්‍ය පුරයෙහි මං ඇලී වසන්නෙ සක් දෙවිඳු වගේ.
1047. මුනිවරයාණෙනි, ඉතා උසස් වූ ආයු, වර්ණ, සැප, බල යන මේවා ලබන්න කවුරු හරි කැමති නම් නො ඇළුනු සිත් ඇති බුදුරජාණන් වහන්සේ උදෙසාමයි ඉතා හොඳින් පිළියෙල කරපු බොහෝ දන් පැන් පූජා කරගත යුත්තේ.
1048. මේ ලෝකයේ වත් වෙන ලෝකයක වත් බුදුරජාණන් වහන්සේට වඩා ශ්‍රේෂ්ඨ කෙනෙක් වත් සමාන කෙනෙක් වත් නෑ. උන්වහන්සේ දන්පැන් පූජා ලැබීමට සුදුසු උතුමන් අතර අතිශයින්ම සුදුසු උත්තමයයි. පින් කැමැති උදවියට ඒ තුළින් මහත් ඵල ලබාගන්න පුළුවනි.
සාදු ! සාදු !! සාදු !!!
දාහතර වෙනි මහාරථ විමානයයි.
පස්වෙනි මහාරථ වර්ගය නිමා විය.
එහි පිළිවෙල උද්දානයයි:
මණ්ඩුක විමාන වස්තුව, රේවතී, ඡත්තමාණවක, කක්කට, ද්වාරපාලක, කරණීය විමාන වස්තු දෙක, සූචි විමාන වස්තු දෙක, නාග විමානවස්තු තුන, රථ විමාන වස්තු දෙක කියන මේ පුරුෂ විමානවස්තුවෙනුයි ප්‍රථම වර්ගය කියන්නෙ.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn3_1-5-14/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M