ඛුද්දක නිකාය

විමානවත්ථු

5.11. දුතිය නාග විමාන වත්ථු

5.11. දෙවෙනි නාග විමානය

969. ඇතා නම් සුදුම සුදුයි. හරි විශාල ඇතෙක්. උතුම් හස්තියෙක්. දිව්‍ය අප්සරාවන් පිරිවරා ගෙන ඇතා පිටේ නැඟලා බැබලි බැබලී වනයෙන් වනයට යන්නේ හැම දිසාවන්ම එළිය කරන ඕසධී තාරුකාවක් වගේ.

970. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුනේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුනේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුනේ මොන වගේ පිනකින්ද?

971. මහානුභාව ඇති පින්වත් දෙවිය, මිනිස් ලෝකෙ ඉන්න කාලෙදි මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලී ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා.

972. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දිව්‍යපුත්‍රයා ගොඩාක් සතුටු වුනා. මොන වගේ පින්කම්වලින්ද මේ සැප ලැබුනේ කියන ප්‍රශ්නයට ඔහු මෙහෙමයි පිළිතුරු දුන්නේ.

973. මං අතීත ජීවිතයේ මිනිස් ලෝකෙ මනුස්සයෙක් වෙලා හිටියේ. මං ඒ සදහම් ඇස් ඇති බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වූ උපාසකයෙක් වෙලා හිටියා. මං සතුන් මැරීමෙන් වැළකුනා. ලෝකයෙහි සොරකම කියන දෙය මං දුරු කළා.

974. මං මත්වෙන දේවල් පාවිච්චි කරපු කෙනෙක් නෙවෙයි. බොරු කියපු කෙනෙකුත් නෙවෙයි. මං සතුටු වුනේ මගේ බිරිඳත් එක්ක විතරයි. මම දන් පැන් පූජා කරන්නෙ පහන් සිතින්මයි. පිළිවෙලකට මහා දාන මම දීල තියෙනවා.

975. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුනේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුනේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුනේ ඒ නිසාමයි.

976. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස, මිනිස් ලෝකෙදි ඔය පින තමයි මං කරගත්තෙ. ආනුභාව සම්පන්නව බැබලි බැබලී ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා.

සාදු ! සාදු !! සාදු !!!

එකොළොස් වෙනි දුතිය නාග විමානයයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn3_1-5-11/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M