962. පින්වත් දිව්‍ය පුත්‍රය, ඔබ මෙහි ඉන්නෙ අහස් ගමන් ඇති හස්ති රාජයෙකුගේ පිටේ. මේ ඇතා සුදුම සුදුයි. විශාල දළ දෙකක් තියෙනවා. ලස්සනට සරසලා තියෙනවා. ඒ වගේම බලවත්. මහා ජව සම්පන්නයි.
963. මේ ඇතාගේ දළ දෙක මත නිල්වන් ජලය තියෙන, පිපුන නෙළුම් තියෙන ලස්සන පොකුණු දෙකක් පහළ වෙලා. ඒ පිපුණු නෙළුම් මත පංචාංගික තූර්යනාද මිහිරට නාද වෙද්දි මේ මනහර දිව්‍ය අප්සරාවන් ලස්සනට නටනවා.
964. මහානුභාව ඇති පින්වත් දිව්‍ය පුත්‍රය, දිව්‍ය අධිපති බවටයි දැන් ඔබ පත් වෙලා ඉන්නෙ. මිනිස් ලෝකෙ ඉන්න කාලෙදි මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්න ව ඔය බැබලි බැබලී ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා.
965. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දිව්‍යපුත්‍රයා ගොඩාක් සතුටු වුනා. මොන වගේ පින්කම්වලින්ද මේ සැප ලැබුනේ කියන ප්‍රශ්නයට ඔහු මෙහෙමයි පිළිතුරු දුන්නේ.
966. මහා සෘෂිවරයාණන් වන කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ගේ ස්ථූපයට නටුවෙන් ගිලිහුණු මල් අටක් මේ දෑතින්ම පූජා කරගත්තෙ සිතේ පැහැදීමෙන්මයි.
967. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුනේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුනේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුනේ ඒ නිසාමයි.
968. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස, මිනිස් ලෝකෙදි ඔය පින තමයි මං කර ගත්තෙ. ආනුභාව සම්පන්නව බැබලි බැබලී ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා.
සාදු ! සාදු !! සාදු !!!
දස වෙනි නාග විමානයයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn3_1-5-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M