(උපසීව)
ශාක්‍යමුනිවරයාණනි,
හුදෙකලාවෙ වසනා මම – ඇසුරු කෙළේ නැත කිසිවක්
එහෙත් නොහැක එතෙර වන්ට – මේ තණ්හා සැඩ පහරින්
හැම දෙය දකිනා මුනිඳුනි – කියා දෙන්න මෙමා හටත්
ඇසුරු කරන්නට දහමක් – ඒ සදහම් තුළින් මටත්
තරණය කර දැමිය හැකිය – මේ සැඩ තණ්හා දිය කඳ
(භාග්‍යවතුන් වහන්සේ)
පින්වත් උපසීවය ඔබ – සිහිනුවණින් කල් ගෙවමින්
දියුණු කෙරුව ඒ අරූපි – සමාධියේ තතු දකිමින්
අල්ලා ගන්නට කිසිවක් – නොමැති බවම ඇසුරට ගෙන
තරණය කර එතෙර යන්න – මේ තණ්හා සැඩ පහරින්
දුරු කොට හැම කාමයන්ද – තොර වී සියළුම සැකෙන්ද
ගෙවා දමා තණ්හාවම – හඳුන ගන්න අමා නිවන
(උපසීව)
සියළුම කාමයන් කෙරෙහි – වීතරාගි වේද යමෙක්
අරූපි සමවත අසුරින් – වෙන කිසිවක් ඇසුරු නොකොට
මිදී සියළු සඤ්ඤාවෙන් – පත් වේ නම් විමුක්තියට
පිරිහී නොයනා බඹලොව – හේ උපදින්නේ නොවේද?
(භාග්‍යවතුන් වහන්සේ)
සියළුම කාමයන් කෙරෙහි – වීතරාගි වේද යමෙක්
අරූපි සමවත ඇසුරින් – වෙන කිසිවක් ඇසුරු නොකොට
මිදී සියළු සඤ්ඤාවෙන් – පත් වේ නම් විමුක්තියට
පිරිහී නොයනා බඹලොව – උපදින්නේමය හෙතෙමේ
(උපසීව)
හැමදෙය දකිනා මුනිඳුනි,
සැබවින් ඔහු ඉපිදී එහි – සිටිනා විට නොම පිරිහී
මුළු ආයුෂ ගෙවා දමා – සැනසෙයි නම් එහිම නිවී
දුකින් මිදී යන්නේ නම් – එසේ සිටින කෙනෙකුගෙ සිත
යන්නෙද පිරිනිවී එහිම?
(භාග්‍යවතුන් වහන්සේ)
හමනා සුළඟේ වේගෙට – නිවෙන පහන් සිල විලසට
නොපෙනී ගිය විට ඒ සිත – කිසිවක් පවසන්නට නැත
එලෙසින් අරහත් මුනිඳුන් – නාම කයින් මිදෙනා විට
නොපෙනී ගිය විට සදහට – කිසිවක් පවසන්නට නැත
(උපසීව)
නොපෙනී ගිය විට සදහට – ඒ අරහත් මුනි උතුමා
නැත්තට නැති වෙලා යයිද – නැතිනම් සැබැවින් ම තැනක
ආරෝග්‍ය බවට පත්ව – සදාකාලිකව සිටියිද?
බුදු සමිඳුනි එකරුණ ගැන – පහදා දෙනු මැන මා හට
ඔබ හට නම් මේ සදහම් – වැටහී ඇත ඉතා හොඳින්
(භාග්‍යවතුන් වහන්සේ)
(පිරිනිවන් පෑමෙන්) නොපෙනී ගිය විට ඒ සිත
මැනගන්නට මිම්මක් නැත
යම් කෙනෙකුව මැනගන්නා – මිම්ම නොමැති නම් ඔහු හට
හැම දෙයක්ම නැසුන කලට – නැසේ සියළු වාදයන්ද
උපසීව නිසා වදාළ දෙසුම මෙහි සය වැන්න වේ.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn2_5-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M