භාග්‍යවතුන් වහන්සේ මගධයෙහි පාසාණක නම් පූජ්‍යස්ථානයේ වැඩ වෙසන සමයේ මෙය වදාළ සේක. බාවරී බමුණාගේ සිසු පිරිස වූ සොළොසක් වූ මේ බමුණන් විසින් අයැදිමින් ඇසූ ඇසූ ප්‍රශ්නයන්ට මෙසේ පිළිතුරු දුන් සේක.
ඉදින් යම් කෙනෙක් මෙහි එක් එක් ප්‍රශ්නයන්ට අදාළ පිළිතුරුවල අර්ථ දැනගෙන, ඒ සදහම් දැනගෙන ඒ සදහමට අනුකූල ප්‍රතිපත්තියෙහි යෙදෙත් නම්, ඒ තැනැත්තා ජරා මරණාදී මේ සංසාර දුකින් එතෙරට යන්නේමය.
මේ ශ්‍රී සද්ධර්මය සත්වයාව සංසාරෙන් එතෙර කරවන්නේම වෙයිද, එනිසාම මේ සදහම් දෙසුම්වලට (සසර දුකින් එතෙර කරවන යන අරුතින්) “පාරායන” යන නම ඇති විය.
අජිත තිස්ස මෙත්තෙය්‍යද – පුණ්ණක සමඟින් මෙත්තගු
ධෝතක හා උපසීවද – නන්ද සමඟ හේමකයන්
දෙදෙනෙකි තෝදෙය්‍ය, කප්ප – පණ්ඩිත වේ ජතුකණ්ණි
භද්‍රාවුධ හා උදයද – බමුණෙකි ඒ පෝසාලද
නැණවත් වූ මෝඝරාජ – පිංගිය මහ ඉසිද සමඟ
විජ්ජාචරණේ ගුණ යුතු – මහ ඉසිවර නුවණින් යුතු
සම්බුදු සමිඳාණන් වෙත – පැමිණියෝය මේ හැමදෙන
ඉතා සියුම් පැන අසන්ට – ආවෝ සමිඳාණන් වෙත
ඇසූ ඇසූ හැම පැනයට – ඒ අයුරින් ඔවුන් සැමට
භගවත් බුදු සමිඳාණෝ – පැවසු සේක ඇති විලසට
ඒ සම්බුදු සමිඳාණෝ – සියළු ප්‍රශ්න විසඳීමෙන්
ඒ පින්වත් බමුණු පිරිස – පත් කළෝය මහ සතුටට
ධම්මචක්ඛු ලබා ගත්ත – සූර්ය වංශයෙන් පැමිණුන
ඒ සම්බුදු සමිඳු විසින් – සතුටු කෙරුව ඒ හැමදෙන
උතුම් පැණසරාණන් ළඟ – හැසිරුණෝ සසුන් බඹසර
මේ එක් එක් ප්‍රශ්නයකට – මුනිඳුන් වදහළ පිළිතුරු
එලෙසින් පිළිපදනේ නම්
මෙතෙර තිබෙන සසර අතැර – එතෙරට පිය නගන්නේය.
උතුම් දහම් මග වඩිමින් “මෙතෙර” නමින් යුතු සසරින්
එතෙරට හේ යන්නේමය
අමා නිවන් දෙන ඒ මග – එතෙර රැගෙන යන නිසාම
“සසරින් එතෙරට” අරුතින් “පාරායන” කියනු ලැබේ.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn2_5-17/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M