(පිංගිය)
පාරායන ගාථාවන් – අනුව ගයන්නෙමි දැන් මම
බුදු සමිඳුන් මේ සදහම් – දුටුවේ යම් අයුරකින්ද
ඒ අයුරින් අප හට එය – හොඳින් කියා දුන්න සේක
නිමල විපුල නුවණින් යුතු – කාමරහිත නිවුන සිතැති
ලෝකනාථ මුනිඳාණන් – මොන කාරණයක් උදෙසා
මුසා බසක් පවසන්ටද?
මලකඩ මෝහය නසමින් – ගුණමකු මානය වැනසූ
බුදුසමිඳුන්ගේ ගුණ ගඟ – ලොවට හඬ නගා පවසමි
පින්වත් බාවරි බමුණනි,
අවිදු අඳුර වනසාලූ – හැම දෙය දකිනා නුවණැති
තුන් ලොවේම මුදුනට පත් – හැම භවයෙන් පිට පැනගත්
මතුවෙන්නට කෙලෙසුන් නැති – සියළුම දුක් වනසා ඇති
සත්‍ය තුළට පැමිණි උතුම් – ඒ සම්බුදු සමිඳාණන්
ඇසුරු කරන්නට මා හට – අනේ! තිබුණි වාසනාව
පොඩි වනගොමු අතහරිනා – කුරුළු පැටිත්තෙකු විලසේ
බොහො දළු මල් ඵල දරනා – මහවනයට පැමිණුන සේ
ඒ අයුරින් මා මේ ගැන – පොඩි දැනුමැ’ති පිරිස අතැ’ර
මහා ජලාශයට බැස්ස – හංසරාජයෙක් විලසින්
ගියෙමි උතුම් සමිඳුන් වෙත
කළින් මුණ ගැසුන උදවිය – කීවේ නම් මට දහමක්
ගෞතම සසුනෙන් තොර වූ – දෙයක් ය මා දැනගත්තේ
“මෙහෙමයි එය වුණේ කියයි – මේ ලෙස වන්නේය කියයි”
එහෙත් ඔවුන්ගේ ඒ බණ – හරසුන් වචනයන් පමණි
එසේ කියන සියළු දෙනම – හදයි වාද විවාදයන්
හුදෙකලාවෙ වසමින් හේ – දුරු කෙළේය අවිදු අඳුර
නුවණින් හැම තැන බැබලෙන- තුන් ලොවටම එළිය බෙදන
ඒ ගෞතමයාණෝ නම් – උතුම් පැණවතාණෝමය
ඒ ගෞතමයාණෝ නම් – මහා නැණවතාණෝමය
කාලයකට අයිති නොවන – මෙහි දිම අත් දකින්ට හැකි
සදහම් පවසාලූ මට – ලොවේ සිටීවිද කිසිවෙක්
ගෙවා දැමූ හැම තණ්හා – කෙලෙස් උවදුරුත් නැති කළ
ඒ බුදු සමිඳාණන් ගැන – පවසන්නට උපමා නැත
පින්වත් වූ පිංගිය ඔබ,
මොහොතක් හෝ එතුමන්ගෙන් – වෙන් වී කල්ගෙවන්නෙ කිම?
ඒ ගෞතමයාණෝ ලොව – උතුම් පැණවතාණෝ නම්
ඒ ගෞතමයාණෝ ලොව – මහා නැණවතාණෝ නම්
කාලයකට අයිති නොවන – මෙහි දිම අත් දකින්ට හැකි
සදහම් පැවසූවා නම් – ලොවේ සිටී නම් කෙනෙකුන්
ගෙවා දැමූ හැම තණ්හා – කෙලෙස් උවදුරුත් නැති කළ
ඒ බුදු සමිඳාණන් ගැන – කීමට උපමා නැති නම්,
පින්වත් බාවරි බමුණනි,
මොහොතක් හෝ එතුමන්ගෙන්-වෙන් වී කාලය නොගෙවමි
ඒ ගෞතමයාණෝ නම් – උතුම් පැණවතාණෝ මය
ඒ ගෞතමයාණෝ නම් – මහා නැණවතාණෝ මය
කාලයකට අයිති නොවන – මෙහිදිම අත්දකින්ට හැකි
සදහම් පවසාලූ මට – ලොවේ සිටීවිද කිසිවෙක්
ගෙවා දැමූ හැම තණ්හා – කෙලෙස් උවදුරුත් නැති කළ
ඒ බුදු සමිඳාණන් ගැන – පවසන්නට උපමා නැත
පින්වත් බමුණාණෙනි මම,
ඒ බුදු සමිඳුන්ව දකිමි – නිතරම මාගේ මනසින්
ඒ බුදු සමිඳුන්ව දකිමි – නිතරම මාගේ දෑසින්
නොපමාවී මා වසමින් – දිව රෑ දෙක්හිම වෙහෙසී
රෑ කල ගෙවමින් ඉන්නේ – ඒ උත්තමයට වඳිමින්
මගෙ සම්බුදු සමිඳුන් ගෙන් – වෙන් වී වාසය නොකරමි
සැදැහැ බවත් හා සතුටත් – මනසේ පවතින සිහියත්
ඒ ගෞතම සාසනයෙන් – බැහැරට නොම යයි කිසිදින
උතුම් පැණවතාණන් ඒ – වඩින්නේ යම් දිශාවේද
වඩිනා ඒ දිශාව දෙස – නැමිලා පවතී මා සිත
ජරපත් කිසි බලයක් නැති – මගේ දුබල මේ කය නම්
ඒ ඒ තැන නොයන්නේය
එනමුත් නිරතුරුවම මම – යන්නෙමි සිතුවිලි දහරින්
බමුණ, මගේ පිවිතුරු සිත – බුදුසමිඳාණන් අසලය
කාම මඩගොඩේ සැතපී – එහිම ගැලී කල් ගෙවමින්
දූපතකින් දූපතකට – ඔහේ පා වෙවී යන කලෙ
අන්තිමේදි දැක ගන්නට – වාසනාව තිබුණා මට
තණ්හා ගඟ තරණය කළ – මාගේ සම්බුදු සමිඳුන්
(භාග්‍යවතුන් වහන්සේ වදාළ ගාථාවකි )
සැදැහැයෙන්ම දුකින් මිදුන – සමණ වක්කලී යම් සේ
භද්‍රාවුධයන්ද ලොවේ – ආළවි ගෞතමයන් සේ
ඒ උදවිය ලෙසින් ඔබද – සැදැහැ බලෙන් දුකින් මිදෙව
පිංගිය, යාගන්න ඔබත් – මාර විජිතයෙන් එතෙරට
අසමින් මුනිඳුන්ගේ බස -පැහැද ගියෙමි මම බොහො ලෙස
කෙලෙසුන් හැම නසා දැමූ – රාග යහුල් සිතේ නොමැති
විස්මිත වැටහීමෙන් යුතු – සම්මා සම්බුදුමය හේ
පිවිතුරු නුවණින් දකිනා – උසස් පහත් සියළු දහම්
දැනගනිමින් එහි ඇති තතු – මගේ ශාස්තෘන් වහන්සේ
“සැකයක් නැත” යයි කියමින් – සැකයෙන් යුතු ජනයාගේ
අසන අසන හැම පැනයම – අවසන් කරලයි එතැනම
උතුම් වූ අමා නිවනට – නැතිමය කිසි තැන උපමා
කැඳවාගෙන යා නොහැකිය – කිසිදා සෙලවිය නොහැකිය
අමා නිවන් සැප වෙතටම – සැබැවින් මම යාගන්නෙමි
මෙහිලා සැකයක් නැත මට
සැදැහැයෙන්ම දුකින් මිදුන – ශ්‍රාවකයෙකු ලෙස මා ගැන
තේරුම් ගත මැනවි ඔබද
“සසරින් එතෙර කරවන” හෙවත් පාරායන කොටස නිමාවිය.
සුත්ත නිපාතය සමාප්තයි!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn2_5-18/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M